පක්ෂවලට නැති සියයට 30ක් දෙනා නිවැරදි තීරණය ගනිමින් සිටිනවා

 ඡායාරූපය:

පක්ෂවලට නැති සියයට 30ක් දෙනා නිවැරදි තීරණය ගනිමින් සිටිනවා

- අමාත්‍ය පාඨලී චම්පික රණවක

අද ලෝකය දුවන්නේ ප්‍රායෝගික මිනිසුන් අතින් බවත් ලෝකයේ අනාගතය තීරණය වන්නේ තාක්ෂණය ජය කෙහෙළි නංවන ප්‍රමාණය මත බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (20) ජාතික ජනතා පෙරමුණ විසින් පදනම් ආයතනයේ දී සංවිධානය කර තිබූ විශේෂ හමුවකට සහභාගී වෙමිනි. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“මේ රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ අනාගත ආර්ථික දියුණුව, සමාජ දියුණුව, මේ රට බලගතු රටක් බවට පරිවර්තනය කරන්න 2019 නොවැම්බර් පවත්වන ජනාධිපතිවරණයේ දී සජිත් පේ‍්‍රමදාස මැතිතුමා දිනවීමට අපි කැප විය යුතුයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් මැතිවරණ ක්‍රියාවලියත් දැන් දශක ගණනාවක සිට ක්‍රියාත්මකයි. 1931 සිට මේ රටේ සර්වජන ඡන්ද අයිතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ඡන්ද අයිතිය ලබාදෙන වෙලාවේ මෙරට ප්‍රභූවරු ඇතැම් ආගමික කණ්ඩායම් මේ රටේ සෑම ජන කණ්ඩායමකටම ඡන්ද අයිතිය ලැබෙනවාට, කාන්තාවන්ට ලැබෙනවාට, දුගියන්ට ලැබෙනවාට, කුලභේදයෙන් පහළ යැයි කියන අයට ලැබෙනවාට විරුද්ධ වුණා. නමුත් මේ රටේ ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු ප්‍රගතිය ප්‍රාර්ථනා කරන පිරිස් ඉදිරිපත් වෙලා ඒ සර්ව ජන ඡන්ද අයිතිය අපේ රටේ සෑම ජනතාවකටම ලබාදුන්නා.

“අද මේ රටේ දේශපාලන ප්‍රවණාතාවයක් තිබෙනවා. ඒක තමයි මේ දේශපාලන පක්ෂවලට ගැටගැහිච්ච නැති විශාල පිරිසක් ඉන්නවා. අදටත්, මේ අවසානයේ තිබෙන සංඛ්‍යාලේඛන අනුවත් මේ රටේ සියයට 30ක් පමණ ජනතාවක් තවම තීරණය කර නැහැ මේ ජනාධිපතිවරණයේ දී කාටද ඡන්දය දෙන්නේ කියලා. මේ සියයට 30 තමයි තීරණය කරන්නේ කවර දේශපාලන පක්ෂයක්, කවර මත ප්‍රකාශ කළත් අනාගත ජනාධිපතිවරයා කවුද කියලා. මේ අය ඇතැම් විට උගත්තු, වෘත්තීයවේදියෝ, එහෙම නැත්නම් සමාජ ක්‍රියාකාරීන් ඒ වගේම ඔබතුමාලා වැනි සිවිල් සංවිධානවල නොයෙකුත් ගැටලු, ප්‍රශ්න මුල්කරගෙන මතුවෙච්ච සංවිධාන. මේ අය තමයි අනාගතයේ ජයග්‍රාහකයා තීරණය කරන්නේ. පක්ෂවලට පුළුවන් ඕන තරම් එකතු වෙන්න, අවබෝධතා ගිවිසුම් ගහගන්න, සංවිධානය වෙන්න. නමුත් ජයග්‍රාහකයා තීරණය වෙන්නේ පක්ෂවල ජනතාව අතරින් නෙමෙයි. අනිවාර්යයෙන්ම මේ මැදිහත් නොබැඳි ඔබ වැනි ජනතා සංවිධානවලින් තමයි ජයග්‍රාහකයා තීරණය කරන්නේ. ඒ නිසා ඔබගේ මේ පැමිණීම අපි දකින්නේ ඒ තීරණය කර නැති ඡන්ද දායකයා තීරණයක් ගනිමින් තිබෙන බව, ප්‍රජාතන්ත්‍රවාදය දෙසට, නිදහස දෙසට. ඒ වගේම මේ රටේ අනාගත සංවර්ධනය දෙසට තීරණයක් ගනිමින් සිටින බව තමයි ඔබෙන් අපට පෙනී යන්නේ.

“ඒ වගේම ඔබ 2015 මැතිවරණයේ දී ඉතාම වැදගත් ක්‍ෂෙත්‍රයක් නියෝජනය කළා. ඒ තමයි මේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන ලබාදීමේ වැඩපිළිවෙළ. නොයෙක් ආණ්ඩු යටතේ, නොයෙක් පළිගැනීම් අපේ රටේ සිදු වුණා. විවිධ ආණ්ඩු බලයට පත්වුණහම විවිධ පළි ගැනීම්. 70 සමගි පෙරමුණ ආවහම එක්සත් ජාතික පක්ෂයෙන් පළිගැනීම්. 77 එක්සත් ජාතික පක්ෂය ආවහම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පළිගැනීම්. ඊ ළඟට 94 පොදුජන පෙරමුණ ආවහම එක්සත් ජාතික පක්ෂයෙන් පළිගත්තා. මේ වගේ දේවල් සිදු වුණා. මෙවැනි දේ සිදු නොවී ඉන්න රජය බලගතු පියවරයන් කිහිපයක් අරන් තිබෙනවා. එකක් තමයි ස්වාධින රාජ්‍ය සේවයක් ඇති කළා. ඒ වගේම ස්වාධීන පොලිස් සේවයක් ඇති කළා. අද පුංචි පොලිස් නිලධාරියෙකුට පොලිස්පතිවරයා තර්ජනය කළත්, පොලිස්පතිවරයා අත්අඩංගුවට ගන්න තරම් අද පොලිසිය ස්වාධීන කර තිබෙනවා. රටේ ජනාධිපතිට විරුද්ධව තීන්දු ගන්න. ඒ වගේම පත් කරන ලද අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ගෙදර යවන්න පුළුවන් විදිහේ ශක්තිමත් අධිකරණ පද්ධතියක් අපි මේ රටේ ස්ථාපිත කර තිබෙනවා. ඒ වගේම ශක්තිමත් රාජ්‍ය සේවයක් අපි මේ රටේ ස්වාධීන කර තිබෙනවා. ඊ ළඟට තිබෙන්නේ රාජ්‍ය සේවය පළාත් මට්ටමිනුත් ස්වාධීන කරන්න. මොකද ආණ්ඩුවේ රාජ්‍ය සේවය පමණයි ස්වාධීන කොමිසමට යටත් වෙන්නේ. පළාත්වල තිබෙන රාජ්‍ය සේවයත් ස්වාධින කළ යුතුයි. එවිට පළිගැනීම් හැටියට දක්වන දේවල් අපට විසඳා ගත හැකියි.

“ඒ වගේම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය දූෂිතයින්ට පමණක් නෙමෙයි අපරාධකරුවන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය පොලිස් සේවය, අධිකරණ සේවය, බන්ධනාගාර සේවයේ විප්ලවකාරී පරිවර්තනයක් සිදුවිය යුතු යුගයක් ඇවිත් තිබෙනවා. එම විප්ලවකාරී පරිවර්තනය අපි මීළඟ රජයේ දී ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය, ස්වාධීන පමණක් නෙමෙයි, කාර්යක්ෂම අපක්ෂපාතී ක්‍රියාවලියක් කරන්නත් ඒ වගේම විශිෂ්ටතා ඇති පිරිස් පොලිසියේ විමර්ශන අංශවලට වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ අංශවලටත් යොදවනවා. ඒ වගේම බන්ධනාගාරය අපරාධකාරයින්ගේ ක්‍ෂේම භූමියක් නොවී කාර්යක්‍ෂම බන්ධනාගාර සේවයක් බවට පරිවර්තනය කරන්නත් අපි කටයුතු කරනවා.

ඒ වගේම ප්‍රායෝගිකත්වය, මේ රටේ ගොඩක් අපට බලපා තිබෙන විශාල ගැටලුවක් තමයි රටේ අනවශ්‍ය තරම් දාර්ශනික මතවාද වැඩි වීම. ධනවාදය, සමාජවාදය, කොමියුනිස්ට්වාදය, ලිබරල්වාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වගේ අදහස් විශාල ප්‍රමාණයක් ඇවිත් දැන් ජාතිකවාදය ආගමික අන්තවාදය වගේ තවත් නොයෙක් පැති ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මේවා තුළින් නැතිව අපි ප්‍රායෝගිකව ඉදිරියට යා යුතුයි.”

මාතෘකා