ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 20ක්

 ඡායාරූපය:

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 20ක්

මැකොස වැඩට බසී

ඕනෑම අවස්ථාවකදී මැතිවරණක් කැඳවීමට අවස්ථාව මැතිවරණ කොමිසමට ලබා දෙන කාලය පැමිණෙත්ම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබද ඇති උණුසුමද ඉහළට ගියේය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගිය සතියේදී මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ගැන අවධානය යොමු කළේය. මැතිවරණ කොමසාරිස්වරයාට පසුගිය මැතිවරණවලදී බරපතළ ගැටලුවක් බවට පත්ව තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රචාරයන්ය.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ කාලයේදී පැවැති මැතිවරණවලදී මෙන්ම මැතිවරණ කොමිසම පිහිටුවා එහි සභාපතීත්වයට පත් කිරීමෙන් පසුවද ඔහු යටතේ පැවැති මැතිවරණවලදී ජනමාධ්‍ය ඔස්සේ සිදු කරන ප්‍රචාරයන් කෙරෙහි දැඩි අවධානය යොමු කර තිබුණේය. මාධ්‍ය ආයතවලට උපමානයන් ලබා දුන් ඔහු නීති විරෝධී ලෙස පෝස්ටර්, කටවුට් ප්‍රදර්ශනය කරමින් මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වන අවස්ථා ගැනද දැඩි පියවරක් අනුගමනය කළේය. එහෙත් මැතිවරණයක් අවස්ථාවකදී ස්වාධීන යාන්ත්‍රණයක අධීක්ෂණයට ලක් විය යුතු සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට මහින්ද දේශප්‍රියට හැකි වී තිබුණේ නැත.

මඩ ෆේස්බුක්වලට වැට

එහෙත් මෙවර ජනාධිපතිවණයේදී සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් තමන්ගේ අවධානය සාර්ථක අවසානයක් කරා ගෙන ඒමට මහින්ද දේශප්‍රිය උත්සාහ ගනිමින් සිටී. ඔහු පසුගිය සතියේදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ නියොජිත පිරිසක් හමුවිය. රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයට එම නියෝජිත පිරිස කැඳවා ගත් මහින්ද දේශප්‍රිය දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලවල සේවය කරන තොරතුරු තාක්ෂණ නිලධාරීන් කිහිපදෙනෙක්ද සාකච්ඡාවට ගෙන්වා ගත්තේය.

“සමහර ෆේස්බුක් එකවුන්ට් තියෙනවා. ඒවා තියෙන්නේ මඩ ගහන්නම විතරයි. මේ වගේ ඒවා ඡන්ද කාලෙට බරටම වැඩ කරනවා. මේවාට විසඳුමක් දෙන්න ඕන. මේවා බ්ලොක් කරලා දාන්න." මහින්ද දේශප්‍රියගේ ඉල්ලීමට ෆේස්බුක් සමාගමේ නියෝජිතයන්ගෙන් ලැබුණේ සුබවාදී ප්‍රතිචාරයකි.

මේ සාකච්ඡාවෙන් පසුව මැති ඇමැතිවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කැඳවීමක් කළේය. ඒ, මැතිවරණයේදී සමාජ මාධ්‍ය පිළිබඳ අදහස් දැක්වීමටය. උදෑසන දහයහමාරට ෆැක්ස් පණිවුඩයක් මඟින් දැනුම් දීම කළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දහවල් දොළහයි තිහට මාධ්‍ය ලේකම්වරුන් හමුවිය.

“ෆේස් බුක් එකෙන් මඩ ගහන්න තියාගන්න එපා. අපි මේවා හරියට බලනවා." මහින්ද දේශප්‍රිය තද කතාවක් කළේය.

ජනපතිවරණේදි 20ක් සටනට

මේ සාකච්ඡාව ගැන තොරතුරු ලැබුණු මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ද මෙහි පැමිණ සිටියහ. ඔවුන් සාකච්ඡා කාමරයට කැඳවූ මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරණයක් කැඳවීමට ඇති හැකියාව ගැන අදහස් දැක්වීමට අමතක කළේ නැත.

"මේ වන විට දේශපාලන පක්ෂ දාහතරක් හෝ පහළොවක් තමන් තරග කරන බව ලිඛිතව දැනුම් දී තිබෙනවා. ඒ වගේම දුරකථනවලින් දෙකක් හෝ තුනක් දැනුම් දී තිබෙනවා. ඒ අනුව දේශපාලන පක්ෂ දාහතක් විතර දැනුම් දී තිබෙනවා. ස්වාධීනව තරග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දැනුම් දී තිබෙනවා. ඒ අනුව අපේක්ෂකයන් විස්සක් පමණ මැතිවරණයට තරග කරනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ ගණන ඊට වඩා අඩු වැඩි වෙන්න පුළුවන්. කෙසේ නමුත් අපේක්ෂකයන් පහළොවත් විස්සත් අතර සංඛ්‍යාවක් තරග කරනු අතැයි අපේක්ෂා කරනවා. නාම යෝජනා කැඳවූ දිනයේ සිට ඡන්දය පැවැත්වීම සඳහා දින 63ක අවම කාලයක් තිබිය යුතුයි. නොවැම්බර් 10 වැනිදා ඡන්දය පැවැත්විය නොහැකියි. නොවැම්බර් 12 වැනිදා පෝය නිසා මැතිවරණය පැවැත්විය නොහැකියි. මේ නිසා ඡන්දය පැවැත්විය හැකි ළඟම දිනය වන්නේ නොවැම්බර් 15 වගේ දවසක්. මේ අනුව බලන විට සැබෑ ලෙසම මැතිවරණය කැඳවීමේ දිනය ලෙස අපිට සැලකිය හැක්කේ සැප්තැම්බර් 15 වැනිදායින් පසුවයි. අපි නොවැම්බර් 15 වැනිදා නාම යෝජනා කැඳවීමේ දිනය ලෙස නම් කරනවා කියලා එයින් කිසිම දෙයක් අදහස් වෙන්නේ නෑ. දේශපාලනඥයන්, නක්ෂත්‍රවේදීන් කියන දිනයක නෙමෙයි මේ මැතිවරණය තියෙන්නේ. අපිට අවශ්‍ය දවසක තමයි මැතිවරණය තියන්නේ." මහින්ද දේශප්‍රිය කීවේය.

ජනපතිගේ තීන්දුව

ජනාධිපතිවරයා හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර මේ දිනවල ඇති වී තිබෙන්නේ සීතල යුද්ධයකි. එයට හේතු වී තිබෙන්නේ රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුය. රූපවාහිනියේ සභාපති ධුරය සඳහා නම් කිහිපයක්ම මීට පෙර ජනමාධ්‍ය රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට එවනු ලැබ තිබුණි. එහෙත් ඒ කිසිදු අවස්ථාවකදී නව සභාපතිවරයෙක් පත් කරනවාට ජනාධිපතිවරයාගේ වැඩි කැමැත්තක් තිබුණේ නැත.

මේ අතර කැළුම් පාලිත මහීපාල රූපවාහිනියේ සභාපතිවරයා ලෙස රුවන් විජයවර්ධන පත් කර තිබුණේ රාජ්‍ය ඇමැතිවරයා ලෙස ඔහුට පැවරී තිබූ බලතල අනුවය. එහෙත් එම පත් කිරීමට ජනාධිපතිවරයාගේ වැඩි කැමැත්තක් තිබුණේ නැත.

"මේ රූපවාහිනී එකට මට කියන්නේ නැතිව සභාපතිවරු පත් කරනවා. මේක හරිම කරදරයක්. මේ නිසා රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට දාලා ගැසට් එකක් ගහන්න." ජනාධිපතිරවයා වහාම ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දුන්නේය. ඒ වන විට තරමක් රෑ බෝ වී තිබු අතර රාත්‍රියේම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කෙරිණි.

රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ කිසිදු දිනක නොපැවති අතර මේ ගැන රුවන් විජයවර්ධන ඇමැතිවරයා ප්‍රසිද්ධියේම විවේචන ඉදිරිපත් කළේය. ප්‍රසිද්ධියේ ආණ්ඩුව විවේචනය නොකරන රුවන් විජයවර්ධන ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පැවසුවේ යුද්ධය පැවැති කාලයේදීවත් රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ නොපැවැති බවයි.

වජිරගේ කැබිනට් පත්‍රිකාවට දෙවැනි වරටත් විරෝධය

හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා දීම සඳහා පසුගිය සතියේදී වජිර අබේවර්ධන ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. එහෙත් එම කැබිනට් පත්‍රිකාව මංගල සමරවීර ඇමතිවරයා ඉදිරිපත් කළ විරෝධය හමුවේ කල් ගියේය.

මේ සතියේ අඟහරුවාදාත් සුපුරුදු පරිදි රැස් වූ කැබිනට් මණ්ඩල රැස්වීමට වජිරගේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වී තිබුණේය. මේ අතර තවත් කැබිනට් පත්‍රිකාවක්ද වජිර ඉදිරිපත් කළේය. ඒ සංවර්ධන කමිටුවල සභාපති ධුර දරන මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ලබා දීම සඳහාය. ඒ කැබිනට් පත්‍රිකාවත් දෙවැනි වතාවටත් කැබිනට් මණ්ඩලයේදී ප්‍රතික්ෂේප විය.

මේ සතියේදී වජිරගේ කැබිනට් පත්‍රිකාවට විරෝධය දැක්වූයේ ජනාධිපතිවරයාය.

"මේක කරන්න බෑ. මේවා කරන්න ගියොත් ජනතාවගෙන් විරෝධතා එන්න පුළුවන්. රාජ්‍ය සේවකයන් අතර නොසන්සුන්තාවක් එන්න පුළුවන්." ජනාධිපතිවරයා කීවේය.

"එහෙම වෙන්නේ නෑ ජනාධිපතිතුමා. ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසය වෙනකල් මේ දීමනාව ගෙව්වා." වජිර සිහිපත් කළේය.

රනිල් - සජිත් හමුවක්

ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයට තරග කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නොහැකිව සිටින විටදී එක්සත් ජාතික පක්ෂය තමන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ගැන තීරණයක් ගැනීමට නොහැකිව සිටී.

 

සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස ඉල්ලා සිටිමින් ආරම්භ කළ සටන ඉදිරියටම යමින් තිබේ.

මේ අතර අගමැතිවරයා හා සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්විණි. පසුගිය අඟහරුවාදා සජිත් - රනිල් සාකච්ඡා පැවැත්වෙන විට සජිත් යාපනයට ගොස් පැමිණ සිටියේය. යාපනයේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට ගිය සජිත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හමු විය. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ කළ සාකච්ඡාවේදී ඔහු වැඩි අවධානයක් යොමු කළේ ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ සහාය තමන්ට ලබා ගැනීම කෙරෙහිය.

දෙමළ ජාතික සන්ධානය සමඟ පැවැති සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වූයේ උතුරේ බලය බෙදීමේ ප්‍රශ්නයට සජිත්ගේ විසඳුම් ගැන අවධානය යොමු කිරීමටය. ජාතික ගැටලුව සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ස්ථාවරය කෙරෙහි දැඩි පැහැදීමක සිටින දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය වූයේ සජිත් ඊට වඩා වෙනස් ස්ථාවරයක සිටින්නේද යන්න දැන ගැනීමටය.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට සජිත්ගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයකි. බලය බෙදා හැරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය දරන ස්ථාවරය දැරීමට ඔහුගේ කැමැත්තක් තිබිණි. ඒ බව ප්‍රසිද්ධියේම ඔහු පසුව කීවේය.

"මම රටින් පිට ගියාම ප්ලස් වෙන්නයි ලංකාවට ආවම මයිනස් වෙන්නයි කටයුතු කරන්නේ නෑ." සජිත් කීවේ මහින්ද ඉන්දියාවට ගොස් දහතුන්වැනි සංශෝධනයේ ඇති බලතල ඉක්මවා යන ආකාරයේ සංශෝධනයක් කරන බව පවසා නැවත ලංකාවට පැමිණ බලය බෙදා හැරීම වෙනුවට තමන් අතට බලය ලබා ගැනීමට කටයුතු කිරීමට විරෝධය දක්වමින්ය.

ඒ සාකච්ඡාව පැවැති දිනයට පසුදාම අරලියගහ මන්දිරයේදී රනිල් - සජිත් සාකච්ඡා ආරම්භ විය. රාත්‍රී දහයට පමණ සාකච්ඡා ආරම්භ කරන විට මලික් සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම් හා රාජිත සේනාරත්න පැමිණ සිටියහ. කෙසේ වෙතත් කරූ ජයසූරිය එම සාකච්ඡාවට එක්ව සිටියේ නැත. ඒ සාකච්ඡාවේදී බොහෝ දේ කතා කර තිබුණත් අවසන් එකඟතාවයක් ඇති කරගෙන තිබුණේ නැත.

 

රාජිතගේ ගෙදර රහස් කතා

‌මේ අතර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබද තවත් රහස් සාකච්ඡාවක් බදාදා රාත්‍රියේදී රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ නිවසේදී පැවැත්විණි. මංගල සමරවීර හා මලික් සමරවික්‍රම, සජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙන් පැමිණ සිටියේ සමීක්ෂණ දත්ත රැගෙනය.

"අපි ගම් මට්ටමින් ස්වාධීන සමීක්ෂණයක් කරලා තියෙනවා. මේකේ තියෙන දේවල් ගැන අපි අවධානය යොමු කරලා ඉදිරියේදී කරන දේ ගැන තීරණයක් ගන්න ඕනෑ." මංගල රාජිතට සමීක්ෂණයේ ප්‍රතිඵල ගැන විග්‍රහයක් කළේය.

"අගමැතිතුමාත් ජනාධිපතිවරණයක ප්‍රතිඵල ගැන සමීක්ෂණයක් කරලා තියෙනවා. ඒකත් බලන්න පුළුවන්. මේ දෙකම බලලා අපි මොකද කරන්නේ කියලා බලමු" රාජිත කීවේය.

"අපිට අවශ්‍ය ජය ගන්න පුළුවන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න විතරයි. ජයග්‍රහණය කරන්න පුළුවන් නම් කරූ ජයසූරිය වුණත් අපිට ප්‍රශ්නයක් නෑ." මලික් කීවේය.

"අපිට ජනාධිපතිවරණයක් කැඳවන දවස දක්වා කල් තියෙනවා. හැබැයි කඩිනමින් මේ දේවල් සාකච්ඡා කරලා විසඳා ගන්න ඕනෑ." රාජිත කී කතාවට මලික්, මංගල දෙදෙනාම ඒකඟත්වය දැක්වූහ. ඒ අනුව රනිල් - සජිත් තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

කබීර් එනතුරු බලාසිටි අගමැති

එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂකත්වය ගැන මත අරගල තිබුණද අගමැතිවරයා සිය දෛනික කටයුතු හා රටේ සංවර්ධනයට අදාළ සියලු තීන්දු තීරණ ගැනීමේ සාකච්ඡාවලට මෙන්ම උත්සවවලටද නියමිත පරිදි එක්විය.

කොළඹ වරාය හරහා පෑලියගොඩට කණු මතින් ඉදි වන ඩොලර් දස ලක්ෂ 300ක් වැයවන අධිවේගී මාර්ගය පසුගියදා ආරම්භ කිරීම එහි පළමු අවස්ථාව විය. අගමැතිවරයා එහි එන විට විෂය භාර ඇමති කබීර් හෂීම් පැමිණ සිටියේ නැත. මේ නිසා ඔහු එන තෙක් අගමැතිවරයා උත්සවයට නොගොස් මහ මඟ ටික වේලාවක් බලා සිටියේය. අගමැතිවරයා පැමිණ විනාඩි කිහිපයකින් කබීර් එතැනට පැමිණියේ වාහනයෙන් බැස දුවගෙනය.

මහනුවර අධිවේගයේ වැදගත්ම කොටස අපි ඉක්මනින් ජනතාවට ලබා දෙනවා. ඒකෙ අනෙක් අදියර ලබන වසරේ විවෘත කරනවා. ඊට අමතරව ඔරුගොඩවත්තේ සිට රාජගිරිය දක්වාත් කණු මත තවත් අධිවේගයක් දැන් ඉදිවෙනවා. මාලඹේ සිට කණු මතින් කොළඹට එන දුම්රිය මාර්ගයේ වැඩත් අපි පටන් ගත්තා. ගෝල්ෆේස් හා කොල්ලුපිටිය මුහුදුබඩ මාර්ගයත් ඉක්මනින් යා කරනවා. 1992දී එක්සත් ජාතික පක්ෂයයි ගාල්ල අධිවේගය යෝජනා කළේ. 2002 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒකට ඉඩම් පවරාගෙන පාර හදන්න පටන් ගත්තා. 2005දි අපි පැරදුණාම මුල්ගල් ගලවල විසි කරල අලුත් මුල්ගල් තියලා රාජපක්ෂලා දහ ගුණයක් වැඩිපුර මුදල් කාබාසිනියා කරලාත් ගාල්ල අධිවේගය හදන්න වසර 09ක් ගියා. ඒත් සමහරුන්ට ඒ අතීතය මතක නෑ.” අගමැතිවරයා එහිදී කීවේය.

පසුගිය සතියේ සිදු වූ තවත් සුවිශේෂි සංවර්ධන කාර්යක් වූයේ එක් දිනක් තුළ පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පැවරීමය. මීට පෙර අවස්ථා දෙකකදීද එක් දිනක් තුළ පාසල් ගොඩනැගිලි 500 බැඟින් සිසුන්ගේ අයිතිය පැවරීමට අධ්‍යාපන ඇමති අකිල ක්‍රියා කළේ අගමැතිවරයාගේ සංකල්පයක් හා උපදෙස් මතය.“මේ තරම් කකුල් මාට්ටු තිබුණු ආණ්ඩුවක් ලංකාවේ තිබිලා නෑ. ඒත් අධ්‍යාපනයට හා සෞඛ්‍යයටත් නිවාස මෙන්ම යටිතල පහසුකම්වලටත් මුදල් වැය කළ ජාත්‍යන්තරය දිනා ගත් ආණ්ඩුවකුත් ලංකාවේ මෙතෙක් තිබිලා නෑ.” අගමැතිවරයා එම උත්සවය අමතා කීවේ එවැන්නකි.

අගමැතිට මංගල උත්සව දෙකක්

බ්‍රහස්පතින්දා අධික වැසි සහිත දිනයක් වුවද මන්නාරමේ සංවර්ධන ව්‍යාපෘති රැසක විවෘත කිරීම් හා ආරම්භ කිරීම්වලට යෑමටද අගමැතිවරයා සූදානම්ව සිටි අතර එහි යෑමට පෙර පැමිණ සිටි මැති ඇමතිවරුන් සමඟ සුපුරුදු පිළිසඳරේ යෙදීමට ඔහු අමතක කළේ නැත.

"අද නාමල්ගේ වෙඩින් එක. අගමැතිතුමා යන්නේ නැද්ද?" නවීන් දිසානායක ඇසුවේය.

"නෑ. මට ගල්කිස්සෙදි තියෙන උත්සවයටයි කියලා තියෙන්නෙ. අද රවුෆ් හකීමිගේ දුවගේ වෙඩින් එක. කොහොම හරි ඒකට යන්න ඕනෑ." අගමැතිවරයා කීය.

රනිල් - සජිත් හමුවේ සිදු වූ දේ

"අගමැතියි සජිතුයි හමුව ගැන ඇත්ත කතාව මොකද්ද? ජනමාධ්‍යයෙයි සමාජ මාධ්‍යවලයි එක එක කතා යන්නේ." ලක්ෂ්මන් කිරිඇල්ල ඇසුවේ අගමැතිගෙනි.

"ඒක සුහදව ගියා. ඒත් කටිටියක් අනවසරයෙන් සාකච්ඡාවට ආවා. ඒක මට ගැටලුවක් නෙමෙයි. මංගල හමුවෙලයි සජිත් ආවේ කියලත් ආරංචියි. ඒකෙත් ගැටලුවක් නෑ. අපේක්ෂකත්වය ලැබුණොත් දිනන ක්‍රමය ගැන මම ඇහුවා. එයාල ඒකට හරි උත්තරයක් දුන්නේ නෑ. කබීර්ගෙනුත් ඇහුවහම එයත් උත්තර දුන්නේ නෑ. ටී.එන්.ඒ. හා අනිත් සුළු පක්ෂ ඇතුළු පුළුල් සංධානයක් නැතුව දිනන්න අමාරුයි කියල මම පැහැදිලි කළා. ඒවා පිළිගත්තා. දිනන උපක්‍රමය පෙන්නල ඊට අදාළ ලියවිල්ලක් මේ සති අන්තයේ භාර දෙන්න කියල මම ඉල්ලුවා. ඊට පස්සේ අනිත් පක්ෂ එක්ක කතා කරල තීන්දුවක් ගන්නැයි මම කිව්වා. එදා සාකච්ඡාව ඉතා වැදගත් එකක්. ඒත් රංචු පිටින් ආවාම තීන්දු ගන්න අමාරුයි." අගමැතිවරයා පැහැදිලි කළේය.

ඇතුලේ රණ්ඩු වුණාද? කිරිඇල්ල අසයි

"අගමැතිතුමයි ඇමති මලිකුයි ඇරගත්ත කියන්නෙ ඇත්තද? මලික් ඔබතුමාගේ හොඳම යාළුවනේ." කුරුණෑගල වැවිලි සංස්ථාවේ සභාපති හා හිටපු ඇමති උපාලි පියසෝම කීවේ කාගේත් සිනහ මැදය.

"මම මලික් තියා කා එක්කවත් රණ්ඩු වුණේ නෑ. රණ්ඩු වෙලා ප්‍රශ්න විසඳීම මගේ ක්‍රමය නෙමෙයි." එසේ කී අගමැතිවරයා ඉවත බලා ගත්තේය.

සජිත් දිනුවොත් නායකයා කවුද?

"සජිත් ඇමතිතුමා ජනාධිපති වුණොත් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකත්වය එතුමාට යනවා. පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරලා අගමැතිකමයි නායකත්වයයි ඔබතුමාට තියා ගන්න කියල සජිත් පාර්ශ්වයෙන් යෝජනා කළා කියල ආරංචියි. ඒක ඔබතුමාගේ පැත්තෙන් ගත්තම වටිනා යෝජනාවක් නේද?" චමින්ද විජේසිරි මෙන්ම හේෂා විතානගේ ඇසුවේ එකම ආකාරයේ ප්‍රශ්නයකි.

"කිරිඇල්ල ඇමතිතුමා ඒකට උත්තරේ දන්නවා ඇති."යැයි අගමැතිවරයා කීය.

"ජනාධිපති වුණත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලැබෙන්නෙ නෑ කියල පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළු කරල තියෙන්නේ 1994දි කියලයි මම දන්නෙ. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා මැතිනියයි. චන්ද්‍රිකා ජනාධිපති වෙලා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අරන් ගේමක් දෙන්න ලෑස්ති වෙනකොටයි අගමැතිතුමා විපක්ෂ නායක විදියට ඒක වෙනස් කරල එක්සත් ජාතික පක්ෂය බේරාගෙන තියෙන්නෙ." ලක්ෂ්මන් කිරිඇල්ල කී විට අගමැතිවරයා එය අසා සිටියා මිසක වචනයක් හෝ කීවේ නැත.

"එජාප නායකයා ලෙස අමාරු කාලේ මම පක්ෂය රැක්කා. මම කීපවරක් අගමැති වුණා. මට පක්ෂය දිනවන්න හැකියි කියන විශ්වාසය තියෙනවනම් මම ඉදිරියට එන්න ඕනෙ. දිනවන්න බැරිනම් වයස 70ක් වෙච්ච මම ගෙදර යන්න ඕනෙ." මහාචාර්ය ආශු මාරසිංහ හා 1977දී අගමැති රනිල් පාර්ලිමේන්තු එවූ බියගම එජාප ආධාරකරුවන් පිරිසක් ඇසූ පැනයකට අගමැතිවරයා මදක් සංවේදී පිළිතුරක් දුන්නේ එසේය.

"අවංකවම විධායක ජනාධිපතිකම අහෝසි කරන කෙනෙක් මේ රටේ මීළඟ ජනාධිපති වීම රටට ඉතා හිතකරයි. ජවිපෙ ගෙනියන ඒ මතවාදය ජනතාවට කා වැදුණු ප්‍රබල එකක්. එජාපය ඒ ගැන දැඩි අවධානය දක්වමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ඉතා වැදගත්. අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කළ විග්‍රහයට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළ විය.

"දිනේෂ් වීරක්කොඩි එදා අගමැති හා සජිත් අතර තීරණාත්මක සාකච්ඡාවට එකතු කර ගැනීම ගැන සියලු දෙනා එකඟයි." නවීන් දිසානායක කීවේ දිනේෂ්ගේ පිටට තට්ටු කරමිනි.

"දිනේෂ්ට ආර්ථිකය ගැන ඉහළ දැක්මක් තියෙනවා. ඒ වගේම හොඳ දේශපාලන දැක්මකුත් තියෙන බව මම ළඟදී අවබෝධ කර ගත්තා. අනෙක ඔහු මධ්‍යස්ථයි. මගේ වගේම සජිත්ගෙත් විශ්වාසවන්තයෙක්. ඒ පදනමෙනුයි දිනේෂ් එදා සාකච්ඡාවට ආවෙ." අගමැතිවරයා කීය.

සජිත් ඉන්නේ ගෝඨාට මහින්ද උඩින්

"හොඳම පොලිටිකල් කැම්පේනර් සජිත්. එයා ගෝඨාට නෙමෙයි දැන් මහින්ද රාජපක්ෂටත් උඩින් ඉන්නේ. එජාප මත ගැටුම් පටන් ගන්න කලින් හිටපු තැනට අගමැතිතුමා හා සජිත් ඉක්මනින් ආවේ නැත්නම් අපිට අමාරුයි." දිනේෂ් වීරක්කොඩිගේ විග්‍රහයට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළ විය.

"ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීම ගැන මිනිස්සු පුදුම වෙනවා." උපාලි පියසෝම කීවේ අගමැතිටය.

" දැන් ඇල්පිටිය ඡන්දයට අපි ලෑස්තිද?" උපාලි පියසෝම ඇසුවේ අගමැතිගෙනි.

"ඔව්. වැඩපිළිවෙළක් සූදානම්. ගයන්තගේ මූලිකත්වයෙන් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් ඒක කරන්න ඕනෙ." අගමැති කීය.

"කබීර් ඇමතිතුමයි ඔබතුමයි පෙට්ට්‍රෝලියම් එකට කඹ අදින කතාව මොකක්ද?" උපාලි පියසෝම ඇසුවේ කිරිඇල්ලගෙනි.

“කඹ ඇදිල්ලක් නෑ. කබීර්ට පෙට්ට්‍රෝලියම් දුන්නෙ කෙටි කලකින් ගලවනවා කියලයි. අගමැතිතුමා ළඟදී ඒක මට දෙන්න කියලා ජනාධිපතිට ලියුම යැව්වා. ඒත් පස් දෙනෙක් ගිහින් ඒක මට දෙන්න එපා කියල ජනාධිපතිට කියලා. තමා එහෙම කරපු බව කබීර් පිළිගත්තා. ප්‍රශ්නය විසඳන්න ජනාධිපතිතුමා මටයි කබීර්ටයි එන්න කීවාම කබීර් මඟඇරියා කියලයි මට හිතෙන්නෙ. මම ජනාධිපතිවරණයෙදියි මහ ඡන්දෙදියි දිස්ත්‍රික්කය ඉහළින් දිනවපු කෙනෙක්.

ඒත් දිස්ත්‍රික්කය දිනා ගන්න බැරි අයට ලොකු තනතුරු කප්පරක් දීලා. ඒවා අගමැතිතුමා අතින් වෙචිච අතපසුවීම්. මම කබීර්ට ඒ ගැන මූණටම ඇත්ත තත්ත්වය ප්‍රසිද්ධියේ කිවිවා. මේ ප්‍රශ්නවලට මැදිහත් වෙලා බේරන එක අගමැතිතුමා වගේම සජිත්ගෙත් නායකත්ව වගකීමයි." ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ මදක් ප්‍රහාරාත්මකවය.

ශ්‍රීලනිපය වෙන ලකුණක්ම ඉල්ලයි

කෙසේ වෙතත් ශ්‍රීලනිපය සිටින්නේ ලකුණ වෙනස් විය යුතුය කියන ස්ථාවරයේම ය.

බදාදා සවස නිදහස් පක්ෂයේ සිට පොහොට්ටුවට එක් වූ මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමුවක් පැවැත්වුණේ ලක්ෂමන් යාපා අබේවර්ධනගේ කොළඹ නිවසේදීය. ලක්ෂ්මන් සමග එය සංවිධාන කර තිබුනේ නිමල් ලාන්සාය. එස්.බී, ඩිලාන්, ජෝන්, සුමේධා, චන්දිම, සුසන්ත ඇතුළු පිරිසක් මේ රැස්වීමට එක්ව සිටියහ. පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් ද ඊට එක්වූයේ මේ මන්ත්‍රීවරුන්ගේ ආරාධනාවලට අනුවය. මුලින්ම ඔවුන්ගේ අවධානය යොමු උනේ ශ්‍රීලනිප පොහොට්ටු සාකච්ඡා ගැනය. පොහොට්ටුව ලකුණ වෙනස් කළ යුතු බවට දයාසිරි කරන ප්‍රකාශය ඔවුන්ගේ විවේචනයට හේතුවිය.

" මට පේන්නේ මේ ගොල්ලො මේ ලකුණ ඉස්සරහට දාගෙන වැඩේ කල් ගන්න හදනවා වගේ. පොහොට්ටුව ලකුණ තමයි දැන් මිනිස්සු අතරට ගිහින් තියෙන්නේ. ඒනිසා ඒක වෙනස් කරන එක එතරම් හොඳ දෙයක් නෙවේ." ජෝන් සෙනෙවිරත්න කීවේය.

වෙන ලකුණූ එපා පොහොට්ටුව කියයි

ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් විය යුත්තේ පොහොට්ටුව ලකුණින් පමණක් බවට වූ යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේදී ඒකමතිකව සම්මත කරගෙන තිබේ. කමිටු රැස්වීම තිබුණේ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගගේ නිවසේදීය. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතන ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සටියහ. මේ සඳහා මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය හා ලංකා සම සමාජ පක්ෂයේදිස්ත්‍රික් නායකයන්ද සහභාගී වී සිටියහ.

ගෝඨාගේ පෙත්සම විසිවෙයි

ගෝඨාභය සියලුදෙනාට පෙර මැතිවරණ සටනේය. එහෙත් පසුගියදා ඔහුට දැඩි අවාසිදායක සිදුවීමකට මුහුණ දෙන්නට විය.

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදුව ඇති මූල්‍ය වංචාව පිළිබඳව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ චෝදනා ඉදිරිපත් කර තිබෙන ආකාරය දෝෂ සහගත බැවින් එම චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර තිබූ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ බහුතර කැමැත්තෙන් ප්‍රතික්ෂේප කිරීමය. පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති සිසිර ද ආබෘ මහතා අධිකරණය හමුවේ පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බැවින් අදාල පෙත්සම විභාගයට නොගෙන ඉවත දමන බවය.

පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ හම්බන්තොට මැදමුලන ප්‍රදේශයේ ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කර ඇති බවට, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7කට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

නාමල්ට අලුත් නෑයෝ

විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් නාමල් රාජපක්ෂගේ විවාහය සිදු විය. ඔහුගේ අත ගෙන සිටින්නේ ලිමිනි වීරසිංහය. මේවනවිට ශ්‍රී ලංකාවෙන් ස්වයංව පිටුවහල් වී සිටින ශ්‍රී ලාංකික පුවත්පත් කලාවේදී යුවඵක් ඇයගේ සමීප ඥාතීන් බව පැවසේ.

නාමල්ගේ මනාලිය වූ ලිමිනි වීරසිංහගේ මව අරුණි වික්‍රමරත්නයි. ඇය ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ ක්‍රීඩිකාවකි. ආනමඩුව හිටපු මන්ත්‍රී, ලේඛකයකු, පරිවර්තකයකු සහ ඉංග්‍රීසි ගුරුවරයකු වූ සද්ධාතිස්ස වඩිගමංගාව ලිමිනිගේ පවුලේ මහත් ගෞරවයට පාත්‍ර වී සිටින ලිමිනිගේ මාමා කෙනෙකි. නිකෝස් කසන්සාකිස් ගේ ‘‘Zorba the Greek’’ කෘතිය ‘සෝර්බා නම් ග්‍රීකයා’ මැයෙන් සිංහලට නැගුවේ සද්ධාතිස්ස වඩිගමංගාවයි.සද්ධාතිස්ස වඩිගමංගාව මහතාගේ දියණියක වන ජනමාධ්‍යවේදිනී සහ ලේඛිකා සහ දේවිකා වඩිගමංගාව විවාහ වී සිටින්නේ මාධ්‍යවේදී සනත් බාලසූරිය සමග ය. ශ්‍රී ලංකා වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ ප්‍රධාන තනතුරු දැරූ දේපළක් වන, රජයට අයත් ලේක්හවුස් ආයතනයේ සේවය කළ පෝද්දල ජයන්තට සහ සනත් බාලසූරියට එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ විසින් ඍජුවම තර්ජනය කරන ලද අතර 2009 ජුනි මාසයේදී සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් විසින් පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස්, දැඩි ලෙස පහර දී, අස්ථි බිඳ දමා මහ මග දමාගොස් තිබිණි.

ඉන් පසු, සනත් බාලසූරිය හා දේවිකා වඩිගමංගාව ද ජීවිත ආරක්ෂාව පතා රටින් බැහැර වූහ. විදේශගතව සාහිත්‍යකරණයේ යෙදෙන මෙම දෙපළම සිංහල බසින් කරන ලද නිර්මාණ වෙනුවෙන් මෑතදී සම්මාන ලැබූහ. (මේ පිළිබඳව සටහන් වන්නේ අජිත් පැරකුම් ජයසිංහගේ Praja.lk අඩවියේයි..)

මාතෘකා