හිටපු ජනාධිපතිනිය සහාය දක්වන්නේත් එක්සත් ජාතික පක්ෂයට - ඇමති අකිල විරාජ්

 ඡායාරූපය:

හිටපු ජනාධිපතිනිය සහාය දක්වන්නේත් එක්සත් ජාතික පක්ෂයට - ඇමති අකිල විරාජ්

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හදවතින් සහාය දක්වන්නේ එක්සත් ජාතික පක්ෂයට බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. පසුගියදා කිරින්දව ප්‍රදේශයේ පැවති ජනරැළියක් අමතමින් අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.   
'අවුරුදු 20ක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට රට පාලනය කරන්න දුන්නා. අපි අවුරුදු පහක් දහයක් රට පාලනය කළහම තියෙන අවුල මොකද්ද? ඩී.එස්. සේනානායකලා, බණ්ඩාරනායකලා නිසා තමයි එක්සත් ජාතික පක්ෂය හැදුණෙ. ඒකෙන් කැඩිල ගියපු බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළ බණ්ඩාරනායක මහත්තයාගෙයි සිරිමාවෝ මැතිනියගෙයි දුව, චන්ද්‍රිකා බණ්ඩාරනායක ගිය පාර මැතිවරණයේදී උදව් කළේ එක්සත් ජාතික පක්ෂයට. මම දන්න විදිහට එතුමිය හදවතින් අපිට තාමත් උදව් කරනවා.   
දැන් ඔය බිහිවුණු පොහොට්ටුවෙ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති නෙමෙයි. ඒකෙ තියෙන්නෙ පවුල්වාදෙයි, අවස්ථාවාදෙයි විතරයි. දෙපාරක් පැරදිලත් තාම කියනවා අපිට දෙන්න කියලා. මේ ඉල්ලන්නේ මහින්දගේ පුතා රජ කරවන්න විතරයි. මේවා දැන දැනත් තවමත් පොහොට්ටුව වටේ යනවද? එක පැත්තකින් ජාතිවාදෙ අවුස්සනවා. මහින්ද ජාතිවාදෙ අවුස්සද්දි ඒ නායකයොත් හිටියේ මහින්ද ගාව.   
මම කියනවා අපි වැඩ කරන්නේ ජනතාවගේ මතයට මිසක් බංකොලොත් දේශපාලකයන්ගේ මතයට අනුව නෙමෙයි කියලා. අපිට අවශ්‍යයි මේ රටේ වැදගත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න.   
දැන් බැඳුම්කර සිදුවීම ගත්තොත් ඒකට පත්කළ කොමිෂන් සභාවලින් කිව්වෙ එජාපයේ ඇමතිවරු වැරදියි කියලා. ඒත් දැන් අගමැතිතුමාගේ වාර්තාවේ තියෙනවා කිසිම ඇමතිවරයෙක් වැරදි කරලා නැහැ කියලා. ඒ වගේම ඒ චෝදනා තියෙන අයට පක්ෂයත් දඬුවම් දුන්නා. මීට වඩා විනිවිදභාවයක් කොහෙන්ද. ඒත් හෙජින් වලට ඩීල් දාපු රාජපක්ෂවරු තාමත් නිදැල්ලේ. ඒවට මුකුත් කරන්න කවුරුත් නෑ. ඒ ගැන හොයන්න හිටපු ඇමතිවරුත් රාජපක්ෂලත් එක්ක ඩීල් දාපු නිසා අයින් කළා. දැන් තලතා ඇමතිතුමිය ඒ ගැන විධිමත් පරීක්ෂණයක් කරනවා. ඒ වගේම ජනතාවගේ දේවල් හොරකම් කරපු, මාධ්‍යවේදීන් ඝාතනය කරපු හැමෝටම නීතිය ක්‍රියාත්මක කරලා මේ අයට අවශ්‍ය දඬුවම් දෙන්න අපි කටයුතු කරනවා.' 

මාතෘකා