මරණ සහතිකය අත තබාගෙන ජීවත්වෙන වෑකන්ද තට්ටු මාලිගාවේ මිනිස්සු

 ඡායාරූපය:

මරණ සහතිකය අත තබාගෙන ජීවත්වෙන වෑකන්ද තට්ටු මාලිගාවේ මිනිස්සු

ඔවුන් ප්‍රසන්න පරිසරයක ජීවත්වීමට කැමති මනුෂ්‍ය කොට්ඨාසයකි. දරු මල්ලන් සමඟ ඉඩකඩ සහිත වටපිටාවක, නෙත් ප්‍රිය දසුන් සමඟ ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දැමීමට කැමති මිනිසුන් ය. නමුදු ඔවුන් ජීවත් වන්නේ අවීච්මහා නරකාදියටත් වඩා අන්ත මනුස්සවාසයකට නොව අමනුස්ස වාසයකටත් උචිත නොවන බිම්කඩකය. ඒ සියල්ලත් සමඟ ඔවුන්ට ජීවත් විය හැකිය. එහෙත් මරණ භය සමඟ ජීවත් වීමට නොහැකිය. ගරා වැටුණු, වාසයට උචිත නොවේ යැයි පරිසර සහතික ලද ගොඩනැගිලි සංකීර්ණයක මරණ භය සමඟ ජීවත් වීමට ඔවුන්ට සිදුවී ඇත.   

මේ කියන්නේ අන් කවර තැනකවත් නොව, කොළඹ 02 කොම්පඤ්ඤ වීදිය ය. ආසියාවේ ආශ්චර්ය නම් වූ ශ්‍රී ලංකාවේ අගනගරයේ තදාසන්න ප්‍රදේශයකය. කොම්පඤ්ඤ වීදියේ වෑකන්ද නිවාස යෝජනා ක්‍රමයේ ජීවත් වන පවුල් 114 කට අයත් 700ක පිරිසක් මේ වන විටත් ගෙවමින් පවතින්නේ අන්ත අසරණ ජරාජීර්ණ ජීවිතයකි. 1947 වර්ෂයේ ඉදිකර තිබෙන මෙම නිවාස යෝජනා ක්‍රමය වෙනත් ඉදිකිරීම් හේතුවෙන් නිවාස අහිමිවන පවුල් සඳහා වෙන් කරන ලද නිවාස යෝජනා ක්‍රමයකි. නිවාස සංවර්ධන අධිකාරිය මඟින් නඩත්තු කරන මෙහි 2003 වසරෙන් පසුව කිසිදු නඩත්තු කටයුත්තක් සිදු කර නොමැත.   

මේ වන විට කොම්පඤ්ඤ වීදිය වෑකන්ද නිවාස යෝජනා ක්‍රමයේ ගොඩනැගිලි ඉතාම අවදානම් තත්ත්වයක පවතින බැවින් එහි ජීවත් වන පවුල් 144 සහ අනවසරයෙන් ජීවත් වන පවුල් 36 ඉන් ඉවත් කොට ඔවුන්ව සුරක්ෂිත ස්ථාන කරා යොමු කරන ලෙස වැඩ බලන ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අදාළ අංශ දැනුවත් කර ඇත.   

එම නිසා කොම්පඤ්ඤ වීදිය වෑකන්ද නිවාස සංකීර්ණයේ අවදානම් සහගත ජීවිත ගත කරන මිනිසුන් සොයා යාමට අප තීරණය කළෙමු. මහල් පහකින් යුත් සුවිසල් ගොඩනැඟිලි සංකීර්ණ 4ක් මෙම නිවාස යොජනා ක්‍රමයට අදාළය. ඒ ගොඩනැගිලි සතරම මේ වන විට කඩා වැටෙන තත්ත්වයේ පවතියි. වසර ගණනාවකින් නඩත්තු නොකළ එහි බදාම තට්ටු ගැලවී ගොඩනැගිලි සැකිල්ලේ කම්බු කූරු මතු වන මට්ටමකට ගරා වැටෙමින් පවතියි. ගරා වැටෙන ගොඩනැගිල්ලිවල පිටුපස ගස්වැල් වැවී ජරා ජීර්ණ වී ඇත. බැලූ බැලූ තැන ගොඩ ගසන ලද කුණු ගොඩවල්ය. ඒ දුගඳත් සමඟ ඉහළට ඇදෙන නිල මැස්සන්ගෙන් පිරුණු විමානයක් ය. එය සැබවින්ම මනුස්ස වාසයකට නොව ප්‍රේත අමනුස්සාදීන්ගේ වාසයටද නුසුදුසු යැයි දුටුවහොත් ඔබට සිතෙනු ඇත. නමුදු ඔවුන්ගේ මාළිගාව වන්නේ මේ ගොඩනැඟිල්ලයි.   

කොම්පඤ්ඤ වීදිය මහල් නිවාස සංකීර්ණයට යන විටම අපට මුණගැසුණේ නාගරික මන්ත්‍රී හර්ෂාඩ් නිසාම්දින් මහතාය. ඒවන විටත් නිවාස සංකීර්ණයේ වාසය කරන්නන් මන්ත්‍රීවරයාව වට කරගෙන තම දුක්ගැනවිලි, අඳෝනා කියයි.   

"මේ ගෙවල් මිනිස්සුන්ට තාවකාලිකව ඉන්න දීපු ගෙවල්. ඒත් මේ මිනිස්සුන්ට මේකේ දැන් අවුරුදු ගාණක් ඉන්න වෙලා තියනවා. මේ මිනිස්සු හරිම අසරණයි. මේක 1994 දී ගොඩනැගිලි සංවර්ධන අධිකාරිය යටතේ පැවතුණු සහධිපත්‍ය කළමනාකරණ මණ්ඩලයෙන් තමයි නඩත්තු කළේ. ඒක විසුරුවා හැරියට පස්සෙ කිසිම නඩත්තුවක් කෙරුණේ නැහැ. 2003 දී මගේ යෝජනාවකින් ලක්ෂ 9ක මුදලකින් මේ නිවාස සංකීර්ණය අලුත්වැඩියා කළා. ඒ අත්‍යාවශ්‍ය අලුත්වැඩියා විතරයි කළේ.   

“විමල් වීරවංශ නිවාස ඇමති වෙලා ඉන්න කාලෙදි මේකට ඇවිල්ලා කතා කළා. ඒත් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඊට පස්සේ රජ‍ෙයන් යෝජනාවක් ආවා මාස තුනක කුලිය දීලා මේ අයව තාවකාලිකව පදිංචි කරලා ඊටපස්සේ තොටළඟ හේනේමුල්ල ෆ්ලැට් එකේ පදිංචි කරන්න. ඒකෙ වතුර, විදුලිය නැහැ. ඒ නිසා මේ මිනිස්සු ඒකට යන්න කැමති නැහැ." යැයි කොම්පඤ්ඤ වීදිය නාගරික මන්ත්‍රී හර්ෂාඩ් නිසාම්දීන් අප සමඟ අදහස් දැක්වූවේය.   

මෙහි ජීවත් වන්නේ වසර ගණනාවක පටන් දුක්ගැනවිලි, අඳෝනා කියා හෙම්බත් වූ මිනිසුන් කොට්ඨාසයකි. ඔවුන්ගේ අඳෝනා නගර සභාවෙන් එහා උස් පුටුවල ඇත්තන්ට ඇහී නැත. ඒ නිසා ඔවූහු තවමත් අඳෝනා නගති. දුක්ගැනවිලි කියති. ඒ අන් කිසිවකට නොව ඉන්න හිටින්නට හරිහමන් වාසස්ථානයක් සඳහාය. ඒබ්‍රහම් මාශ්ලෝගේ අවශ්‍යතා ධුරාවලියේ මුලින්ම ඇත්තේ වාසස්ථානය. මිනිසු අවශ්‍යතා අතර මූලිකම තැන හිමිවන්නේ අවශ්‍යතාවලටය. නමුදු කොම්පඤ්ඤ වීදිය වෑකන්ද නිවාස සංකීර්ණයේ වාසීන්ට ඉන්නට හිටින්නට හරිහමන් නිවසක් නැතිව ඒ මූලික අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි තත්ත්වයේ පසුවෙයි.   

කේ. ලිලියන් ග්‍රේරු කොම්පඤ්ඤ වීදිය වෑකන්ද නිවාස සංකීර්ණයේ දෙවෙනි මහලේ නිවසක වාසය කරන මැදිවිය ඉක්ම වූ කාන්තාවකි. සියල්ලන්ටම කලින් තමන්ගේ වාසභූමිය ගැන දුක්ගැනවිලි නගන්නට පටන්ගත්තේ ඇයයි.   

"අපි මෙතනට ඇවිත් දැන් අවුරුදු 45ක් වෙනවා. මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. මේ නරකාදියේ ජීවත් වෙන්න බැරි කමට මගේ පුතා 1990 දි යුද හමුදාවට බැඳුණා. ඒ පඩියෙන් ගෙයක් හදාගන්නවා කියලා. එයා 1993දි යුද්දෙන් මැරුණා. මෙතන මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ. අපි ඉන්න හැටි බලන්නකෝ. වහිනකොට මුළුගෙදරම හුළං සමඟ එන වැස්සට තෙමෙනවා. මේ කොරිඩෝ එකෙ උඩින් සිමෙන්ති කෑලි වැටෙනවා. අපි කලින් හිටියේ මේ වගේ තැනක නෙමෙයි. හොඳ තැනක් ලැබුණොත් අපි යන්න කැමතියි. මෙතන අපිට හැමදේටම ළඟයි. ඒ නිසා මෙතන දාලා යන්න අපි කැමති නැහැ. ඒත් නොගිහින් බැරිකමට යන්න කිව්වොත් යනවා."   

ලිලියන් මහත්මිය තම මියගිය පුතාව සිහිගැන්වන විට නෙත්කෙවෙනි අග කඳුළු කැට දිලිසෙනු දැකගත හැකි විය. දුක් සෝ සුසුම් මැද මේ බිම්කඩ ඔවුන්ට ඉතිරි කර ඇත්තේ සිහිපත් කොට සැනසීමට හැකි මතකයන් නොවේ. කලක් තිස්සේ එම පරිසරය තුළ ගත කළ තම ජීවන රටාව වෙනත් නුහුරු පරිසරයක ගෙවීමට ඔවුන් අකමැතිය. නමුදු ඔවුහු මේ ගෙවන ජරාජීර්ණ පරිසරයට වඩා අල්පමාත්‍රයක් හෝ ප්‍රසන්න පරිසරයක අකමැත්තෙන් හෝ ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දැමීමට බලාපොරොත්තු වෙති.   

මෙම මහල් නිවාස සංකීර්ණය ජාති ආගම් භේදයකින් තොරව සියල්ලන්ම එක සේ ජීවිත් වන වාසභූමියකි. වැඩිමනක් මුස්ලිම් ජාතිකයන් නියෝජනය කරන එහි කාන්තාවක් අපිට හමුවිය. ඇය නමින් කරීමා මුනව්වර්. මැදිවිය ගෙවමින් සිටින ඇය තමන් ගත කළ ජීවිතය ගැන අදහස් පළ කළේ මඳක් ආවේගශීලීවය. ඒ ආවේගයෙන් ඔවුන්ගේ පීඩාකාරි ජීවන රටාව ඉස්මතු වේ.   

"අපි හොඳ ලස්සන ගෙදරක ජීවත් වුණේ. ගෙදර කඩනවා කියලා ප්‍රේමදාස මහත්තයා කිව්වා මෙතනට එන්න කියලා. මේක තාවකාලිකව තමයි දෙනවා කිව්වේ. ප්‍රේමදාස මහත්තයාම කිව්වා 'මේවා කුකුල් කූඩු ඔයාලට හොඳ ගෙවල් දෙනවා. එතකන් මෙතන ඉන්න' කියලා. ඊටපස්සේ ආණ්ඩු පෙරළුණා. ඒත් තාමත් අපි මේ කුකුල් කූඩුවේ ඉන්නවා. මෙතනට ඇවිත් දැන් අවුරුදු 40ක් වුණා. තාමත් කවුරුත් අපිට ගෙවල් දුන්නෙ නැහැ. මේ ෆ්ලැට් එකේ කෑල්ි කඩාගෙන වැටුණා. අපි ඒක කිව්වාම ආණ්ඩුව සල්ලි නැහැ කිව්වා. වෙන තැනක් ඉල්ලුවාම ගෙවල් නැහැ කිව්වා. ඊට පස්සෙ මේ තැන්වල ඔප්පු දෙනවා කියලා ඔප්පු දුන්නා. මේක කොයි වෙලාවේ කඩන් වැටෙයිද දන්නෙ නැහැ. දැන් ආයිමත් ආණ්ඩුව අපිව රවට්ටන්න යනවා. "   
ඒ ආවේගශීලි වදන්වලින්ම ඔවුන්ගේ පීඩනය සහ මානසිකත්වය වැටහෙයි. ඔවුන් ගෙවා දමන්නේ අවිනිශ්චිත ජීවිතය. අවදානම් සහගත ජීවිතය. පොරොන්දුවලින් හෙම්බත් වූ ජීවිතය. ඔවුන්ගේ එකම අපේක්ෂාව ජීවත් වන්නට නිවසකි. විවිධ පාලන සමයන්හීදි, විවිධ පාලකයන්ගේ පොරොන්දුවලින් හෙම්බත් වුණු ඔවුහු දැන් පොරොන්දු මායිම් නොකරති. අවශ්‍ය වන්නේ ඉන්නට වාසභූමියකි. ඒ අපේක්ෂාවෙන් තවමත් ඔවුහු හඬ අවදි කරති.   

කොම්පඤ්ඤ වීදිය, වෑකන්ද මහල් නිවාස සංකීර්ණයේ ජීවත් වන පුද්ගලයින් අතර සිටි වයස්ගත පුද්ගලයෙක් අප සමඟ අදහස් දැක්වූවේය. වසර 45 කට අධික කාලයක් මේ නිවාස සංකීර්ණයේ තම ජීවිතය ගත කළ ඔහු නමින් පියසේන නානායක්කාර. මේ ජරා ජීර්ණ ජීවිතය ගත කරන සියල්ලන්ටම කියන්නට කතාවක් ඇත. පියසේන මහතාටද එසේ කියන්නට කතාවක් තිබුණි.   

"අපි ඉස්සර මරදානේ හිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ පක්ෂ කාර්යාලය හදන්න ඕනේ නිසා අපේ ගෙවල් කැඩුවා. අපිට තාවකාලිකව තමයි මේ ගෙදර දුන්නේ. ඒත් ඒ තාවකාලිකව දීපු එකේ තමයි අපිට මෙච්චර කල් ඉන්න වෙලා තියෙන්නෙ. අපි මෙතන සෑහෙන්න දුක්වින්දා. අපි වතුර නැතුව දුක්වින්දා. මේක කඩන් වැටෙනවා කියලා කියලා තියෙද්දිත් ඒ අවදානමත් එක්ක අපි තාමත් මේකෙ දුක්විඳිනවා. මේ එක ගෙදරක මිනිස්සු හත්දෙනෙක් හෝ අටදෙනෙක් ජීවත් වෙනවා. මේ ගෙවල් මිනිස්සුන්ට හැරෙන්නවත් බැහැ. ඉඩකඩ මදියි. දේශපාලකයෝ කවුරුත් මේ පැත්තට එන්නෙ නැහැ. නිවාස සංවර්ධන අධිකාරියෙන් සහාධිපත්‍ය සමිතියක් පිහිටෙව්වා, අපි හැමෝටම නිලතල දීලා මේ මිනිසුන්ගේ ප්‍රශ්න කතා කරන්න. ඒ සමිතිය මාර්ගෙන් අපි අපේ යම් යම් ප්‍රශ්න විසඳගත්තා. ඊටපස්සේ විමල් වීරවංශ නිවාස ඇමති වෙලා ඉන්න කාලේ ඇවිත් බැලුවා. අපිට වෙන තැනක් දෙනවා කිව්වා. ඒත් එයා ඒක කළේ නැහැ. "   

පියසේන නානායක්කාර මහතා කියූ දෙය සැබෑවකි. මේ නිවාස සංකීර්ණයේ එක් නිවසක් තිබෙන්නේ කොටස් දෙකක් සහ නානකාමරය පමණි. නිවසකින් සපුරා ගන්නා සියලුම අවශ්‍යතා ඔවුන්ට සපුරා ගැනීමට සිදුවී ඇත්තේ මේ කුඩා කොටස් දෙකෙන් පමණි. එය බැලූ බැල්මට දෙදෙනෙකුට ප්‍රමාණවත් වූවත්, එම නිවසක ජීවිත හත අටක් හුස්ම ගන්නවා යන්න හිතාගන්නටවත් නොහැකිය. සැබවින්ම ඔවුන් මූහුණදී ඇත්තේ ඛේදවාචකයකටය.   

පියසේනලා, කරිමාලා, ලිලියන්ලා ඇතුළු ජීවිත සිය ගාණක් මේ ගරා වැටුණු ගොඩනැඟිලි සංකීර්ණයේ තවමත් හුස්ම ගනිති. ජරා ජීර්ණ වුණු වටපිටාවක මරණ බියත් සමඟ කල් ගෙවති. ඔවුන් තම අඳෝනා මේ වන විට සියල්ලන්ටම කියා හමාරය. කරන්නට හැකි සියලුම දේ කර හමාරය. දැන් ඔවුන් දෙස බැලීමට සිටින්නේ සර්ව බලධාරී දෙවියන් පමණි. උන් වහන්සේ ද ඔවුන් දෙස බලන්නේ නැත. රජය ඔවුන් ආරක්ෂාකාරී ස්ථානයකට ගෙන ගිය ද කලක් හුරු පුරුදු වටපිටාව අත් හැරීමට ඔවුන්ට නුහුරු දෙයකි. ඔවුන්ගේ ජීවන රටාව සබැඳී ඇත්තේ මේ පරිසරය ආශ්‍රයෙන් ය. ඔවුන් බඩ වියත රැක් ගන්නට කියක් හෝ හරි හම්බ කරගන්නේ මේ වටපිටාවෙන් ය. නමුදු මෙහි අවදානම සහ මරණ භය අන් සියල්ලන්ටමත් වඩා වැඩිය. ඒ නිසා ආණ්ඩුව තමන්ට සාධාරණයක් කරනතුරු ඒ නෙත් අපේක්ෂාවෙන් බලා සිටියි. 

සටහන සහ ඡායා [නිර්මාණි බණ්ඩාරනායක]  

මාතෘකා