රට නව දිශාවකට ගෙනියමු

 ඡායාරූපය:

රට නව දිශාවකට ගෙනියමු

අනුර කුමාර දිසානායක

රටට තවදුරටත් මෙලෙස ඉදිරියට යා නොහැකියි. මේ ගමන නව දිශාවකට යොමු කළ යුතුයි. සහතික වශයෙන්ම මේ රට සෞභාග්‍යයේ මාවතට ගෙන යන බවට පොරොන්දු වෙනවා. මේ රට හදන්න බැරි නම් හදන්න රටක් නැහැ. අප මේ රටේ වැඩ කරන ජනතාවට ආයාචනය කරන්නේ මේ රට ගොඩනඟන මාවතට එකතු වන ලෙසයි” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසීය.

පසුගියදා (12) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් පැවැත්වූ වැඩකරන ජනතා සමුළුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා මෙසේ පැවසීය.

“මැතිවරණ දිනපොත අනුව මේ වසර අග ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. සාමාන්‍යයෙන් මැතිවරණයකදී අපේක්ෂා කරන්නේ එළැඹෙන වසර පහක් වෙනුවෙන් රටේ පාලනය සඳහා තෝරා ගන්නේ කවර කණ්ඩායමද යන්න තීරණය කර ගැනීමයි. මෙය පළමු අවස්ථාව නෙවෙයි. නමුත් අපේ රටේ ජනතාව මීට පෙර අවස්ථාවලදී ඒ සඳහා හොඳම තෝරා ගැනීම සිදුකර ගැනීමට අසමත්ව තිබෙනවා. ඔවුන් තෝරා ගත් නායකයන්, කණ්ඩායම් රට ගෙනගොස් තිබෙන්නේ විනාශකාරී අන්තයකටයි.

“මේ රටට තවදුරටත් ඒ විනාශය අත්වීමට ඉඩ දිය යුතු නැහැ. අප විසින් මේ රට භාරගත යුතුයි. මේ රට හැදිය හැකි රටක්. රටක් ගොඩනැඟීමට මැජික්කරුවකු නැහැ. රට ගොඩනැඟීම තනි පුද්ගලයකුගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවලියක් නෙවෙයි; සාමූහික ක්‍රියාවලියක්. ලොව සෑම රාජ්‍යයක්ම ගොඩනඟා තියෙන්නේ සාමූහික ක්‍රියාවලියක් හරහා. රටට නායකත්වය දෙන අදූෂිත දේශපාලනයක, රට ගොඩනැඟීමට දැනුම ලබාදෙන වෘත්තීයවේදීන්ගේ සහ රට මෙහෙයවන වැඩ කරන ජනතාවගේ මැදිහත්වීම ඊට අවශ්‍යයි.

“මේ රටේ ධනය නිෂ්පාදනය කරන්නේ ඔබයි; වැඩකරන ජනතාවයි. වාර්ෂිකව ඇමරිකන් ඩොලර් බිලියන 88ක ධනයක් ඔබ විසින් නිෂ්පාදනය කරනවා. මේ ධනය උත්පාදනය වන්නේ වැඩකරන ජනතාව හෙලන ශ්‍රමයෙනුයි. මේ රටේ ජාතික ධනය නිෂ්පාදනය කිරීමේ ගෞරවනීය කොටස්කරුවන් ඔබයි. රට ගොඩනැඟීම සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා වතු ක්ෂේත්‍රය නියෝජනය කරන වැඩකරන ජනතාව වැඩ කරන්නේ දේශපාලන නායකත්වය විසින් සකස් කරන සැලැස්මකට අනුවයි. නමුත් මෙතෙක් රටේ දේශපාලන නායකත්වය විසින් මේ රාජ්‍ය ආයතන පද්ධතිය විනාශ කර තිබෙනවා. 2018 වසරේ විදුලිබල මණ්ඩලයේ පාඩුව රු. මිලියන 29,000යි, තෙල් සංස්ථාවේ පාඩුව මිලියන 10,400යි, ජලසම්පාදන මණ්ඩලයේ පාඩුව මිලියන 598යි, එයාර් ලංකා පාඩුව මිලියන 17,000යි, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පාඩුව මිලියන 1024යි, මිල්කෝ ආයතනයේ පාඩුව මිලියන 670යි, අයිටීඑන් පාඩුව මිලියන 327යි, සතොස පාඩුව මිලියන 2000යි, රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ පාඩුව මිලියන 406යි.

“මොකක්ද සැබැවින්ම සිදුවී තිබෙන්නේ. වැඩකරන ජනතාවගේ වෘත්තිය සමිති දිගින් දිගට අපට පෙන්වා දෙන්නේ මේ ආයතන පාඩු ලැබිය යුතු ඒවා නොවන බවයි. සැබැවින්ම මෙසේ වී තිබෙන්නේ දේශපාලන නායකත්වයේ වැරදි තීන්දු තීරණ නිසයි. අර්ධ රාජ්‍ය ආයතන පාඩු ලබද්දී මෙතෙක් පැවති ආණ්ඩු විසින් කළේ එම ආයතන ඈවර කිරීමයි. මෙම තත්ත්වය අපි නිසැක ලෙසම නතර කරනවා."

මාතෘකා