ජනතා අපේක්ෂා ඉටුකිරීමට මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ඕනෑ

 ඡායාරූපය:

ජනතා අපේක්ෂා ඉටුකිරීමට මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ඕනෑ

අමාත්‍ය ප්‍රසන්න රණතුංග

ජනතාව රට තුළ අපේක්ෂා කරන වෙනස සිදු කිරීම සඳහා ඊළඟ මහ මැතිවරණයෙන් පොහොට්ටුව තුනෙන් දෙකක බලයක් ලබා ගත යුතු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඊළඟ මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමෙන් ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු කිරීමට නොහැකි වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ බව පැවසුවේ කටාන හා මීරිගම පළාත් පාලන නියෝජිතයන් සමඟ ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

“අපි මේ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ අමාරුවෙන්. ආණ්ඩුව පවත්වාගෙන යන්නේ මේ වසර සඳහා අයවැයක්වත් ඉදිරිපත් නොකරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වූ වහාම අපි අපේ ආණ්ඩුවක් පිහිටුවා ගත්තත් අපිට පාර්ලිමේන්තුවේ බහුතර බලයවත් නෑ. ඒ නිසා අපිට ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු කිරීමේ දුෂ්කරතාවන් තිබෙනවා. අපිට හැකි පරිදි ඒ වෙනස සිදු කරමින් තිබෙනවා.

"19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි නිසයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ. එතුමා ජනාධිපති වුණාම මේ රටේ ජනතාව සුවිශේෂී වෙනසක් අපේක්ෂා කළා.

"ජනතාව අපේක්ෂා කළ ඒ වෙනස සිදු කිරීමට නම් අපිට ඊළඟ මහ මැතිවරණයේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගත යුතුයි. එවිටයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පසුගිය ආණ්ඩුව අත්සන් කළ රටට අහිතකර විවිධ අණපනත් සංශෝධනය කරගන්න හැකියාව ලැබෙන්නේ. අපිට මහ මැතිවරණයේ තුනෙන් දෙකක බහුතරය ගන්න බැරිවුණොත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමේ වාසිය ජනතාවට නොලැබෙන්නට ඉඩ තිබෙනවා.

"ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණාම මහින්ද මහතා අගමැති කළා. ඔහු දින 52 ආණ්ඩුවෙත් මේ ආණ්ඩුවෙත් අගමැතිවරයා ලෙස පත්වෙන්නේ ජනාධිපතිවරයා පත් කළ නිසයි. නමුත් මේ රටේ බහුතර ජනතාවගේ ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ අගමැති ලෙස පත් කර ගැනීම අපේ ඉලක්කයයි. ඊළඟ මහා මැතිවරණයේදී අප කටයුතු කරන්නේ ඒ වෙනුවෙන්. රටේ බහුතර ජනතාව ඒ වෙනුවෙන් පෙළගැසී සිටිනවා."

News Order: 
3
මාතෘකා