මේ රජය හොරු ඇල්ලුවද ? හොරු රැක්කද ? - ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

 ඡායාරූපය:

මේ රජය හොරු ඇල්ලුවද ? හොරු රැක්කද ? - ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

'ධනපතිවාදී සියලුම දේශපාලන පක්ෂවල ඉහළ නායකයන් දේශපාලනය කරන්නෙ එකට. ගමේ ජනතාව එක් එක් දේශපාලන පක්ෂවලට බෙදිලා ඉන්න නිසා මැතිවරණ කාලයේදී සිල් රෙදි සහ අරක්කු වලින් ගමේ ජනතාව මුළා කරනවා. මේ හැමදේම කරන්නේ ලොකු ලොකු දේශපාලනඥයෝ එකට එකතු වෙලා ගහන ඩීල් වලින්' ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අනුරාධපුර, පලාගල පැවැති රැස්වීමකදී මෙසේ පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෙසේද සඳහන් කළේය.
'අපේ ගමේ සියලු දෙනාම දන්නවා මම කවුද සහ මම දේශපාලනය තෝරාගත් විදිය ගැන. මේ දේශපාලනය නිසා අපි හුඟක් බැට කෑවා. ඒ නිසා අපිට අවශ්‍යයි රට වෙනස් කරන්න. ඒ වෙනස නිසා තමයි අපි දේශපාලනය කරන්නේ. අපේ දරුවන්ගේ හොඳ අනාගතයක් වෙනුවෙන් මේ විනාශකාරී රට වංචාකාර පාලකයන්ගෙන් බේරගන්න ඕන. හොඳ ආදායමක්, සෞඛ්‍ය සේවයක්, අධ්‍යාපනයක්, මානසික සුවයක්, විනෝදයක් මේ රටේ ජනතාවට තියෙන්න ඕන.   
දැන් හොඳ ඡන්ද ක්‍රමයක් තියෙනවා. මේ ඡන්ද ක්‍රමය හදන්න විශාල කාර්යභාරයක් ඉටු කළේ ජනතා විමුක්ති පෙරමුණ. මේ ක්‍රමය හදනකොට නිමල්ලා, දුමින්දලා බුදි. ඉස්සර වගේ මාගල් ඡන්ද පත්‍රිකා දැන් නැහැ. තරග වදින පක්ෂ සහ සලකුණු ටිකක් තියෙනවා. ඒක ඉස්සරහ කතිරේ ගහන්න විතරයි තියෙන්නේ. හැබැයි ඒ කතිරේ හරියට ගහන්න ඕන.  
හැබැයි ජනතාව හිතන්න ඕන කාටද කතිරය ගහන්නේ කියලා. ඒ කතිරය අපේ දරුවන්ගේ හෙට දවස තීරණය කරනවා. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති පුටුවේ වාඩි කරලා දැන් අවුරුදු තුනක් වෙනවා. මේ අවුරුදු තුන පිළිබඳව ඔබට සතුටුද. හොරු අල්ලන්න ආව මේ රජය හොරු ඇල්ලුවද? හොරු රැක්කද? මේ රජය කළේ අලුත් හොරු ඇති කළ එක විතරයි. මේ රජය හොරුන්ව ආරක්ෂා කරන්න ජනතාවට බොරු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න මැති-ඇමතිවරුන්ගේ නම් ගම් එක්ක මුදල් හොරා කාපු හැටි අපිට හෙළි කරන්න පුළුවන්.   
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පුළුවන් තරම් රට විනාශ කරලා, බොරු කියලා දැන් ආයේ ඡන්දෙට එනවා. කෝ දැන් ඉස්සර කිව්ව විදුලි පුටු. බොරු කියන අයට ඡන්දය දෙන්නෙ නැතිව ජනතාවට ඇත්ත කියන, ජනතාව වෙනුවෙන් පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණට ගම භාර දීලා බලන්න.'

 

 

දඹුල්ල [කාංචන කුමාර ආරියදාස]

මාතෘකා