පිල්මාරු අතර සටන උණුසුම් වේ

 ඡායාරූපය:

පිල්මාරු අතර සටන උණුසුම් වේ

අපේක්ෂකයෝ රට වටේ

මැතිවරණ වේදිකා දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස, ගොඨාභය රාජපක්ෂ යන ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාටත් අනුර දිසානායකටත් ඉස්පාසුවක් නැත.

ඒ අතරින් සජිත් ප්‍රේමදාස දිනකට රැලි 5-6ක් පමණ අමතයි. ඔහුගේ මැතිවරණ මෙහෙයුම රැලි 151කි. ‘එක්ව ඉදිරියට’ තේමාව ඔස්සේ ඔහු දිනකට දිස්ත්‍රික්කයක් ආවරණය කරයි. එය ඇතැමුන් විමතියට පත්කරන තරමේ වෙහෙසකර ගමනකි.

රැලි වලට එන ඇතැමුන් අත රණසිංහ ප්‍රේමදාස මහතාගේ පැරණි ඡායාරූප තිබේ. ඔවුන් ඒවා ඔසවමින් සිය සහය පෙන්වන අවස්ථා දැකිය හැක.

ඒ අතර ඔහුගේ මැතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණයද ස්ථාන කිහිපයකින් ව්‍යාප්තව තිබේ. මෙවර මැතිවරණයේ වැඩිම මැතිවරණ රැස්වීම් ප්‍රමාණයක් අමතන්නේ සජිත් ප්‍රේමදාසය. සෑම මැතිවරණ කොට්ඨාසයක් නියෝජනය කරමින් මැතිවරණ රැස්වීමක් පැවැත්වීමට කටයුතු කරන සජිත් ප්‍රේමදාස පසුගිය බ්‍රහස්පතින්දා ගාලුමුවදොර පිටියෙන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සහභාගීත්වයෙනි. සරත් ෆොන්සේකාට ආරක්ෂාව සම්බන්ධ වගකීම් ලබාදෙන බවට වන ප්‍රකාශය කරමින් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන දෙගිඩියාවට විසඳුම් ඉදිරිපත් කළ සජිත් රට වටා රැස්වීම් මාලාව ආරම්භ කළේ ඉන් පසු දින සිටමය.

රැස්වීම් එකසිය පනස් එකක් ආමන්ත්‍රණය කිරීමට සජිත් රට පුරා යන්නේ කිසි වෙහෙසක් නැතිවය.

"රැස්වීම් එකසිය පනහක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. මේක මහන්සි නැද්ද"මැතිවරණ ව්‍යාපාරයේ අයෙක් සජිත්ගෙන් ඇසුවේය

"නෑ. මට මහන්සි නෑ. මට හොඳට දුවලා පැනලා වැඩ කරන්න පුලුවන්"සජිත් තමන්ගේ රැස්වීම් ගැන අසන විට පිළිතුරු දෙන්නේය.

සජිත් සමඟ රට වටේ යන අය

රැස්වීම්වලට යන සජිත් සමග මැති ඇමැතිවරු පිරිසක් රට වටා යමින් සිටී. පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, නවීන් දිසානායක මෙසේ සජිත් සමඟ රැස්වීම් මාලාවට සහභාගී වෙමින් සිටී. මීරිගම පැවති රැස්වීමේදී සජිත් පැමිණ ජනතාවට ආචාර කරද්දී නවීන් සිටියේ තරමක් පිටුපසින්ය. නවීන්ගේ ඉන වටා අත දමාගත් සජිත් ඔහු වේදිකාවේ ඉදිරියට කැඳවා ගනිමින් ජනතාවට ආචාර කළේය.

"ඔබේ පියා ජනාධිපති අපේක්ෂකයා වුන වෙලාවේ එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මගේ පියා රට වටේම ගියා. මමත් ඒ විදියටම ඔබතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් රට වටේ යනවා"නවීන් සජිත්ට සහතිකයක් දුන්නේය.

රට වටා රැස්වීම්වල යමින් සිටියත් සජිත් කොළඹ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය සමඟ සම්බන්ධවෙමින් කිහිපදෙනෙක් එක්වර දුරකථනයට සම්බන්ධ කරගනිමින් මැතිවරණ ව්‍යාපාරයේ තත්ත්වය ගැන විමසා බැලීමට අමතක කරන්නේ නැත.

"එහාපැත්තේ කෙනෙක් සෞඛ්‍ය වාර්තා ගැන කතාවක් කරලා තියෙනාවනේ"සජිත් මැතිවරණ ව්‍යාපාරය ගැන කළ දුරකතන සාකච්ඡාවකදී තිස්ස කීවේය.

"ඒක හොඳයි. මම නම් මගේ සෞඛ්‍ය වාර්තා ඉදිරිපත් කරන්න ඕනෑම වෙලාවක සූදානම්. අනෙක් අපේක්ෂකයිනුත් තමන්ගේ සෞඛ්‍ය වාර්තා ඉදිරිපත් කරන්න ඕනෑ. ඒ වගේම පොලිස් වාර්තාවකුත් ඉදිරිපත් කරන්න ඕනෑ කියලා යෝජනා කරන්න" සජිත් කීවේය.

"ඒක නම් ඇත්ත. සාමාන්‍යයෙන් රජයේ රස්සාවකට යනකොට වුණත් පොලිස් වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනෑ. ර‌ටේ නායකයා වෙන්න යන කෙනා පොලිස් වාර්තාවක් ගන්නවානේ" තිස්ස කීවේය

"ඒ්ක හරි. අපි බලයට පත්වුණාම මැතිවරණ නීති වෙනස් කරලා මේවා ඇතුළත් කරන්න අවධානය යොමු කරමු"සජිත් යොජනා කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින ආසන සංවිධායකවරු දිගින් දිගටම සජිත් සමඟ එක්වෙමින් සිටිති. පසුගිය සතියේදී පුත්තලමේ ආසන සංවිධායක වික්ටර් ඇන්තනි මෙන්ම බේරුවල ආසන සංවිධායක එම්.එම්. එම්. අම්ජාඩ් සජිත්ගේ සහායට පැමිණියේය. ඔහු සජිත්ට සහාය ලබාදීමට කැඳවාගෙන ආවේ ඉම්තියාස් බාකීර් මාකාර්ය.

ගෝඨාගේ ප්‍රවෘත්ති සාකච්ඡාව ගැන කතා

සජිත්ගේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ මාධ්‍ය කමිටුව පසුගිය සතියේ දිනපතා රැස්වූයේ මාධ්‍ය වාර්තාකරණය ගැන අවධානය යොමු කරමින්ය. මේ අතර ගෝඨාගේ ප්‍රවෘත්ති සාකච්ඡාව ගැන කතාව ආරම්භ කළේ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාය.

"මෙච්චර කල් ගෝඨාභය රාජපක්ෂ මාධ්‍යයෙන් හංගගෙනනේ හිටියේ. දැන් මාධ්‍යයට දාලා දේශපාලනයට ගෝඨා සුදුසු නැති බව නැවත පෙන්නලා තියෙනවා. දැන් බලන්න ප්‍රශ්ණ ඇහුවම උත්තර දෙන විදිය. ආර්ථිකය ගැන ප්‍රශ්ණයක් ඇහුවම උත්තර දීගන්න විදියක් නැතිව වට පිට බලනවා"මනූෂ කීවේය.

"ඒ වෙලාවේ මහින්ද පැනලා උත්තර දුන්නා. මෙහෙම කෙනෙක්ට රට බාරදෙන්නේ කොහොමද"ඒස්.එම්. මරික්කාර් ඇසුවේය.

මේ අතර හමුදාපතිවරයාගේ රුව යොදාගෙන පුවත්පත් දැන්වීමක් පළ කිරීම ගැනද අවධානය යොමු කළේය.

"හමුදා නිලධාරීන්ට නිල ඇඳුම ඇදගෙන දේශපාලනය කරන්න බෑ. සක්‍රීය සේවයේ සිටියදී දේශපාලනය කිරීම තහනම්. හැබැයි අපේ විරුද්ධවාදීන් හමුදාපතිවරයාගේ රූපය යොදාගෙන, ඔහුගේ ප්‍රකාශයක් යොදාගෙන දේශපාලන ප්‍රචාරක දැන්වීමක් දාලා තියෙනවා. හමුදා නිලධාරීන්ට සලකනවා කියන්නේ මේකටද? විනය කියන්නේ මේකටද"තිස්ස ඇසුවේය.

"මේකට විරුද්ධව මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කරමු"එතැන සිටි මාධ්‍ය ප්‍රවීණයෙක් කළ යෝජනාවට සියල්ලෝම එකඟවූහ.

රනිල් උතුරේ

බදාදා අගමැතිවරයා උතුරේ සංවර්ධන කටයුතු රැසක් සඳහා මෙන්ම දේශපාලන කටයුතු කිහිපයක් සඳහා පිටත්ව යෑමට සූදානම් වූයේ සජිත් හා එජාපෙ නායකයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවය. පසුව පැමිණ සිටි මැති ඇමතිවරු හා නිලධාරීන් මෙන්ම මාධ්‍යකරුවන් සමඟද කතාබහ කිරීමට ඔහු අමතක කළේ නැත.

"ඇල්පිටිය අපි අවුරුදු 20ක් තිස්සේ පරදිනවා. ඒත් ආණ්ඩු බලය තිබිලත් අපි මීට වඩා ඒකට උනන්දු නොවීම අඩුපාඩුවක්" ලක්ෂ්මන් කිරිඇල්ල මුලින්ම කීවේය.

"ඇල්පිටිය ඡන්දය වෙනුවට මැද කොළඹ, නුවර, නුවරඑළිය, මීගමුව වගේ තැනක ඡන්දෙ තිබුණනම් දිනන්නෙ අපි නෙවෙයිද?" චමින්ද විජේසිරි මතුකළ තර්කය කාගේත් පිළිගැනීමට ලක්විය.

"ඇල්පිටිය පොහොට්ටුවට දිනවල තියෙන්නෙ ගීතා කුමාරසිංහ කියලයි සමහරු හිතන් ඉන්නෙ. ඒත් රමේෂ් පතිරණ මූලික වෙලා මොහාන් සිල්වයි පළාත් සභා මන්ත්‍රීලා 9 දෙනෙකුයි එකතුවෙලා තමයි ඇල්පිටිය ගොඩ අරන් තියෙන්නෙ කියලයි ආරංචි. බොහෝ රැස්වීම්වලට ඒ අපේක්ෂකයො ගීතාට එන්න දීලත් නැතිලු. ආවොත් කට වරද්දගැනීම හා රණ්ඩු ඇතිකර ගන්න නිසා. ඒ අපේක්ෂකයො රමේෂ්ට වැඳල කියල තියනවලු ගීතා වෙනුවට ඔබතුමා මේකෙ නායකත්වය අරන් මෙහෙයවන්න කියලා. එහෙම බැලුවම රමේෂ් පතිරණ පොහොට්ටුවට ඉන්න දක්ෂම ඡන්ද දිනවන්නෙක් බව ඔප්පු කරල තියනවා." හේෂා විතානගේ මෙන්ම මහාචාර්ය ආශු මාරසිංහද සිය ප්‍රතිවාදි තරුණ මන්ත්‍රීවරයකු අගයමින් කතාකළේ එලෙසය.

"ඇල්පිටිය ප්‍රතිඵලයෙන් ජනාධිපතිවරණය කිසිසේත්ම මනින්න බෑ කියල මහින්ද රාජපක්ෂත් ප්‍රසිද්ධියේ පිළිගත්තා." චමින්ද විජේසිරි කීවේය.

"2015 මහ ඡන්දෙදි වගේම මෛත්‍රීත් එක්ක හිටපු ශ්‍රීලනිප අයට හූ තියන එක මේ පාරත් පටන් අරන්. ඊළඟ මහ ඡන්දෙදි ඔය ඔක්කොම ගෙදර යවන වැඩපිළිවෙළ පොහොට්ටුවෙ ලොක්කො දැනටත් ප්ලෑන් කරල ඉවර බව රටටම පැහැදිලියි. අනික පොහොට්ටුවයි ශ්‍රීලනිපයයි නායකයො එකතු වුණාට ගම් මට්ටමේ පක්ෂ දෙකේ මිනිස්සු එකතුවෙන්නෙ නෑ කියන එක ඇල්පිටියෙදී තහවුරු වුණා. ඒ නිසා ජනාධිපතිවරණයෙදී ශ්‍රීලනිප ඡන්ද වලින් අති බහුතරයක් පොහොට්ටුවට යන්නෙ නෑ කියන එක ස්ථිරයි. ශ්‍රීලනිපය විනාශ කරපු එක ගැන ගමේ ශ්‍රීලංකා කාරයො පොහොට්ටුව එක්ක වෛරෙන් ඉන්නෙ." නවීන් දිසානායක කළ විග්‍රහයට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළවිය.

"ලංකාවේ මහපොළවේ යුද්දෙ දිනපු ප්‍රධානියා වූ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකයි එදා විදේශ ඇමති හැටියට ජාත්‍යන්තර යුද්ධය අපට දිනාදුන් රෝහිත බෝගොල්ලාගම කියන දෙන්නම ඉන්නෙ දැන් මාත් එක්කයි. ඒක අපේ ජයග්‍රහණයට බලපාන විශේෂ සාධකයක්." අපේක්ෂක සජිත් කී විට සියලුදෙනා එය අනුමත කළේය.

"සජිත් දිගටම ජනමාධ්‍ය වලට මුහුණ දුන්නා. අපේක්ෂයො සියලුදෙනා සංවාද කරපු තැනටත් ගියා. ඒත් ගෝඨාභය තමන්ගෙ බැරිකම නිසා ඒ සියල්ල මඟහැරියා. අන්තිමේ දිගටම අභියෝග ආපු නිසා ජනමාධ්‍ය සාකච්ඡාවක් තියලා හොඳටම අනාත වුණා. යුද්දෙට හා හමුදාවට නායකත්වය දුන්නේ තමන් හෝ මහින්ද අයියා නොවෙයි එවකට හමුදාපති ෆොන්සේකා කියල ලෝකයම ඉදිරියේම පිළිගන්නත් වුණා. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ. රණවිරුවන් කරපු යුද්දෙ අයිති කරගත්ත කට්ටියගෙ රෙදි ජනමාධ්‍යවේදීන් ගලවල දැම්මා." නවීන් දිසානායක කීවේ කාගේත් සිනා මැදය.

"රාජපක්ෂලගෙ හා රටේ ණය මේ ආණ්ඩුව විශාල ලෙස ගෙවමින් තමයි කකුල් මාට්ටු මැදත් මේ තරම් සංවර්ධනයක් කළේ. රටේ ණය ගෙවන හැටි ඇහුවම පොහොට්ටු අපේක්ෂකතුමාට උතුරු දකුණු හොයාගන්න බැරුව අනිත් අය දිහා බලපු විදිය ගැන රටම පුදුම වෙනවා” අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කීවේය.

"ආර්ථිකයයි ණය ගෙවිල්ලයි ගැන ගෝඨා මහින්ද දිහා බලල උත්තර හෙව්වට ඕව ගැන මහින්ද දන්න දේකුත් නෑ. එයා කතා කරන්නෙත් කවුරුහරි කියලදෙන දෙයක් නේ." ලක්ෂමන් කිරිඇල්ල කීවේය.

"ලංකාවෙ මුල්වරට කේබල් කාර් ව්‍යාපෘතියක් නුවරඑළියේදි පටන් ගන්න නවීන් ඇමතිතුමා ක්‍රියා කිරීම ඉතා වටිනවා." රෝහිත බෝගොල්ලාගම කීවේ ප්‍රශංසාත්මකවය.

"ඔව්. ඒක කෝටි 5000 කට අධික ඔස්ට්‍රියානු සමාගමක විශාල ආයෝජනයක්. අපි ගිවිසුම් අත්සන් කරලත් ඉවරයි. ඉක්මනින් වැඩ පටන් ගන්නවා." නවීන් දිසානායක කීවේය.

"මේ ආණ්ඩුව කරපු වැඩ ගැන ප්‍රචාරය නොගත්තට සමහරු කකුලෙන් අදිද්දිත් කරපු සංවර්ධනය හා ජනතාවට දීපු සහන අති විශාලයි. පාසැල් ගොඩනැගිලි දහස් ගණනක් අලුතින් තැනීම හෝ අලුත්වැඩියා කිරීම් කළා. රෝහල් දියුණු කරලා බෙහෙත් වර්ග 100ක මිළ අඩුකළා. පාරවල්, පාලම්, බෝක්කු, මාතෘ නිවාස, සජිත්ගෙ දහම්පාසැල් හා නිවාස දස දහස් ගණනක්, චම්පිකගෙ නාගරික නිවාස දස දහස් ගණන් අපි හැදුවා. තව අධිවේග මාර්ග, උමං මාර්ග, කණු උඩ දිවෙන අධිවේගි මාර්ග හා සැහැල්ලු දුම්රිය මාර්ගත් අපි පටන් ගත්තා. මේ බොහෝමයක් ළඟදී විවෘත වෙනවා. පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපල මේ සතියේ විවෘත කරනවා. ඊළඟට මුලින් 10,000 කින් හා පස්සෙ 2500 කින් වැඩි පඩි, සමෘද්ධි, මහපොළ, විශ්‍රාම වැටුප්, වැඩිහිටි දීමනා දෙගුණ කළා. රට උකස් කරපු ණය බර කෝටි දහස් ගණනකින් අපි ගෙවන්න පටන් ගත්තා. තව කියනවනම් පැය ගාණක් කියන්න පුළුවන්." අගමැතිවරයා පැහැදිලි කළේය.

"විධායක බලතල අඩුකරලා පාර්ලිමේන්තුවට පැවරීමයි, එතෙක් ජනාධිපති තනියම ගත්තු තීන්දු තීරණ ව්‍යවස්ථාදායක සභාවක් හරහා සාධාරණව ලබාගැනීමයි, ඔක්කොටම වඩා රට තුළ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ඇතිකිරීම හා ගෙවුණ වසර 5 දී ආණ්ඩුව අතින් කිසිම මිනිහෙකු ඝාතනය නොවීම, අඩු ගානෙ සීරීම් තුවාලයක් හෝ නොසිදුවීම මේ රටේ සියලුදෙනා ලබපු ජයග්‍රහණයක්. අපි ආපස්සට අඳුරට යනවද පවතින ආලෝකය රැකගන්නවද කියල විතරයි මිනිස්සුන්ට හිතන්න තියෙන්නෙ." නවීන් දිසානායක කළ විග්‍රහයට කාගේත් අනුමැතිය ලැබිණ.

"සජිත් ඇමතිතුමාගෙ මානසික සෞඛ්‍ය ගැන දොස්තර උදය ගම්මන්පිල වෛද්‍ය සහතිකයක් ඉල්ලල තිබුණා. සජිත් ඇමතිතුමනි, ඔබතුමා මානසික සෞඛ්‍ය වගේම ශරීර සෞඛ්‍ය ගැනත් පූර්ණ වෛද්‍ය වාර්තාවක් රටට එළි දක්වලා ගෝඨාභයගෙ පූර්ණ වෛද්‍ය සහතිකයත් රටට ඉදිරිපත් කරන්න කියන්න. එතකොට එයාට තියන අට මහ දෝස හා ලෙඩ රෝග ගැන රටට නිවැරැදි අවබෝධයක් ලබාගත හැකියි. සාමාන්‍යයෙන් කෙනෙකුගෙ ලෙඩ රෝග ගැන කතාකරන්න මම කැමති නෑ. ඒත් ගම්මන්පිල සජිත්ට මඩ ගහන්න මේ වගේ පහත් ක්‍රියාමාර්ග ගත්ත නිසයි මම ඒක කිව්වෙ." අර්ල් ගුණසේකර කීවේ කාගේත් සිනා මැදය.

"රටේ ආරක්ෂාව මේ ආණ්ඩුව උපරිම ලෙස තහවුරු කළා. පහුගිය ආණ්ඩුවේ අය හදපු වඩපු අන්තවාදීන් බෝම්බ පුපුරවල 300 ක් ඝාතනය කළා. ඒ අන්තවාදය දිගටම කරගෙන යන ප්ලෑන් එකක් තිබුණත් ආණ්ඩුවක් හැටියට අපි පැය 24 ක් තුළ ඒ සියලු දේ විනාශ කරලා, සියලු සැලසුම් අඩපන කරලා, අන්තවාදීන් සියල්ල කොටු කරල රට ආරක්ෂාව පැත්තෙන් සුරක්ෂිත කළා. යළිත් මේ රටේ දෙමළ, මුස්ලිම් හෝ සිංහල අන්තවාදීන්ට ත්‍රස්තවාදී වැඩවලට කිසිම ඉඩක් තියන්නෙ නෑ. ඒත් බොරු බෝම්බ බිය ඇති කරලා, තැන තැන බොරු පාර්සල් තියලා, පුළුවන්නම් පොඩි පොඩි බෝම්බ දෙක තුනකුත් පුපුරවන්න විපක්ෂයේ පටු අවස්ථාවාදීන් උත්සාහ කරනවා කියලා අපිට වාර්තා වෙලා තියනවා” අගමැතිවරයා කීවේය.

“පත්තර, ටී.වී හා රේඩියෝ චැනල් මෙන්ම ව්‍යාජ සමාජ ජාලා ගිණුම් හා වෙබ් අඩවි හරහාත් මේ බොරු බෝම්බ බිය රටට ගෙනියන්න සැළසුමක් තියන සියලු විස්තර ගැන ආරක්ෂක අංශවල අය මටත් කියල තියනවා. ඒ නිසා ජනතාව ඇතැම් ජනමාධ්‍ය මවන බොරු බෝම්බ බියට කලබල විය යුතු නෑ. උතුරේ ක්ලේමෝ බෝම්බ වලදාපුව තව ඕන තරම් තියෙන්න පුළුවන්. වෙඩි බෙහෙත් අලෙවි කිරීම සඳහා ඒ වගේ බෝම්බ රහසේ තියා ගෙන ඉන්න බිස්නස් එකකුත් යනව කියල ආරංචියි” අරල් ගුණසේකර කීවේ එවැන්නකි.

“ඒ කතාව හරි. ක්ලේමෝ බෝම්බ 2ක් සැලසුම් ගතව ළඟදී එළියට දාලා සමහර ජාතික පත්තර හා ජනමාධ්‍ය ප්ලේ කරන දේශපාලන සෙල්ලම නවත්වන්න ඕනෑ. රට අක්‍රීය කරන්න ත්‍රස්තවාදීන්ට වගේම රට බිය කරන්න කිසිම ජනමාධ්‍යකට අපි ඉඩ දෙන්නෙ නෑ. ඔවුන් ගැන තදින් ක්‍රියාකරනවා." අගමැතිවරයා කීවේ දැඩි ස්ථාවරයක හිදිමිනි.

චම්පිකගෙන් හිරිවැටෙන කතාවක්

දවසින් දවස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් කියන්නේ කුමක්දැයි වටහා ගන්නේ නැතිව විවිධාකාරයේ පොරොන්දු ජනතාව ඉදිරියේ තබමින් සිටින බවත් ලියා තිබෙන කොළ කියෙව්වාට ඒවායේ සත්‍ය දන්නේ නැතිව කරන ප‍්‍රකාශවලින් පෙනී යන්නේ රටේ පාලනය ගැන හෝ ආර්ථික කළමනාකරණය ගැන කිසිදු දැනුමක් නැති බව යැයි චම්පික කියයි.

'අනුරාධපුරයට ගිය ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පොහොර නොමිලේ ලබාදෙන බවයි. අද පවතින මිල ගණන් අනුව පොහොර නොමිලේ ලබාදීම සඳහා අඩුම තරමින් රුපියල් බිලියන 35 ක්වත් වැයවෙනු ඇත. එමෙන්ම පසුගියදා තේ කර්මාන්ත හිමියන් අමතමින් ඔහු ප්‍රකාශ කළේ වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කරන බවත් සෙස් බද්ද සහමුලින්ම ඉවත්කරන බවත් ය. වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීමට ගියහොත් රුපියල් බිලියන 215 ක අඩුවක් අයවැයට එන අතර සෙස් බද්ද ඉවත් කළොත් රුපියල් බිලියන 41 ක් ඉවත්වනු ඇත. ඔහු දැනමටත් ප්‍රකාශ කර ඇති එම කරුණු තුන එනම්, පොහොර සහනාධාරය ඉවත් කිරීම, සෙස් බද්ද ඉවත් කිරීම, වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීම යන කරුණු විසින් රුපියල් බිලියන 290 ක් හෝ ඊට වැඩි ගණනක හිඟයක් ආණ්ඩුවේ ආදායම්වලට එකතු වනු ඇත' යනාදී ලෙස චම්පික තර්කානුකූලව කරුණු දක්වා තිබේ.

අත පොහොට්ටුවට යද්දී පුරවැසි බලය සජිත්ට

මේ අතර ශ්‍රීලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට එක් වීමට තීන්දු කිරීමත් සමඟ සිදුවූ තවත් විශේෂ සිදුවීමක් වුයේ 2015 ආණ්ඩුව බලයට ගෙන ඒමට ප්‍රමුඛ කාර්යයක් ඉටු කළ සිවිල් සංවිධාන සජිත් ප්‍රේමදාසට සහය දීමට එක් වීමයි.

“බියට බිය නොවී නිදහස රැකගනිමු” යන තේමාව ඔස්සේ ඔවුන් ගෝඨාභය පරාජය කිරීමේ මෙහෙයුමට එක්ව සිටී.

 

ජනපතිගේ භූමිකාව

ජනාධිපතිවරණ සටන දිනෙන් දින උණුසුම් වෙමින් තිබියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී. දේශපාලන වේදිකාවට ගොඩනොවන ජනාධිපතිවරයා නාම යෝජනා භාරදීමෙන් පසුව වෙනත් රැස්වීම්වලදී පවා දේශපාලන කතාවක් නොකර සිටීමට වග බලාගත්තේය.

දේශපාලන කතා නොකීවත් ජනාධිපතිවරයා මැතිවරණ ව්‍යාපාරයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි ජනාධිපතිවරයාගේ දේශපාලනය දන්නා බොහෝ දෙනාගේ අදහසය. අගෝස්තු 17 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අවාසිදායක තත්ත්වයක් ඇතිවෙමින් තිබියදී ජයග්‍රහණය කළත් මහින්ද රාජපක්ෂට අගමැතිධූරය ලබා නොදෙන බවට ප්‍රකාශයක් කරමින් මහින්ද හිතවාදීන්ට ලැබීමට තිබූ අවස්ථාවන්ට මඟ ඇහිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය සිහිපත් කරමින් ඔවුහු මේ බව පවසති.

ශ්‍රීලනිප-පොදුජන පෙරමුණ ගිවිසුමට පොල්ලක්

ජනාධිපතිවරයා, ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය ලබා නොදුන්නත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය ලබාදීමට ඉදිරිපත් විය. මැතිවරණ ව්‍යාපාරයට සහාය ලබාදීමට පෙර ගෝඨා සමඟ මෙන්ම පොදුජන පෙරමුණ සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමකට අවශ්‍යවී තිබිණි. ඒ අනුව පසුගිය ඉරිදා දිනයේදී දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වයෙන් මෙම යෝජනාව ඉදිරිපත්වූ අතර සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයට විශාල පිරිසක් කැඳවා ගිවිසුමට අත්සන් තැබීමට යෝජනා විය. එහෙත් එයට හරහට හිටියේ වෙනත් කණ්ඩායමක් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය වෙන් කරගෙන තිබීම නිසාය.

පොදුජන පෙරමුණ සමඟ අත්සන් කිරීමට යන ගිවිසුමට ඇතුළත් කරුණු රහසක් සේ තබාගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරමින් සිටී. කෙසේ නමුත් මෙම තීරුවට අනාවරණය වන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කර ඇත්තේ ආසන සංවිධායකයින් පත්කිරීම, ඉදිරි මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවන අපේක්ෂක සංඛ්‍යාව වැනි කරුණුය. මේ වන විට පොදුජන පෙරමුණ නිල වශයෙන් ආසන සංවිධායකයන් පත් කර නොමැති නමුත් නිල නොවන වශයෙන් ඒ ඒ ආසන භාරදී ඇති නිසාය. පාර්ලිමේන්තුව නියෝජනය කරන පොදුජන පෙරමුණට සම්බන්ධ සියලුම මන්ත්‍රීවරුන්ට නිල නොවන ලෙස ආසන ලබාදී ඇති අතර පළාත් සභා නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට ලබාදී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති ආසනය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඒ ඒ දිස්ත්‍රික්කවලින් ආසන සංවිධායක ධුර කිහිපයක් ඉල්ලා සිටීමත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදී තමන්ට ලැබෙන අපේක්ෂකත්වය පිළිබඳ ප්‍රශ්ණාර්ථයක් මතුවීමත් සමඟ පළාත් සභා නියෝජනය කළ පොදුජන පෙරමුණේ නියෝජිතයන්ගෙන් යම් යම් විරෝධතා මතුවෙමින් තිබේ.

ඇල්පිටිය පොහොට්ටුවට ප්‍රතිශතය අවුල්

පොහොට්ටුවේ සමහරු සතිය ආරම්භ කළේ ජයග්‍රාහී මානසිකත්වයෙනි. ඊට හේතුව ඇල්පිටිය ජයග්‍රහනයයි. රාජපක්ෂවරුන්ට බෙහෙවින් වාසිදායක ප්‍රදේශයක් වන ඇල්පිටිය බල ප්‍රදේශය අවස්ථා කිහිපයක දී හැර අන් සියලුම අවස්ථාවන්හිදී එජාපය පරාජයට පත්ව තිබේ. ඇල්පිටිය එජාපය විසින් මෑතකාලීනව ජයග්‍රහණය කර ඇත්තේ 2002 පළාත්පාලන මැතිවරණයේදී පමණි.

කෙසේ වෙතත් 80%ට වැඩි ජයක් බැසිල් ප්‍රමුඛ පිරිසක් බලාපොරොත්තු වූහ. එහෙත් සමස්ත ප්‍රතිඵලයට අනුව පොහොට්ටුව සියයට 56ක් ද එජාපය සියයට 24ක් ද සන්ධානය සියයට 12ක් ද ජවිපෙ සියයට 6ක් ද ලබාගත්හ.

එහෙත් පසුගිය 2015 ජනාධිපතිවරණයේදී බෙන්තර-ඇල්පිටිය ආසනයෙන් සියයට 59.08% ගන්නට සන්ධානය සමත් විය. අනෙක් අතට පොහොට්ටුවට එක් වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද වෙනම ලැබුණි. ඒවා පොහොට්ටුවට ගොස් නැත. ඒවා පොහොට්ටු විරෝධී ඡන්ද බව බොහෝ දෙනා කියයි. මහින්ද රාජපක්ෂ අන්ත පරාජයට පත්වූ 2015 ජනාධිපතිවරණයේදී ද ඔහු බෙන්තර ඇල්පිටිය ආසනයේ ඡන්ද සංඛ්‍යාවෙන් 59.08%ක ප්‍රතිශතයක් ලබාගෙන ඇත.

දයාසිරිට ආදරේ අය පොලු අරගෙන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවට තමන් ගොඩවන විට තමන්ට "හූ" තැබීමට කිසිවකු තැත් කළහොත් ඔවුන්ට පහර කෑමට සිදුවිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර කීවේය.

"මට හූ කියන්න කවුරුත් කුරුණෑගල එන්නෙ නෑ. කුරුණෑගල හූ කියන්න ආවොත් ඒ ගොල්ලොන්ට හරියට සැලකෙයි ගාණට, බය වෙන්න එපා. ඒ හූ කියන කට්ටිය වගේම අපටත් ආදරේ කරන කට්ටිය ඉස්සරහ ඉන්නවා පොලු තියාගෙන, හරියටම හම්බවෙයි එතකොට. " යනුවෙනුයි ඔහු කීවේය.

එස්.බී. කළ යුතු දේ විමල් කියයි

එස්.බී. දිසානායක පසුගියදා ආන්දෝලනාත්මක කතාවක් කීවේය. ඒ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ගේ සහාය ගෝඨාභය රාජපක්ෂ ට හිමිවන බවය. පසුගිය දින කිහිපයේම ඔහු එවැනි ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කළේය.

පොහොට්ටුවේ ජනාධිපතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායකට කළ හැකි ලොකුම උදව්ව නම් ජනාධිපතිවරණය අවසන් වන තුරු කට පියාගෙන සිටීම බව විමල් වීරවංශ ඒ අතර කීවේය.

"එස්.බී. දිසානායක මහත්තයා කියන කතා ගැන නම් කතා කරලා වැඩක් නෑ. එතුමා කතාව හොඳ හින්දානෙ කතාවක් වැරදිලා හිරේ පවා ලැගලා හිටියෙ. ඒ එතුමාගෙ කතාවල තියෙන වටිනාකමේ ප්‍රමාණය. ඉතිං ඒ කතා ගැන නම් මට කතා කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. එතුමා එතුමාගෙ කට වහගෙන ඉන්න එක තමයි අපෙ මැතිවරණයට එතුමා කරන ලොකුම උදව්ව."

හිස්බුල්ලා ගෝඨාට ද?

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ සමාජගතවී තිබූ පත්‍රිකාවක් නිසා එස්බීගේ කතාවට තටු ලැබිණි. එයින් කියැවුණේ හිස්බුල්ලාගේ ඔටුවා ලකුණට හෝ පොහොට්ටුවට ඡන්දය දෙන ලෙස ඉල්ලාය. එය හිස්බුල්ලා වෙනුවෙන් මුද්‍රණය කර තිබූ පත්‍රිකාවකි.

හමුදාපතිව යෙදූ දැන්වීමට දසතින් විරෝධය

වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රකාශයක් සහ රුව සහිතව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රවර්ධනය කරමින් පසුගිය සති අන්ත පුවත්පත් කිහිපයක පළ කළ දැන්වීම සම්බන්ධයෙන් පවතින නීතිමය සහ සදාචාරමය වරද පිළිබඳ ‘රැස’ පසුගිය සඳුදා රටට අනාවරණයක් කළේය. එය බොහෝ දෙනාගේ අවධානයට යොමු විය.

අදාළ පුවත්පත් දැන්වීම මැතිවරණ නීති බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව පවසමින් අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා විසින් පසුගිය 14 වැනිදා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කරනු ලැබ තිබිණි.

දැන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ ඒ සමඟය.

"ඒක වැරදියි කියන එක අපි අදාළ අපේක්ෂකයාගේ පක්ෂයට දැනුම් දුන්නා. ඒ එක්කම ජනාධිපති ලේකම්වරයාටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් මේ ගැන කරුණු දක්වන්න කියලා අපි ලිපි යොමුකළා" යැයි (ඔක්තෝබර් 16) කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේය.

"පැරණි ප්‍රකාශයක් වෙන්න පුළුවන්. නමුත් වත්මන් යුද හමුදාපතිවරයාගෙ නිල නාමය සහ තනතුර යොදාගෙන ඒක භාවිත කිරීම ඉතාම කණගාටුදායක කරුණක්. ඒ කරුණ කිසිදු යහපත් දේශපාලන සංස්කෘතියකට අනුගත වෙන්නේ නැහැ" මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

මෙම දැන්වීම සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවසූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඔහු එසේ නොකළොත් එය ඔහුගේ අනුදැනුම මත සිදුවූවක් බව සිතීමට සිදුවන්නේ යැයි සඳහන් කළේය.

සතියක් පමණ ඇතුළත ජනාධිපති ලේකම්වරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මෙහිදී කියා සිටියේය.

යුද්ධයේ ජය පක්ෂෙකට අයිති නෑ

"යුද්ධය, වීර ක්‍රියා කිසිදු පක්ෂයකට තනියම අයිති දෙයක් නෙවෙයි. කිසිදු පක්ෂයකට නැති අය මේ යුද්ධය වෙනුවෙන් සටන් කරලා තියෙනවා. යුද්ධයේදී ලැබූ ජයග්‍රහණ රටේ එකක් මිසක් පෞද්ගලිකව පක්ෂයක එකක් නෙවෙයි. ඒ නිසා එවැනි කරුණු යොදාගන්න එපා කියලා ඉල්ලීමක් කරලා තියෙනවා" යුද ජයග්‍රහණය මැතිවරණ ප්‍රචාරණය සඳහා යොදා නොගන්නා ලෙස දේශපාලන පක්ෂ දැනුවත් කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

ගෝඨාගේ ප්‍රවෘත්ති සාකච්ඡාව

ගෝඨාභය රාජපක්ෂ (15) මාධ්‍ය හමුවකට එක් විය. එහිදී විදෙස් මාධ්‍යවේදිනියක වූ 'හින්දු' පුවත්පතේ මාධ්‍යවේදිනී මීරා ශ්‍රී නිවාසන් විසින් අසා සිටියේ “ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවතී කාලය අතරතුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුණ එල්ටීටීඊ සාමාජිකයන් අතුරුදහන් වූ බවට ඔවුන්ගේ ඥාතීන් චෝදනා කරන බවත් සත්‍ය වශයෙන් ඔවුන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි.

ඊට පිළිතුරු දුන් ගෝඨාභය ප්‍රථමයෙන්ම කියා සිටියේ ශ්‍රී ලංකා යුධ හමුදාවට නායකත්වය ලබා දුන්නේ තමන් නොවන බවයි.

නැවත මාධ්‍යවේදිනිය ප්‍රශ්නය නඟමින් “ඔබ ආරක්ෂක ලේකම් ලෙසත් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් යුද්ධය පැවති කාලය අතර තුරදී අත්අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුණ එල්ටීටීඊ සාමාජිකයන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි.

යළිත් පිළිතුරු දුන් ගෝඨාභය ඉතා පැහැදිලිව කියා සිටියේ ‘යුද්ධයට නායකත්වය දුන්නේ තමන් හෝ තම සහෝදරයා නොව එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති’ බවයි.

ෆොන්සේකාගෙන් කිස්කන පිළිතුරක්

යුද්ධයෙහි ජයග්‍රහණය සම්බන්ධ කීර්තිය ලබාගන්නා නමුත් එහි වරදක් ගැන ඇසූ සැණින් එය හමුදාව පිට, තමන් පිට පැටවීමට ගෝඨාභය රාජපක්ෂ උත්සාහ ගන්නා බවත් රාජපක්ෂලාගේ ක්‍රමවේදයම මෙවැන්නක් බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

"වැරදි දෙයක් අහනකොට අපි හිටියෙ නෑ, අපි දන්නෙ නෑ, අපි දැක්කෙත් නෑ කියනවා. යටත් වෙච්චි අයට මොනවා කරාද කියලා මාධ්‍යවේදියෙක් ඇහුවලු 'අපි දන්නෙ නෑ, මම නෙවෙයිනෙ යුද්ධ කළේ හමුදාපතිනෙ' කිව්වලු. 'ඔයාගෙ අයියා වගකියන්න ඕනෙ නේද' ඇහුවාම 'නෑ නෑ අයියත් නෙවෙයි හමුදාපති වගකියන්න ඕනෙ' කිව්වලු.

මුංට දිනුවාම උන් - වැරදුණාම අපි! ඒක තමයි රාජපක්ෂලාගෙ ක්‍රමවේදය.

අපි බාල වැඩ කරන්නෙ නෑ, රණවිරුවො අපි පණවාගේ ආරක්ෂා කරනවා. මේ රටේ ජනතාවට අවශ්‍ය සම්පූර්ණ ආරක්ෂාව ලබා දෙනවා. අනිවාර්යයෙන් තමුන්නාන්සෙලාට නිදහසේ ඉඳගෙන කාලා බීලා නිදාගන්න පුළුවන් රටක් අපි හදනවා. ජාති බේදයකින් තොරව අපි රට ආරක්ෂා කරනවා, ඒකීය භාවය ආරක්ෂා කරනවා, ස්වෛරීභාවය ආරක්ෂා කරනවා" යනුවෙන්ද ඔහු කීය. මේ බව ඔහු කීවේ එජාප රැලියකදීය.

ගම්මන්පිලට පාරාවළල්ලක්

ජනපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මහර කඩවත දී 15 වැනිදා පැවති ජන රැලියට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසුයේ, ''වෛද්‍ය මතය අනුව සජිත් ප්‍රේමදාසට පිස්සු'' කියාය. සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ වෛද්‍ය වාර්තාවක් ප්‍රසිද්ධ කරන්නැයි ද ඔහු අභියෝග කර සිටියේය. උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යවරයා පවසන්නේ, සජිත් ප්‍රේමදාසට පිස්සුවක් ඇත්නම් ඒ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් උදේ රෑ නොබලා වැඩ කිරීමේ පිස්සුව පමණක් බවයි. එහිදී තවදුරටත් අදහස් දක්වන ඇමතිවරයා මෙසේද කියා සිටියි.

සජිත්ට තියන පිස්සුව?

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය සහතිකයක් ඉල්ලා ප්‍රකාශයක් කරනවා මම දැක්කා. ඇත්ත වශයෙන්ම එක පැත්තකින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට පිස්සුවක් තියෙනවානම් තියෙන්නේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් උදේ රෑ නොබලා වැඩ කිරීමේ පිස්සුව විතරයි. උදය ගම්මන්පිල මෙම ඉල්ලීම කරන්නේ මඩ ගැසීමේ චේතනාවෙන් වුණත් ඇත්ත වශයෙන්ම ඒක ඉතාමත් කාලෝචිත යෝජනාවක්, වැදගත් යෝජනාවක්.

මංගලගේ යෝජනාව

මොකද ලෝකයේ බොහෝ රටවල විශේෂයෙන්ම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගෙන් විශේෂයෙන්ම රටක් පාලනය කරන්න ඒ අයගේ සෞඛ්‍ය සම්පන්නභාවය තියෙනවාද නැද්ද කියන එක, වෛද්‍ය සතිකය ඒ රටේ ජනතාව ඉල්ලා සිටිනවා. අන්න ඒ නිසා තමයි මම හිතන්නේ මේ වැදගත් යෝජනාව අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියලුම ජනාධිපති අපේක්ෂකවරු තමන්ගේ වෛද්‍ය සහතිකය ජනතාවගේ දැනගනීම සඳහා ඉදිරිපත් කිරීම ඉතාමත්ම වැදගත් පියවරක්.

මොකද විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා‌ මේ මැතිවරණයේ ප්‍රධාන පෙළේ අපේක්ෂකයෙක්. එතුමා මීට මාසයකට ඉස්සෙල්ලා හෘද සැත්කමක් කරපු කෙනෙක්. අපි එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. නමුත් එතුමා මේ රටේ ජනාධිපති වීමට තරම් සෞඛ්‍ය සම්පන්නභාවයක් තියෙනවාද කියන ප්‍රශ්නය දැන් මතුවෙලා තියෙනවා. මොකද අපි දැක්කා පසුගියදා ගෝල්ෆේස් පිට්ටනියේදී ලංකා ඉතිහාසයේ පවත්වපු විශාලම ජන රැලිය සජිත් ප්‍රේමදාස මැතිතුමා සහභාගි වුණ වෙලාවේ ඒ සෙනඟ දැකපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එදා රාත්‍රියේම වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යළි වතාවක් ගියා. මේ වගේ අභියෝග ඉදිරියේ ලංකාවෙත් නෙවෙයි, පිටරටවලට නිතර නිතර යන්න ගියොත් ඇත්තවශයෙන්ම එතුමා ජනාධිපති වුණත් ජනාධිපතිවරයාගේ කාර්යභාරය ඉටු කිරීමට හැකියාව ශක්තිය සහ සෞඛ්‍ය සම්පන්නභාවය තියෙනවාද කියන එක ප්‍රශ්නයක්.

අතේ මන්ත්‍රීන්ට පොහොට්ටු රැලිවල හූව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවට නඟින නිදහස් පක්ෂයේ නියෝජිතයන් හට පොහොට්ටු සාමාජිකයන්ගෙන් දැඩි විරෝධතාවක් පැන නැඟුනි. අනුරාධපුරයේ දී පැවති පළමු රැස්වීමේදී දුමින්ද දිසානායකට හූ තියමින් මෙම තත්ත්වය ආරම්භ වූ අතර එය කුරුණෑගල, රත්නපුර දක්වාම පැතිරිණ. පොදුජන පෙරමුණේ දෙවැනි ජනරැලිය 13 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණේ කඩවතය.

ගම්පහ දිස්ත්‍රික්කයේ නායකයා වශයෙන් දෙවැනි රැලියේ සංවිධාන කටයුතුවල බර කර‍ට ගෙන සිටි ප්‍රසන්න මේ සම්බන්ධයෙන් ද අවධානය යොමු කළේය. තමන්ගේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන ජනරැලියක දී එවැනි තත්ත්වයක් ඇති නොවිය යුතු බවට දැඩි මතයේ සිටි ප්‍රසන්න ඒ සඳහා උපක්‍රමයක් යෙදවීය. කඩවත රැලියට සම්බන්ධ කර ගැනුණු ආසන වන මහර, වත්තල, දොම්පෙ, කැලණිය, බියගම, ගම්පහ ආසනවල ආසන සංවිධායකවරුන්ට සහ සියලුම පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමැතුම් දුන්නේය.

ප්‍රසන්න ඔවුන් අමතා දැනුම් දුන්නේ අනුරාධපුරයේ වැනි කිසිදු සිදුවීමක් කඩවත රැස්වීමේ දී සිදුනොවිය යුතු බවය.

කඩවත රැලියේ ‘හූව’නාව හැටි

ලසන්ත අලගියවන්න ඒ අතර කීවේ තමන් එදින කඩවත රැස්වීමට සහභාගී වන බවය. "එන්න එන්න. මම උපරිම උත්සහයක් දරලා තත්ත්වය පාලනය කරන්න බලනවා. ඇමතිතුමා එන්න" ප්‍රසන්න උත්තර දුන්නේය.

ලසන්තගේ කතාව ආරම්භ වීමත් සමඟ ප්‍රසන්න ඒ වන විට වේදිකාවේ සිටි සියලුම පළාත් පාලන නියෝජිතයන් බිමට බස්සවා ජනතාව අතරට යැව්වේය. ජනතාව අතර සිටි නියෝජිතයන් අවධානයෙන් සිටියේ විරෝධතා මතු කරන්නන් කෙරෙහිය. ඒ අනුව කඩවත රැස්වීමේ දී කිසිදු හූවක් නැගුණේ නැත.

හූව ගැන පක්ෂ නායක කතාබහ

අඟහරුවාදා සවස ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් මහින්දගේ නිල නිවසේ දී පැවැත්විණි. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට අමතරව මෙවර සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දයාසිරි සහ අමරවීර ද පැමිණ සිටීම සුවිශේෂී කරුණක් විය. මහින්ද ඔවුන් පිළිගනිමින් අදහස් දැක්වීය.

“අද මෙතනට නිදහස් පක්ෂය නියෝජනය කරමින් දයාසිරි සහ අමරවීර මන්ත්‍රීතුමන්ලාත් සහභාගී වී ඉන්නවා. අපි සාදරයෙන් පිළිගන්නවා. ” මහින්ද පැවසීය.

“ඒ කතාව ඇත්ත. අපි අවධානය යොමු කරන්න ඕනේ මේ සටන ජයග්‍රහණය කරන්නයි ” අමරවීර කීවේය.

හූවට විමල්ගෙන් නව අරුතක්

“ගම්පහ වගේ නෙමෙයි තව සමහර තැන්වල ප්‍රශ්න මතු වෙලා තියෙනවා. අපේ පාක්ෂිකයන් මේ වැඩ නිසා කලකිරෙනවා” දයාසිරි කීවේය.

“අපි ඒ ටිකත් බලලා හදාගමු. මේ පක්ෂ නායකයෝ හැමෝම ඒ ගැන අවධානයෙන් කටයුතු කරයි. ඒ හැරුණම දිස්ත්‍රික් නායකයෝ ටිකත් දැනුවත් කරලා තියෙන්නේ. අපි කිව්වා පාක්ෂිකයන් දැනුවත් කරන්න කියලා” මහින්ද පැවසීය.

“මේ කාරණා ගැන අපිට සරළව ගන්න බැහැ. සමහරවිට මේ වගේ කලබල ඇති කරන්නේ අපේ පාක්ෂිකයන් නොවෙන්නත් පුළුවන්. පිරිසක් ඉන්න තැනකදී එක්කෙනෙක් යොදවලා හූවක් කිව්වොත් ඒක පැතිර යන්න තියෙන ඉඩ වැඩියි” විමල් කීවේය.

පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව ප්‍රසන්න, රෝහිත, කෙහෙළිය, විමල් ඇතුළු පිරිසක් මහින්ද සමඟ සුහද කතාබහක නියැලෙමින් සිටියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට විරෝධය දැක්වීමේ කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

“අපට ආරංචි වෙලා තියෙනවා මේ වැඩේ පිටිපස්සේ හිටපු නායිකාවක් ඉන්නවා කියලා.

“ විමල් පැවසීය. විමල්ගේ කතාවට ලොකු තල්ලුවක් ලැබු‍ණේ නැත.

“මොනවා වුණත් අපි මේ වැඩේ කොහොම හරි නතර කරන්න ඕනෙ. නැත්නම් ඕක පුරුද්දට යනවා. එක තැනක කිව්වම අනෙක් තැනටත් ඕක පැතිරෙනවා. “ මහින්ද කීවේය.

News Order: 
-1
මාතෘකා