සජිත් අපේක්ෂක කළ මෙහෙයුම

 ඡායාරූපය:

සජිත් අපේක්ෂක කළ මෙහෙයුම

ජනාධිපතිවරණය සඳහා දින ආසන්නවත්ම මෙතෙක් පැවති මූලිකම ප්‍රශ්ණයකට විසඳුම් ලබාදෙමින් එක්සත් ජාතික පක්ෂය අලුත් දේශපාලන දිශානතියක් කරා ගමන් ආරම්භ කරන ලකුණු බ්‍රහස්පතින්දා හවස වන විට පෙන්නුම් කළේය. ඒ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමට අවසන් තීරණයක් ගැනීමත් සමඟය. සජිත් සමඟ දේශපාලන ගමනක් ආරම්භ කිරීමේ අපේක්ෂාව ඇතිව වසර නවයකට ආසන්න කාලයක් තිස්සේ පක්ෂ අභ්‍යන්තරයේ සටන් කරමින් සිටි රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරළ, චන්ද්‍රාණි බණ්ඩාර වැනි 2010 සිට සජිත්ගේ නායකත්වයක් අපේක්ෂාවෙන් සිටි ජ්‍යෙෂ්ඨයන් මෙන්ම මංගල සමරවීර, මලික් සමරවික්‍රම වැනි රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට සමීපව සිට එහෙත් සජිත්ගේ නව නායකත්වයක් අපේක්ෂාවෙන් ඔහුට සහාය ලබාදෙන නායකයන් දක්වා විශාල පරාසයක දේශපාලන ශක්තිය ලබාගනිමින් සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ නිල මුල් පියවර තබා තිබේ.

සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වනවාද නැද්ද යන තීරණයවත් ගැනීමට නොහැකිව සිටී. මේ තත්ත්වය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේදී පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති තේරීම් කාරකසභාව හමුවිය. පාර්ලිමේන්තු තේරීම් කාරකසභාව හමුවට එන්නැයි ජනාධිපතිවරයාට කල් ඇතිව දැනුම්දී තිබූ නමුත් පාර්ලිමේන්තුවට ගොස් තේරීම් කාරකසභාව හමුවේ සාක්ෂි ලබාදීමට ඔහු වැඩි කැමැත්තක් දක්වා තිබුණේ නැත. විවිධ හේතු ඉදිරිපත් කරමින් ඔහු එය මඟහැරි අතර ව්‍යවස්ථාදායක හා විධායකය අතර ගැටුමක් ඇතිවිය හැකි ආකාරයේ තත්ත්වයක් දක්වා එය වර්ධනය වන ලකුණු පෙන්නුම් කළේය.

කෙසේ නමුත් පසුගිය සිකුරාදා දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තමන් හමුවන්නැයි තේරීම් කාරක සභාවේ නියෝජිතයන්ට ජනාධිපතිවරයා දැනුම්දී තිබුණේය. ඒ අනුව තේරීම් කාරක සභාවේ නියෝජිතයන් ජනාධිපති ලේකම් කාර්යාලයට ගියහ.

"මම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙක්. මේ නිසා තමයි මම තේරීම් කාරකසභාව හමුවන්නේ." ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා තේරීම් කාරක සභාවේ නියෝජිතයන් හමුවන විට ඔහුගේ කාමරය වටේම වීඩියෝ කැමරා අටවා තිබුණේය. වීඩියෝ කැමරා දුටු තේරීම් කාරක සභාවේ නියෝජිතයන් විමසුවේ මේ ආකාරයට වීඩියෝ කැමරා අටවා තිබෙන්නේ කුමක් නිසාදැයි කියාය.

"ඇයි ඔයාලා තේරීම් කාරක සභාවේ කටයුතු සජීවීව විකාශය කරනවනේ. ඉතිං මමත් ඒවා සජීවීව විකාශය කරන්න හැදුවේ" ජනාධිපතිවරයා පැවසුවේය.

"අපි ඔබතුමා සමඟ කැමරා නැතිව කතා කරනවා නම් තමයි කැමති. මේ නිසා කැමරා අයින් කරලා අපි කතා කරමු..." තේරීම් කාරකසභාවේ සභාපති කුමාරසිරි කළ යෝජනාවට ජනාධිපතිවරයා කැමැත්ත දැක්වූවේය. ඒ අනුව කැමරා සියල්ල ඉවත් කිරීමෙන් පසුව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාව ආරම්භ කළේය.

කැබිනට් හමුව ගැන වෙනස් කතා

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා හදිසියේම කැඳවූ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම ගැන පසුගිය සතියේදී ජනාධිපතිවරයා අදහස් දැක්වූවේය. මෙම කැබිනට් රැස්වීම ගැන විවිධ අදහස් මතුවෙමින් තිබූ අතර ඇතැම් අදහස්වලින් කියවුණේ ජනාධිපතිවරයාගේ වුවමනාව මත විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට වන යෝජනාවක් ගෙන ආ බවය.

"හදිසි කැබිනට් රැස්වීම මගේ උවමනාව අනුව ගෙන ආපු එකක් කියලා සමහර අදහස් යනවා. මේ කැබිනට් රැස්වීම මගේ උවමනාව අනුව ගෙන ආපු එකක් නෙවෙයි. බ්‍රහස්පතින්දා උදේ රවි කරුණානායක ඇමැතිවරයා මට දුරකථනයෙන් කතා කරලා අගමැතිතුමාට විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි, ඒ නිසා කැබිනට් රැස්වීමක් කැඳවන්න කියලා ඉල්ලීමක් කරනවා කියලා මට දැනුම් දුන්නා. ඇයි අගමැතිතුමාට මට මේ ගැන කියන්න බැරි කියලා මම ඇහුවා. එහෙම නම් අගමැතිතුමාට මට කතා කරන්න කියන පණිවුඩය මම රවි කරුණානායක ඇමතිතුමාට දැනුම් දුන්නා. මම බලාගෙන හිටියා. හැබැයි අගමැතිතුමා මට කතා කළේ නෑ. ඊට පස්සේ මම අගමැතිතුමාට කතා කළා. අගමැතිතුමාට කතා කරලා මේ ගැන ඇහුවම, ‘ඔව්, ඔව් එහෙම එකක් කරන්න ඕන කියලා කිව්වා. ඊට පස්සේ තමයි මේ විශේෂ කැබිනට් රැස්වීම කැඳෙව්වේ.

“විශේෂ කැබිනට් රැස්වීම කැඳවනකොට කැබිනට් ලේකම්තුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට අදාළ කැබිනට් පත්‍රිකාවක් ගිහින් දීලා තියෙනවා. ඊට පස්සේ කැබිනට් රැස්වීම පටන්ගන්නකොට අරක ගන්න ඕන නෑ කියලා අගමැතිතුමා කැබිනට් ලේකම්තුමාට කියනවා මට ඇහුණා. ඊට පස්සෙත් අගමැතිතුමා කැබිනට් ලේකම්තුමා ළඟට ගිහින් මොනවාද කියලා ඇවිත් තිබුණා.

“මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ නැතිව අගමැතිතුමා මේ ගැන කියන්න ගත්තම එක්සත් ජාතික පක්ෂයේම ඇමතිවරු විරෝධයක් දක්වන්න ගත්තා. මේ විරෝධතා නිසා මමත් පක්ෂය ඇතුළේ මේවා විසඳගන්න කියලා කැබිනට් රැස්වීම නැවැත්තුවා"

ජනාධිපතිවරයා කැබිනට් රැස්වීම කැඳවීමේ වගකීම අගමැතිවරයා වෙත පටවා දැමුවේය.

එයට පිළිතුරු ලබාදීමට අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කළේය.

"පසුගිය සතියේදී සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් මා හමුවී අපේ ආණ්ඩුව කළ කටයුතු හා කිරීමට අතපසු වූ දේවල් ගැන අදහස් දැක්වූවා. අපේ පක්ෂය 2014 වසරේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට යෝජනාවක් සම්මත කරගත් බවත් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් අපි තවදුරටත් පෙනී සටින බවත් දැනුම් දුන්නා. ඒ අනුව ඔවුන් ඉල්ලා සිටියේ 20 වැනි සංශෝධනය සඳහා සහාය ලබාදීමේ කැබිනට් තීරණයකට එළැඹෙන ලෙසයි. ඒ අනුව කැබිනට් මණ්ඩලය වෙත යොමුකිරීමේ කෙටුම්පතක් ඔවුන් මට ලබාදුන්නා.

“පසුගිය බ්‍රහස්පතින්දා උදේ අටයි දාසයට ජනාධිපතිතුමා මට දුරකථන ඇමතුමක් දුන්නා. 20 වැනි සංශෝධනය ගැන කතා කරන්න කැබිනට් රැස්වීමක් කැඳවන්න ඕනෙද කියලා එතුමා මගෙන් ඇහුවා. සිවිල් සමාජය මේ ගැන මගෙන් විමසූ බව මම ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ස්ථාවරය සුමන්තිරන් මන්ත්‍රීතුමා මට දැනුම් දී තිබුණා. ඒ නිසා කැබිනට් මණ්ඩලය රැස් කර සාකච්ඡා කිරීම සුදුසු බව මම ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා මේ කැබිනට් රැස්වීම කැඳවීම පහසු බවත් මම දැනුම් දුන්නා. එදා රවි කරුණානායක ඇමතිතුමා මට දුරකතන ඇමතුමක් දුන්නේ නෑ. උදේ නවය පමණ වෙද්දී කැබිනට් ලේකම්තුමා මගේ ලේකම්වරයාට එදින සවස කැබිනට් රැස්වීම පැවැත්වෙන බව දැනුම් දී තිබුණා. ඉන්පසුව මගේ ලේකම්වරයා අවශ්‍ය වුවහොත් ඉදිරිපත් කිරීමට සිවිල් සංවිධාන විසින් ඉදිරිපත් කළ පත්‍රිකාව කැබිනට් ලේකම්වරයා වෙත ඉදිරිපත් කළා. කැබිනට් රැස්වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු කැඳවා මේ ගැන මම සාකච්ඡා කළා. මේ සාකච්ඡාව උණුසුම් සාකච්ඡාවක් වුණා. සියලු දෙනාම විවෘතව අදහස් දැක්වූවා. මේ සඳහා එකඟත්වයක් තිබුණේ නෑ.

කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ප්‍රකාශ පිළිබඳ ප්‍රශ්ණයක් තිබෙනවා නම් එය සාකච්ඡා කළ යුත්තේ කැබිනට් මණ්ඩලය තුළදීයි. ඉන් පිටත මේවා සාකච්ඡා කළ යුතු නෑ"අගමැතිවරයා කීවේය.

ජනාධිපතිගේ ස්ථාවරය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ඇදි ඇදී යමින් තිබූ සාකච්ඡා පසුගිය සතිය වන විට නැවත වරක් ඇණහිට තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුවත් නොකර පොදුජන පෙරමුණ ඇප තැන්පත් කිරීම නිසාය.

කෙසේ වෙතත් මේ අර්බුද හමුවේ නැවත වරක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. මේ සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ සමීපව අදහස් හුවමාරු කරගෙන තිබූ අතර ගෝඨාභය රාජපක්ෂ හා ජනාධිපතිවරයා අතරද මුහුණට මුහුණ සාකච්ඡාවක් සිදුව තිබේ.

කෙසේ නමුත් මේ සාකච්ඡාවලදී අවසන් එකඟතාවක් ඇති කරගැනීමට පාර්ශ්ව දෙකටම හැකියාව ලැබී තිබුණේ නැත.

මේ නිසා පක්ෂයේ ස්ථාවරය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් පක්ෂයේ මධ්‍යම කාරකසභාවත් රැස් කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටී. ඒ අනුව ලබන සතියේදී කැඳවන මධ්‍යම කාරකසභාවකදී ජනාධිපතිවරණය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා සූදානමින් සිටී.

සජිත්ගේ කතාවට ප්‍රතිචාර

බ්‍රහස්පතින්දා අගමැතිවරයා සුපුරුදු ලෙස අරලියගහ මැදුරේදී මැති ඇමතිවරු මෙන්ම මාධ්‍යකරුවන් හමුවිය.

"ඊයේ සජිත් මතුගමදී කරපු කතාව ටිකක් සැර වැඩියි කියලයි සමහරු කියන්නේ. ඒත් ඒ ගැන අපි මීට වඩා ගැඹුරින් විග්‍රහ කරගන්න ඕනෑ. ඔහු උත්තර දුන්නේ අගමැතිට හෝ පක්ෂයට වඩා බොරු ප්‍රවෘත්ති පතුරවපු ජනමාධ්‍ය හා සමාජ ජාලාවලට විය හැකියි.” නවීන් දිසානායක කී දේ අගමැති ඇතුළු කාගේත් දැඩි අවධානයට යොමුවිය.

"ඒක ඇත්ත. ජනාධිපතිවරණෙකට එන අපේක්ෂකයාගෙ කකුල් අතපය බැඳල දාලා කියන එකයි රටට ගියපු වැරදි චිත්‍රය වුණේ. ඒක නිවැරදි කරන්නයි සජිත් එතනදි ක්‍රියා කළේ. ඒක හරි" අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කීවේය.

"අපේ අපේක්ෂකයට කිසිම කොන්දේසියක් දාන්නෙ නෑ. කිසි කෙනෙක් කොන්දේසිවලට යටත් විය යුතුත් නෑ. පක්ෂ ස්ථාවරය අනුව මේ ජනපතිවරණයේදීත් ඉදිරියට ගෙන යා යුතු අපේ ප්‍රතිපත්ති තියනවා. ඒ නිසා එම එකඟතා අපිට පහසුවෙන් බේරගන්න පුළුවන්. කොන්දේසි කියන වචනය සම්පූර්ණයෙන්ම එජාපය තුළ ගැටුම් ඇතිකරන්න විපක්ෂයට හිතවත් අය කරපු කුමන්ත්‍රණයක්" අගමැතිවරයා පැහැදිලි කළේය.

"විධායක ක්‍රමය අහෝසි කිරීම, බලය බෙදීම, පවතින ව්‍යවස්ථාව ඉදිරියට ගෙන යෑම හෝ කාටත් පිළිගත හැකි නව ව්‍යවස්ථාවක් ගැන සලකා බැලීම එජාප ස්ථාවරය බව අමුතුවෙන් කියන්න ඕන නෑ." කුරුණෑගල වැවිලි සමාගමේ සභාපති උපාලි පියසෝම කී දේ එහි සිටි සියලුදෙනාම අනුමත කළහ.

"කොහොම නමුත් ආණ්ඩුව ඇතුළේ ඉන්න 106 හෝ 107 දෙනා එක මිටකට ඉදිරියට යන්න ඕනෑ. එහෙම නොවුණොත් අවාසිය අපේ පක්ෂයට මෙන්ම වසර හතර හමාරක් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳපු ජනතාවටයි" මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.

"කෘත්‍යාධිකාරියේ ඡන්ද ගැන නම් හිතන්න එපා. එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක්" චමින්ද විජේසිරි කී දේ සියලුදෙනාම අනුමත කළහ.

"නෑ ඡන්දෙකට යමු කියලා මම කොහේදිවත් කියලා නෑ. සියල්ල කතාබහ කරලා බේරගන්න බැරිනම් ඡන්දය අවසන් විකල්පය කියලා මම ඔය කබීර්ලට මලික්ලට එහෙම නිකමට කියලා තියෙනවා; එච්චරයි. මම සියල්ල ඇතෑරලා පක්ෂය දිනවන්නයි හදන්නේ. එපා නම් මම යන්න වුණත් සූදානම්." අගමැතිවරයා කීවේය.

"දකුණෙන් විතරක් ඡන්ද දිනන්න බෑ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු, නැඟෙනහිර පළාත් ගැනත් අපේ දැඩි අවධානය යොමුවෙන්න ඕනෑ." හේෂා විතානගේ කීවේ එවැන්නකි.

"සියලු පාර්ශ්ව එකඟතාවලට ආවත් කොළඹ, ගම්පහ, කෑගල්ල, මාතර, රත්නපුර, ගාල්ල, කුරුණෑගල වගේ තැන්වල සමහරු වෙනමම ජනපතිවරණ සටන ගෙනියන්න උත්සාහ කරනවා කියලා ආරංචියක් තියනවා. එහෙම සුළු හරි බෙදීමක් තියෙන්න බෑ." දිනේෂ් වීරක්කොඩි කීවේ එවැන්නකි.

"ඒක ඇත්ත. අගමැතිතුමා, රවීලා නැතුව කොළඹයි, කිරිඇල්ල ඇමතිතුමා, මම නැතුව මධ්‍යම පළාතයි, වජිරලා නැතිව ගාල්ලෙයි අපිට වාසි ගන්න පුළුවන්ද? උතුරු නැඟෙනහිර කොහොමත් අපිට වාසියි. ඒත් ඒ මිනිස්සු උදේම කූද්දලා ඡන්ද පොළට යවන්න ඕනෑ. ඒක වැඩිපුරම කරන්න පුළුවන් අගමැතිතුමාටයි" නවීන් දිසානායක කීවේය.

සජිත් අවංකයි

"සජිත් හම්බන්තොට හිරවෙලාම බෑ. රට පුරාම යන්න වෙනවා. අපි ජනාධිපතිවරණ සටනකදී හම්බන්තොට දිනන්න ඕනෑ යන්තම් නෙවෙයි; උඩින්ම. සජිත්ට ඒක අමාරු නෑ." උපාලි පියසෝමගේ මතය සියලු දෙනා අනුමත කළහ.

"සජිත් අවංක ඉතා හොඳ යමක් පළල්ව දැකිය හැකි කෙනෙක්. ඒත් සමහරුන් හිතනවා ඔහු පහසුවෙන් එයාලට හසුරවන්න පුළුවන් කෙනෙක් කියලා. ඒක ලොකු මිථ්‍යාවක්." අගමැති රනිල් සජිත් ගැන මෙතෙක් කළ තීරණාත්මකම විග්‍රහය එයය.

"ගෝඨාභය ගැන ඉතා දැඩි චෝදනා සහිත බී වාර්තාවක් ගැන අද උදේ මට අලුත්ම ආරංචියක් ආවා. ඒ ගැන හොයලා බලන්න ඕනෑ. ගෝඨාභයගෙ සියල්ල විසඳෙන්න එයා මේ රටේ පුරවැසියෙක්ද නැද්ද කියන එක මතයි" එජාප නීති උපදේශකයකු කීවේ ඔහුට ඒ අවස්ථාවේ ලැබුණු දුරකථන ඇමතුමක් මත පදනම් වෙමිණි.

"මේ වර්ජන රැල්ල ඉතා අසාධාරණ ලෙස ජනතාව අපහසුතාවට පත්කරන, ඔවුන් කුපිත කරන එකක්. ඒක රටේ ආර්ථිකයටත් විශාල හානියක්. මේ පිටුපස්සෙ පටු දේශපාලන අවස්ථාවාදීන් ඉන්නවා කියන එකයි, සල්ලි යොදවනවා කියන එකයි බුද්ධි අංශත් වාර්තා කරනවා. ප්‍රශ්නයක් විසඳුවම තවත් ප්‍රශ්න අල්ලගෙන වර්ජන දිගටම කිරීමෙන් මේ අවස්ථාවාදීකම පැහැදිලි වෙනවා.” දිනේෂ් වීරක්කොඩිගෙ විග්‍රහය එය විය.

"වර්ජකයන්ගෙ සාධාරණ හා යුක්තිසහගත ඉල්ලීම් අපි ඉෂ්ඨ කළා. ඒ වගේම ඉටු කරනවා. රුපියල් 10,000ක්, 2500ක් ලෙස දෙවරක් පඩි වැඩි කළා. ලබන ජනවාරියේ තවත් විශාල පඩි වැඩිවීමක් අපි කරනවා. රාජපක්ෂලා වර්ජකයන්ව වෙඩි තියලා මරලා, අතුරුදන් කරලා හෝ අතපය කඩලා මර්දනය කළා මිසෙක කිසිම ඉල්ලීමක් ඉෂ්ට කළේ නෑ. ඒක නිසානේ තාමත් රණවිරුවෝ මහපාරෙ ඉන්නේ. ඉතින් මේ පහත් පෙළේ වර්ජන මෙහෙයවන්නන්ට ජනතාව ඡන්දවලදී මෙන්ම මහපාරෙදීත් උත්තර දේවි කියලයි මට හිතෙන්නේ. මේ වර්ජකයො ගැන මම ඉතා කනගාටු වෙනවා." අගමැතිවරයා කීවේ ඉතා හැඟීම්බරවය.

ගෝඨා වැස්සට ඉස්කෝලේ ගිහින්

ගෝඨාභය පසුගිය 20 වැනිදා රත්නපුරය බලා ගියේ ආගමික උත්සව ඇතුළු උත්සව කිහිපයකට සහභාගී වීම සඳහාය. ගෝඨාභය ගමන් ගත් හෙලිකොප්ටරය රත්නපුර නගර සභා ක්‍රීඩාංගණයට ගොඩබෑමට නියමිතව තිබුණත් ඒ වන විට පැවැති අධික වර්ෂාව හේතුවෙන් කුරුවිට බටුහේන නවෝද්‍යා පාසලට ‍හදිසියේ ගොඩබෑමට නියමුවන්ට සිදුවිය.

විද්‍යාලයේ ගුරුවරුන් සහ සිසු සිසුවියන් කුතුහලයට පත් වූයේ හදිසියේ පැමිණි අමුත්තා කවුද කියාය. ගුරුවරුන් ලහිලහියේ කුඩත් රැගෙන හෙලිකොප්ටරය අසළට ගිය විට දැනගන්නට ලැබුණේ අමුත්තා වෙන කවුරුත් නොව ගෝඨාභය බවය. ගුරු විවේකාගාරය වෙත කැඳවාගෙන පැමිණි ගෝඨාභයට ගුරුවරු හදිසියේම තේ පැන් සංග්‍රහයක්ද පිරිනැමූහ.

අනතුරුව ගෝඨාභය දරු දැරියන් සහ ගුරුවරුන් සමඟ ඡායාරූප ගැනීමට එක්විය. "වැස්සක් හින්දා හරි මේ පාසලට එන්න ලැබිච්ච එක ගැන සතුටුයි" ගෝඨාභය දරුවන් සමඟ කතාකරමින් සිටින විට පැවසීය.

මේ අතර පවිත්‍රා සහ කාංචන ජයරත්න ගෝඨාභය කුරුවිට සිටින ආරංචියට පාසලට පැමිණියේ රත්නපුරයේ උත්සවවලට ඔහු කැඳවාගෙන යෑමටය. ගෝඨාභය ප්‍රථමයෙන් ගියේ රත්නපුර මහ සමන් දේවාලයටය. මල් පූජා කර සමන් දේවාලය වැඳපුදා ගත් ගෝඨාභය සෙන්චූරියන් හෝටලයේදී දිවා ආහාරය ගත්තේය.

නාමල් හත්දා මඟුල් කයි

නාමල් සහ ලිම්නිගේ විවාහයේ මනාලියගේ පාර්ශ්වයේ තවත් උත්සවයක් පසුගිය 21 වැනිදා යක්කල ප්‍රදේශයේ පැවැත්විණි. මහින්ද, ගෝඨාභය සහ බැසිල් සමඟ ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. නාමල් පැමිණෙන ආරංචියට අනාරාධිතවම ගම්වැසියන් විශාල පිරිසක් මඟ දෙපස රැස්ව සිටියේ නව යුවළට සුබපතන්නටය. ඒ අනුව නාමල්ට සිදු වූයේ නිවසෙන් තරමක් ඈතින් රථයෙන් බැස ජනතාවගේ ආශිර්වාද පිළිගැනීමටය.

නාමල් හා ලිම්නිගේ විවාහ මංගල උත්සවයත් ඉන් පසුව පැවැත්වෙන දෙවැනි ගමන්ද කිහිපයක්ම විය. ගංගාරාමයේ ආගමික වැඩසටහන්, විවාහ ලියාපදිංචිකිරීමේ උත්සව, කාල්ටන් මඟුල, දෙවැනි මඟුල් කිහිපයක්ම දුටු අය කීවේ නාමල් හත්දා මඟුල් කනවා කියාය.

පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව බැසිල්ගේ ප්‍රධානත්වයෙන් 24 වැනිදා නෙළුම් මාවතේදී රැස්විය. ප්‍රසන්න, ලන්සා, සුදර්ශනී, ඉන්දික ඇතුළු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ සෙසු නියෝජිතයෝ එම අවස්ථාවට එක්ව සිටියහ. එහිදී සාකච්ඡා කෙරුණේ ඉදිරි ජනාධිපතිවරණය ගැනය.

"මැතිවරණ නීතිය තදින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මොනවත් බෙදන්න එහෙම යන්න එපා. බෙදන්න ගිහින් මට වෙලා තියෙන දේ පේනවානේ" බැසිල් කියත්ම කාටත් හිනාය.

දයාසිරි නෙළුම් මාවතට

පොදුජන පෙරමුණේ දේශපාලන පක්ෂ කාර්යාලය පිහිටි නෙළුම් මාවතට එන දේශපාලඥයන් ගැන හැමෝම මේ දිනවල උනන්දුවෙන් සිටින්නේ එතැන දේශපාලන ගනුදෙනු රැසක් කතා වන නිසාය.

පසුගියදා ටී ෂර්ටයකින්, ඩෙනිම් කලිසමකින් සැරසී කැප් තොප්පියක් දමාගෙන සිටි දයාසිරි ජීප් රියකින් පැමිණ නෙළුම් මාවත කාර්යාලය ඉස්සරහ බැස්සේය.

"ආ මන්ත්‍රීතුමා, අඳුන ගන්නත් බැරිව ගියානේ. කොහෙද මේ යන්නේ?” සුසාර දිනාල් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ඇසුවේය.

"මම මේ ගෙදරකට ආවා" කී දයාසිරි උත්තර දෙන්නටවත් පරක්කු නොවී ඉදිරියේ තිබුණු නිවසක ගේට්ටුව විවෘත කරගෙන ඇතුළු විය.

ගෝඨාගේ මැතිවරණයේ ලංසට ලොකු වැඩක්

“මැතිවරණ නීතිය උල්ලංඝනය නොවන ආකාරයට මැතිවරණ සටන මෙහෙයවන්න ඕනේ. අපිට තියෙන්නේ දිනන සටනක්. ඒ නිසා කා එක්කවත් අපේ ගැටුමක් නැහැ. නිතරම ජනතාවට පීඩාවක් නොවන විදියට අපේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ වතාවේ ආදර්ශවත්ම මැතිවරණ ව්‍යාපාරය වෙන්න ඕනේ අපේ එකයි" බැසිල් පැහැදිලි කළේය.

අනතුරුව ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික් කමිටුවේ කැඳවුම්කරු ලෙස ලන්සා ප්‍රසන්නව යෝජනා කළ අතර සියලුදෙනාගේ ඒකමතිකත්වයෙන් ප්‍රසන්න එම තනතුරට පත් කෙරිණි.

මහේෂ් ගේන්නේ අනුරලු

පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පිරිස කතාබහ කරමින් සිටියේ ගෝඨාභයට එරෙහිව ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් යන වැඩපිළිවෙළ සම්බන්ධයෙනි.

"ආරංචියක් තියෙනවා හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. ඒකේ අරමුණ වෙලා තියෙන්නේ ගෝඨාභයට වැටෙන සිංහල ඡන්ද කඩන එකයි. මේක පිටිපස්සේ ඉන්නේ විනූ ආරියරත්න කියලා දැනගන්න ලැබුණා. ස්වීඩන්වලින්ලු ආධාර එන්නේ. අනුර දිසානායකත් මේකට සපෝට් කරනවලු. ‍

මහේෂ් ආවොත් ඡන්ද ලක්ෂ 30ක් ගන්න පුළුවන් කියලා මේ අය කතාවෙලා තියෙනවා. මහේෂ්ව ගාණට අන්දලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කරන අන්දන ‍වැඩේ මේ පාර කරන්න හදන්නේ ගෝඨාභය දිනන එක වළක්වන්නයි" කෙහෙළිය හෙළි කළේය.

"ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කළේ මිනිස්සුන්ව අන්දන එකනේ. මතකනේ ෆොන්සේකට කරපු දේ. අපි අවධානයෙන් ඉන්න ඕනේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන එක ගැන. හොන්ඩුරාස් රාජ්‍යයේ වෙච්ච දේවල් මතකනේ. ඒ වගේ ඡන්ද ප්‍රතිඵල එන වෙලාවට තාක්ෂණික උපක්‍රම භාවිතා කරලා මැතිවරණ කොමසාරිස්ට වැරැදි ප්‍රතිඵලයක් යැවීමට පුළුවන්. එහෙම වුණොත් ඒක නිවැරදි කරගන්න වෙන්නෙත් නැහැ." විමල් පෙන්වා දුන්නේය.

වාසුට පලා බෙදයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලන මාලාව 24 වැනිදා යළි ආරම්භ කෙරිණි. 24 වැනිදා පැවති සමූපකාරිකයන්ගේ සම්මේලනයේදී නැවත වරක් පුටු අර්බුදයක් මතු විය. එම සමුළුවට පැමිණ සිටි වාසුට පුටුවක් වෙන් කර තිබුණේ නැත. වාසු හිඳගත්තේ වෙනත් සංවිධායක පුටුවකය. එතැනට පැමිණි ප්‍රසන්න වාසුව වෙනත් පුටුවක් කරා රැගෙන ගියේය.

"මේ තියෙන්නේ ඔබතුමාගේ පුටුව" ප්‍රසන්න පුටුවක් පෙන්නා පැවසුවද එහි සටහන්ව තිබුණේ ප්‍රසන්නගේ නමය.

"මේක ඔයාගේ පුටුවනේ" වාසු ඇසුවේය.

"මගේ නම ගහලා තියෙන්නේ සර්ගේ පුටුවේ. මගේ නම ගැහුවම කවුරුත් වාඩි වෙන්නේ නැහැනේ. ඒ නිසා ඔබතුමා මෙතැන වාඩි වෙන්න" කී ප්‍රසන්න ඒ අර්බුදය විසඳුවේය.

සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණ හැටි

පසුගිය සතිය අවසාන වන විටත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ගැන අවසන් තීරණයක් ගෙන තිබුණේ නැත. එජාප අපේක්ෂකයා තේරීම දිනෙන් දින කල් යන බවත් එය අභ්‍යන්තර ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවටත් විවිධ විෂම ජනමාධ්‍ය හා සමාජ ජාලා ප්‍රවෘත්ති මෙන්ම කටකතා පැතිර ගියද අපේක්ෂකත්වයට අදාළව එජාප අභ්‍යන්තරය තුළ පැවතියේ සන්සුන්කාරී පරිසරයකි. අගමැති රනිල් සහ සජිත් පාර්ශ්ව අතර සාකච්ඡා සම්මුති මෙන්ම එකඟතාද දිනෙන් දින ඇතිවෙමින් තිබිණ. දෙපාර්ශ්වයේ දේශපාලඥයන් විවිධ න්‍යාය පත්‍ර මත මීට අදාළව ක්‍රියා කරන පසුබිමක රනිල් සහ සජිත් දෙදෙනාටම ඉතා සමීප මාධ්‍යකරුවන් පටු න්‍යායපත්‍රවලින් තොරව සියල්ල ගොඩින් බේරාගැනීමේ මෙහෙයුමක නිරත විය. අවසානයේ වඩාත් සාර්ථකත්වයට පැමිණියේ මාධ්‍යකරුවන්ගේ අවංක සහ අපක්ෂපාතී මැදිහත්වීම බව මේ වන විට සියලු පාර්ශ්ව පිළිගන්නා පසුබිමක් පවතී.

සජිත්ට අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පසුගිය සතියේදීත් පැවැත්විණි. මේ සාකච්ඡාවලට වැඩිහිටි දේශපාලන මැදිහත්වීමක් කළේ කථානායක කරු ජයසූරියයි.

කෘත්‍යාධිකාරී මණ්ඩලයට අගමැතිවරයාට හිතවත් පාර්ශ්වයන් වැඩියෙන් පත් කරගනිමින් අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට ලබා නොදී සිටීමට ඇති හැකියාව ගැන සොයා බලන බවටත් විවිධ පාර්ශ්වයන්ගෙන් අදහස් මතුවෙමින් තිබුණේය. මේ පිළිබඳ මැදිහත් වීමට කරුට සිදුවිය.

පසුගිය සතියේදී කථානායක නිල නිවසට අගමැතිවරයා ගියේ අවමඟුල් උත්සවයකට සහභාගීවීමට යෑමට තිබියදීය. කථානායක නිල නිවසේ පැවැත්වෙන සාකච්ඡාවලට සජිත් ප්‍රේමදාස සහභාගි වන බවට අදහස් පළ වී තිබුණත් ඒ සාකච්ඡාවලට ඔහු සහභාගී වී තිබුණේ නැත.

කෙසේවෙතත් කරු ජයසූරිය එදින සවස යළිත් සජිත් ප්‍රේමදාස හමුවිය. මේ හමුවේදී පැහැදිලි එකඟතාවන් කිහිපයක් ඇතිකර ගැනීමට හැකියාව ලැබුණේය. අගමැතිවරයාගේ ධුරය සම්බන්ධයෙන් හා ඔහුගේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පැහැදිළි ඇඟවීමක් කිරීමෙන් පසුව දෙපාර්ශ්වය අතර ඇතිවී තිබූ දුරස්ථභාවයන් අඩු කරගැනීමට හැකියාව ලැබුණේය.

තීරණාත්මක සාකච්ඡාවක්

පසුගිය අඟහරුවාදා එජාප නායක, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, සභාපති කබීර් හෂීම්, මලික්, මද්දුමබණ්ඩාර, රවී, නවීන් යන ඇමතිවරු අරලියගහ මැදුරේදී සවස 5:00ට හමුවූයේ එකී තීරණාත්මක තීන්දුව ලබාගැනීමටය.

"අපේක්ෂකයා තේරීම අද ඉවරකරමු. රටට ගියපු චිත්‍රයට වඩා අප අතර දැන් විශාල අවබෝධයක් තිබෙනවා නේද?" ලක්ෂමන් කිරිඇල්ල කීවේය.

"ඔව්. අපි සජිත්ට අපේක්ෂකත්වය දෙමු. සියලුදෙනා එකතුවෙලා මේ ඡන්දය දිනමු. මේක දිනන්න පුළුවන් ඡන්දයක්. මොකද ආණ්ඩුව ඇතුළෙන් හා පිටින් දේශපාලනිකවත් ඊට අමතරව ජනමාධ්‍යයත් කොච්චර කකුලෙන් ඇද්දත් මේ ආණ්ඩුව තරම් රටට වැඩ කළ පිරිසක් තවත් නෑ. කෝටි දහස් ගණන් රාජපක්ෂලාගේ ණය කන්දක් ගෙවමිනුයි අපි මේ ප්‍රාතිහාර්යය කළේ. ඒ විතරක්ද ආණ්ඩු විරෝධය කෘත්‍රිමව ඇතිකළ ජනමාධ්‍ය හෝ සමාජ ජාලාවල කිසි කෙනකුගේ මයිල් ගහකටවත් හානියක් වුණේ නෑ. ඒ තරමටම අපි නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සවිමත් කළා. මට ඒ ඇති. අවශ්‍ය නම් මම දේශපාලනයෙනුත් සමුගන්නම්." අගමැතිවරයා සිය ස්ථාවරය දීර්ඝ ලෙස පැහැදිලි කළේය.

"නෑ, නෑ, ඔබතුමා යන්න එපා. අගමැතිකම මෙන්ම පක්ෂ නායකත්වයෙත් ඔබතුමා දිගටම රැඳී ඉදීම වැදගත්. ඒ අත්දැකීම් වටිනවා." කබීර්, මලික් මෙන්ම රංජිත් මද්දුමබණ්ඩාරද කීවේ එකම මතයකි.

"හොදයි. එහෙනම් සජිත් අපේ අපේක්ෂකයා ලෙස තීන්දුයිනෙ. අද රෑට මටනම් හොඳට නින්ද යාවි." ලක්ෂමන් කිරිඇල්ල අවසානයේ කීවේ කාගේත් සිනා සහ සුබපැතුම් මැදය.

මෙම තීන්දුව ගැනීමත් සමඟ එය සමාජ ජාලාවල ප්‍රචාරය වූයේ ඉතා විකෘති චිත්‍රයක් රටට ලබාදෙමිනි. දැවැන්ත කොන්දේසි මාලාවකින් සජිත් ගැටගසා ඔහු තරගයට දැමීමට එජාප නායකයා සූක්ෂ්මව ක්‍රියාකොට ඇති බවත් සජිත් පෙන්වා රනිල් බලය ගැනීමේ වැඩපිළිවෙළක් දියත්කොට ඇති බවත්ය. ඒ හරහා සජිත් ප්‍රේමදාස පත්වූයේ දැඩි අපහසුතාවකටය.

බදාදා සවස සජිත් පිළිගැනීමේ සිව්වන දැවැන්ත රැළිය මතුගමදී පැවැති අතර ඔහු එහිදී තමා බැඳ දැමුවායැයි කියන කොන්දේසි වලට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ලකළේය.

"මම කාගේවත් කොන්දේසිවලට යටවෙලා වැඩකරන්නෙ නෑ. මම රූකඩයක් නෙවෙයි. කොන්දේසි එක්ක සක්විති රජකමවත් එපා..." සජිත් මතුගමදී කීවේ එවැන්නකි.

සජිත්ගෙන් තිස්සට ආරාධනා

සජිත් තමන්ට ජනාධිපති අපේක්ෂකත්වය ලැබෙන බව තහවුරුවීමෙන් පසුව පළමුව කළේ තිස්ස අත්තනායක නැවත එක්සත් ජාතික පක්ෂයට එක් කරගැනීම සඳහා වන සාකච්ඡා ආරම්භ කිරීමය. එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ යාන්ත්‍රණය කාලයක් හසුරවා ඇති තිස්ස සතු සංවිධාන ශක්තිය ගැන සජිත් වැඩි බලාපොරොත්තුවක් තබාගෙන සිටී.

සජිත් තිස්සට කළ ආරාධනාවට හැරෙන තැපෑලෙන්ම තිස්සගේ සුභවාදී ප්‍රතිචාරයන් එක් කර තිබුණේය.

සජිත් - නවීන් රහස් කතා

සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් තවත් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වුණේ නවීන් දිසානායක ඇමැතිවරයා සමඟය. තමන් සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට කතා නොකිරීම ගැන නවීන් දිසානායක දැනට සති දෙකකට පෙර තමන්ගේ හිතවතුන් කිහිපදෙනකු සමඟ සාකච්ඡා කර තිබුණේය. මේ පිළිබඳ සජිත් සමඟත් නවීන් සමඟත් සමීපව කටයුතු කරන මාධ්‍යවේදියකුට තොරතුරු ලැබී තිබුණේය.

ඒ අනුව එම මාධ්‍යවේදියා සජිත් හමුවීමට ගියේය. මාධ්‍යවේදියා රහස් සාකච්ඡාවකට යනවා වෙනුවට ගියේ දැනට සති දෙකකට පමණ පෙරදී මංගල සමරවීර ඇමතිවරයාගේ නිවසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවටය. ප්‍රවෘත්ති සාකච්ඡාව අවසානයේදී සජිත් එම මාධ්‍යවේදියා සමඟ ආගිය කතා කරමින් ගිය අතර තමන්ට කීමට තිබූ රහස් පණිවුඩය ගැනත් ඉඟියක් දුන්නේය. එතැනින් නොනැවතුණු මාධ්‍යවේදියා වට්ස් ඇප් පණිවුඩයක් ඔස්සේ නවීන් දිසානායක සමඟ සාකච්ඡා කිරී‌මේ වැදගත්කමද පැහැදිළි කර තිබුණේය.

මේ පණිවුඩ හුවමාරුවෙන් පසුව නවීන් හමුවීමට සජිත් ගොස් තිබුණේ දෙදෙනා අතර පැයක මුහුණට මුහුණ සාකච්ඡාවකටද සූදානමින්ය. මේ සාකච්ඡාව අවසන් වූයේ සජිත්ට නවීන්ගේ සහායද හිමිකර දෙමිනි.

අවසන් සාකච්ඡා

බ්‍රහස්පතින්දා සවස පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමටත් ඉන් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටත් ඉදිරිපත් කිරීමට සියල්ල සූදානම් කර තිබුණේය. මේ අතර බ්‍රහස්පතින්දා සවස අගමැතිවරයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් තමන් හමුවට කැඳවා ගත්තේය.

සජිත්, නවීන්, රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම් එකම කාමරයකට කැඳවාගත් අගමැතිවරයා ඔවුන් සමඟ අවසන් එකඟතාවන් ගැන කතා කළේ පක්ෂයේ අභ්‍යන්තර සුහදත්වයන් ආරක්ෂා කරගනිමින්ය.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම

බ්‍රහස්පතින්දා සවස තුනට පමණ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉහළ මාලයේදී ආරම්භ වන විට

"ජනාධිපතිවරණය කැඳවා ඇති නිසා ජනාධිපතිවරණයට අපි තරග කරනවා. අපේක්ෂකයා නම් කිරීම එක්සත් ජාතික පක්ෂයට භාරදී තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණේ සන්ධානයේ පක්ෂ මේ වගකීම අපිට ලබාදී තිබෙනවා. මේ පිළිබඳ බොහෝ දෙනාගේ උනන්දුවක් තියෙනවා. අපි අද උදෙත් සාකච්ඡා කළා. අද උ‌දෙත් බොහෝ දෙනාගේ මතය වුණේ පක්ෂය බෙදෙන්නේ නැතිව යන්න ඕන කියන එකයි. අපි පක්ෂයේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළ යුතුයි. අපි පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා කරනවා" අගමැතිවරයා සජිත්ගේ නම යෝජනා කළේය.

"මේ යෝජනාවට විරෝධතා තිබෙනවාද?" අගමැතිවරයා විමසුවේය. සජිත් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට කිසිදු අයකුගේ විරෝධතාවක් තිබුණේ නැත. මේ නිසා ඔහුගේ නම ඒකමතිකව සම්මත විය.

කෙසේ නමුත් සජිත්ගේ නම යෝජනා කිරීමෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වූයේ නැත. කෘත්‍යාධීකාරී මණ්ඩල සාමාජිකයෝ මේ ගැන විවිධ අදහස් දක්වන්නට වූහ.

සජිත් ප්‍රේමදාසගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව පක්ෂයේ සම්මේලනයක් කැඳවීමටද කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය. ඒ ජනාධිපති අපේක්ෂකායගේ නම සම්මේලනයකදී සම්මත කරගැනීමටය. එය එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකයකු පත් කිරීමේ සම්ප්‍රදායයි.

මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයට තවත් යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිතය. බලය බෙදාහැරීම, විධායක ජනාධිපතික්‍රමය හා පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනා මෙයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මීට අමතරව තවත් සුවිශේෂී යෝජනාවක් පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කිරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි විය. ඒ කරු ජයසූරිය විසින් දින පනස් දෙකේදී රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දැක්වූ දායකත්වය අගය කිරීම සඳහාය.

මාතෘකා