අපිට බණින අයට ලබන අවුරුද්දෙ තියෙන ජනාධිපතිවරණය අමතක වෙලා - මහින්ද රාජපක්ෂ | ඇස පාදන රැස


අපිට බණින අයට ලබන අවුරුද්දෙ තියෙන ජනාධිපතිවරණය අමතක වෙලා - මහින්ද රාජපක්ෂ

 ඡායාරූපය:

අපිට බණින අයට ලබන අවුරුද්දෙ තියෙන ජනාධිපතිවරණය අමතක වෙලා - මහින්ද රාජපක්ෂ

'අපි හිරගෙවල්වල, අවීචි මහා නරකාදියෙ දානකම් අස්වෙන්නෙ නෑ කියන අයට ලබන අවුරුද්දෙ ජනාධිපතිවරණය පවත්වනවයි කියන එක අමතක වෙලා. ඒ නිසා නහර පුප්පගෙන බණිනකොට ඒ ගැනත් හිතන්න. පරෙස්සමින් බණින්න ජනාධිපතිතුමනි. ඔබ දැන් ලොකු වගකීමක් දරනවා. ඒ නිසා තරහ ගන්නෙ නැතිව ඒ වගකීම හරියට ඉටු කරන්න' යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. හම්බන්තොට පැවැති ජන හමුවකට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.
'ගිය පාර ඡන්දෙදි අපිට දිනන්න තිබුණත් ඒක නැති කළා. ඒත් අපි කොහොමහරි 96ක් ගත්තා. ජනාධිපති පොළොන්නරුවෙ වුණාට පොළොන්නරුව හැදුවද? තවමත් තියෙන්නෙ මම හදපු ඉස්පිරිතාලෙයි කාර්මික විද්‍යාලෙයි විතරයි.   අපි හම්බන්තොට සැලැස්මක් ඇතිව සංවර්ධනය කරලා රැකියා දෙන්න හැදුවා. වරායක් හැදුවෙ නැව් ගේන්න, බඩු බාන්න නෙවෙයි. ඒ වටා කර්මාන්ත පුරයක් ඇති කරන්න. අද මේ ඔක්කොම පිටරටට විකුණලා.  
ගොවි පුතෙක් රජ වෙනකොට මිනිස්සු බලාපොරොත්තු වුණේ ගොවිතැන දියුණු වෙයි කියලා. නමුත් අවාසනාවකට ඒක එහෙම වුණේ නෑ. මේ රජය මම ගත්තා වගේ දෙගුණයක් ණය අරන් තියෙනවා.  
මේ හැම දෙයක්ම අතරේ ජනාධිපතිවරයා අගමැතිවරයත් එක්ක තර‍ගෙට බොරු කියනවා. ඒ අතරෙ මැතිනිගෙ සිවිල් අයිතිවාසිකම් නැති කළා වගේ මගේ සිවිල් අයිතිවාසිකම් නැතිකරන්න හදනවා. අයි.ටී.එන් එකයි මමයි කිසිම ගිවිසුමක් අත්සන් කරලා නෑ. මේ ගිවිසුම් හැම එකක්ම අත්සන් කළේ පක්ෂෙ.    මේ හැම දෙයක්ම අස්සෙ එජාපයයි ශ්‍රීලනිපයයි ජවිපෙයි එකතුවෙලා අද රට බෙදන්න හදනවා. ඒ අතරේ සුමන්දිරන් දෙමළ ජනතාවට කියනවා, සිංහල ජනතාව නිහඬ කරන්න තමයි ඒකීය කියන වචනෙ දුන්නෙ කියලා. මේ රට ඒකීය රටක් බවට පත් ක‍ළේ අපි.
ජනාධිපතිතුමා දැන් කියනවා යු‍ද්දෙ ඉවර කරන කොට දසමහා යෝධයෝ වගේ හිටියලු. හැබැයි දස මහා යෝධයො ආප්ප කාලා එළාරගෙ පැත්තට පැ‍න්නෙ නැහැ.   
අපි රට සංවර්ධනය කළේ යම්කිසි ආර්ථික සැලැස්මක් අනුව. දැන් උස නම් සිකුරිටි, කොට නම් කම්කරු. 15,000කට දෙනවා කිව්ව රැකියා තමයි මේ.   අපේ කාලේ ජනමාධ්‍යවේදීන්ට මාධ්‍ය නිදහස දුන්නා. අගමැතිවරයා පාර්ලිමේන්තුවෙදි මාධ්‍යවේදීන් නම් කරලා බනිනවා, තව කට්ටියක් දුරකථනයෙන් රූපවාහිනී නාලිකාවලට කථා කරලා ලයිසන් කැන්සල් කරනවා කියනවා. මේවා පිළිබඳව අපි නොදන්නවා නෙමෙයි.'

 

[රාහුල්  සමන්ත හෙට්ටිආරච්චි]

මාතෘකා