ජනපති සටනට සියල්ල සැරසේ

 ඡායාරූපය:

ජනපති සටනට සියල්ල සැරසේ

කොටුව දුම්රියපොළ ඉදිරිපිට උපවාස කරන හමුදා සාමාජිකයන්ගේ ප්‍රශ්නයට විසඳුම් දෙන බව ඇමති මංගල සමරවීර පවසා තිබේ.

‘ඒ අයට සාධාරණ දුක්ගැන්විල්ලක් තිබෙන බව මට තේරුණා. දැන් තියෙන ක්‍රමය යටතේ පූර්ණ ආබාධිතයෙක් වුණොත් විතරයි තමන්ගේ පඩිය පැංෂන් ගියාට පස්සේ ජීවිතාන්තය දක්වා ලැබෙන්නේ. අර්ධ ආබාධිතයන්ට විශේෂ බෙහෙත් ඕන. වෙන අයගෙ උදවු ඕන. ගෙදර සාත්තුකරුවන් තියාගන්න වෙනවා. අපි හිතනවාට වඩා ඒ අයගෙ ජීවිත කාලයත් කෙටි වෙන්න පුළුවන්. එදාම මම කිව්වා අපි මේ ගැන ආරක්ෂක අමාත්‍යා‍ංශය එක්ක කතාකරනවා කියලා. මුදල් අමාත්‍යාංශය හැටියට සමරතුංග මහතා සමඟ සාකච්ඡා කරලා අර්ධ ආබාධිත සෙබළුන්ටත් විශ්‍රාම ගියාට පස්සේ ඉතුරු ජීවිත කාලයට රජයෙන් විශ්‍රාම වැටුපට අමතරව පඩියෙන් 75%ක් ලබාදෙන්න මම යෝජනා කළා.

මැකොස වැඩට බසී

කවුරුත් බලාපොරොත්තුවෙන් සිටි ජනාධිපතිවරණයට දින නියම කරමින් ජනාධිපතිවරණය නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය බදාදා රාත්‍රි‌යේදී ප්‍රකාශයට පත් කළේය. අති විශේෂ ගැසට් නිවේදනයක් ලෙස ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යැවූ විට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දුරකථනවලටත්, රජයේ මුද්‍රණාලයේ දුරකථනවලටත් නිවනක් තිබුණේ නැත. එසේ දුරකථන ඇමතුම් දුන් අය අතර දේශපාලනඥයන්ද වූ අතර ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ මැතිවරණය පැවැත්වෙන දිනය නිශ්චිතව දැනගැනීමටය.

මැතිවරණය පැවැත්වීමට දින නියම වී ඇතත් ප්‍රධාන පක්ෂ දෙකක්ම තවම ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබද තීරණයක් ගෙන නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයට තමන්ගේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න ගැන අවසන් තීරණයක් ගෙන නොමැති අතර එක්සත් ජාතික පක්ෂය තවමත් තමන්ගේ අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කරගත නොහැකිව සිටී. සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය හා රනිල් වික්‍රමසිංහ තවමත් අපේක්ෂකත්වය කෙරෙහි ඇස යොමාගෙන සිටී.

ජනපති ගීත තෝරයි

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කිරීමට දින කිහිපයකට පෙර නැවත වරක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හිටපු ජනාධිපතිවරයාගේ කාලයේදී සිදුවූ දේ ගැන තදින් කතා කිරීමට පටන් ගත්තේය. ඔහු රත්නපුරයට ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සම්මේලනයට සහභාගී විය. ඔහු රත්නපුරයට යෑමට පෙර ගියේ රූපවාහිනියටය. ඒ ‘සිහිනයකි රෑ’ වැඩසටහනේ පටිගත කිරීම් සඳහාය.

රූපවාහිනී වැඩසටහන පටිගත කිරීමෙන් පසුව හෙලිකොප්ටරයෙන් රත්නපුරයට යෑමට නියමිතව තිබුණත් වර්ෂාව නිසා හෙලිකොප්ටරයෙන් යෑමට නොහැකි විය.

"දැන් පාරෙන් තමයි යන්න වෙන්නේ. ගෙදර ගිහින් කන්න වෙලාවක් නෑ. කෑම එක වාහනයට දාගන්න" කී මෛත්‍රී වාහනයෙන්ම රත්නපුරයට ගියේය. රත්නපුරයේ තිබෙන සබරගමුව ආණ්ඩුකාරවරයාගේ නිවසට ගිය ජනාධිපතිවරයා‌ තමන්‌ ගෙන ආ කෑම වේල ආහාරයට ගත්තේය.

රත්නපුරේදිත් සැර කතාවක්

"මම ආවේ හොඳ ආණ්ඩුවක් කරන්න. මහින්ද අමරවීර ඇමැතිතුමාගේ ලියුමෙන් තමයි පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ ඉන්නේ. මගේ ඔක්තෝබර් විප්ලවය ඔබතුමන්ලාට මතකයිනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති ධුරයෙන් අයින් කරලා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කළා. පොහොට්ටුවේ නායකයෝ ඔක්කොම පාර්ලිමේන්තුව විසුරවන්න කියලා ඉල්ලුවා. ඒ අයගේ ඉල්ලීමට මම පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. මේත් එක්කම පහුවැනිදා බත්තරමුල්ලේ කොහේටද එකතුවෙලා කට්ටියම පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා. ඊට පස්සේ සුමානේ පාර්ලිමේන්තුව නැවත රැස්වුණාම එක්සත් ජාතික පක්ෂය කථානායකතුමාගෙන් ඇහුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද කියලයි. ඒ වෙලාවේ ඔය සිරිසේනට මොකක්ද කරන්න පුළුවන් කියන නුවර පැත්තේ හාදයත් මම ළඟට ආවා. මේ අය ඔක්කෝම අපි හමුවෙලා අනේ ඉක්මනට කථානායතුමාට ලියුමක් දීලා අපි බේරගන්න කිව්වා. මහින්ද මම ළඟට ඇවිත් සර් මොකක්ද කරන්නේ කියලා ඇහුවා. දුමින්දලා, නිමල්ලා, අපි කතා කරලා ‘පව්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයනේ’ කියලා කථානායකතුමාට ලියුමක් දුන්නා. ඒ ලියුම නිසා තමයි ඔය කයිවාරු ගහන අය අදටත් පාර්ලිමේන්තුවේ ඉන්නේ." මෛත්‍රී තදින් කීවේය.

රහස් කතා රැසක් එළියට

ඒ අතරම මෛත්‍රී - චන්ද්‍රිකා සමඟ දේශපාලන ගනුදෙනු සිදුකළ ආකාරයත්, සන්ධානය නිර්මාණය කළ ආකාරය ගැනත් අතීත කතා සිහිපත් කිරීමටද අමතක කර තිබුණේ නැත.

"2004 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි එකට එකතු කරන සන්ධානයක් හදන්න මම තමයි වැඩිපුරම නිදිවැරුවේ. හවස 7ට වාඩිවුණාම ජවිපෙ නායකයොත් එක්ක අපි පාන්දර 1 – 2 – 3 වෙනකම් සාකච්ඡා කළා. දවසක් දෙකක් නෙවෙයි, මාස 4ක් ඒ විදියට සාකච්ඡා පැවැත්තුවා. මාස 4ක් සාකච්ඡා පවත්වලා සන්ධානය හදලා තමයි චන්ද්‍රිකා මැතිනියත් එක්ක එකතු වෙලා පාර්ලිමේන්තුව විසුරුවලා මහමැතිවරණයකට ගියේ" මෛත්‍රී අතීතය සිහිපත් කළේය.

රත්නපුරයේ සමුළුව අවසන් වී ජනාධිපතිවරයා වාහනයෙන්ම කොළඹ බලා පැමිණියේ දයාසිරි ජයසේකර හා මහින්ද අමරවීර සමඟය. ඔවුන් කොළඹ එන අතරවාරයේදී මඟ තිබූ කුඩා තේ කඩයක තේ බීමට නතර කර තිබුණේය.

නෙළුම් කුලුනේදීත් තද කතාවක්

මේ සතියේ සඳුදා හවස්වරුවේ නෙළුම් කුලුන විවෘත විය. ජනපති මෛත්‍රී මල්වෙඩි මැද විවෘත කළ නෙළුම් කුලුන අබියසදී කළ ආන්දෝලනාත්මක කතාවක් කළේය.

ජාතික සම්පතක්, සන්නිවේදනයේ පරිවර්තනයක් ලෙස මෙම ඵෛතිහාසික කාර්යභාරය පිළිබඳ සතුටු වනවා සේම ඒ පිටුපස කතාව එතරම් සුන්දර නොවන බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේදී ආරම්භ කළ නෙළුම් කුලුන විවෘත කර තිබුණේ එහි වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අවසන් නොකරය. නෙළුම් කුලුන විවෘත කිරීමටත් වඩා රටේ ජනතාව අතර කතාබහට ලක්වූයේ නෙළුම් කුලුන ඉදිකිරීමට යෑමේදී සිදුවූ වංචා දූෂණ ගැන ජනාධිපතිවරයා කළ හෙළිදරව් කිරීමය.

"මේ කුලුනේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වී නැහැ. නමුත් අපි විවෘත කිරීමට තීරණය කළේ දැනට අවසන් කර ඇති ප්‍රමාණය තුළ එය විවෘත කිරීමට හැකියාවක් තිබෙන නිසයි. ඉතිරි සම්පූර්ණ ප්‍රමාණය සකස් කරලා වැඩ අවසන් කරලා විවෘත කිරීම සඳහා තව යම් කාලසීමාවක් ගත වෙනවා වගේම තව සෑහෙන මුදලකුත් අවශ්‍ය වෙනවා. මේ තත්ත්වයට මේ ගොඩනැඟිල්ල ගෙන ඒමට වසර 07ක කාලයක් ගත වී තිබෙනවා. කිවයුතුම දෙයක් තිබෙනවා, ඒ තමයි 2012දි මේ ගොඩනැඟිල්ලේ වැඩ ආරම්භ කරන්න ශ්‍රී ලංකා රජය කෝටි 200ක් රුපියල් බිලියන 02ක් අත්තිකාරම් වශයෙන් ගෙවලා තිබෙනවා. ඒ ගෙවලා තිබෙන්නේ චීනයේ ඇලිත් කියන සමාගමට. 2016 වන විට ඇලිත් සමාගම අතුරුදන් වුණා. ඇලිත් සමාගමට වුණු දෙයක් නැතිව ගියා. ශ්‍රී ලංකා රජය දුන්න රුපියල් කෝටි 200ක මුදලත් ආගිය අතක් නැතිව ගියා. ඒ රුපියල් කෝටි 200ක අත්තිකාරම් මුදල ගෙවලා තිබෙන්නේ 2012දි.

“අපි මේ ගැන දැනගත්තට පස්සේ මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළා. චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහත්මයට මම පුද්ගලිකව වගේම නිල වශයෙන් දැනුම් දුන්නා මේ ඇලිත් කියන සමාගම හොයලා දෙන්න කියලා. ඒ මොකද කලින් ත්‍රෛපාර්ශ්වික ගිවිසුමේ අත්සන් කළ සමාගමක්. නමුත් අතුරුදන් වුණාට පස්සේ ඇලිත් කියලා එවැනි සමාගමක් ලෝකේ කොහෙවත් නැහැ. එවකට සිටි අපේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමාටත් අපි දැනුම් දුන්නා. චීනයේ සිටින අපේ තානාපතිතුමාටත් දැනුම් දුන්නා. මම කරුණාසේන කොඩිතුවක්කු මහත්මයට කිව්වා ත්‍රෛපාර්ශ්වික ගිවිසුම අත්සන් කරලා තිබුණු ඇලිත් සමාගමේ ලිපිනය බීජිං නගරයේ ලිපිනයක්. ඒ නිසා චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයටත් දන්වලා, මේ ගැන පෞද්ගලිකව සොයලා බලන්න මේ ලිපිනය තිබෙන ස්ථානයට ගිහින් බලන්න කියලා මම කිව්වා. අපේ තානාපතිතුමා ඒ ස්ථානය බලන්න ගියා. ඒ ලිපිනයේ එහෙම සමාගමක් නැහැ. එතකොට අත්තිකාරමට වුණු දෙයක් නැහැ. සමාගමත් නැහැ. ඒ තත්ත්වය උඩ තමයි චීනයේ එක්සිම් බැංකුව බිලියන 16ක ණය මුදල බිලියන 12කින් නැවතුණේ. ඊටපස්සේ අපට සිදු වුණා අපේ සල්ලිවලින් මේ කුලුන හදන්න. මේ රටේ ජනතාවගේ සල්ලිවලින්. මේ මුළු කුලුනම හදලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ සල්ලිවලින් තමයි. මොකද මේ ලැබුණු රුපියල් බිලියන 12ත් ණය. අපි අවුරුද්දකට රුපියල් බිලියන 2400ක් එක්සිම් බැංකුවට ගෙවන්න ඕනෑ; වසර 10ක්. අපි 2018 මිලියන 2400ක් ගෙව්වා. ඒ අවුරුද්දේ ගෙවිය යුතු ණය මුදල වන රුපියල් කෝටි 240ක් අපි ගෙවලා තියෙනවා. 2019 මේ අවුරුද්දේ මේ වන විට මිලියන 1200ක් ගෙවලා තියෙනවා; කෝටි 120ක් ගෙවලා තියෙනවා. එතකොට වසරකට කෝටි 240ක් නැත්නම් මිලියන 2400 බැගින් වසර 10ක් මේ ණය මුදල අපිට ගෙවන්න තිබෙනවා. ඒවගේම මෙහි තිබෙන ඉතිරි වැඩ අවසන් කරන්න අපිට තව මිලියන 3000ක් නැත්නම් කෝටි 300ක් අවශ්‍ය වෙනවා." ජනාධිපතිවරයා කීවේ මහින්ද නොමැතිවය.

මේ උත්සවයට මහින්දට ආරාධනා කර තිබූ නමුත් ඔහු පැමිණ සිටියේ නැත. එහෙත් ජනාධිපතිවරයා අවසාන මොහොත දක්වාම හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටියේය. ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයෙන් අවසාන මොහොතේදීත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට දුරකථන ඇමතුම් ගත් අතර ඒ මොහොත දක්වාම පැමිණෙන්නේද නැද්ද යන්න ගැන දැනුම්දී තිබුණේ නැත.

නෙළුම් කුලුන විවෘත කළ ජනාධිපතිවරයා කුලුනේ ඉහළටම නැඟ රාත්‍රී ආහාරයත් එතැනින්ම ගෙන පැමිණියේය.

හදිසි කණ්ඩායම් රැස්වීමක්

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ වහාම ජනාධිපතිරවයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවූවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වුණේ ජනාධිපතිතුමාගේ නිල නිවසේදීය. මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ සන්ධානගත විය යුත්තේ කෙසේද යන්න මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කළේය.

නිමල්ගේ හිත පොහොට්ටුවට

මුලින්ම අදහස් ඉදිරිපත් කළේ නිමල් සිල්වා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වරයාය. ඔහුගේ අදහස වූයේ පොහොට්ටුව සමඟ සන්ධානගත විය යුතු බවය. ඔහු දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළේය. නිමල් සිරිපාල සිල්වා ප්‍රකාශ කළේ කෙසේ හෝ සන්ධානගත වී මැතිවරණය ජයග්‍රහණය කරා ගෙන යායුතු බවයි.

ඉන් අනතුරුව අදහස් ඉදිරිපත් කරන්න එක්වුණේ පක්ෂයේ උප සභාපති රංජිත් සියඹලාපිටියය. එකිනෙක තර්ක ගෙනෙමින් රංජිත් සියඹලාපිටිය පොහොට්ටුව සමඟ සන්ධානගතවීම සුබවාදී පැතිකඩ මන්ත්‍රී කණ්ඩායමට පැහැදිලි කරන්න විය.

දුමින්ද-වීරකුමාර වෙන මතයක

ඒ අවස්ථාවේදී දුමින්ද දිසානායක හා වීරකුමාර දිසානායක මන්ත්‍රීන් දෙපළ යෝජනාවලට දැඩිසේ විරුද්ධව කරුණු ඉදිරිපත් කරන්නට විය. නමුත් සියඹලාපිටියගේ තර්ක හමුවේ දෙදෙනාටම නිහඬ වන්නට සිදුවූයේ අනිත් මන්ත්‍රීන් සියලුදෙනාම සියඹලාපිටිය කියූ කරුණු ගැන එකඟතාවකට පැමිණි නිසාය. තත්ත්වය එසේ වෙද්දී මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේ අවසන් තීරණය ගැනීම ජනාධිපතිතුමත් හිටපු ජනාධිපතිතුමත් අතර සාකච්ඡාවකින් පසුව සකස් විය යුතු බවයි.

ආණ්ඩුවෙන් නිවාස විප්ලවයක්

ගෙවීගිය සතිය තුළ සංවර්ධනයට අදාළ කටයුතු රැසක් ජනතා අයිතියට පැවරීම මෙන්ම ආරම්භ කිරීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ඊට කලින් සතියේ දෙවැනි වතාවටත් එකම දිනක් තුළ පාසැල් ගොඩනැඟිලි 500ක් සිසු අයිතියට පැවරූ මේ රජය පසුගිය සතියේ ඇමති චම්පික ගොඩනැඟූ නිවාස 3300ක් එකම දිනකදී අගමැතිවරයා අතින් ජනතා අයිතියට පැවරිණ.

"2005 ඉඳලා 2015 දක්වා රාජපක්ෂ ආණ්ඩුව හැදුවේ නිවාස 4600යි. අද අපි නිවාස 3300ක්ම එකම දිනකදී ජනතාවට පවරනවා. මේ වසර 4ට ඇමති චම්පික විතරක් නිවාස 12,000ක් හැදුවා. ලබන වසර මැද වෙනකොට 20,000ක් සම්පූර්ණ කරනවා. ගිය රජය කාලා බීලා වැඩි මිනිස්සුන්ට ව්‍යායාම කරන්න මංතීරු හදන්න ප්‍රමුඛත්වය දුන්නට අපි කළේ හිසට සෙවනක් නැති මිනිස්සුන්ට ගෙවල් හැදීම." අගමැතිවරයා එහිදී කීවේය.

සජිත් රට වටා යයි

ඇමති චම්පිකට අමතරව නිවාස ඇමති සජිත්ද රට පුරා මේ වන විට උදාගම් 2562ක වැඩ අරඹා ඉන් 290ක් විවෘත කොට හමාරය. එම එක් උදාගමක ගෙවල් 30ක සංඛ්‍යාවක් ඉදිවුවද උදාගම් 2562ක් තුළ නිවාස 76,860ක වැඩ මේ වන විට හමාර වෙමින් පවතී. ඊට අමතරව උතුරු නැඟෙනහිර සහ කඳුකරයේද නිවාස ඉදිකිරීම් දහස් ගණනක් වෙනත් අමාත්‍යවරුන් හරහා ඉදිවන නිසා මේ රජය ආරම්භ කළ නිවාස විප්ලවය මෙතෙක් ලොව කිසිම රටක සිදු නොවූවක් බව පැහැදිලිය.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ කළුතර උත්සවයකට යාමට පෙර අගමැතිවරයා පැමිණ සිටි මැතිඇමතිවරුන් සමඟද කතාබහ කළේය.

කරපු වැඩ ගැන කිරිඇල්ල කියයි

"මේ ආණ්ඩුවේ ඇතුළෙ හිටපු පාර්ශ්වයනුයි, ජනමාධ්‍යයි, විපක්ෂයයි කකුලෙන් අදිද්දි රට අධික ණය බරකින් වෙළිලා තියෙද්දිත් අපි කරපු සංවර්ධනය සමහරුන්ට තේරෙන්නෙ නෑ. අධිවේගී මාර්ග, ගුවන් පාලම්, මහාමාර්ග, පාසල්, රෝහල්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් ගොඩනැඟිලි සිය ගණනක් අපි හැදුවා. නොමිලේ සෞඛ්‍ය වැඩිදියුණු කිරීමේ හා නිවාස විප්ලවයකුත් කළා. පඩි 10,000ක් හා 2500ක් වශයෙන් දෙවතාවකදී වැඩි කළා. සමෘද්ධි, මහපොළ වැඩිහිටි දීමනා ආදී සියල්ල දෙගුණ කරලා, ගැබිනි මවු්වරුන්ට පෝෂණ මලුත් දුන්නා. 2015ටත් වඩා ඉන්ධන හා ගෑස් මෙන්ම බොහෝ අත්‍යවශ්‍ය බඩුවල මිල තවමත් අඩුයි. ඒත් මේ ආණ්ඩුව කළේ මොනවද කියලා සමහරු අහනවා. මේක හරිම කනගාටුදායක තත්ත්වයක්.” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මතක් කළේය.

"ඒ විතරද? අපි දීපු නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය... මාධ්‍ය නිදහස, ජනතාව පැහැරගැනීම් හා ජනතාවගේ පපුවට තුවක්කු පත්තු නොකිරීමේ සංස්කෘතිය මිල කරන්න පුළුවන්ද?" නවීන් දිසානායක කී විට අගමැති ඇතුළු සියලුදෙනා එය අගය කළේය.

"අපි මේ සතියේ සමෘද්ධි නියාමකවරු 5000ක් ස්ථිර කළා. දින 52 හොර ආණ්ඩුවේදී බොරු ලියවිලි දීලා වීරවංශලා මේ අය ස්ථිර කළා කියලා රැවැට්ටුවා. ඊට අමතරව මේ සතියෙදි අගමැතිතුමා උපාධිධාරීන් 4252කට කොළඹදීත් තවත් 1400කට ජනාධිපතිතුමා කුරුණෑගලදීත් රැකියා දුන්නා. පවුල් ලක්ෂ 6කට අපි සමෘද්ධියත් දුන්නා. ආණ්ඩුවේ මේ දැවැන්ත වැඩපිළිවෙළ මිනිස්සු හරිහැටි තේරුම් නොගත්තොත් ඔවුන් 2015ට කලින් වගේ යළිත් අනාථ වේවි." ලක්ෂ්මන් කිරිඇල්ල විග්‍රහ කළේය.

ජනාධිපති අපේක්ෂකයා කවුද?

"ජනාධිපතිවරණයට නොමිනේෂනුත් කැඳවලා. අපේ අපේක්ෂකයා කවුද කියලා මිනිස්සු අහනවා. කලින්ම නම් කරපු ගෝඨාභය දැන් ඉන්නවද කියලා නෑ. අනිවාර්යයෙන් දිනන අපේක්ෂකයා නම් කිරීම පරක්කු කළ එක හොඳයි. ඒත් දැන් තව පරක්කු කරන්න වෙලාවක් නෑ." චමින්ද විජේසිරි, හේෂා විතානගේ මෙන්ම මහාචාර්ය ආශු මාරසිංහ අගමැතිවරයාට යොමුකළේ එකම තාලයේ ප්‍රශ්නයකි.

අපේක්ෂකයා එන සතියේ මුල

"සාකච්ඡාවකින්ද නැත්නම් ඡන්දෙකින්ද අපේක්ෂකයා තීන්දු කරන්න වෙන්නේ? සියලුදෙනාගෙම සම්මුතියක් ඇති කරගන්නවා නම් තමයි වඩාත්ම හොඳ" අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩිගේ මතය සියලුදෙනා අගය කළේය.

"එන සුමානෙ මුල අපි තීන්දුව ගන්නවා. අද රෑටත් පක්ෂ නායක රැස්වීමක් තියනවා." අගමැතිවරයා කීවේය.

"සජිත් ඇමතිතුමා අපේක්ෂකත්වය ඉල්ලලා ඔබතුමාට ලියුමක් යැව්වා නේද? ඒකට දැන් මොකක්ද වෙන්නෙ?” කුරුණෑගල වැවිලි සමාගමේ සභාපති උපාලි පියසෝම ඍජුවම ඇසුවේ අගමැතිගෙනි.

"සජිත් විතරක් නෙවෙයි ඉල්ලන්න කැමතියි කියල කරුත් ඉල්ලීම් කරලා තියනවා. එයා පත්වුණොත් වසරක් තුළ විධායක ජනාධිපතිකම අහෝසි කරන බවත් කිව්වා. ඒක ජවිපෙත් ප්‍රධානම සටන් පාඨයයි. කරුයි ජවිපෙටයි ඒ ගැන ඉක්මන් තීන්දුවකට එන්න පුළුවන්නම් කරුටත් ඉඩක් තියෙනවා" අගමැතිවරයා පැහැදිලි කළේය.

පත්වෙන ජනපතිගේ බලය

"දැන් මේ කෝටි 450ක් වියදම් කරලා බලයක් නැති නාමමාත්‍රික ජනාධිපති කෙනෙක් පත් කරන්නේ ඇයි කියලා සමහරු අහනවා" ගයන්ත කරුණාතිලක මතුකළ කාරණය ඉතා වැදගත් එකක් බව පිළිගැණින.

"පත්වෙන ජනාධිපති නාමමාත්‍රිකම නෑ. යම් විධායක බලයක් තියනවා. හැබැයි කිසිම ඇමති බලතලයක් නෑ." අගමැතිවරයා කීය.

"ගෝඨාභයගෙ ඇමෙරිකානු පුරවැසිමකම ගැන තාම පැහැදිලිභාවයක් නෑ. එයා ලියකියවිලි වගයක් අරන් හොර රහසෙම මැතිවරණ කොමිසමේ අය හමුවෙලා තියනවා. ඒත් ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව හා ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ගෝඨාගේ පුරවැසිකම් ඉවත් කළා කියලා ප්‍රසිද්ධියේ එළිකරන තෙක් නොමිනේෂන් දීමේදී අනිවාරයයෙන් ප්‍රශ්නයක් ඇතිවිය හැකියි." එජාප නීති නිලධාරියකු පැහැදිලි කළේය.

දේශපාලන ස්ට්‍රයික්

"දැන් මේ දොස්තරලයි, රාජ්‍ය නිලධාරීනුයි, අනධ්‍යයන කට්ටියයි, රණවිරුවොයි ඔක්කොම ස්ට්‍රයික් කරනවා. මේවා ඇත්ත ස්ට්‍රයික්ද?" ගයන්ත කරුණාතිලක විමසීය.

"නෑ, මේ ස්ට්‍රයික් තනිකරම දේශපාලනිකයි. රට අඩාල කරලා ජනතාව අපහසුතාවට ලක් කරලා ආණ්ඩුව අපකීර්තියට පත් කරමින් පටු දේශපාලනයක් මෙයාලා මේ කරන්නෙ. මිනිස්සු මේක දන්නවා. 2009දී යුද්ධය ඉවර වුණත් 2015 වෙනකන් බලයේ හිටපු මහින්ද හා ගෝඨාභය යුද්ධෙ ලකුණු එයාලට දාගත්තට ඒ රණවිරුවො ගැන පොඩ්ඩක්වත් බලලා නෑ. දැන් ඒ මදිවට ඒ මිනිස්සු දාලා රට අක්‍රිය කරන්න හදනවා. අපි රටේ සියලුදෙනාට සාධාරණය ඉෂ්ට කරන්න උපරිමය කැපවෙනවා මිසක් රණවිරුවොයි, හාමුදුරුවරුයි බාල දේශපාලනයට යොදාගන්නෙ නෑ." අගමැතිවරයා කීය.

අතුරුදන් කරන අය ගැන රංජන්ගෙන් කතාවක්

"නෙළුම් කුලුනේ කෝටි 200ක් හොරකම් කරලා කියලා ජනාධිපතිතුමා කිව්වා. ගෙවීම් කරලා තියෙන්නෙ නිල සමාගමට විතරයි කියලා මහින්ද මහතා උත්තර දුන්නත් ජනාධිපතිතුමා යළිත් තහවුරු කරලා තියෙනවා එතන කෝටි 200ක මහ හොරකමක් වෙලා තියෙනවා කියලා. මිනිස්සු විතරක් නෙවෙයි කොම්පැනි අතුරුදහන් කරන්නත් රාජපක්ෂල දක්ෂයි. නෙළුම් කුලුන ගනුදෙනුවෙදි චීන සමාගමක් වගේම මීට කලින් මෙයාල මිග් ගනුදෙනුවෙදි යුක්‍රේන් සමාගමකුත් මේ විදියටම අතුරුදන් කළා." රන්ජන් රාමනායක දැවැන්ත බෝම්බයක් පත්තු කළේය.

"එජාපය මහ බැංකුව කැඩුවා කියලා ජනාධිපතිතුමා කියනකොට ඒ කතාව හරියට හරි කියල අනුමත කරන පොහොට්ටුකාරයො රාජපක්ෂලා කුලුනෙන් කෝටි 200ක් මාටිය ගහලා ඒක ගෙවපු සමාගමත් අතුරුදන් කළා කිව්වම ජනාධිපතිතුමා කියන්නෙ බොරුලු. මේවා මාර ලොජික්." උපාලි පියසෝම තර්ක කළේ කාගේත් සිනා මැදය.

නාමල්ගේ දෙවැනි ගමන

නාමල්ගේ විවාහ මංගල්‍යය පසුගිය සතියේ පැවැත්වුණු අතර දෙවැනි ගමනේ සාදය පැවැත්වුණේ 17 වැනිදාය. ගල්කිස්ස මහ හෝටලයේදී පැවැති දෙවැනි ගමනේ උත්සවයට මහින්ද, චමල්, ගෝඨාභය, බැසිල් ඇතුළු පවුලේ පිරිස මෙන්ම මෛත්‍රී, රනිල්, කරු ඇතුළු විශේෂ ආරාධිතයෝ පිරිසක්ද එක්ව සිටියහ. උත්සවයට මුලින්ම ආවේ රනිල්ය. රනිල් පැමිණෙනු දුටු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් රනිල් ළඟට ගියේය.

“මොකක්ද අගමැතිතුමා අර ජනාධිපතිතුමා ඊයේ කිව්ව කතාවෙ තේරුම? මාධ්‍යවේදියා ඇසුවේ මෛත්‍රී නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවයේදී කී කෝටි 200ක් අතුරුදන් වීමේ කතාව ගැනය.

“ඒකනේ, අනවශ්‍ය කතාවක්නෙ කිව්වේ” රනිල් උත්තර දුන්නේය.

“ජනාධිපතිවරණයත් කිට්ටුවටම ඇවිත්. මොකද දැන් වෙන්නේ? ඔහු යළි ඇසීය.

“ඔයාලා ඉතින් මාධ්‍යවේදියොනෙ. ආරංචි නැද්ද? රනිල් ඇසුවේය.

“ආරංචි නම් තියෙනවා ඉතින්. දැන්ම අපේක්ෂකයා නම් නොකළොත් ලොකු අවුලක් වෙයි” මාධ්‍යවේදියා පැවසීය.

අගමැතිගෙන් ඉඟියක්

“එහෙම නම් අපි හෙට අනිද්දම නම් කරමුකෝ” රනිල් සිනාසෙමින් කීවේය.

හේමසිරිගෙන් මහින්දට ටොක්කක්

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගල උත්සවයට පැමිණි ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු කාගේත් අවධානයට යොමුවිය. ඔහු නාමල්ගේ විවාහ උත්සවයට ගොස් තිබුණේ මහින්ද රාජපක්ෂ සමඟ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ඔහුගේ සමීප සම්බන්ධතාව නිසාය.

විවාහ මංගල උත්සවය අතරවාරයේදී බොහෝ දෙනා ඇසුවේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ ගැනය.

"මොකද හේමා ඔය ආරක්ෂක‌ ලේකම්කමක් ගන්න ගියේ?" මහින්ද ඔහු හමුවූ විට ඇසුවේය.

"ඉතිං සර් අර දින පනස් දෙකේ ආණ්ඩුවේ අගමැතිකමත් ගත්තනේ..." හේමසිරි ඇඟටපතට නොදැනී කිවේය.

"ඒක තමයි ඉතිං" මහින්දත් කතාව වැඩිදුර ගෙන ගියේ නැත.

මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් මේ ගැන විමසා තිබුණේය.

"අර බුද්ධි වාර්තා අනූ හතක් යවලත් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ කියලා කියන කතාව මොකක්ද?" මන්ත්‍රීවරයෙක් ඇසුවේය.

"මම ආරක්ෂක ලේකම් ධුරයේ හිටියේ මාස පහයි, දින විසි පහයි. මේ කාලේ වාර්තා 11යි ලැබුණේ. ඒ කිසිම එකක සහරානයෙක් ගැන තිබුණේ නෑ. ඒ ටික සේරම පොලිස්පතිවරයාටත් යවලා තියෙන්නේ. කලින් ආරක්ෂක ලේකම්වරුන්ට යවපු ඒවත් මගේ එකවුන්ට් එකට දාන්න හදනවනේ" හේමසිරි පැහැදිලි කළේය.

සජිත් රනිල්ට යැවූ ලිපිය

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට අවශ්‍ය වූයේ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්ද යන්න වග ප්‍රසිද්ධියට පත් කරගැනීමටය. විවිධ නම් යෝජනා වන විට සජිත් පැහැදිළිව කියා සිටියේ තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවය. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහායද හිමිව තිබුණේය. සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂාවෙන් සිටින බව පසුගිය සති කිහිපය තුළදී පක්ෂ අභ්‍යන්තරයේදී පැවති සාකච්ඡාවලදී ප්‍රකාශ කර තිබුණත් කිසිදු ලිඛිත දැනුම්දීමක් කර තිබුණේ නැත.

මේ නිසා පසුගිය සතියේදී සජිත් අගමැතිවරයාට ලිපියක් යොමු කළේය. මේ ලිපියේ දැක්වුණේ තමන් ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවය. එහෙත් අගමැතිවරයාගෙන් ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැත. මේ නිසා පසුදා උදෑසනම සජිත් මංගල සමරවීර ඇමැතිවරයාගේ නිවසට ගියේය. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා අගමැතිවරයාට යැවූ ලිපිය ගැන දැනුවත් කිරීමටය.

"මම අගමැතිතුමා යවපු ලිපියේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඇති අපේක්ෂාව පිළිබඳ දැනුම් දුන්නා. ඒ වගේම තමයි කඩිනමින් අපේක්ෂකයා නම් කළ යුතු බවත් ප්‍රකාශ කළා." සජිත් කීවේය.

සජිත් ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වූ දිනට පසු දිනයේදී ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළේය. ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළ වහාම සජිත් තමන්ට හිතවත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කැඳවූහ. ඒ අතර මනෝ ගනේෂන්, පාඨලී චම්පික රණවක, පලනි දිගම්බරන්, රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම් පැමිණ සිටියහ. ඔවුන්ගේ අදහස වූයේද එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස පත් කළ යුතු බවය. සජිත් ජනාධිපති අපේක්ෂක වන විට තමන්ගේ සහාය සජිත්ට හිමිවන බවද ඔවුහු සහතික කළහ.

මේ සාකච්ඡාවෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ට කැබිනට් රැස්වීමට සහභාගීවීමට සිදුව තිබිණි. ජනාධිපතිවරයා විසින් හදිසියේ කැබිනට් මණ්ඩලය කැඳවීමට තීරණය කර තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට බව දේශපාලන ලෝකයේ හැමතැනම පැතිර ගියේය.

ජනාධිපතිවරයාගේ කැබිනට් රැස්වීමට යෑමට පෙර එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු අරලියගහ මන්දිරයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පූර්ව කැබිනට් රැස්වීමක් පවත්වයි. ඒ ජනාධිපතිවරයා ඉදිරියේදී සංවේදී දේශපාලන කරුණු සාකච්ඡා නොකිරීමට එක්සත් ජාතික පක්ෂය ගෙන ඇති තීරණය නිසාය.

"විධායක ජනාධිපති ක්‍රමය මේ වෙලාවේ අහෝසි කරනවාට අපි විරුද්ධයි. මේ වෙලාවේ ජනාධිපතිවරණයක් කැඳවලා තියෙනවා. ජනාධිපතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක මේ වගේ දේවල් කිරීම සුදුසු නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාද නැද්ද යන්න ගැන ජනාධිපතිවරණයෙන් පසුව තීරණයක් ගන්න." සජිත් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම අගමැතිවරයාට දැනුම් දුන්නේය.

චම්පිකගෙන් යෝජනාවක්

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් 106 දෙනාගේ ඡන්දයෙන් තොරා පත් කර ගැනීම කඩිනමින් කළ යුතු බව ඇමැති පාඨලී චම්පික රණවක මාධ්‍ය හමුවකදී පැවසීය.

එසේම ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ගොඩනැඟීමත් ඊට නිශ්චිත වැඩපිළිවෙළක් කාලවකවානුවක් සහිතව සකස් කර ගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.

මේ වන විට ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පුළුල්ව සිදු වෙන නමුත් මෙය ප්‍රමාද වී ඇති නිසා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයෙහි කැමැත්ත අනුව තීරණය කළ යුතු බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

ජ.වි.පෙ. 20ට යළිත් මිලක්

රට පුරා ජනපතිවරණ කතාබහක් මතුව තිබෙන අතර නැවතත් 20 වැනි සංශෝධනය කරළියට පැමිණ තිබේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙ‍ටුම්පත අනුව ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර කැමැත්ත ලබාගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව ජනමත විචාරණයකට ගොස් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමක් ගැන කතාව ඊට ඇතුළත්ය.

පසුගියදා කථානායකවරයා පැවසුවේ විධායකය මාස 6කින් අහෝසි කරනවානම් තමන් මැතිවරණයට එන බවය.

කෙසේ වෙතත් මහින්ද පාර්ශ්වය එවැනි යෝජනාවකට අනුකූලතාවක් නොදක්වන බව වාර්තා වෙයි. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාද ඊට අනුකූලතාවක් දක්වා නැත.

ඔහු ඊයේ කැබිනට්ටුවෙන් පිටතට ආවේ විධායකය අහෝසි කිරීම සම්බන්ධව ගෙන ආ යෝජනාවට දැඩි විරෝධයක් දක්වමිනි. ඔහු ප්‍රකාශ කළේ දිනන සන්ධානය තමන් වටා තිබෙන බවත් ජනාධිපතිවරණ දිනය ගැසට් කරන තුරු මෙවැනි යෝජනාවක් ගෙන ඒමට කල්පනා නොකිරීම විහිළුවක් බවත්ය.

පොහොට්ටුවේ ප්‍රචාරක වැඩට පහක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවීම සඳහා පංචපුද්ගල කමිටුවක් පත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එහි ප්‍රධානියාය.

විමල් වීරවංශ, කෙහෙලිය රඹුක්වැල්ල, උදය ගම්මන්පිල සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තවත් සාකච්ඡා වටයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් පක්ෂ දෙකේ නියෝජිතයන් අතර නිල නොවන මට්ටමේ සාකච්ඡා මේ වන විටත් පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වේ.

ආබාධිත සෙබළුන්ට මංගලගෙන් විසඳුම්

කොටුව දුම්රියපොළ ඉදිරිපිට උපවාස කරන හමුදා සාමාජිකයන්ගේ ප්‍රශ්නයට විසඳුම් දෙන බව ඇමති මංගල සමරවීර පවසා තිබේ.

‘ඒ අයට සාධාරණ දුක්ගැන්විල්ලක් තිබෙන බව මට තේරුණා. දැන් තියෙන ක්‍රමය යටතේ පූර්ණ ආබාධිතයෙක් වුණොත් විතරයි තමන්ගේ පඩිය පැංෂන් ගියාට පස්සේ ජීවිතාන්තය දක්වා ලැබෙන්නේ. අර්ධ ආබාධිතයන්ට විශේෂ බෙහෙත් ඕන. වෙන අයගෙ උදවු ඕන. ගෙදර සාත්තුකරුවන් තියාගන්න වෙනවා. අපි හිතනවාට වඩා ඒ අයගෙ ජීවිත කාලයත් කෙටි වෙන්න පුළුවන්. එදාම මම කිව්වා අපි මේ ගැන ආරක්ෂක අමාත්‍යා‍ංශය එක්ක කතාකරනවා කියලා. මුදල් අමාත්‍යාංශය හැටියට සමරතුංග මහතා සමඟ සාකච්ඡා කරලා අර්ධ ආබාධිත සෙබළුන්ටත් විශ්‍රාම ගියාට පස්සේ ඉතුරු ජීවිත කාලයට රජයෙන් විශ්‍රාම වැටුපට අමතරව පඩියෙන් 75%ක් ලබාදෙන්න මම යෝජනා කළා.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශ යෝජනා එවලා තියෙනවා. ඒක අන්තිම මොහොතේ ආවේ. ඒකට ධනාත්මක ප්‍රතිචාරයක් සතියකින් ලබාදෙන්න පුළුවන්. කවදාවත් පාරට බැස්සොත් මම ඒ අය එක්ක කතාකරන්නේ නෑ. මේවා පාරට බහින්නැතිව විසඳන්න පුළුවන් ප්‍රශ්න. ඇත්ත කතාව; මේක විසඳලා තිබුණු ප්‍රශ්නයක්. ආණ්ඩුව මේකට ඉතා යහපත් ප්‍රතිචාරයක් දක්වනවා කියලා එක්තරා දේශපාලන කණ්ඩායමකට ආරංචි වුණා. ඒ නිසා ඒකට ඉස්සෙල්ලා පාරට බැහැලා දැන් කියන්න හදනවා ඔන්න අපි තමයි අරන් දුන්නේ කියලා. ඒ බොරුව දැන් කියන්න යන්නේ. මම නම් ඒ අය ළඟට ගිහින් මුණගැහෙන්නේ නෑ. නමුත් ඒ අයගේ ඉල්ලීම ඉටුකරනවා.” යනුවෙන් අමාත්‍යවරයා කීවේය.

චිත්‍ර නිර්මාණය [රජිත බස්නායක]

මාතෘකා