සතුට, සැනසුම හිමි හෙටකට 'ජාතික ජන බලවේගය' තෝරා ගන්න

 ඡායාරූපය:

සතුට, සැනසුම හිමි හෙටකට 'ජාතික ජන බලවේගය' තෝරා ගන්න

NPP ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක

රට විනාශයට ගෙන යන, රටට දුක, වේදනාව, විපත් උරුම කරන පාලනයක් අවශ්‍ය නම් පැරණි පාලකයන්ම තෝරා ගත යුතු බවත් ඒ වෙනුවට රට සෞභාග්‍ය කරා ගෙන යන, ජනතාවට සතුට, සැනසුම ගෙනෙන පාලනයක් අවශ්‍ය නම් තෝරා ගතයුතු වන්නේ ජාතික ජන බලවේගයේ පාලනයක් බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (22) හැටන් නගරයේ පැවැති ජන හමුකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“අද අපේ රටට අවශ්‍යව තිබෙන්නේ වංචනිකයන්, දූෂිතයන් රැසකට නායකත්වය සපයන්න පවුලේ නායකයෙක් තෝරා ගැනීමේ තරගයක් නොවෙයි. අප හමුවේ තිබෙන්නේ ඉතිරි අවුරුදු පහ අපේ රට පාලනය කරන්න, අපේ රටේ ගැටලු විසඳන්න කවරාකාරයේ පාලනයක්ද කවරාකාරයේ පාලකයෙක් අපි තොරා ගන්නවාද යන ප්‍රශ්නයයි. මෙම ස්ථානයට එක්රැස් වී සිටින තමුන්නාන්සේලාට වරමක් ලැබෙනවා. අවස්ථාවක් ලැබෙනවා අපේ රටට නව පාලකයෙක් හා නව පාලනයක් තෝරා ගන්න. නොවැම්බර් මාසේ 16 වැනිදා කියන්නේ රටට පාලකයෙක් තෝරා ගැනීමට ඇවිත් තිබෙන පළමු අවස්ථාව නෙවෙයි. මීට කලිනුත් අපේ රටේ ජනතාව එකතු වෙලා පාලකයෝ හදාගෙන තිබෙනවා. පාලනයක් පිහිටුවාගෙන තිබෙනවා. හැබැයි මොකද්ද වෙලා තියෙන්නේ? මේ කඳුකරයේ ජීවත් වෙන සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා, වත්තේ වැඩ කරන ව්‍යාපාරයක් කරන, රැකියාවක් කරන, ත්‍රීවීල් එකක් හයර් කරන මේ සියලු දෙනාගේ ජීවිත ඉදිරියට ගෙන යන්න මේ පාලකයන් සමත් වෙලා නෑ. හැබැයි හැම ඡන්දයකටම එන මේ පාලකයන් ජනතාවගේ ප්‍රශ්න විසඳන බව ප්‍රකාශ කළා. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා පාසල ඉතා හොඳින් ගොඩනඟන බව ප්‍රකාශ කළා. බෙහෙත් ගැනීම සඳහා පහසුකම් සහිත රෝහල් ඉදි කරන බව කිව්වා. පාරවල් ටික හදන බව ප්‍රකාශ කළා. දුවා දරුවන්ට රැකියා උත්පාදනය කරන බව ප්‍රකාශ කළා. මොනවද නොකිව්වේ. හැබැයි අවුරුදු 71ක් මේ පාලකයෝ අපේ රට පාලනය කරලා ඒ කියපු කිසිවක් ඉටු කරන්න බැරි පාලකයන් බවට පත් වී සිටිනවා. ඒ නිසා අපි තමුන්නාන්සේලාගෙන් අහන්නේ යළි නොවැම්බර් මාසේ 16 වැනිදටත් මේ පැරණි පාලකයන් අතටම අපේ රටේ පාලනය බාර දෙනවාද? එසේ නැතිව අපේ රට නව පාලනයක් වෙනුවෙන් පෙළ ගැසෙනවාද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා.

“අපි තමුන්නාන්සේලාගෙන් අහන්නේ මේ අවුරුදු 71ක් අපේ රට විනාශයට පත් කළ පාලනය වෙනුවට අපි නව පාලනයක් ගොඩනඟා ගතයුතු නැද්ද? අද මේ වේදිකාව පිරිලා තියෙන්නේ ඒ නව පාලනයක් සඳහා වැඩ කරන්න පුළුවන් විශාල පිරිසකගෙන්. වෘත්තීය සමිති නායකයන්, මේ හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසල් ගණනාවක විදුහල්පතිවරුන්, අධ්‍යාපන කේෂත්‍රයේ අධ්‍යක්ෂවරුන්, කලාකරුවන්, සාහිත්‍යධරයන් මේ වේදිකාවේ ඉන්නවා. මේ කවුද? මේ අය තමයි මේ රට ගොඩනඟන බලවේගය හා මේ රටට නායකත්වය දෙන පිරිස. නොවැම්බර් මාසේ 16 වැනිදා අපේ රටේ පාලනයක් පිහිටුවා ගන්න ඕන අපේ රට හදන්න. අවුරුදු 71ක් ගිහින් මේ වතුකරයේ ජනතාවට මොකද්ද සිදු වී තිබෙන්නේ? වතුකරයේ ජීවත්වන ජනතාවට ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. එක, ආර්ථිකමය ප්‍රශ්නයක් තිබෙනවා. විශේෂයෙන්ම වත්තේ වැඩ කරන අයට. තමන්ගේ ජීවිතය පවත්වාගෙන යෑමට සරිලන වැටුපක් ලැබෙන්නේ නෑ. ඇයි ඒ? මෙච්චර කාලයක් මේ රට පාලනය කරමින් සිටින්නේ වැඩ කරන ජනතාවගේ පාලනයක් නොවෙයි. මේ රට පාලනය කරමින් සිටින්නේ වතු හිමිකාරීත්වයේ, වතු හාම්පුතාලගේ, වතු හිමිකාරීත්වයේ පැත්ත නියෝජනය කරන පාලකයන් පිරිසක්. මේ ආණ්ඩුවේ, ගිය ආණ්ඩුවේ ඇමතිවරු ඉන්නවා ඒ අය වතු අයිතිකාරයෝ. එහෙනම් ඒ අය නියෝජනය කරන්නේ වැඩ කරන ජනතාවගේ පැත්ත නොවෙයි වතු හාම්පුතුන්ගේ පැත්ත.

“අවුරුදු 70, 80ක් වගේ කාලයක් තමයි අපි ජීවත් වෙන්නේ. මේ කෙටි කාලය තුළදී අපි හැම දෙනාටම මිනිසුන් හැටියට ජීවත් වෙන්න ඕන ජීවිතයක් ඕන නැද්ද? ඒ සඳහා ආදායම් මාර්ගයක් ඕන නැද්ද? ඒ නිසා අපි වතුකරයේ වැඩ කරන ජනතාවට සහතිකයක් දෙනවා. ඔබගේ ජීවන තත්ත්වය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑමට සරිලන වැටුපක් ලබා දීමට කටයුතු කරන ව්‍යාපාරය බවට පත් වන්නේ ජාතික ජන බලවේගය. අද සටන තිබෙන්නේ දෛනික වැටුප රුපියල් 1,000ක් කරන්න. අපි කියන්නේ 1,000ත් මදි. මේක ඇත්ත. රජයේ කාර්යාලයක අතුපතු ගාන රස්සාව කරන කෙනාගේ දෛනික වැටුප රුපියල් 1,270යි. හැබැයි වත්තේ වැඩ කරන කෙනාගේ දවසේ වැටුප රුපියල් 1,000ක් දෙන්නත් බෑ කියනව. ඒ නිසා මේක ඉතා යුක්ති සහගත අරගලයක්. මේ කවුරුත් රුපියල් 1,000ක් ඉල්ලන්නේ මාළිගා හදන්නද? යාන වාහන ගන්නද? නෑ. මේක ඉල්ලන්නේ තමන්ගේ ජීවත් වීම සඳහා ආහාර වේල සපයා ගන්නයි.”

[ගාමිණී බණ්ඩාර ඉලංගතිලක]

මාතෘකා