ගෝඨාභය කවදාවත් යුද පිටියට ආවෙ නෑ එයා යුද්දෙ කළ හැටි දන්නෙත් නෑ

 ඡායාරූපය:

ගෝඨාභය කවදාවත් යුද පිටියට ආවෙ නෑ එයා යුද්දෙ කළ හැටි දන්නෙත් නෑ

 ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

හමුදාව අවුරුද්දේ දවස් 365ම සටන් කළ නිසා යුද්ධය දිනූ බවත් යුද්ධය කළ අයුරු එවක ආරක්ෂක ලේකම්වරයා නොදැන සිටි බවත් හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඒ මහතා වැඩි දුරටත් කීවේ, නොවැම්බර් 16න් පසු නව ජනාධිපති සජිත් ප්‍රේමදාස මහතා සමඟ රටේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරමින් අනාගත පරම්පරාවට ආරක්ෂා සහිතව ජීවත්විය හැකි රටක් බිහිකරන බවත් මේ දේවල් වචනයට සීමා නොවී යථාර්ථයක් බවට පත් කරන බවත්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා කිසි දිනෙක යුද පිටියට පැමිණියේ නැති බවත් කිසිදු හමුදාවක් යුද්ධයකට යන විටදී ආරක්ෂක ලේකම්වරු යුද සැලසුම් නොකළ බවත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ වොක්ෂෝල් වීදියේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේදී සිකුරාදා (18) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි. එහිදී හෙතෙම මෙසේද කීවේය.

“අපේ විරුද්ධවාදියා වැඩිපුරම කතා කළේ රටේ ආරක්ෂාව ගැනයි. යුද්ධ කාලයේදී හමුදාපතිවරු තිදෙනා යුද සංකල්ප සැලසුම් කළා. කිසිදු හමුදාවක් යුද්ධයකට යන විටදී ආරක්ෂක ලේකම්වරු යුද සැලසුම් කරන්නේ නැහැ. යුද්ධය කරනවාද නැද්ද යන්න පිළිබඳ රටේ නායකයා ගන්න තීරණය තමයි වැදගත් වෙන්නේ. යුද්ධය කරන ආකාරය, යොදා ගන්නා යුද උපක්‍රම සියල්ල තීරණය කරන්නේ හමුදාපතිවරයායි.

“2006 අප්‍රේල් මාසයේ 25 වැනිදා මරාගෙන මැරෙන ප්‍රහාරකරුවකුගෙන් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ප්‍රහාරය එල්ල වුණේ සටන් විරාමයක් පැවැති සමයකයි. ඒ කාලයේදී බුද්ධි අංශ මෙහෙයුම් නතර කරනවා. ආරක්ෂාව තහවුරු කර ගන්න බැරි වුණා කියා සමහරු ප්‍රකාශ කරනවා. නමුත් ඒ කාලය සටන් විරාම කාලයක්. හමුදාවටද විවේක ලැබෙන කාලයක්. ඒ කාලයේදී බුද්ධි අංශ මෙහෙයුම් නතර කර තිබුණේ.

“යුද්ධයේ කිසිදු දෙයක් ලිඛිතව ලිව්වේ නැහැ. ක්‍රියාන්විතය සම්පූර්ණයෙන්ම තිබුණේ මගේ සිතේ පමණයි. ඒ සැලැස්ම අනුව සියල්ල සැලසුම් කර පාලනය කළා. ගෝඨාභය යුද පිටියට කවදාවත් ආවේ නැහැ.

“හමුදාව කවදාවත් ලක්ෂ 5ක් සිටියේ නැහැ. සිටියේ එක් ලක්ෂ දහසය දහසයි. මා හමුදාපති වී අවුරුදු 02ක් ඇතුළතදී හමුදා සෙබළුන් ලක්ෂ 2ක් දක්වා වර්ධනය කළා. වසරකදී සෙබළුන් 4,000ක් පමණ බඳවා ගැනීමට අවශ්‍ය ක්‍රියාවලි දියත් කළා. අපි සටන් කළේ භූමිය අල්ලන්න නොවේ. ත්‍රස්තවාදීන් මරා දමන්නයි. එහිදී අපේ සෙබළුන්ද මරණයට පත් වෙනවා. ජීවිත පූජා නොකර යුද්ධයක් දිනන්න බැහැ. ඒ නිසයි ජීවිත පූජාවෙන් හරි අපේ රණවිරුවන් රට වෙනුවෙන් සටන කළේ.

“2009 ජනවාරි 02 වැනිදා කිලිනොච්චිය ඇල්ලුවා. ජනවාරි 26 මුලතිව් ඇල්ලුවා. පසුව මාස 05ක් පමණ යන විටදී යුද්ධය අවසන් කළා. ඒ කාලයේදී එවකට ආරක්ෂක ලේකම්වරයා රණවිරුවන්ව යොදාගෙන කොළඹ පිරිසුදු කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා යුද සටන් පිළිබඳ යෝජනාවක් හෝ ගෙනආවේ එක වතාවයි. යුද හමුදාව පැය 24ම අවුරුද්දේ දවස් 365ම සටන් කළා. යුද්ධය ජයග්‍රහණය කළේ ඒ ආකාරයටයි.

“ඉදිරියේදී ආරක්ෂාව හා නීතිය , සාමය පිළිබඳ අමාත්‍ය ධුරය මට ලබා දෙනවා කියා අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අමාත්‍යාංශය ලැබුණු විටදී මම මගේ රාජකාරිය අකුරටම ඉටු කරනවා. මේ රටේ නැවත යුද්ධයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. විදේශ බලපෑම්වලට වුවද මුහුණ දියහැකි ආකාරයේ හමුදාවක් ඇති කරනවා. රටේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරනවා. ජාති, කුල භේද ඇති වෙන්න දෙන්නේ නැහැ. රටේ ජනතාවට, අනාගත පරම්පරාවට සම්පූර්ණ ආරක්ෂාව දෙනවා. මේ දේවල් වචනයට සීමා නොවී යථාර්ථයක් බවට පත් කරනවා. මේ රටේ නැවත ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට කටයුතු කරනවා.

“ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් කුමන ආකාරයේ ඉරණමක් අත්වෙයිද කියා කියන්න බැහැ. ජනාධිපති නොවන තරමට හොඳයි. ජනාධිපතිවරයා වුණත් ආරක්ෂක ලේකම් තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කරනවා. එහිදී නැවත ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු වන්නේ ආරක්ෂක ලේකම් තනතුර දරන්නටයි.

“සජිත්ට ප්‍රේමදාස මහතාට සහාය දීමට අපි පක්ෂයක් ලෙස තීරණය කළා. එහිදී මම ඒ මහතා ජයග්‍රහණය කිරීම සඳහා බැඳී සිටිනවා. මට ඇමතිකම් දෙන නිසා නොවේ මේවා කරන්නේ. මම ආරක්ෂක අමාත්‍යවරයා වූ විටදී මේ රට මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගන්නවා. රාජපක්ෂ පාලන කාලයේදී අල්ලස්, කොමිස්, කප්පම් ලබා ගැනීම් මේ රටේ ඇති කළා. පාතාල නායකයන් බිහි වෙන්නේ මහින්ද රාජපක්ෂ පාලන කාලයේදීයි.

“ටීඑන්ඒ විසින් ගෙන එන ලද යෝජනා පිළිබඳ ගැඹුරින් සිතා බලා කටයුතු කරනවා. එහි අවසාන ප්‍රතිඵලය ගැන හිතන්න අවශ්‍යයි. ජාතික සමඟිය, සංහිඳියාව, සියලු ජාතීන්ට සමානාත්මතාව සැලසෙන්න අවශ්‍යයි.”

News Order: 
6
මාතෘකා