හිතවතුන් පිනවීමට රාජ්‍ය දේපළ අවභාවිත කිරීම වැරදියි

 ඡායාරූපය:

හිතවතුන් පිනවීමට රාජ්‍ය දේපළ අවභාවිත කිරීම වැරදියි

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

රාජ්‍ය දේපළ අවභාවිත කර ඇති සිදුවීම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඇඹිලිපිටිය, යෝධගම උදා ගම්මාන භූමියේ පිහිටි නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථාන‍යේ තුන් වැනි ශාලාවේ අනවසරයෙන් පදිංචි වී සිටින පවුලක් පිළිබඳ තොරතුරු සොයා බැලීමට පසුගියදා (‍10)එහි හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වීමෙන් අනතුරුවය.

රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වා‍ගෙන යන මුවාවෙන් කිසිදු නීතිමය පදනමක් නොමැතිව පසුගිය රජයේ දේශපාලන හිතවත්කම් මත සකසාගත් ව්‍යාජ ගිවිසුමක් ඉදිරිපත් කරමින් පවුලක් එම දේශන ‍ශාලාවේ බලහත්කාරයෙන් ජීවත් වන බව එහිදී අනාවරණය විය. පසුගිය රජයේ නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා තම හිතවතුන්ට රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කිරීමට ඉඩ ලබා දී ඇති බැවින් ඒ පිළිබද සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා ඉන්දික අනුරුද්ධ නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව පසුගිය රජය විසින් රාජ්‍ය දේපළ අවභාවිත කරන ලද සිදුවීම් රැසක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා විසින් නිරීක්ෂණය කළ නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථාන‍යේ දේශන ශාලාව කාමර තුනක්, සාලයක්, කුස්සියක් සහ වැසිකිළියක් සහිත නිවසක් බවට පරිවර්තනය කරගෙන ඇති බව එහිදී දැකගත හැකි විය. සමාජ සේවා කටයුතු පවත්වාගෙන යෑම සඳහා එම ශාලාව ලබාගෙන ඇති නමුත් එහි කිසිදු සමාජ සත්කාරක වැඩසටහනක් මේ වන තුරු ක්‍රියාත්මක කර නොමැත. එහි පදිංචිකරුවන් වසර දෙකක බදු කාලය අවසන් වීම සහ බදු ගිවිසුමේ සඳහන් කොන්දේසි කඩ කර ඇති බැවින් අදාළ දේපළ නැවත බාර දෙන ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඔවුන්ට ලිඛිතව දැනුම් දෙනු ලැබ ඇති නමුත් එය නොසලකා හරිමින් බලහත්කාරයෙන් එම රාජ්‍ය දේපළ අවභාවිත කරමින් සිටී.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙසේද පැවසීය.

“ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නිවාස අමාත්‍යාංශය යටතේ රාජ්‍ය දේපළ විශාල ලෙස අවභාවිත වී තිබෙනවා. එම නිසා මාසයකට කිහිපවරක් මෙවැනි ස්ථාන අපි පරීක්ෂා කරන්න යනවා. එසේ පරීක්ෂා කර නිලධාරීන්ට අදාළ උපදෙස් ලබා දෙනවා. මෙම නායකත්ව සංවර්ධන මධ්‍යස්ථානය තියෙන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් භූමියක. 2019 ජනාධිපතිවරණයට පෙර සිටි දේශපාලන අධිකාරිය මේ කිසිවක් නිසි ලෙස පරිපාලනය කරන්නට නිලධාරීන්ට අවස්ථාව ලබාදී නැහැ.

"මෙම කාර්යාලය ඇතුළට ගිය විට දක්නට ලැබුණේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමාගේ මැතිවරණයට අදාළ ඒවා. මෙම පිරිස 2016 සිට මෙහි රැඳී ඉන්නවා. නමුත් අදාළ බදු ගෙවා නැහැ. මේ කාරණාව රජයේ දේපළ අවභාවිත කිරීමක්. මේ වගේ කරුණු කාරණා රැසක් හිටපු නිවාස ඇමතිතුමා, වත්මන් විපක්ෂ නායකතුමා රට පුරා සිදුකර තිබෙනවා. නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව, රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය වගේ ආයතන රැසක් විනාශ වී තිබෙනවා. බොහෝ ආයතන තම හිතවතුන්ගේ අවශ්‍යතාවන් පිනවීමට යොදාගෙන තිබෙනවා.

"මෙම ස්ථානය රාජ්‍ය නොවන සංවිධානයකට ලබා දුන්නා කියලා කිව්වත් කර තියෙන්නේ පවුලකට පදිංචි වෙන්නට දීමයි. මේ පවුලට බෙලිඅත්ත සහ තංගල්ල යන ප්‍රදේශවල නිවාස දෙකක් තියෙනවා. එසේ තිබියදීත් මෙසේ රාජ්‍ය දේපළ අවභාවිත කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අදාළ ඇමතිවරයා ලෙස මම සිදු කරනවා. ඊට අදාළ කටයුතු කඩිනමින් සිදු කරන්න කියා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට මම උපදෙස් ලබා දුන්නා”

News Order: 
4
මාතෘකා