තාක්ෂණයට කෙරෙන ආයෝජනය ඉහළ නිෂ්පාදනයක පදනමයි

 ඡායාරූපය:

තාක්ෂණයට කෙරෙන ආයෝජනය ඉහළ නිෂ්පාදනයක පදනමයි

තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය

තිලංග සුමතිපාල

 අලුත් වැඩක් කරන්න පුළුවන් අමාත්‍ය ධුරයක් ඔබට ලැබිලා තියෙනවා කියලා විශ්වාස කරනවද?

ප්‍රථමයෙන්ම මම ඉතාමත් සන්තෝෂ වෙනවා රට අලුත් යුගයකට පරිවර්තනය කිරීම සඳහා දර්ශනයක් ඇති නායකයෙක් රටේ ප්‍රධාන පුරවැසියා හැටියට පත්වීම ගැන. රට දියුණු කරන්නට නම් තාක්ෂණය වෙත යොමු විය යුතුයි කියන දර්ශනය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තියෙනවා. දියුණු වුණු රටක් වුණත් දියුණු වෙමින් පවතින රටක් වුණත් ඒ රටවල් තීන්දු තීරණ අරගෙන තියෙන්නේ තාක්ෂණය මුල්කරගෙන බව පැහැදිලිව පේන්න තියෙනවා. තාක්ෂණය සඳහා අපගේ විග්‍රහය වන්නේ විද්‍යාවත් අපේ අත්දැකීමත් මුල්කොට ගෙන නව සොයා ගැනීම් සිදු කිරීමයි. ඒ විග්‍රහය අනුව ඉතාම පැහැදිලිව තාක්ෂණය අවශ්‍ය ආයතන සහ කරුණු පිළිබඳ වෙන් කරලා තාක්ෂණය සහ නවෝත්පාදනය රාජ්‍ය අමාත්‍යාංශයක් ජනාධිපතිතුමා වෙන් කරලා එහි වගකීම මට පවරලා තියනවා. මම ඉතාම සන්තෝෂ වෙනවා මා ඉතාම කැමති මට සමීප විෂයක් ලැබීම ගැන. අපේ රට යා යුතු දිශාව වෙත ගෙන යෑම සඳහා විශාල සේවයක් මේ අමාත්‍යාංශය හරහා කළ හැකියි. ඒ කාර්යයන් සඳහා ප්‍රතිපත්තිමය යොමු වීම, තාක්ෂණය යොමු කළ යුතු ධහරාව සොයා ගැනීම‍, අලුත් තාක්ෂණයන් රට තුළට ගෙන ඒම තුළින් ලැබෙන අවස්ථා සමඟින් නවෝත්පාදන සඳහා ඊළඟ පරම්පාරව පෙල ගැස්වීම යනාදී වශයෙන් සම්පූර්ණ ගලා යෑමක් මේ අමාත්‍යාංශය තුළින් කළ හැකියි.

 අපේ රටේ නවෝත්පාදනයන් සිදුවුණත් එම නිෂ්පාදන සඳහා කර්මාන්තයක් ගොඩනැඟී නෑ.

ඉතා අඩු මිලකට පාරිභෝගික අවශ්‍යතාව සඳහා නිෂ්පාදනය කරන නව නිපැයුමේ සිටම රොකට් එකක් යැවීම සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍යයක් දක්වා වෙන්න පුළුවන් ඒකත් නව නිපැයුමක්. ඒක නිසා නව නිපැයුම කියන පරාසය අපි හඳුනාගෙන ඒ ඒ අංශ සඳහා යොමු කළ යුතුයි. ලෝකයේ අනෙකුත් රටවල් සමඟ අපේ රට බැලුවොත් අපේ රටේ ජනගහනයට සාපේක්ෂව විද්‍යාඥයන් අඩුම ගානේ විසිදාහක්වත් ඉන්න ඕනෑ. පර්යේෂණවල නිරතවන්නන් අඩුම ගානේ තිස්දාහක්වත් ඉන්න ඕන. අපේ රටේ දැන් ඉන්නේ දෙදහසකට වඩා අඩු විද්‍යාඥයන් ගණනක්. ඒ අයගෙනුත් පර්යේෂණ කරගෙන විද්‍යාඥයන් මේ ක්ෂේත්‍රෙය් නියැළී සිටියේ පන්සීයක් හෝ ඊට වඩා යම් වැඩි ප්‍රමාණයක් විතරයි. අපේ රටේ පර්යේෂකයන් බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාලවල උගන්වන හෝ ඉගෙන ගන්නා අතරතුරදී පර්යේෂණ කරනවා. ඒ අය පූර්ණකාලීනව පර්යේෂකයන් විදියටම වැඩ කරලා විශ්ලේෂණ කරලා වාර්තා දෙන අය නෙවෙයි. එහෙම අය ඉන්නෙත් සුළු ප්‍රමාණයක් විතරයි. රටේ අවශ්‍යතාවට, රටේ ජනගහනයට ඒ වගේම ස්වභාවික සම්පත්වලට සාපේක්ෂව විද්‍යා කටයුතු නිරතව සිටිනේ පිරිසේ හිඟයක් පැහැදිලිව තියෙනවා. ඒ හිඟය පියවන්න ආයෝජනය කළ යුතුයි. ඒ අයෝජනය කර ඊට වසර දහ පහළොවකට පසුවයි එහි ප්‍රතිලාභ රටකට ලැබෙන්නේ. ස්වීඩනය වගේ රටවල්, ස්විට්සර්ලන්තය වගේ රටවල් ඒ වගේම කොරියාව, තායිවානය වගේ රටවල්වල අන්තිම අවුරුදු පනහේදී දියුණු වුණු රටවල් ඒ අය තාක්ෂණයට නැඹුරු වුණු විද්‍යාඥයන්ට විශාල ප්‍රමුඛත්වයක් දුන් රටවල්. මේ අවුරුදු දහය තාක්ෂණික අවශ්‍යතාව සඳහා පිරිස් කළමනාකරණය කරගෙන පෙළගැස්සුවේ නැතිනම් අනෙකුත් රටවල් එක්ක හොඳ ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට නොහැකි වෙනවා. තාක්ෂණික දියුණුවක් නොතිබුණොත් තව කෙනෙක් නිෂ්පාදනය කරන දේ සේවාවක් සඳහා යොමු කරන රටක් බවට අප රට පත් වෙනවා.

රබර් හොඳින්ම වැවෙන රටක් වෙලත් අපි අන්තිමට සිරිමා මැතිනිය කාලෙදී ටයර් හැදුවේ නෑ. අනෙකුත් රබර් ආශ්‍රිත නිෂ්පාදන කරන්නත් අපි යොමු වුණේ නෑ. ඒ කාලෙ තුනී ලැලී සංස්ථාවක් ස්ථාපනය කළා, හැත්තෑ හතෙන් පසුව එය වසා දැමුවා. වී අලෙවි මණ්ඩලය වසා දැමුණා. ඒ වගේ අපි ඉදිරියට ආපු ආර්ථික ගමන් මාර්ගය, පර්යේෂණය සහ නිෂ්පාදනය සඳහා රට තුළ කළ යුතු ආයෝජනය හරි වෙලාවේදී තාක්ෂණික වශයෙන් කරලා නෑ. නමුත් තාක්ෂණයට ආයෝජනය කරපු රටවල් නිෂ්පාදනයේ ඉහළ තත්ත්වයට ඇවිත් තියෙනවා. අපට පුහුණු කරන ලද ශ්‍රම දායකත්වයක් ලබා දෙන්නට බැරි නම් කම්කරුවන්ගෙන් සමන්විත ජාතියක් බවට පත් වෙනවා. දැනුම ප්‍රවර්ධනය නොකරපු ශ්‍රම දායකත්වය වැඩි වුණාම හැමදාම මැදපෙරදිගට මිනිසුන් යැවීම හෝ තේ දලු කැඩීමට වගේ රැකියාවලට පමණයි යොමු වීමට සිදුවන්නේ. අපේ රට බුද්ධිමත් ජනතාවක් සිටින රටක්. ඔවුන්ට අවශ්‍ය දැනුම දීලා ඔවුන්ගේ ශ්‍රම දායකත්වය වැඩි කළොත් තමයි රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ලැබෙන ආදායම වැඩි වෙන්නේ. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නට අවශ්‍ය පසුබිම මේ අමාත්‍යාංශයෙන් හදන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා.

 නවෝත්පාදනය සහ විද්‍යා ප්‍රවර්ධනය සඳහා වෙන් කළ යුතු මුදල් ප්‍රමාණවත් කියලා සෑහෙන්න පුළුවන්ද?

අපේ රට ආර්ථික වශයෙන් අර්බුදයක තියෙන රටක් කියලා අපි පිළිගන්නවානේ. හැබැයි තෝරා ගත් යම් යම් අංශ සඳහා තාක්ෂණයට ආයෝජනය කරලා රටේ වෙන නාස්තිය සහ දූෂණයේ පාලනයක් ඇති කර ඒවායින් එන ආදායම් වැඩි කර ගන්න අපේ අවධානය යොමු කරන්න පුළුවන්. සරල උදාහරණ කිහිපයක් කීවෝත් අප රටේ රට තුළ නිෂ්පාදනය කරන දුම්වැටි ප්‍රමාණයට වඩා හොරෙන් ශ්‍රී ලංකාවට ගෙන එනවා. මේ රටේ නිෂ්පාදනය කරන මත්පැන් ප්‍රමාණයට වඩා හොර අරක්කු තියෙනවා. ඒ වගේ දේවල් සඳහා තාක්ෂණය තුළින් යම්කිසි පාලනයක් සිදුකළ හැකියි.

ඉන්ධන තත්ත්ව පර්යේෂණ සඳහා තවම අපේ රටේ විද්‍යාගාරයක් නෑ. එවැනි වටපිටාවක තත්ත්වයෙන් බාල තෙල් ගෙනාපු නිසා රටේ වාහන නාස්ති වුණා මතකයි. ඒවා සොයා බලන්න තාක්ෂණික පහසුකම් තිබුණා නම් ඒ වගේ හානිකර දෑ නවත්වාගන්නට තිබුණා. ආදායම් එන ක්‍රම වැඩිකර ගනිමින් රජයේ ආදායම වැඩි කිරීමට උපක්‍රම භාවිත කරන්න පුළුවන්. එවිට ඉතිරි වන මුදලින් තාක්ෂණික ප්‍රවර්ධනය සඳහා අයවැයෙන් මීට වඩා මුදලක් වෙන් කරන්න පුළුවන්.

රටේ විද්‍යාඥයන් හා තාක්ෂණික නැඹුරුව වැඩි කළ විට රටේ තීන්දු ගන්න හැම විටකදීම විද්‍යාත්මක ක්‍රමවේදයකට ඒ තීන්දු ගත හැකියි. ඒ විද්‍යාත්මක පදනම හදන්නේ ලෝකයේ සම්මුතිය හා සම්මතය එක්ක. එතකොට වංචා කරන්න තියන අවස්ථාව හරි අඩුයි. දූෂණය, නාස්තිය අඩුයි. රජයේ තාක්ෂණික උපදේශකත්වය ලබා දීමයි අපේ අමාත්‍යාංශයේ කාර්යභාරය. එතැනට නැඹුරු වීමේ පුරුද්දක් රටේ ගොඩනැඟිලා නෑ. අපේ දැක්මත් එක්ක යන්න පුළුවන් වුණොත් ආර්ථිකයට විශාල දියුණුවක් ඇති වෙයි.

 විද්‍යාව හා තාක්ෂණික දියුණුව සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකරන වෙනස්කම් මොනවාද?

Advanced Technological Institutes (ATI) දහ නවයක් ශ්‍රී ලංකාවේ තියෙනවා. ඒ ආයතන දහ නවය මට පැවරිලා තියනවා. එයින් තුන්දහස් පන්සියයක් විතර තමයි Higher National Diploma එක හදාරලා අවසන් කරන්නේ. දහ දාහකගේ විතර අයැදුම්පත් වසරකට ගන්නවා. එය තිස්දාහ දක්වා වැඩි කිරීමේ උත්සාහයක් අපේ තියෙනවා. එහිදී එම පාඨමාලා දෙස නැවත හැරී බැලීමක් කරන්න සූදානම් වෙනවා. එහිදී අලුත් තාක්ෂණය මේ පාඨමාලාවට එකතු කරගෙන තාක්ෂණ ආයතන බවට පත් කිරීම සඳහා අවධානය යොමු කරනවා. උපාධියක් පිරිනැමීමේ තාක්ෂණික ආයතනයක් බවට පරිවර්තනය කිරීම සඳහා ඉල්ලීමක් කර තියනවා. උපාධියක් නොදෙන නිසා අපට අවශ්‍ය විද්‍යාඥයන්, පර්යේෂකයන් බිහි කර ගැනීමට අමාරුයි. අපට අවශ්‍ය තාක්ෂණය සොයා ගැනීම සඳහා දරුවන් පෙළඹවීමට ඒ සිසුන්ගේ උපාධි නිබන්ධනය භාවිත කරන්න පුළුවන්. එවිට රටේ අවශ්‍යතාව සඳහා තාක්ෂණික දැනුම යොදා ගැනීමට ඔවුන් මානව සම්පතක් විදිහට යොදා ගන්න පුළුවන්.

 නව තාක්ෂණය විදෙස් රටවලින් ලබා ගැනීමට ඔබ පියවර ගැනීමට සූදානම් වන බව දැක්කා.

කෘත්‍රිම දැනුම භාවිත කරන්න අපි තවම පටන් අරගෙන නෑ. ඒ වගේ දේවල් අපි අනිත් රටවල්වලට සාපේක්ෂව උසස් තැනකට ගතයුතු වෙනවා. ඒ වගේ රොබෝ තාක්ෂණ භාවිත කිරීමත් ප්‍රාථමික තත්ත්වයක තියන්නේ. ජර්මනිය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, චීනය, ජපානය වැනි රටවල් පෞද්ගලික ආයතන සමඟ සම්බන්ධ වෙලා තාක්ෂණික කටයුතු කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ජපානයේ ටොයොටා වගේ ආයතන ටෝකියෝ විශ්වවිද්‍යාලයේ සිසුන්ට පර්යේෂණ සඳහා අනුගහ්‍රය දක්වනවා. නව තාක්ෂණය සඳහා එහිදී දරුවන්ව පෙළ ගස්වනවා. ඒ නිසා රටක් ජාතියක් විදිහට දියුණු වෙනවා. අපේ රටේ එහෙම දෙයක් වෙන්නේ නෑ. අපේ රටෙන් බිහිවුණු ලෝකයේ ජනප්‍රිය, පිළිගත් වෙළෙඳ සන්නාම තියනවා. නමුත් ඒ නිෂ්පාදන කටයුතු සහ රජයේ විශ්වවිද්‍යාල අතර කිසිම සහසම්බන්ධයක් නෑ. ඒ සම්බන්ධතාව ඇති කරන්න ඕනෑ.

 දේශපාලන ස්ථාවරත්වය ඇති කර ගැනීම හා අමාත්‍යාංශ ක්‍රියාකාරීත්වය මැනවින් පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියනවද?

මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවට තාවකාලිකව අයවැයක් ගෙනත් වැඩක් නෑ. මහ මැතිවරණයෙන් පසුව තමයි අයවැය ගේන්න වෙන්නේ. ඒ අතරතුර අනුමත කරන ලද අතුරු අයවැයේ මුදල් වෙන් කර ඇත්තේ ගිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිත් සමඟයි. අපි වෙන් කර තියනවාට වඩා වෙනස් එහිදී අයවැය වෙන්කර තියෙන ආකාරය. මේක සංක්‍රාන්තික සමයක්. ඒ කාලයේ රට ආගාධයකට යන්නට නොදී අල්ලාගෙන සිටීමයි කරන්න ඕන. ඒ තත්ත්වය පොඩි කාලයක් තියෙයි. නමුත් රටට ස්ථාවරභාවයක් ඇති වෙලා තියනවා. අවුරුදු පහකට ජනාධිපතිවරයෙක් පත්කරගෙන ඉන්නවා. රටේ දේශපාලන ස්ථාවරය තියෙනවා. ඒ තත්ත්වය ලෝකයට පේනවා. රට අභ්‍යන්තරයේ තිබෙන දේශපාලන මතිමතාන්තර අනුව තවම මොකුත් රටේ නෑ කියලා කිව්වාට ජාත්‍යන්තර වශයෙන් සහ පෞද්ගලික අංශයේ ආයෝජනය ඉතා හොඳ ස්ථාවරයක තියනවා.

සංවාදය [රසිකා හේමමාලි]

News Order: 
1
මාතෘකා