මහ පිම්ම පැන්න ජේ.ආර්.

 ඡායාරූපය:

මහ පිම්ම පැන්න ජේ.ආර්.

ජේ.ආර්. ජයවර්ධනයන්ගේ 113වැනි ජන්ම දිනය වෙනුවෙනි

“හිතවත, ජනාධිපති වශයෙන් මා තෝරා ගැනීම සඳහා මා වෙනුවෙන් වෙහෙස මහන්සි වූ ඔබ හැම දෙනාටත් මට ඡන්දය දුන් ඔබ හැමටත් පළමු කොටම ස්‌තුති කරන්නට කැමතියි. නිදහස්‌ ධර්මිෂ්ට සමාජයක්‌ ළඟා කර ගැනීම සඳහා මා හා එක්‌ව ගමන් කරන්නට මා කලින් එවූ ලිපියෙන් ඔබට ආරාධනා කළා ඔබට මතක ඇති. ඔක්‌තෝබර් 20 වැනිදා ඔබ දුන් ඡන්දයෙන් ඔබ පෙන්වූයේ මා කෙරෙහිත් මගේ ප්‍රතිපත්ති කෙරෙහිත් ඔබ තුළ ඇති අචල විශ්වාසයයි. අනිකුත් සියලු දෙනාටත් මා පතන්නේ මගේ රජය යටතේ සුබ අනාගතයක්‌. මගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ඔබ හැමගේම සහයෝගය මම බලාපොරොත්තු වෙනවා.”

මේ ලිපිය ලියනු ලැබුවේ ජේ.ආර්. ජයවර්ධන විසිනි. ඒ, මෙරට පැවැති පළමු සහ එකම ජනමත විචාරණය වෙනුවෙනි. එය ප්‍රකට ලියමනකි.

විවිධාකාරයෙන් විප්ලව කළ හැකිය. එහෙත් කුමන විප්ලවයක් වුව දියත් කිරීම පහසු නැත. ජේ.ආර්. යනු එහෙම විප්ලව කළ සහ එවන් විප්ලව ජයගත් ගතික නායකයෙකි.

1977දී මහ පෙරළිය දක්වා ජේ. ආර්. ආ ගමන චිත්‍රපට දුසිමකින්වත් කියා නිම කළ නොහැකි ගමනකි. ‘77 එක්සත් ජාතික පක්ෂය ලැබූ අතිවිශිෂ්ට ජයත් සමඟ නව පරිච්ඡේදයක් බිහි වූ අතර එය මෙරට අද්විතීය වෙනසක් වෙනුවෙන් නායකත්වය ලබාදුන්නේය.

කොත්මලේ, වික්ටෝරියා, මාදුරුඔය, රන්දෙණිගල, රන්ටැඹේ, රත්කිඳු, ලුණුගම්වෙහෙර, නිල්වලා, ඉඟිනිමිටිය යන වාරි කර්මාන්ත ඇරඹීමද ඉඩම් අක්කර ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් අලුතින් වගා කරමින් කෘෂි විප්ලවයක් ඇති කිරීමද විවෘත ආර්ථිකයේ දොරටු විවර කිරීමද නිදහස් ආයෝජන ප්‍රතිපත්තිය, නිදහස් වෙළෙඳ කලාප, සංචාරක ව්‍යාපාරය, රට පුරා පැතිරුණු ජලයෝජනා ක්‍රම, නිවාස හා නගර සංවර්ධන වැඩපිළිවෙළවල්, තරුණ කටයුතු අමාත්‍යාංශය හා තරුණයන් සඳහා වූ ප්‍රතිපත්තිය, නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල, ගුවන්තොටුපොළ, ජයවර්ධනපුර නව නගරය, රෝහල, සමානුපාතික නියෝජන ක්‍රමය, මානව හිමිකම් සහතික කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, විධායක ජනාධිපති ක්‍රමය ආදිය දායාද කිරීමද ජේ.ආර්. රටට වෙනුවෙන් කළේය. සාමාන්‍ය පංතියෙන් මතුව ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, මෛත්‍රීපාල සිරිසේන වැනි නායකයන්ට ජනපති පුටුව දක්වා යන්නට හැකි සමාජ විප්ලවයට පාදම දැමුවේ ජේ.ආර්. ය.

ඔහු හඳුන්වා දුන් ව්‍යවස්ථාවට ඇතැමුන් බැණ වැදුණ නමුත් සත්‍යය නම් ඒ ව්‍යවස්ථාව ජනාධිපතිවරු 5 දෙනකුටම සහමුලින් වෙනස් කළ නොහැකි වීමය. නැතිනම්, හිතාමතාම වෙනස් නොකිරීමය. එනයින් ගත් කල ජේ. ආර්. අරුම පුදුම චින්තකයෙකි. න්‍යායාචාර්යවරයෙකි.

නොමිලයේ පොත්පත් ලබාදීමට ඔහු ගත් ඓතිහාසික තීරණය ලොව කිසි රටක ක්‍රියාත්මක නොවන්නකි. අධ්‍යාපනය අනිවාර්ය කරන්නට සහ සියලු පහසුකම් සහිතව නිදහස් අධ්‍යාපනය ලබා දෙන්නටත් 1940 ගණන්වලදී රාජ්‍ය මන්ත්‍රණ සභාවට යෝජනාව ගෙනාවේ ජේ.ආර්. ය.

ජනාධිපතිව සිටියදී ‘ජේ.ආර්. මරමු’ කියා ඇතැමුන් රට පුරා පෝස්ටර් ගැසූ අතර පුවත්පත්වලින් ජේ.ආර්. දැඩිව විවේචනය කරද්දීද ජේ.ආර්. කිසිම විටෙක මාධ්‍යවේදීන් පීඩාවට පත් නොකළේය.

තමා හඳුන්වා දුන් බලගතු විධායකය හෙතෙම කිසිම අවභාවිතයට ලක් නොකළේය. ‘ගැහැනියෙක් පිරිමියෙක් කරන්නටත් පිරිමියෙක් ගැහැනියක් කරන්නටත් හැර ඕනම දෙයක් මේ ව්‍යවස්ථාවෙන් කළ හැකි යැයි’ හෙතෙම කීවත් ඊට මෙහා දේ පවා ඔහු නොකළේය. ඒ වෙනුවට තමා ‘රටේ අයිතිකරු නොව බාරකරු’ යැයි කියා ආ අය ජේ.ආර්.ගේ විධායක බලතලත් මදි කියා 18 වැනි සංශෝධනය ගෙන ආහ.

ජේ.ආර්. යනු වැඩියෙන්ම වැඩ කළ, ඒ තරමටම බැණුම් ඇසූ නායකයෙකි. අරුමය වන්නේ ඔහුට බැණ වදින්නන්ම ඔහු කළ දේ කරේ තබාගෙන යෑමය. සරලවම කියතොත් ජේ.ආර්. මේ රට දූපතක් නොවන තැනට පත් කළ නියමුවාය. ඉඳින් ඔහුගේ ජන්ම දිනය යෙදී ඇත්තේ අදටය. මේ, විමසුම ඒ වෙනුවෙනි.

සැලසුම් සහගතව වැඩ කරපු නායකයෙක්

හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය රොනී ද මැල්

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ චරිතය දේශපාලනඥයන්ට විතරක් නොවෙයි, සෑම දෙනාටම ඉතා ආදර්ශවත් චරිතයක්. එතුමාගේ ජීවිතය තුළින් ගත හැකි හොඳම ආදර්ශය වන්නේ සැලසුම් සහගත බවයි. එතුමා තමන්ගෙ දේශපාලන ජීවිතය වගේම පෞද්ගලික ජීවිතයත් මනා ලෙස සැලසුම් කළ කෙනෙක්. ඔහු යම්කිසි කටයුත්තක් සැලසුම් කළේ සැලකිය යුතු කාලයකට පෙරයි. එය ඉදිරිය පෙනෙන නායකයකුගෙ ලක්ෂණයක්. මට මතකයි එතුමා ‘77 ජයග්‍රහණය ලබන විට කළ යුතුව තිබුණෙ සැලසුම් ක්‍රියාත්මක කිරීම පමණයි. අනාගත රජයේ කටයුතු විපක්ෂයේ සිටම කෙටුම්පත් කිරීමට එතුමාට හැකියාව තිබුණා. ඒ වගේම නායකයකු ලෙස තමාගෙ කණ්ඩායමේ සියලු දෙනාගෙ හැකියාවන් තේරුම් ගත්තා පමණක් නොව ඔවුන්ට නිසි වගකීම් බාරදුන්නා. ඔහු පසු විපරම් කළා මිස කිසිවකුගේ රාජකාරියට අයුතු ලෙස අතපෙව්වෙත් නැහැ. පෞද්ගලික ජීවිතය වුණත් එතුමා මනා ලෙස කළමනාකරණය කළා. නියමිත කාලයේ විශ්‍රාම ගත්තා. අද ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති දියුණුව දිහා බැලුවම ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ දැක්ම කොතරම් නිවැරදි එකක්ද කියල ඕනෑම කෙනකුට වැටහෙනවා ඇති.

බලයට එන්න කලින් කරන දේ කිවා

හිටපු කථානායක ජෝසප් මයිකල් පෙරේරා

ජේ.ආර්. මහත්තයා මං දන්න ඉතා බුද්ධිමත් දාර්ශනිකයෙක්. බලයට එන්න කලින් බලයට ආ විට කරන දේ ඉදිරිපත් කළ කෙනෙක්. එතුමා බලයට ආවම ප්‍රධාන කරුණු කිහිපයක් කළා. කඩිනම් මහවැලි ව්‍යාපෘතිය හොඳ උදාහරණයක්. එය නිසා අලුත් නගර බිහි වුණා. ගොවිතැන් කටයුතු දියුණු වුණා. එතුමා කළ තවත් වටිනා දෙයක් තමයි, ස්වදේශිකයන්ට පිටරට යන්න තිබුණු බාධක ඉවත් කිරීම. ඒ නිසා මිනිස්සු අධ්‍යාපනය සඳහා, රැකියා සඳහා රටරටවලට ගියා. ඒ හරහා විශාල විදේශ විනිමයක් එව්වා. ඒවා වැදගත් ඉතිහාසයන්. එතුමා උත්සාහ කළා අධ්‍යාපනය දියුණු කරන්න. ඒ සඳහා ළමයින්ට නොමිලේ පොත් දීමට කටයුතු කළා. එතුමා ළඟ හොඳ ඇමතිවරු හිටියා. ලලිත් ඇතුලත්මුදලි වගේ ඇමතිවරු මහපොළ ශිෂ්‍යාධාර ක්‍රම ඇති කිරීම කැපී පෙනුණා. ප්‍රේමදාස මහත්මයා එතුමා තෝරාගත් හොඳ අගමැතිවරයෙක්. එතුමා මේ රටේ මම දැක්ක මහජනතාවට ඇහුන්කම් දෙන හොඳම නායකයෙක්. ඒකට හොඳම උදාහරණයක් මම කියන්නම්. 1976 අතුරු මැතිවරණයට ඉදිරිපත් කරන්නෙ කවුද කියල කතා කරනකොට බොහෝ දෙනෙක් ඒ සඳහා ඉදිරිපත් වුණා. ඒ වෙලාවෙ පොඩි මිනිහෙක් පත් කරමු කියල ප්‍රේමදාස මහත්තයා ලොකු සටනක් කළා. ජේ.ආර්. මැතිතුමා ඒකට ඇහුන්කම් දුන්නා. එ.ජා.ප. අපේක්ෂකයා හැටියට ඒ වෙලාවෙ මාව නම් කළේ එහෙමයි. ඒ අනුව එදා ජා-ඇල ආසනය අපි ජයගත්තා. පස්සෙ කාලෙදි, ඒ කියන්නෙ 1978 අවුරුද්දෙ කම්කරු ඇමති කැප්ටන් සෙනෙවිරත්න යටතේ කම්කරු උපඇමතිවරයා හැටියට මාව පත්කරනවා. එතුමා සදා අනුස්මරණය කළ යුතු නායකයෙක්.

ශ්‍රී ලංකාවේ ළිංමැඬි දේශපාලනය නිමා කෙරුවේ ඔහු

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර්

ජේ.ආර්. ජයවර්ධන ශ්‍රී ලංකාවේ දේශපාලනය මෙන්ම ආර්ථිකයේත් නිම්වළලු පුළුල් කළා. ආර්ථිකය හරහා ආකෘතික වෙනසක් කරලා මෙරට ලෝකයට සම්බන්ධ කළා. චීනයේ දියේගෝ ඉන්ට පෙර ඉන්දියාවේ නරසිංහ රාවෝට පෙර ඇමරිකාවේ රොනල්ඩ් රේගන්ට පෙර බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර්ට පෙර නිදහස් ආර්ථික ප්‍රතිසංස්කරණයකට ඔහු ලංකාව යොමු කෙරුවා.

ලංකාවේ භූගෝලීය පිහිටීම, අපේ සම්පත් හා හැකියාවන් තේරුම් ගත්ත ජේ.ආර්. ජයවර්ධන ජාත්‍යන්තර බල තරගය තුළ ඉදිරිපත්ව ඇති වෙනස්කම් කල් සිටම දැක්කා. ජේ.ආර්. ආරම්භ කළ නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය ඊට පස්සෙ ආපු කිසිම ආණ්ඩුවක් වෙනස් කළේ නෑ. එයට මානුෂික මුහුණුවරක් දෙන්න කතා කළත් ඒ ප්‍රතිපත්තිය වෙනස් කරන්න කවුරුවත් කතා කළේ නෑ. ඔහුගේ ප්‍රබලම විරුද්ධවාදීන් පවා ඔහු එළිපෙහෙළි කළ මාවතේ අදත් ගමන් කරමින් සිටින බව ඔවුන්ගේ හැසිරීම් තුළින් පේනවා.

ඔහුගේ නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය තුළින් ගම්වල සාම්ප්‍රදායික බලවත් පවුල්වල අධිකාරී බලයද අභියෝග කරන දක්ෂ, නිර්මාණශීලී පරපුරක් තම හැකියාවන් තුළින් මතු වෙන්න පටන් ගත්තා. විවිධ සීමා කිරීම්, තහංචි හා දේශපාලන බලපෑම් ඇතුළුව සියල්ල රජය සතු කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් විනාශ වී ගිය බිඳවැටුණු දේශීය ව්‍යාපාරික ප්‍රජාව නැවත නිදහසේ අාශ්වාස ප්‍රශ්වාස කරන්න පටන් ගත්තේ ජේ.ආර්.ගේ ආර්ථික ප්‍රතිපත්තිය නිසයි. කොත්මලේ, වික්ටෝරියා, මාදුරු ඔය, රන්දෙණිගල, රන්ටැඹේ, රත්කිඳ, ලුණුගම්වෙහෙර, නිල්වලා, ඉඟිරිබිය යන වාරිකර්මාන්ත සියල්ල ඔහු මෙරට සමෘද්ධිය වෙනුවෙන් ලබා දුන් ස්මාරක ලෙස සලකන්න පුළුවන්. එම කාලය තුළ ඉඩම් අක්කර ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් වගාවට යොමු වුණා. විදුලිය නිෂ්පාදනයේ විප්ලවීය වර්ධනයක් සිදු වුණා. පොල් ලෙලි තැළීමෙන් යැපුණු වෙරළබඩ ප්‍රදේශය සංචාරක ව්‍යාපාරය නිසා නව ජීවයක් ලැබුවා. ශ්‍රී ජයවර්ධනපුර නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල, කටුනායක ගුවන්තොටුපළ, ජයවර්ධනපුර නව නගරය, ජයවර්ධනපුර නව රෝහල, මානව හිමිකම් සහතික කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජ.වි.පෙ. වැනි සුළු පක්ෂවල නියෝජනත්වයට ලබා දුන් සමානුපාතික නියෝජන ක්‍රමය, රටේ නායකයා හා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු මන්ත්‍රීවරුන් සෘජුව තේරීමට ඡන්දදායකයාට අවස්ථාව ලබා දීම යන සියල්ල ජේ.ආර්. ජයවර්ධන සිහිපත් කෙරෙන සිහිවටනයන්.

 

ගැඹුරු ආර්ථික දැක්මක් තිබුණා

මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා

ජේ.ආර්. ජයවර්ධන කියන්නේ නිවැරදි ආර්ථික දැක්මක් තිබුණු පුද්ගලයෙක්. රටක ප්‍රශ්න දේශපාලන, ආර්ථික, සමාජීය ප්‍රශ්න කියලා ප්‍රශ්න වර්ග කරන්න පුළුවන්. දේශපාලන නායකයකුට දුරදිග දකින දැක්මක් තියෙන්න ඕනේ මේ හැම ප්‍රශ්නයක්ම නිවැරදි ලෙස අවබෝධ කරගන්න. ජේ.ආර්. ජයවර්ධන එවැනි නායකයෙක්. ඔහුගේ ක්‍රියාකාරකම් දෙස බලද්දි තේරෙනවා එතුමා ගැඹුරු ආර්ථික දැක්මක් තිබුණු කෙනෙක් කියල. එකල පැවති කොමියුනිස්ට්වාදය අසාර්ථක වීම, බණ්ඩාරනායකලා අනුගමනය කළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක වීම ආදිය ඔහු වටහා ගත්තා. මේ ටික ඉතිරි වන්නේ ධනවාදය සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඔහු ගැඹුරින් අවබෝධ කරගෙන හිටියා. එම නිසා 1956 සිට බණ්ඩාරනායකලා ගෙන ගිය ආර්ථික ක්‍රමය වෙනස් කර ධනවාදී ආර්ථික ක්‍රමය රටට හඳුන්වා දෙන්න ඔහුට පුළුවන් වුණා. ඒ සඳහා ඔහුට සහාය දෙන්න රොනී ද මෙල්, ලලිත් ඇතුලත්මුදලි වගේ දක්ෂ අමාත්‍යවරුන් ඉන්න අමාත්‍ය මණ්ඩලයක් තිබුණා. එකල තමයි මෙරට හිටපු දක්ෂතම කැබිනට් මණ්ඩලය හිටියෙත්. ඒත් සමඟම ඔහුට එක් තැනක් වැරදුණා. 1977දී ඔහු ව්‍යවස්ථානුකූල ආඥාදායකත්වයක් ගොඩනැඟුවා. මේ නිසා විවිධ ප්‍රශ්න මතු වුණා. ජේ.ආර්. ඔහුගේ ආර්ථික දර්ශනය ඔහුගේ ගෝල පරපුරට ඉගැන්නුවේ නැහැ. ධනවාදී ආර්ථික ක්‍රමයේ විවිධ ගැළපීම්, වෙනස් වීම් තුළින් ඉදිරියට යන ආකාරය ගැන ඔහු කියලා දුන්නේ නැහැ. ඒ නිසා ඔහුගේ පසුකාලීනයන්ගේ ක්‍රියාකලාප නිසා ඒ ආර්ථික ප්‍රතිපත්ති ව්‍යාකූල වුණා. දැනට ඉන්න දේශපාලකයන්ගෙන් අගමැති රනිල් වික්‍රමසිංහ පමණයි ජේ.ආර්. ජයවර්ධනගේ දර්ශනය හරියටම ඉදිරියට ගෙන යන්නේ.

දක්ෂිණාංශික නායකයෙක්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මණික් ද සිල්වා

ජේ.ආර්. ජයවර්ධන කියන්නෙ දක්ෂිණාංශයට බර නායකයෙක්. 1978 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ඇති කිරීම එක්ක ඒ දැක්ම වෙනුවෙන් මහන්සි වුණා. නමුත් 1983 කැරලි සහ ඊට පස්සෙ ඇති වුණු යුදමය තත්ත්වයන් එක්ක ඔහුගේ දේශපාලනික ප්‍රතිපත්ති හිර වීමකට ලක් වුණා. හුඟක් දෙනෙක් කියනවා දෙවන ජනරජ ව්‍යවස්ථාව 1978 බිහි වුණා කියල. නමුත් 1977 තමයි හරියටම ඒ ව්‍යවස්ථාව බිහි වෙන්නෙ. ඒකට පක්ෂ උදවිය වගේම විපක්ෂ අයත් ඉන්නවා. රටේ එක කාලෙක බඩු හිඟකම් ඇති වුණා. දැනුත් එහෙමයි උද්ධමනය ඉහළ ගිහින්. මිනිස්සු උපයන ආදායම මදි ජීවත් වෙන්න. ජේ.ආර්. ජයවර්ධනගේ දේශපාලනික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලය තමයි ඒ හැම දෙයකින්ම පේන්න තියෙන්නෙ.

මාධ්‍යවේදීන්ට කිසිම තර්ජනයක් නොකරපු පාලකයෙක්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉක්බාල් අතාස්

පාලකයෙක් හැටියට මාධ්‍යවේදීන්ට කිසිම තර්ජනයක් නොකරපු පාලකයෙක් ලෙස ජේ.ආර්. ජයවර්ධන මහතාව මම හඳුන්වන්න කැමතියි. ඔහු සමඟ විදේශ රටවල සංචාර සඳහා සහභාගි වෙන්න මට අවස්ථාව ලැබුණා. ඔහු රටේ පළමුවැනි ජනාධිපතිවරයා ලෙස මාධ්‍යයට කිසිම තර්ජනයක් කළේ නැහැ. ඔහු මාධ්‍යයත් සමඟ නිතරම සුහදව කටයුතු කරපු කෙනෙක්. ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කියනවා නම් ඉන් ලංකාවේ ලොකු ආර්ථික විපර්යාසයක් වුණා. තවමත් ඒකට මිනිස්සු මුහුණදෙමින් සිටිනවා. ඒ නිසා සමහර අවස්ථාවලදී ඔහුට ප්‍රශ්නත් මතු වුණා. ඒ වගේම තමයි ඔහුට අන් අය දක්වපු ගෞරවය ගැනත් සඳහන් කළ යුතුයි. කොල්වින් ආර්. ද සිල්වා, එන්.එම්. පෙරේරා, බර්නාඩ් සොයිසා වගේ විපක්ෂයේ දේශපාලකයන් පවා ඔහුට විශාල ගෞරවයක් දැක්වූවා. දේශපාලන ප්‍රතිපත්ති පිළිගත්තේ නැති වුණාට ඔහුට පෞද්ගලික පිළිගැනීමක් තිබුණා. ඒක අපි පාර්ලිමේන්තුවේදීත් වෙනත් ප්‍රසිද්ධ ස්ථානවලදීත් දැක්කා.

මෙරට ආර්ථිකයේ විශාල විපර්යාසයක් වුණා

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අර්ජුන රණවන

ජේ.ආර්. ජයවර්ධනගේ ආර්ථික ප්‍රතිපත්ති තුළින් මෙරට ආර්ථිකය තුළ විශාල විපර්යාසයක් වුණා. නිදහස් වෙෙළඳ කලාප බිහි වුණා. කලින් තිබුණු ආර්ථික සම්බාධක නැති වුණා. ව්‍යාපාරිකයන්ට නිදහසේ ව්‍යාපාර කරන්න අවස්ථාව ලැබුණා. ඒක එකල වෘත්තිය සමිතිවලට ලොකු ගැටලුවක් වුණා. අසූව දශකයේ සේවකයන් විශාල වැඩ වර්ජනයක් කළා. ජේ.ආර්. ජයවර්ධන කරපු ආර්ථික විප්ලවය හරහා තමයි පසුව පාර්ලිමේන්තුවේ බලය ලැබුණේ. ජේ.ආර්. කරපු ආර්ථික විපර්යාසය ඊට පසුකාලීන ආණ්ඩුව සම්පූර්ණ කළේ නැහැ. උදාහරණයක් ලෙස විවෘත ආර්ථිකයට කලින් බස් රථ ප්‍රවාහනය තිබුණේ ආණ්ඩුව යටතේ. එකල නාගරික මට්ටමින් වගේම ග්‍රාමීය මට්ටමින් හොඳ ප්‍රවාහන සේවාවක් තිබුණා. විවෘත ආර්ථිකයත් සමඟම පෞද්ගලික බස් රථවලටත් අවස්ථාව ලැබුණා. දැන් ග්‍රාමීය ප්‍රදේශවලට ලංගම බස් රථ නැහැ. ඔහු නිදහස් ආර්ථිකය ගොඩනැඟුවට ඒ සඳහා නිසි රෙගුලාසි පැනෙව්වේ නැහැ.

 

[නිර්මාණි බණ්ඩාරනායක] [සසංකා විතානගේ]

[උපුල් ගලප්පත්ති]

මාතෘකා