මගේ අරමුණ පොඩි මිනිහා රජ කරවීමයි

 ඡායාරූපය:

මගේ අරමුණ පොඩි මිනිහා රජ කරවීමයි

- ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

තමාගේ අරමුණ පවුල් පරපුර සැනසීම හෝ පවුලට බෙදා දීම නොව, පොඩි මිනිහා රජ කරවීම බවත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ වැඩිම සංවර්ධනයක් ගෙනෙන යුගයද තමා බිහිකරන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (21) නාවලපිටියේ පැවැති ජන රැලියකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

"මෑත යුගයේ පොඩි මිනිහාගේ ජනාධිපතිවරයා අපි බිහි කරමු. සාමාන්‍ය ජනතාවට සෙත සලසන පොදු ජනතාවට ශක්තියක් වන ජනාධිපතිවරයෙක් බිහිකර ගැනීමට ජනතාව ඉතා කැමැත්තෙන් සිටිනවා. ඒ නව යුගය එළඹෙනතුරු අප බලා සිටිනවා. අප පොඩි මිනිහාගේ යුගය බිහි කරනවා පමණක් නොව, මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ වැඩිම සංවර්ධනයක් ගෙනෙන යුගයද බිහි කරනවා. ඔබේ ප්‍රදේශවල සංවර්ධන ප්‍රශ්න රැසක් තිබෙනවා. මා නිවාස ඇමති ලෙස එවකට සිටි සංවිධායකවරයාට දුරකථන ඇමතුමක් ලබාදී නාවලපිටියේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැමැති බව පැවසුවා. නමුත් ඔහු ඒ සඳහා එකම ඉඩමක්වත් වෙන් කළේ නැහැ. හිටපු සංවිධායකවරයා ඒ කිසිවක් කළේ නැහැ. මා ජනාධිපතිවරයා වූ විගස තනි බලය ගෙන නාවලපිටියේ නිවාස ඉදිකිරීම් සඳහා ඉඩම් වෙන් කරනවා. මට මේ අපේක්ෂකත්වය කිසිවකුත් බන්දේසියක තබා දුන්නේ නැහැ. මේ අපේක්ෂකත්වය ගත්තේ ඉතා සීරුවෙන් බව කිව යුතුයි. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන රවුෆ් හකීම් මැතිතුමා මට මේ අපේක්ෂකත්වය ලබා දීමට විශාල කාර්යභාරයක් ඉටු කළා. දිගම්බරන් ඇමතිතුමා, මනෝ ගනේෂන් ඇමතිතුමා, වේලුකුමාර් මන්ත්‍රීතුමන්ලාද එක පයින් මා සමඟ සිටියා.

"මේ ප්‍රදේශයේ නිවාස ප්‍රශ්නය, ජල ප්‍රශ්නය, කෘෂි බෝග වගාකරුවන්ගේ ප්‍රශ්න ආදී වශයෙන් ප්‍රශ්න රැසක් තිබෙනවා. වතු කම්කරුවන් විශාල පිරිසක් මේ බලප්‍රදේශයේ සිටිනවා. වතු කම්කරුවන් දැනට ලබන රුපියල් 700 හෝ 750ක් වන දෛනික දීමනාව වෙනුවට හොඳින් ජීවිතය පවත්වාගත හැකි වැටුප් ලබා දීමට අප කටයුතු කරනවා. දැනට ඔවුන් ලබන්නේ රුපියල් දාහතරදහසක වැටුපක් පමණයි. එම වැටුපෙන් ජීවත් වන්නේ කොහොමද? වතු කම්කරුවන්ට පමණක් නොව මෙරට සියලුම ජනතාවට හොඳින් ජීවත් විය හැකි වැටුපක් ලබා දීමට අපි ඇප කැපවෙනවා. එහි ත්‍රීරෝද රථ රියැදුරන්, කම්කරු ජනතාව මෙන්ම නිහඬ බහුතරය, පවුල් බලයක් හා ජන බලයක් නැති මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ වීරයා බවට පත් වීමට මා සූදානම්. මා පොඩි මිනිහාගේ වීරයා බවට පත්වනවා. මා පොඩි මිනිහා ආරක්ෂා කරනවා. ජාති, ආගම්, කුල මල, පක්ෂ, පාට භේදවලින් තොරව මවුබිමේ සෑම පවුලක්ම රැක ගන්නා බවට ප්‍රතිඥා දෙනවා.

"මගේ ප්‍රතිවාදියා කවුරුන් හෝ දුන් ලණුවක් ගිල දමා රුපියල් 350 පොහොර නොමිලේ දෙන බව පැවසුවා. 350කට පොහොර තියෙන්නේ කොහේද? 150ක් වන රක්ෂණ ගාස්තුවද සමඟ පොහොර මිටිය රුපියල් 500ක් වෙනවා. මේ කතාවලින් ඔහු මහ පොළොවට පය ගසා නැති බව දැන ගත හැකියි. ඔහු පොහොර ලබාදෙන බව කියන්නේ එක් ගොවීන් පිරිසකට පමණයි. එළවළු, පලතුරු ගොවීන්ට, තේ රබර් ගොවීන්ට, සුළු අපනයන භෝග ගොවීන් ඇතුළු සියලුම දෙනාට අප නොමිලේ පොහොර ලබා දීමට කටයුතු කරනවා. මේ රට කරන්න ඔය කියන සහන දෙන්න මුදල් තිබේදැයි ඇතැමුන් අපෙන් අහනවා. අපට මුදල් තිබෙනවා.

ශ්‍රී ලංකන් එයාර් ලයින් සඳහා මසකට කෝටි ගණනින් මුදල් පොම්ප කළ හැකිනම් ගොවීන් සඳහා නොමිලේ පොහොර දෙන්නට මට මුදල් තිබෙනවා. මගේ පියා පාසල් දරුවන්ට දිවා ආහාරය සහ නිල ඇඳුම් ලබා දුන්නා. මගේ ප්‍රතිවාදියා ඔහුගේ සමයේ දිවා ආහාරය කපා දැමුවා.

"මා ජනාධිපති ධුරයට පත්වූ පසුව නිල ඇඳුම් කට්ටල දෙකක් සහ දිවා ආහාරය ලබා දීමට කටයුතු කරනවා. දුප්පත්කම තුරන් කිරීම සඳහා සමෘද්ධි සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කරනවා වගේම ජනසවිය වැඩසටහනත් නැවත ක්‍රියාත්මක කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අප ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ විද්‍යාගාර ආරම්භ කරනවා. නව තාක්ෂණය, රොබෝටික් තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව වැඩි කරන්නට කටයුතු කරනවා. දැනට මේ අවස්ථාවන් නිර්මාණය වී තිබෙන්නේ අගනුවර එක්තරා පැලැන්තියක දූ දරුවන්ට පමණයි. සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටින ජන හිතවාදියකු ලෙස සීමිත පන්තියකට තිබෙන වරප්‍රසාද සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ගෙන එන්නට කටයුතු කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශයකම කර්මාන්තපුර ආරම්භ කරනවා. තාරුණ්‍ය සඳහා ගමේම රැකී රක්ෂා නිර්මාණය කිරීම අපගේ අරමුණයි.

ශීඝ්‍රගාමී සංවර්ධනයක් ක්‍රියාත්මක කරන ලංකාවක් ගොඩනඟනවා. නොනිදන ශ්‍රී ලංකාවක් යනු තත්පරයෙන් තත්පරය දියුණුව කරා යන ශ්‍රී ලංකාවක් බව කිව යුතුයි. මොහොතින් මොහොත උසස් සංවර්ධන ඉලක්ක ලබන ශ්‍රී ලංකාවක් අපි ගොඩනගනවා. පොදු ජනතාවගේ මිනිසෙක් වන මට පවුල් බලයක් නැහැ. අද මා සමඟ ලොකු පවුලක් මේ ඡන්ද සටනට පැමිණ තිබෙනවා. එළැඹෙන ජනාධිපතිවරණයේදී මා පොදුජන බලයෙන් ජන ශක්තියෙන් පවුල් බලය පරාජය කරනවා.

"ඔවුන්ගේ සැලසුම් ගැන මොහොතකට සිතා බලන්න. මල්ලි ජනාධිපති. අයියා අගමැති. මුදල් අමාත්‍යවරයා තවත් මල්ලි කෙනෙක්. ආර්ථික ඇමති අයියා. වනිතා ඇමති නෝනා, තරුණ ඇමති පුතා. රටේ පොදු ජනතාව බලාපොරොත්තු වෙන්නේ මෙයද? ඔවුන්ගේ අරමුණ වෙන්නේ මුළු රටම සින්නක්කර ඔප්පුවකින් තම පවුලට ලියා ගන්නයි. මම තනියම ඉන්නවා. එයාට පවුල් පරම්පරාවක් සිටිනවා. මගේ උදාර කණ්ඩායම සමඟ එක්ව අප අනිවාර්ය‍ෙයන්ම පවුල් බලය පරාජයට පත්කොට පොදු ජනයාගේ යුගය බිහි කරනවා. මේ ජනාධිපතිවරණය වෙනුවෙන් මා රැස්වීම් 151ක් පවත්වනවා. මට හොඳට දුවන්න හැකි ශක්තිය තිබෙනවා. හොඳ එන්ජිමක් තිබෙනවා. හොඳ ඩයිනමෝවක් තිබෙනවා. මට තිබෙන්නේ නැවති නැවතී ගස්ස ගස්සා යන ඩයිනමෝවක් නොවේ. මට තිබෙන්නේ ‘සුපර් එන්ජිමක්’. නමුත් මගේ සුපර් ඩයිනමෝව ගැහි ගැහී යන කාලයක් එළැඹෙනවා. ඒ කාලයේදී සජිත් ප්‍රේමදාස දේශපාලනය කරන්නේ නැහැ. රටේ තාරුණ්‍යයට වගකීම් බාරදී මා පසෙකට වෙනවා. මේ මගේ හොඳම කාලයයි. ජවය ඇති ශක්තිමත්ම කාලයයි. අලුත් ජවයට, ශක්තියකට දර්ශනයකට, බලය දෙන්න. ගැහි ගැහී යන අයකුට රට පාවා දෙනවා වෙනුවට ජවසම්පන්න මිනිසකුට ඔබ රටේ වරම ලබා දෙන්න.

News Order: 
1
මාතෘකා