දියුණු රටවල් මෙන් ඉදිරියට යන්න ලංකාවට ස්මාර්ට් අධ්‍යාපනයක් ගේනවා

 ඡායාරූපය:

දියුණු රටවල් මෙන් ඉදිරියට යන්න ලංකාවට ස්මාර්ට් අධ්‍යාපනයක් ගේනවා

අද ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නේ දැනුම හා තාක්ෂණය තිබෙන රටවල් බව කිව යුතුයි. ඒ රටවල කුඩා දරුවන්, ශිෂ්‍යයන්, වැඩිහිටියන් ආදී සෑම කෙනාම තාක්ෂණයට අනුව වැඩකටයුතු කරමින් ඉදිරියට යනවා. එසේ නම් අපට තාක්ෂණ දැනුම පදනම් කරගත් සමාජයක් තිබිය යුතුයි. ශ්‍රී ලංකාවද ස්මාර්ට් අධ්‍යාපන ක්‍රමයට යොමු කළ යුතුයි.” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (03) මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැඟිල්ල පිළිසකර කර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

“ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැඟිල්ල අලුත්වැඩියා කර විවෘත කිරීමට මට ආරාධනා කිරීම පිළිබඳව විදුහල්පතිතුමිය ඇතුළු සියලු දෙනාට මාගේ ස්තුතිය පිරිනැමීමට කැමතියි. මේ ගොඩනැඟිල්ල ඓතිහාසික ගොඩනැඟිල්ලක් බව කිව යුතුයි. ඊට හේතුව වන්නේ විද්‍යාලයේ ඉතිහාසය තරම් මේ ගොඩනැඟිල්ල පැරණියි. ශාන්ත පාවුළු විද්‍යාලය අසල තිබූ දේවස්ථානය සමඟ එදා මේ පාසල ඉදි වුණා. ශාන්ත පාවුළු විද්‍යාලය ආරම්භ කරන අවධිය වනවිට බම්බලපිටිය, කොල්ලුපිටිය ප්‍රමුඛ මේ ප්‍රදේශයේ බහුලව නිවාස තිබුණේ නැහැ. හැම තැනම පොල් වතු දකින්න තිබුණා. මගේ මවගේ පවුලේ අයටත් මේ ප්‍රදේශයේ පොල් වතු තිබුණා. පාසල් යන අවධියේ සිට මේ විද්‍යාලය ගැන මම දැන සිටියා. එදා තුන්මුල්ල මංසන්ධියෙන් බම්බලපිටිය දෙසට වැඩිපුර තිබුණේ කාන්තා පාසල් බව කිව යුතුයි. විශාඛා විද්‍යාලය, ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය, හෝලි ෆැමිලි විද්‍යාලය මේ අතර ප්‍රධාන තැනක් ගත් විද්‍යාල ලෙස එදා සැලකුවා. වර්තමානය වනවිට මේ තත්ත්වය වෙනස් වී තවත් විද්‍යාල ගණනාවක් අලුතින් ඇති වී තිබෙනවා. රටේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස එදා මේ විද්‍යාලයට ප්‍රථමයෙන් මා පැමිණි අවස්ථාවේ එවකට විදුහල්පතිනිය ලෙස කටයුතු කළ භාග්‍යා ගුණසේකර මැතිනිය මාව පිළිගත් අයුරු මට සිහිපත් වෙනවා. මෙම විද්‍යාල ඉතිහාසයේ ගුණසේකර මැතිනියට විශේෂ තැනක් තිබෙනවා.

“මම අධ්‍යාපන ඇමති ධුරයට පත්වන කාලයේදී අමාත්‍යාංශයේ අයත් එතුමියට බය වෙලයි සිටියේ. එතුමිය සිදුකළ සේවය අපට අමතක කරන්න බැහැ. එදා විද්‍යාලය සම්බන්ධව මතුවන ප්‍රශ්නවලදී එතුමිය දුරකථනය මඟින් සෘජුවම මට කතා කරනවා. ඒ සම්ප්‍රදාය අනුව වත්මන් විදුහල්පතිනිය වන සුමේධා ජයවීර මැතිනියද කටයුතු කිරීම ගැන එතුමියට ප්‍රශංසා කරනවා. ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය මෙන්ම ලංකාවේ තිබෙන සෑම විද්‍යාලයක්ම විශාල ප්‍රතිසංස්කරණයකට ලක්කළ යුතුව තිබෙනවා. විසිවැනි ශත වර්ෂයේ අපි අධ්‍යාපනය ලැබූ ක්‍රමයට වඩා දියුණු තත්ත්වයක් අද තිබෙනවා. ගල් ලෑල්ල, කළු ලෑල්ල භාවිත කරමින් අධ්‍යාපනය ලැබූ යුග පසුකර වයිට් බෝඩ් එක දක්වා පැමිණියා. මා අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කළ සමයේ පාසල් දරුවන් සියලු දෙනාට පෙල පොත් ලබාදීමට ක්‍රියා කළා. එදා දුරකථන තිබුණේ නැහැ. අපි ගනුදෙනු කළේ ලිපි මඟින් බව කිව යුතුයි. හදිසි අවස්ථාවක විදුලි පණිවුඩයක් යැව්වා. වෙනත් සන්නිවේදන මාර්ගයක් තිබුණේ නැහැ. අද වනවිට ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී තිබෙනවා. කර්මාන්ත විප්ලවයටත් පසු අද නව තාක්ෂණය පැමිණ තිබෙනවා. ඒ තාක්ෂණය අපේ අධ්‍යාපනයට අද ලැබී තිබෙනවා. එදා මුද්‍රණ යන්ත්‍රය හඳුන්වා දීමෙන් පසු අධ්‍යාපනය ශීඝ්‍රයෙන් පැතිරුණා සේ නව තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ඉදිරියට යන බව කිව යුතුයි.

“වර්තමානය වනවිට පරිගණකය මෙන්ම අයිපෑඩ්, ටැබ් ආදිය තිබෙනවා. ගූගල්, යූටියුබ්, ට්විටර් ඊමේල් ආදී විවිධ වූ අංග තිබෙනවා. මේ එකක්වත් එදා තිබුණේ නැහැ. අද සම්පූර්ණයෙන්ම ලොව වෙනස් වී තිබෙනවා. පුද්ගලයකුට ගමනක් යෑමට උවමනා කරන ත්‍රිරෝද රථය, ටැක්සිය අද තාක්ෂණය භාවිත කර පහසුවෙන් ගෙන්වා ගත හැකියි. මේ අනුව අපි අලුත් යුගයකට පා තබා තිබෙනවා. එමඟින් අධ්‍යාපනය ලබාගත හැකියි. ලෝකය ස්මාර්ට් යුගයකට පැමිණ තිබෙනවා. මේ ස්මාර්ට් යුගය තව අවුරුදු දහයකින් පහළොවකින් වෙනස් වී වෙනත් යුගයක් ඇතිවේවි. එදා පළමු පරිගණකය මේ පාසලට මා ලබාදුන්නා. නමුත් අද පරිගණක, නැනෝ තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, විවිධ වෛද්‍ය තාක්ෂණ, ජෙනටික්ස් ආදී සෑම එකක්ම තිබෙනවා. මේ හැම එකකින්ම අපට උවමනා දැනුම ලබාගත යුතුයි. ඒ දැනුම මූලික වශයෙන් ලැබෙන්නේ පාසලින් බව සිහිපත් කළ යුතුයි. ඒ අනුව පළමු ස්මාර්ට් පන්ති කාමරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයේ ආරම්භ කළා. ඒ අනුව මේ වනවිට එය පාසල් ගණනාවක ආරම්භ කර තිබෙනවා. මෙරට පළමු ස්මාර්ට් විද්‍යාලය පසුගියදා අපි කුරුණෑගල ආරම්භ කළා. ගුරුවරුන්ට මේ පුහුණුව වැඩිපුර ලබාදිය යුතුයි. පාසල්වල මෙය ඉදිරියේදී ආරම්භ කිරීමට අපි පියවර ගන්නවා. දැනුවත්කමින් පිරිපුන් ශ්‍රම පිරිසක් මේ රටට අවශ්‍ය වී තිබෙනවා. පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් සියයට පනහක් සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු පාසල්වලින් පිටව යනවා. මේ නිසා වසර දහතුනක් දරුවන්ගේ අධ්‍යාපනය අනිවාර්ය කිරීමෙන් අවශ්‍ය අයට උසස් ද්විතීයික අංශයේ විෂය ධාරාවට ඇතුළුවීමටත් අපි අවස්ථාව සලසා දී තිබෙනවා. මේ පාසලේදී තාක්ෂණය පිළිබඳව සංගම් කිහිපයක් තිබෙන බව මා දුටුවා. එය ඉතාම හොඳ තත්ත්වයක් බව කිව යුතුයි. මෙලෙස එම තාක්ෂණ දැනුම ලබාගෙන විද්‍යාලයෙන් පිටවූ පසු රැකියාවට හෝ වෙනත් තැනක දැනුම යොදවා එය තවත් වර්ධනය කරගත හැකියි.

“වෘත්තීය පුහුණුව ලබාගැනීමට අද අවස්ථාව උදා වී තිබෙනවා. අද නව තාක්ෂණය සමඟ තිබෙන වෘත්තීය පුහුණු පාඨමාලාවල අඩුවක් තිබෙනවා. ඒ නිසා ඉදිරි අවුරුදු පහ තුළ එම තත්ත්වය වැඩි කිරීමට අපි පියවර ගන්නවා. දැනුම ඇති ශ්‍රම පිරිසක් ඇති කිරීමට නම් රටේ සියයට තිස් අටක් වන කාන්තා ශ්‍රම දායකත්වය සියයට හැට පහ දක්වා වැඩි කළ යුතුයි. දිවා සුරැකුම් මධ්‍යස්ථාන, ප්‍රවාහනය වැනි අංශද දියුණු කරමින් ඒ අංශවලට කාන්තා ශ්‍රම දායකත්වය වැඩි කළ යුතුයි. අද අප උත්සාහ කරන්නේ රටට අලුත් අධ්‍යාපන ක්‍රමයක් ලබා දීමටයි. අපි හැම විටම දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කළා. ඒ නිසා අපි නැවත දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවේ ඇති කිරීමට පියවර ගන්නවා. පාසල් අධ්‍යාපනය දෙස බලන විට අපේ රට ඉහළින් සිටිනවා. නමුත් දැන් ලබන අධ්‍යාපනය යල් පැනපු අධ්‍යාපනයක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා මෙය වෙනස් කිරීම සඳහා අපි විශාල වැඩපිළිවෙළක් මේ වනවිටත් ආරම්භ කර තිබෙන බව කිව යුතුයි.

“අධ්‍යාපන විද්‍යා පීඨවල පුහුණුව ලැබූ ගුරුවරු 10,000ක් මේ වසරේ ඇතුළත් කරනවා. එමෙන්ම තවත් අධ්‍යාපන විද්‍යා පීඨ ආරම්භ කිරීමට අප පියවර ගෙන තිබෙනවා. පාසල් ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ටද අලුත් දැනුම ලබාදිය යුතුයි. අපේ පාසල්වල විදුහල්පතිවරු විදේශ රටවලට යවා එම රටවල අධ්‍යාපනයේ සිදුවුණු වෙනස්කම් ගැන අවබෝධයක් ඒ අයට ලබාදිය යුතුයි. අධ්‍යාපනය දියුණු කිරීම සඳහා වත්මන් අධ්‍යාපන ඇමතිතුමා විශාල වගකීමක් බාරගෙන අද ක්‍රියා කරමින් සිටිනවා. රටේ කොපමණ ප්‍රශ්න තිබුණත් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වෙන්කර අධ්‍යාපනයේ සිදුවිය යුතු පරිවර්තනය අපි මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙහි පූර්ණ දියුණුවක් ඇති කළ යුතුයි. එදා මේ පාසලට මා පැමිණෙන විට මට මුණගැසුණේ මේ ශිෂ්‍යාවන්ගේ මවුවරුන්වයි. ඒ මවුවරු එදා ලැබූ අධ්‍යාපනය අද දරුවන්ට ලබාදිය යුතු නැහැ. මවුවරුන්ට එදා ජංගම දුරකථන තිබුණේ නැහැ. මවට එදා අයිපෑඩ් එකක් තිබුණේ නැහැ. යූටියුබ්, ට්විටර් ආදිය එදා මවට තිබුණේ නෑ. ඒ සියල්ලම ඔබට තිබෙනවා නම් අධ්‍යාපනය වෙනස් කර ඉදිරියට යා යුතුයි. ඒ වැඩකටයුත්ත අපි ඉදිරියටම ගෙන යනවා.”

මාතෘකා

ජනප්‍රිය ලිපි