මැතිවරණ කාලෙට ජනමාධ්‍යට වඩා බලපෑමක් නව මාධ්‍ය සිදු කරනවා

 ඡායාරූපය:

මැතිවරණ කාලෙට ජනමාධ්‍යට වඩා බලපෑමක් නව මාධ්‍ය සිදු කරනවා

ආචාර්ය ටියුඩර් වීරසිංහ
 

 

ළඟ ළඟම එන්නේ මැතිවරණ සමයකි. මැතිවරණ සමය යනු ජනමාධ්‍ය ආයතනවලටද විශාල වැඩ කොටසක් කිරීමට සිදුවන කාලයකි. කිසියම්ම හෝ ජනමාධ්‍ය හෝ නව මාධ්‍යක් භාවිතයෙන් තොර මැතිවරණ පැවැත්වීම ප්‍රායෝගික වන්නේ නැත. ජනතාව හා දේශපාලන බලාධිකාරිය බැඳ තබන හුය වන්නේ මාධ්‍යයි. මැතිවරණ හමුවේ මාධ්‍ය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ටියුඩර් වීරසිංහ සමඟ සිදු කළ සංවාදයක් ඇසුරින් සකස් කරන ලද ලිපියකි.

මිනිසුන්ගේ ජන විඥානය හැඩගස්වන, සමාජය පිළිබඳ ආකල්ප හැඩගස්වන ප්‍රමුඛ ස්ථානයක් බවට මාධ්‍ය පත් වෙලා. ඒ යථාර්ථයෙන් ගැලවී සිටීමට කිසිම පුද්ගලයකුට හැකියාවක් ඇත්තේ නෑ. මැතිවරණයක් හමුවේ මාධ්‍යයේ හැසිරීම ඓතිහාසික වශයෙන් විමසා බැලුවොත් මැතිවරණ ක්‍රියාවලියට මාධ්‍ය සම්බන්ධ වෙන්නේ නූතන යුගයේදී කියලා හඳුනාගන්න පුළුවන්.

නූතන මාධ්‍ය විදිහට මුලින්ම පුවත්පත් බිහි වෙන්නේ මීට වසර හාරසීයකට විතර පෙර. විසිවැනි සියවසේ මුල් භාගයේදී ගුවන් විදුලිය බිහි වෙනවා. එක්දහස් නවසිය තිස් ගණන්වල රූපවාහිනිය බිහි වෙනවා. එක්දහස් නවසිය පනස් ගණන්වල ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන ජීවිතයේ තීරණාත්මක සාධකයක් බවට රූපවාහිනිය පත් වෙනවා. අපේ රටේදී එක්දහස් අටසිය හැට ගණන් වන විට භාෂා තුනෙන්ම පළවෙන පුවත්පත් බිහි වෙනවා. විසිවැනි සියවසේදීම ගුවන් විදුලියත් අපේ රටට පැමිණෙනවා. හැත්තෑව දශකයේ අග භාගයේ රූපවාහිනියත් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. යුරෝපා රටවලට සාපේක්ෂව පසුකාලීනව අපේ රටවල මාධ්‍ය බිහි වුණත් ඒවා අපේ රටේ සමාජ දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ වීම ඉතා වේගයෙන් සිදු වෙනවා. ලෝකයේම දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ආගම, අධ්‍යාපනය, සාහිත්‍ය, කලාව යනාදී ක්ෂේත්‍ර අභිබවා ප්‍රමුඛ ස්ථානයක් බවට මාධ්‍ය පත් වෙනවා.

අංශ දෙකකින් දේශපාලන ක්‍රියාවලියේත් තීරණාත්මක සාධකයක් බවට මාධ්‍ය පරිවර්තනය වුණා. ඒවා නම් දේශපාලනඥයන්, පක්ෂවල හා දේශපාලනඥයන්ගේ මතය ඉදිරිපත් කරන මාධ්‍යක් වීම හා එම දේශපාලන බලවේගවල අදහස් තමන්ට අනුව හැඩගස්වා ගනිමින් මාධ්‍ය විසින් සමාජ දේශපාලන ප්‍රශ්න පිළිබඳ තමන්ගේම ආස්ථානයක් සමාජගත කිරීමේ තීරණාත්මක කාර්යයක් ඉටු කරනු ලැබීමයි.

ස්වකීය මතයක් නැති මාධ්‍ය

බොහෝ විට අපේ රටේ මාධ්‍යවල තමන්ගේ ස්වරූපයක් ගොඩනඟා ගත් අයුරු කැපී පේන්නේ නෑ. විශේෂයෙන්ම මැතිවරණයක් ආසන්නයේදී අපේ රටේ මාධ්‍යවලට ස්වකීය මතයක් පේන්නට ඇත්තේ නෑ. ඒ කාලවලදී මාධ්‍ය දේශපාලන පක්ෂයක, සමාජ බලවේගයක හෝ දේශපාලනඥයකුගේ අදහස් වාර්තාකරණයේ යෙදීම පමණක් කරන බව පේනවා. ඒක අපේ රටේ මාධ්‍යවල විශාල අඩුපාඩුවක්.

දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල මැතිවරණ වැනි ජාතික වශයෙන් වැදගත් අවස්ථාවලදී සමාජයේ මත තුනක් ඇති වෙනවා. දේශපාලනඥයන්ගේ මතය, විද්වතුන්ගේ මතය හා මාධ්‍යයේ මතය තමයි ඒ. එහිදී මාධ්‍යයේ මත කිහිපයක් තියෙන්න පුළුවන්. උදාහරණ විදියට 'වොෂින්ටන් පෝස්ට්' පුවත්පතේ එක් මතයකුත් 'ටයිම්ස්' පුවත්පතේ එක් මතයකුත් තියෙන්න පුළුවන්. ඒ විදිහට අපේ රටේ මාධ්‍යට ස්වකීය මතයක් නෑ. ස්වකීය මතයක් නැතිකම නිසා ජාතික වශයෙන් වැදගත් අවස්ථාවකදී අපේ රටේ මාධ්‍ය ඒ ඒ පක්ෂවලට හෝ දේශපාලනඥයන්ට පක්ෂව හෝ විපක්ෂව වැඩ කරන අතරම එම දේශපාලනඥයන්ගේ මතය ග්‍රාම්‍ය විදිහට සමාජගත කිරීමේ ප්‍රවණතාවක් තියෙනවා.

මැතිවරණ කාලයේදී මාධ්‍යයෙන් ජනතාවට දිය යුතු දේ

මැතිවරණයක් කියන්නේ මහජනතාවට ඉතාම වැදගත් අවස්ථාවක්. ඒකට රටේ බලය මාරුවෙන අවස්ථාවක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක සමාජීය ආයතන පවත්වා ගැනීමට සහ පාලනය සඳහා තනතුරුවලට පුද්ගලයන් පත් කර ගැනීම සුජාතකරණය සඳහා ප්‍රධානම මාධ්‍ය වන්නේ මැතිවරණයයි. මැතිවරණ පැවැත්වීමේදී පාරදෘශ්‍යභාවයක් බොහෝදුරට සහතික කරනු ලබන්නේ ඒ කාලයේදී මාධ්‍යයේ ක්‍රියාකාරීත්වය විසිනුයි. තමන්ට තිබෙන ප්‍රශ්න මොනවාද? ඒ ප්‍රශ්නවලට පක්ෂවලින් ලබා දීමට නියමිත විසඳුම් මොනවාද? ඒ ඒ පක්ෂවල මූලික ප්‍රතිපත්ති මොනවාද? යන්න පිළිබඳ කථිකාවක් සිවිල් වැසියන්ට මාධ්‍යයෙන් උදා කර දිය යුතුයි.

ඡන්දදායකයන්ට තීන්දුවක් ගැනීම සඳහා තමයි මාධ්‍යයෙන් මේ කාර්ය කළ යුත්තේ. ජාතික වශයෙන් වැදගත් අවස්ථාවකදී මාධ්‍යයෙන් කළ යුතු වැදගත් කාර්යක් වන්නේ ජනතාව දැනුවත් කිරීමයි. අපේ රටේ ඒ ආකාරයේ පුළුල් දැනුවත් කිරීමකට වඩා මාධ්‍ය විසින් දේශපාලන බලවේගවලට ජනතාව නතු කර ගැනීමක් තමයි කරනු ලබන්නේ.

විඥාපන කාර්යයට අමතරව මිනිසුන් මතවාදීව මෙහෙයවීමත් මාධ්‍යයේ කාර්යක් තමයි. අපේ මාධ්‍ය වැඩිපුර කරන්නේ පක්ෂවල මතය ජනතාවට ආරෝපණය කිරීමයි. ඒ නිසා ජනතාවට තමන්ට පිටස්තර මතයක් ඔවුන් නොදැනුවත්වම ආරෝපණය කරගැනීමක් වෙන්නේ.

සමාජයේ ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් තියෙනවා. ආර්ථිකය, රාජ්‍ය සහ දෘෂ්ටිවාදය ඒ ක්ෂේත්‍ර තුනයි. එහිදී මාධ්‍ය දෘෂ්ටිවාදී ක්ෂේත්‍රයේ ප්‍රධානම මෙවලම විදිහට ක්‍රියාත්මක වෙනවා. එහිදී මිනිසුන්ගේ මතය සකස් කිරීම, දේශපාලනය ආර්ථිකය ගැන විවිධ අදහස් සමාජගත කිරීම දෘෂ්ටිවාදී ක්ෂේත්‍රයෙන් කෙරෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේ ප්‍රධාන යාන්ත්‍රණය විදිහට මාධ්‍ය තම කාර්ය නිසි ලෙස ඉටු කළේ නැත්නම් සමාජ ඝට්ටන, ප්‍රතිවිරෝධතා ආදී විකෘතිභාවයන් ඇති වෙනවා. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ මේ මොහොතේ පවතින ජාතික හා ජාත්‍යන්තර තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයක් ඇති කළේ නැත්නම් ජනතාවගේ ඡන්ද තීන්දුව වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය අවස්ථාවලදී වගේ නෙවෙයි මැතිවරණ අවස්ථාවකදී මාධ්‍යයේ හැසිරීම සහ මාධ්‍යයේ ක්‍රියාකාරීත්වය විධිමත් පාලනයකට, නිරීක්ෂණයකට ලක්වෙනවා.

බොහෝ රටවල ඒ ඒ පක්ෂ නියෝජිතයන් මැතිවරණ ප්‍රචාරණය සඳහා කෙතරම් වියදම් කරනවාද කියලා ජනතාවට දැනගන්න සලස්වනවා. කුමන පුද්ගලයන්ද‍ කුමන සමාගමද ඒ ඒ පක්ෂවලට, පුද්ගලයන්ට උදවු කරන්නේ කියලා ජනතාව දැනගන්නවා නම් ජනතාවට පහසුයි දේශපාලන තීන්දුවක් ගන්න. ඒ වගේ සම්ප්‍රදායක් අපේ රටේ ගොඩනැඟිලා නෑ. නමුත් පරිණත ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටවල මේ වගේ සම්ප්‍රදායක් ගොඩනැඟිලා තියෙන්නේ.

වාර්තාකරණයට විතරක් සීමා නොවූ මාධ්‍ය කියන්නේ සමාජ දේශපාලන බලවේගවලට උඩින් තියෙන ප්‍රපංචයක් කියලා හිතන්න හොඳ නෑ. මාධ්‍ය කරන්නේ වාර්තාකරණය විතරක් නෙවෙයි. මාධ්‍යත් සමාජ දේශපාලන බල අරගලයේම කොටසක්. යම්කිසි දේශපාලන පක්ෂයක් වගේම ඒ අය සහයෝගය පළ කරන පක්ෂ හෝ නියෝජිතයන් ආණ්ඩුවේ නියෝජිතයන් බවට පත් කිරීම සඳහා මාධ්‍ය උත්සාහ කරනවා. මාධ්‍යත් සමාජ දේශපාලනික ආයතනයක්. එයින් මිදෙන්න මාධ්‍යට බෑ.

මැතිවරණය කියන්නේ බලය මාරුවෙන අවස්ථාවක් නිසා බලය සඳහා අරගල කරන්නේ දේශපාලන පක්ෂ විතරක් නෙවෙයි. බල අරගලය මාධ්‍ය විසිනුත් කරනු ලබනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක මාධ්‍යයෙන් බලාපොරොත්තු වෙන විනිවිදභාවය මෙතැනදී අදාළ වෙන්නේ නැතුව යනවා. ඒකට හේතුව මාධ්‍යත් බල අරගලයේම කොටසක් වීම.

මාධ්‍යකට කාට හෝ පක්ෂපාතී වීමෙන් මිදෙන්න බෑ. ජන වර්ගයකට හෝ සුළු කණ්ඩායමකට බලපාන ප්‍රශ්නයක් විසඳීමට පමණක් නොව, රටක් විදිහට සමස්තයට බලපාන ප්‍රශ්නයක් විසඳීම සඳහා තොරතුරු සමාජගත කිරීමයි මාධ්‍යයෙන් වෙන්න ඕනෑ. ඒ අනුව අපේ වගේ රටක පූර්ව මැතිවරණ සමය තුළ මාධ්‍යයෙන් වැඩි බලපෑමක් කරන්නට පුළුවන් වුණු පක්ෂවලට වැඩි ජයග්‍රාහී අවස්ථා ලැබෙන්නේ. මේ කාලයේදී මාධ්‍ය වෙනම හෝ දේශපාලනය වෙනම නොව මාධ්‍ය දේශපාලන පද්ධතියක් (MEDIA POLITICAL SYSTEM) තමයි හැදිලා තියෙන්නේ. මේ තියන තත්ත්වය ජනතාවට වෙනස් කරන්න බෑ.

මැතිවරණය හමුවේ වඩා බලවත් ජනතා මතයද?

සමාජයේ ජනතාවගේ සැබෑ මතය (public opinion) සහ දේශපාලන පංතියේ මතය (mass opinion) යනුවෙන් මත දෙකක් තියෙනවා. එහිදී ජනතාව තේරුම් ගත යුතු වන්නේ මැතිවරණයක් හමුවේ ජනමතයට වඩා දේශපාලන පංතියේ මතයට සමාජයේ වැදගත් තැනක් හිමිවන බවයි. උදාහරණයක් කියන්නම්. ගමනාගමන, සෞඛ්‍ය යනාදී අංශවලින් මිනිසුන්ට විවිධ ප්‍රශ්න තියෙනවා. ඒවා තමයි ජන මතය වන්නේ. ඒ අතර දේශපාලන පංතියට තියෙන ප්‍රශ්නය වන්නේ විධායක ක්‍රමයද හොඳ පාර්ලිමේන්තු ක්‍රමයද හොඳ යන්නයි. මාධ්‍ය යෙන් ඔවුන් ඉදිරිපත් කරන්නේ ඒ වගේ අදහසුයි. ඒ මතය මිනිසුන්ට කිසිම අදාළත්වයක් නෑ. පාලක පංතියෙන් ප්‍රශ්න මතුවෙන්නේ පාලක පංතියේ උවමනාව මතයි. ඒ ඔස්සේ පාලක පංතිය ඔවුන්ගේ ප්‍රශ්න විසඳගන්නට උත්සාහ කරන්නේ. දේශපාලන පංතියේ මතය මාධ්‍ය මඟින් මිනිසුන්ගේ ප්‍රශ්නයක් ලෙස මිනිසුන්ට ආරෝපණය කරනවා. ඡන්දයක් පවත්වන්නේ නැති අවස්ථාවලදී ජනතාවගේ මතය ප්‍රකාශ වෙනවා වැඩිපුර. ඒත් බලය මාරුවෙන අවස්ථාවකදී දේශපාලන පංතිය ප්‍රබල වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මැතිවරණ අවස්ථාවලදී ජනතවාගේ ප්‍රශ්න ජනතාවටම අමතක වෙනවා.

ජනමාධ්‍යයේ පැවැත්මට අභියෝගයක්

මාධ්‍යටත් විවිධ කොන්දේසි මත ක්‍රියාත්මක වෙන්න සිදු වෙනවා. මාධ්‍යට තමන්ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අද වන විට පත්තර වැසීගෙන යනවා. මනුෂ්‍ය වර්ගයාගේ පරිණාමයත් සමඟ 21 වැනි සියවස වන විට මාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රයේත් විප්ලවීය විපර්යාසයන් සිදු වෙනවා. මීට වසර පන්සීයක් තිස්සේ පැවැති mass mediaවල භූමිකාව නව මාධ්‍ය බවට පරිවර්තනය වෙනවා. mass mediaවල පැවැති ප්‍රබලත්වය නිසාම දේශපාලන අධිකාරිය තමන්ගේ බලය රැකගන්න mass media පාවිච්චි කළා වගේම අද වන විට දේශපාලන බලවේග නව මාධ්‍ය වේදිකාව වෙත යොමු වෙන්න කටයුතු කරනවා.

නව මාධ්‍ය හරහා වෙනස්ම ආකාරයකට පූර්ව මැතිවරණ සමය තුළදී කටයුතු කරනවා. පහුගිය මැතිවරණවලදී නව මාධ්‍යවල හැසිරීම වර්ධනය වෙන හැටි දැකගන්නට ලැබුණා. mass mediaවලින් කරන බලපෑමට වඩා නව මාධ්‍යවලින් පෞද්ගලිකවම බලපෑමක් කරන්න පුළුවන්. එක් එක් පුද්ගලයාගේ තියෙන දේශපාලන දැක්ම, උවමනාව, පංතිය, තනතුර ඉලක්ක කරමින් පුද්ගලයන්ට බලපෑම කිරීම නව මාධ්‍යයෙන් සිදු වෙනවා.

ජනමාධ්‍යට වඩා බලවත් නව මාධ්‍ය

අපේ රටේ පූර්ව මැතිවරණ කටයුතුවලදී mass media වගේම නව මාධ්‍ය සුසංයෝගයක් වෙනවා. නව මාධ්‍යවලින් mass mediaවලින් වගේ බලපෑමක් නෑ. අපට තනිවම ප්‍රතිචාර දක්වන්න පුළුවන්. අපේ මතය තනිවම පළ කරන්න පුළුවන්. ඒ නිසා දැන් අපට තනිවම දේශපාලන තීන්දුවක් ගන්න පුළුවන් කියලා මිනිසුන් හිතනවා. ඒ වගේම දේශපාලන පංතියත් නව තාක්ෂණය මඟින් ඇති කරලා තියෙන වෙනස්කම තමන්ගේ දේශපාලන උවමනා ඉටු කරගන්න අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරනවා. ඒ වගේම mass media භාවිත කරන විට පාලක පංතියට ඕන විදිහට මාධ්‍ය හසුරුවන්න පුළුවන්, නව මාධ්‍ය ඔස්සේ ඒ හැසිරවීම කරන්න බෑ කියලා හිතන්න පුළුවන්. බැලූ බැල්මට ඒ විදිහට නව මාධ්‍ය ඔස්සේ ඡන්දදායකයාට බලපෑමක් වෙන්නේ නෑ කියලා පෙනුණත් නව මාධ්‍යවලිනුත් මාස් මීඩියාවල තිබුණු පොදු බලපෑම මිනිසුන් වෙත ඇති වෙනවා. උදාහරණයක් විදිහට නව මාධ්‍ය ඔස්සේ රැල්ලක් ආවොත් එය වේගයෙන් අති බහුතරයක් අතර පැතිරිලා යනවා. ඇත්තටම සිදු වන්නේ මාස් මීඩියා සිදු කළාට වඩා වැඩියෙන් මිනිසුන් මෙහෙයවන්න නව මාධ්‍ය යොදා ගැනීමයි. එය ඉතා සංවිධානාත්මකව සිදු කරනවා.

 

සංවාදය ඇසුරින් සකස් කළේ [රසිකා හේමමාලි]

ඡායාරූප [දුෂ්‍යන්ත මායාදුන්නේ]

මාතෘකා