මත් උවදුර මර්දනයට ජනතාව ඉදිරියට ඒම සුබදායකයි

 ඡායාරූපය:

මත් උවදුර මර්දනයට ජනතාව ඉදිරියට ඒම සුබදායකයි

මහජනතාව ඉදිරියට පැමිණ මත් උවදුර මර්දනය කිරීමේ සටන බාරගෙන සිටීමෙන් එම ජාතික වැඩපිළිවෙළ සාර්ථක වීමේ පෙරමඟ සුබ නිමිති පහළ වී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

යම් කිසි ජාතික ව්‍යාපාරයක් සාර්ථක වීමට ජනතා විශ්වාසය ලබාගැනීම අත්‍යවශ්‍ය බවත් අද මෙරට ජනතාවට මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන පිළිබඳ විශ්වාසයක් ඇතිවී තිබීම එහි සාර්ථකත්වයට දැඩිව ඉවහල් වෙතැයි තමා විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේ පෙරේදා (03) කොළඹ පදනම් ආයතනයේ පැවති ජනපති ප්‍රශංසා සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

"මත්ද්‍රව්‍ය පිළිබඳව ඉතිහාසය මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම එන දෙයක්. එක් එක් යුග එක් එක් කාල පරිච්ඡේද තුළ මෙහි අඩු වැඩිවීම් සිදු වනවා. මීට අවුරුදු 2600කට පෙර බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන අවස්ථාව වන විටත් මහා භාරතය ඇතුළු ආසියාතික රටවල පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වී තිබූ නිසා තමයි පන්සිල් පදවලටත් මේ මත්ද්‍රව්‍ය පිළිබඳව ඇතුළත් වී තිබෙන්නේ. 1505 සිට 1948 දක්වා මේ රට ආක්‍රමණය කළ විදේශීය ආක්‍රමණිකයන්ගේ බලපෑම නිසා අපේ රටේ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම ආරම්භ වුණු බව ඔබ දන්නවා. ලෝකයේ වෙළෙඳ කටයුතු ව්‍යාප්ත වූ රටවල ඉතාමත් ප්‍රබල ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර කටයුතු ශක්තිමත් කර ගන්න, ව්‍යාප්ත කර ගන්න නොදියුණු රටවල් ආක්‍රමණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපේ රටත් මත්ද්‍රව්‍යවලට බිලි වුණේ.

මත්ද්‍රව්‍ය මර්දනයේදී සහ පාලනයේදී බරපතළ අභියෝගයක් වෙලා තිබෙන්නේ මේ ආසන්නයේම තිබෙන රටවල් කිහිපය බවත් ඔබ දන්නවා. මුහුද කිට්ටුවට ඇවිල්ලා අපේ රටට අයත් වෙරළ ආසන්නයේ නැව්වලින් බෝට්ටුවලින් ඔරුවලින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම් සිදුකරන බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. අනෙක් පැත්තෙන් ගත් විට අපේ රටේ යහපත් බව සදාචාරාත්මක බව අපට තිබෙන විශිෂ්ට වූ මහා සංස්කෘතිය විනාශ කරන්න එක්තරා අන්දමක කුමන්ත්‍රණකාරී තත්ත්වයකින් අප රට තුළට ඇවිල්ලා අපේ පාසල් දරුවන් ඇතුළු තරුණ පිරිස මේ සඳහා යොමු කරනවද කියන කාරණාව සොයා බැලිය යුතු කාරණයක්.

මම ජනාධිපතිවරයා වීමට කලින් වසර විසි ගණනක් මත්ද්‍රව්‍ය පිළිබඳව මගේ තිබුණු ප්‍රතිපත්තිය සහ සටනේදිී ප්‍රධාන අවධානය යොමු කර කටයුතු කළේ දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳව. නමුත් අපි ඒ ගෙනගිය සටනේ යම් යම් ප්‍රතිඵල ලබාගෙන එන විට ඊට වඩා ප්‍රබල විදියට සමාජය, ජාතිය විනාශ කිරීමේ මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය රට ඇතුළට එන්න පටන් ගත්තා. අපි රජයක් විදියට සතුටු වෙනවා පසුගිය රජය යටතේ අපිට කරන්න බැරි වුණු දේවල් කරන්න ලැබීම ගැන. එදා සෞඛ්‍ය ඇමතිවරයා විදියටත් වර්තමාන රජය යටතේ මම ජනාධිපති වෙලාත් පාර්ලිමේන්තුවේ නව නීතිරීති සම්මත කරලා මත්ද්‍රව්‍ය මර්දනය සහ පාලනය නිවාරණය පිළිබඳව අලුත් තත්ත්වයක් සහ අලුත් වැඩපිළිවෙළක් එක්ක ඉදිරියට යන්න පුළුවන්කම ලැබීම ගැන සතුටුයි. එහෙත් ඒ දුම්කොළ සහ මද්‍යසාර කියන ප්‍රශ්නය යටපත් වෙලා ඊට වඩා ප්‍රබල විදියට මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය කියලා අපි හඳුන්වන එක උඩට ඇවිත් තිබෙනවා. ඒ නිසා අපිට අද අවධානය යොමු කරන්න වෙලා තිබෙන්නේ වඩාත්ම ප්‍රබල හානිය සිදුවන්නේ කොතනින්ද යන්න ගැනයි. එතැනට තමයි අපි අද මේ අත තියලා තියෙන්නේ. දුම්කොළ සහ මද්‍යසාර මේ සටනින් ඉවත් කරලා නැහැ. නමුත් බරපතළ ජාතික ව්‍යසනයක් නීති විරෝධී මත්ද්‍රව්‍ය නිසා සිදු වනවා.

අනෙක් පැත්තෙන් ගත්තහම සාමාන්‍යයෙන් ලෝකයේ මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය මර්දනයට බොහෝ දේශපාලනඥයන් අත තියන්නේ නැහැ. ඒකට හේතුව ආණ්ඩු කරන මිනින්සු අත තිබ්බොත් ආණ්ඩු පෙරළනවා. බලයේ ඉන්න දේශපාලනඥයා අත තිබ්බොත් බලයෙන් ඔහු පහ කරන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ කටයුතු කරනවා.

මෑත දශකයක දෙකක වගේ කාලය ගත්තොත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ලෝකයේ ආණ්ඩු පෙරළලා තිබෙනවා. ඒ නිසා ලෝකයේ බොහෝ ආණ්ඩු සහ බොහෝ නායකයන් මේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය අත්හැරලා තිබෙනවා. මොකද තමන්ට පෞද්ගලිකව හානිදායකයි. තමන් බලයේ සිටින ආණ්ඩුවට හානිදායකයි. ඒ නිසා බොහෝ අය අත තියන්නේ නැහැ. ඒක අපි වගේ නිදහස් රටවලට ප්‍රබල ප්‍රශ්නයක් වී තිබෙනවා. යුරෝපීය රටවල් කියන්නේ අපි මේ නීතිරීති ශක්තිමත් කරනවා වැඩියි. මේ නීතිරීති බරපතළයි කියලයි.

මෙතන සිටින මේ සම්මානලාභී සෑම ආයතනයකම විශේෂයෙන්ම රජය සහ ජනතාව විදියට මම ඔබට මගේ විශේෂ ගෞරවයක් සහ ස්තූතියක් පිරිනමනවා ඔබ වගේම එස්ටීඑෆ්, පොලිස් මත්ද්‍රව්‍ය මර්දනයේ යෙදෙන නිලධාරීන් මේ සියලු දෙනා මේ දක්ෂකම් පෙන්වනවා. තොග පිටින් මේවා අල්ලන්නේ කිසිම අධි තාක්ෂණික උපකරණයක් නැතිව. ඒ නිසා ඉදිරි මාස කිහිපය තුළ බලාපොරොත්තු වෙනවා හැකි පමණ ඉක්මනින් අධිතාක්ෂණික උපකරණ ගෙන්වලා නිලධාරී මහත්වරුන්ට ලබා දෙන්න. මම වඩාත් සතුටු වෙන්නේ මේ වැඩපිළිවෙළට ගෙන ගිය ප්‍රචාරාත්මක වැඩපිළිවෙළ තුළත් මේ නිලධාරීන් මහත්වරුන් කරන කැපකිරීම් එක්ක මෑත භාගයේ විශාල ප්‍රමාණයේ නීතිවිරෝධී මත් කුඩු තොග ගණනින් අත්අඩංගුවට ගැනීමත් තුළ රටේ ජනතාවගේ මේ ගැන ලොකු ප්‍රබෝධයක් ඇතිවී තිබීම ගැනයි. දින කිහිපයකට පෙර අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කළ මට්ටක්කුලිය ක්‍රීඩාංගණයේ පැවැති රැස්වීමට තුන්දාහක් විතර ජනතාව ඇවිත් හිටියා. ඒ වගේම පෙරේදා මත්කුඩු පුච්චන තැනට ගියාම එතන පොලිසිය සමඟ ගම්වල කටයුතු කරන මහජන නියෝජිතයන් සාමාන්‍ය ජනතාව ප්‍රජා පොලිස් සේවාවන්වල අය ගෙනැල්ලා සිටියා. ඒ අය සියලුදෙනාම කිව්වේ අපි දැන් මේ වැඩේට සහයෝගය දෙනවා කියායි.

මම පෙරේදා මට්ටක්කුලියේ මගේ කතාවේදී අපි නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණන අය අත්අඩංගුවට ගන්නවා, බෙදා හරින අය අත්අඩංගුවට ගන්නවා කිව්වහම එක අත්පුඩියක්වත් නැහැ. නමුත් බොන අය අත්අඩංගුවට ගන්නවා කිව්වහම ඔක්කොම එක සැරේ කෑගහලා අත්පුඩි ගැහුවා. ඇයි ඒ? සාමාන්‍ය මිනිහට වැඩියෙන්ම දැනෙන්නේ බොන මිනිහගේ ප්‍රශ්නය. ඒක තමයි ගෙදර තිබෙන ලොකුම කරදරය. ගමක නම් ඒ ගමට තිබෙන ලොකුම ප්‍රශ්නේ එය පාවිච්චි කරන පුද්ගලයාගේ හැසිරීම. එතකොට විකුණන පුද්ගලයා සහ බෙදාහරින පුද්ගලයා රහසිගතයි. නමුත් ප්‍රශ්නය එළියට එන්නේ පාවිච්චි කරන කෙනාගෙන්.

ඔබ දන්නවා මත්කුඩු පාවිච්චි කරන අයට තිබෙන්නේ බොහෝම වෙනස් විදියේ භයානක හැසිරීමක්. මේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන තමයි අපි මේ පුළුල් ජාතික ව්‍යාපාරය සකස් කළේ ප්‍රධාන වශයෙන් ළඟ තිබෙන අසල්වැසි රටවල් කීපයක ඇති වෙලා තිබෙන තත්ත්වයන් දැකලා ඒ ඇති වුණු තත්ත්වය ඇති වෙන්න කලින් අපි අපේ වැඩපිළිවෙළ කඩිනම් කිරීම අවශ්‍යයි කියන අදහස තුළ. ඒ නිසා අද ජනතාවගේ සහයෝගය මේ සඳහා ලැබිලා තිබෙනවා. අපි මේ වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත් කරනවා. ජීවිත පරිත්‍යාගයෙන් ජීවිත අවදානමෙන් ඔබ සෑම කෙනෙක්ම කරන කැප කිරීමට රජයේත් ඒවගේම ජනතාවගේත් ගෞරවය සහ ප්‍රණාමය පිරිනමනවා. මත්ද්‍රව්‍ය වැටලීම් කරන ක්‍රියාන්විතවල සිටින්නන්ගේ ජීවිත ආරක්ෂාව සහ ඒ අයගේ පවුල්වල දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව අලුත් වැඩපිළිවෙළක අවශ්‍යතාව මම දකිනවා. මේ වැඩපිළිවෙළ පුළුල්ව ඉස්සරහට යන කොට අපි සෑම කෙනෙකුගෙම ජීවිතවලට බරපතළ අභියෝගයක් එනවා. ජනතාවගේ සහයෝගය තිබෙන නිසා මේ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනියන්න පුළුවන්. අපි සියලු දෙනා එකට සිටියොත් ඒ සාර්ථකත්වය පාවිච්චි කරමින් මේ ජාතික ව්‍යසනය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දාන්න පැහැදිලිවම පුළුවන්කම තිබෙනවා.

අපි මේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන අපේ රට මතින් නිදහස් කරලා වඩාත් පිරිසුදු විනයගරුක හික්මීමක් ඇති යහපත් රටක් විදියට ගොඩනඟන්න අප සියලුදෙනාම කැපවෙමුයි කියන ඒ ගෞරවනීය ඉල්ලීම ඔබ සියලු දෙනාගෙන්ම කරනවා. අද සම්මාන ලබන ඔබ සෑම කෙනකුගේම සේවය අගය කරමින් නැවත නැවතත් රජයේත් ජනතාවගේත් ගෞරවය සහ ප්‍රණාමය පුද කරනවා. හෙට මත්ද්‍රව්‍යවලට ඉලක්ක වෙන්නේ ඔබේ හෝ මගේ දරුවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඉලක්ක වීම කොතනද කාගේද කියන ප්‍රශ්නය ගැටලුවක් කර නොගෙන සෑම දරුවෙක්ම අපේ දරුවෝ, අපේ ජනතාව විදිහට ඒ සියලු දෙනා අපි ආරක්ෂා කරගත යුතුයි.

මාතෘකා

ජනප්‍රිය ලිපි