සියලු ආකාරයේ අන්තවාදයට විරුද්ධ විය යුතුයි

 ඡායාරූපය:

සියලු ආකාරයේ අන්තවාදයට විරුද්ධ විය යුතුයි

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

ජාතික සමගිය සහ ආගමික සහජීවනය වචනවලට සීමා නොවිය යුතු බවත් ජාතීන් අතර අවබෝධයෙන් කටයුතු කරනවා නම් රටක් ලෙස අපිට ඉදිරියට යා හැකි බවත් අධිකරණ මානව හිම්කම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ වැලිමඩ අළුගොල්ල ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සමඟ ඊයේ (12) පැවති ජන හමුවකදීය. අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙසත් අධිකරණ අමාත්‍යවරයා ලෙසත් අවධාරණය කරන්නේ ජාතික සමඟිය සහ ආගමික සහජීවනය නොමැතිව ඉදිරියට යන්න බැහැ. රටක් සංවර්ධනයේදී මේ දෙකම අත්‍යවශ්‍යයි. ලෝකයේ මැදපෙරදිග ඇතුළු බොහොමයක් රටවල ආගමික හා ජාතිවාදී ගැටුම් තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ජාති, ආගම් අතර අවබෝධයකින් යුතුව කටයුතු කරනවා. එම තත්ත්වය ඉතා වැදගත් බව කිව යුතුයි. රටක ආගමික සමඟිය නොමැති නම් සංවර්ධනය කොතරම් තිබුණත් වැඩක් නැහැ.

"පාස්කු ප්‍රහාරය හේතුවෙන් ජීවිත විශාල ගණනක් විනාශ වුණා. එම සිදුවීම අපේ රටේ ගොවියාට, ව්‍යාපාරිකයාට විශාල ලෙස බලපෑම් එල්ල කළා. ආර්ථිකයට විශාල බලපෑමක් වුණා. විශ්වාසය නැතිව ගියා. රටකට අන්තවාදය ඇතුළු වෙන්න දෙන්න හොඳ නැහැ. අපි දෙමළ ජනතාව සමඟ වසර 30ක් පුරා ගැටුම්වලට මැදි වුණා. ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. අපි අතීතයෙන් පාඩම් ඉගෙනගෙන තිරසර සංවර්ධනයකට යොමු විය යුතුයි.

"ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමඟ රටට ශක්තිමත් නායකත්වයක් ලැබී තිබෙනවා. ඒ තුළ අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරගත යුතුයි. එහි ප්‍රතිලාභ සියලු ජනතාව ලබනවා. සියලු දෙනා අතර ප්‍රතිලාභ බෙදී යනවා. මේ රට ඉදිරියට යෑමට සියලු ජාතීන් අත්වැල් බැඳගත යුතුයි වගේම ඒ සාමකාමී බව ලොවට පෙන්විය යුතුයි. අපේ රට සාමකාමී රටක් ලෙස ලෝකය අවබෝධ කරගත් පසු ආයෝජකයන් සහ සංචාරකයන් මේ රටට එනවා. අපේ රටේ ජාතික ආගමික ගැටුම් නැහැ කියන එක ලෝකයට පෙන්විය යුතුයි. ජාතික සමඟිය, ආගමික සහජීවනය වචනයට පමණක් සීමා විය යුතු නැහැ. ක්‍රියාවෙන් සහජීවනය තියෙන විට රට සුරක්ෂිතයි. අන්තවාදය විවිධ ආකාරයට ඇති වෙන්න පුළුවන්. ඒ සියලු ආකාරයේ අන්තවාදයට අපි විරුද්ධ විය යුතුයි.

"ජනාධිපතිවරණ කාලයේදී විවිධ දේශපාලනඥයන් හා මාධ්‍ය මුස්ලිම් ජනතාවගේ සිත් තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව වැරදි චිත්‍රයක් මවලා අනවබෝධයක් ඇති කළා. ඒත් දැන් මුස්ලිම් ජනතාව එතුමා පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරනවා. අපි ජාතීන් අතර අවබෝධයෙන් කටයුතු කරනවා නම් අපිට ඉදිරියට යන්න පුළුවන්. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට මරික්කාර්, බදියුදීන්, මොහොමඩ් වැනි මුස්ලිම් නායකයන් ශක්තියක් වුණා. ඒ අය එදා අන්තවාදීන් වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැම විටම මුස්ලිම් ජනතාවත් සමඟ එක්ව කටයුතු කර තිබෙනවා. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ එක්ව කටයුතු කරන ලෙසත් අප සමඟ අත්වැල් බැඳගන්නා ලෙසත් මා මුස්ලිම් ජනතාවට ආරාධනා කරනවා. මුස්ලිම් ජනතාව කොටස්වලට බෙදිලා පක්ෂ වශයෙන් බෙදී ගිය විට අනවබෝධයක් ඇති වෙනවා. බදුල්ල දිස්ත්‍රික්කය තුළ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව ඉතාමත්ම සහජීවනයෙන් කටයුතු කරනවා. එය අපිට ශක්තියක් බව කිව යුතුයි. අපි අතර ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇති වෙලා නැහැ. සිංහල ජනතාව තමන්ගේ ආගමික අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා වගේම මුස්ලිම්, දෙමළ සහ කතෝලික ජනතාවගේ ආගමික අනන්‍යතාවය ආරක්ෂා කර දීමට කටයුතු කළ යුතුයි. නමුත් ආගමික අන්තවාදයට ඉඩ දෙන්න බැහැ"

News Order: 
12
මාතෘකා