ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

 ඡායාරූපය:

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

කොන්ද පණ තියෙන නායකත්වයක් රටට ලබා දෙන්න මා සූදානම්

තමා ප්‍රශ්නවලින් පැන යන නායකයෙක් නොවන බවත් ශක්ති සම්පන්න, කොන්ද පණ තියෙන නායකත්වයක් රටට ලබා දෙන්න තමා සූදානම් බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) දොඩම්ගස්ලන්ද රිදීගම දේවල හන්දියේ ජයන්ති පිටියේ පැවැති ජනරැලියට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

මම රටේ ප්‍රශ්නවලින් පැනලා යන නායකයෙක් නොවෙයි. රණවිරුවන්ව පාවිච්චි කරලා, ඔවුන්ව බිත්තියට හේත්තු කරලා මගේ පවුල බේරගන්න යන්නේ නැහැ. මගේ බෙල්ල දී හෝ රටේ ජනතාව රැක ගන්නවා. සුළු අපනයන භෝග වගාවේ නිරත වන ගොවීන් වෙනුවෙන් ගම්මිරිස් ප්‍රතිඅපනයනය නතර කරලා ස්ථාවර මිලක් ඔවුන්ට ලබා දෙනවා. රට පුරා පිහිටවලා තිබෙන ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා කෘෂි උපකරණ ලබා දීලා තට්ටු මාරු ක්‍රමයට නොමිලේ ගොවි උපකරණ ලබා දිය හැකි ක්‍රමයක් අපි ඇති කරනවා.

අරුම පුදුම ජවනිකාවක් ඊයේ දවසේ පැවැත්වුණා. මාධ්‍යවේදීතුමන්ලාගෙන් පැන ගිය අපේක්ෂකතුමා මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙලා ඇති තතු හෙළි කළා. යුද ජයග්‍රහණයෙන් පස්සේ ඒ ඇත්තෝ මුළු රටම රැවැට්ටුවා. ඔවුන් මුළු රටටම කිව්වේ එයාලගේ පවුලේ අය තමයි යුද ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළේ කියලා. නමුත් ඊයේ දවසේ ඇත්ත හෙළි වුණා.

තිස්වසරක යුද සාපය ඉවර කළා කියලා මොනවද නොකළේ. කටවුට් ගැහුවා, චිත්‍රපට හැදුවා, පොත් ගැහුවා වෙනත් නාට්‍ය හැදුවා. වේදිකාවක් වේදිකාවක්, ගමක් ගමක් පාසා ගොස් කීවේ අපි තමයි යුද්ධය දිනුවේ, අපි තමයි යුද ජයග්‍රහණයට නායකත්වය දුන්නේ කියලා. රටට බොරුවක් පොම්ප කළා. නමුත් ඊයේ දවසේ ඒ බොරුව මගේ ප්‍රතිවාදියා පිළිගත්තා. ඔහු දැන් කියනවා යුද්ධය කළේ මමවත් අයියාවත් නොව ජනරාල් සරත් ෆොන්සේකා කියලා. 2009 ඉදලා මේ රට රවට්ටපු ඒ මහා බොරුව, ඒ මහා වංචාව, ඒ මහා මිත්‍යාව රටේ ජනතාව දැන ගත්තා. වසර 10 ක් මුළුල්ලේ තමුන් කළේ රටට බොරු කීම කියා මගේ ප්‍රතිවාදියා පිළිගැනීම දෛවයේ සරදමක්.

බොරුවට වැඩි ආයුෂ නැහැ. කොයි මොහොතක හරි සත්‍ය හෙළි වෙනවා. ඊයේ දවසේ සැබෑ යුද වීරයා කව්ද කියන එක ප්‍රතිවාදියාගේ කටින් හෙළිවුණා සේම 16 දා ජනාධිපතිවරණයෙන් සත්‍ය ජයග්‍රහණය කරනවා කියන කාරණයත් සත්‍යයි. තමනුයි තමන්ගේ පවුලයි යුද්දේ දින්නා කියලා ජනගත කරන්න කොච්චර උත්සාහ කළාද, යුද ජයග්‍රහණය පේටන්ට් බලපත්‍රයකින් සින්නක්කරව පවුලට ලියාගෙන තිබුණේ. යුද ජයග්‍රහණයේ සින්නක්කර ඔප්පුව එයාලම දැන් කැන්සල් කර ගත්තා. සරත් ‍ෆොන්සේකා තමයි යුද්ධයේ සැබෑ හිමිකරුවා කියලා මගේ ප්‍රතිවාදියටම අද කියන්න සිද්ධවුණා.

නමුත් යුද සෙන්පතිවරයාට එදා මොකක්ද ඔවුන් කෙරුවේ? යුද්ධය දිනපු මනුස්සයාව හිර ගෙදරට ඇදලා දැම්මා. යුද සාපය ඉවර කළ වීරෝධාර පුද්ගලයාව වැලිකඩට දමලා මාංචු දැම්මා ජම්පරය ඇන්දුවා. මොකක්ද ඒකට හේතුව? හේතුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමයි. අනෙක් හිරකරුවන්ට ටී.වී ෆෑන් තිබෙන කාමර දුන්නත් අපේ රණවිරු සරත් ෆොන්සේකාට දුන්නේ කළුවර කාමරයක්. පැදුරක් මත තමයි එතුමාට හිරබත් කන්න සිද්ධ වුණේ . රට බේරාගන්න ගිහිල්ලා එතුමාට බෝම්බ කන්න වුණා. බෝම්බ කෑලි එතුමාගේ ඇඟේ තිබෙනවා. නමුත් පැදුරේ නිදා ගන්න ගියාම එතුමාගේ ඇගේ තිබෙන බෝම්බ කෑලි ඇනිලා එතුමාට වාවා ගන්න බැරි දුකකින් තමයි ඉන්න සිද්ධ වුණේ.

දස වද දුන්නා. පුළුවන් තරම් හිරිහැර කළා. රටට ආදරේ කරනවා කියපු කණ්ඩායම තමයි ඒක කළේ. එහෙම කළේ යුද ජයග්‍රහණයේ අයිතිකරුවා තමන් බව රටට කියන්නයි. නමුත් දැන් කියනවා යුද්ධයේ නියම අයිතිකරුවා තමන් නොවෙයි සරත් ෆොන්සේකා මැතිතුමායි කියලා. එදා හිර ගෙදර ඉන්නකොට කූඹි හිටපු කෑමයි එතුමා කෑවේ. දුවිලි පිරුණු වතුරයි එතුමා පානය කළේ. රටටත් ජාතියටත් හුස්ම ගන්න නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව දුන්නේ වෙන කව්රුත් නොවෙයි සරත් ෆොන්සේකා මැතිතුමායි. මහපොළොව නුහුලන අපරාධයක් තමයි මේ දේශප්‍රේමියෝ කියන කණ්ඩායම එතුමාට කළේ. නමුත් ඔවුන්ගේ කටින්ම අද සැබෑ යුද වීරයා කව්ද කියලා හෙළිවීම සත්‍යයේ ජයග්‍රහණයක්. මම මේ රටේ ජාතික ආරක්ෂාව නීතිය හා සාමය මෙහෙයවීමේ සැබෑ වගකීම යුද වීරයා වන සරත් ෆොන්සේකා මහතාට ලබා දෙනවා.

සැබෑ විරයෝ ඉඳ්ද්දි අපට ඩුප්ලිකේට් නායකයෝ අවශ්‍ය නැහැ. මගේ ප්‍රතිවාදියා තමයි රටේ වාර්තාවක් තියලා තියෙන්නේ යුද සෙන්පතියන් එක පෑන් පහරින් අස් කරපු පළමු පුද්ගලයා හැටියට. ඒක ලෝක වාර්තාවකුත් වෙන්න ඇති. මේජර් ජනරාල්වරු පස් දෙනෙක් එක පෑන් පහරින් ගෙදර යැව්වා. ඒ වගේම බ්‍රිගේඩියර්ස්ලා පස් දෙනෙක් එක පෑන් පහරින් ගෙදර යැව්වා. කර්නලවරයෙක්, කැප්ටන්ලා දෙන්නෙක් ගෙදර යැව්වා. පැය 24 ක් තුළ රණවිරුවන් ගෙදර යැව්ව පුද්ගලයන්ට පුළුවන්ද රටට සාධාරණයක් ඉෂ්ඨ කරන්න? පොදු ජනතාවට සාධාරණයක් ඉෂ්ඨ කරන්න? දේශප්‍රේමයේ නාමයෙන් පපුවට ගහ ගන්නවා. පො‍ළොව ඉඹිනවා. පුපුවට ගසා ගනිමින් පොළොව ඉඹිමින් රට බේරාගත් රණවිරුවන්ට හිරිහැර කළා. ඔවුන් සිරගත කළා. දැන් ඔබලාට තේරෙනවා ඇති මගේ ප්‍රතිවාදියා ඇයි මාධ්‍ය ඉදිරියට එන්නේ නැත්තේ කියලා? මාධ්‍යවේදින් අහන නිර්ව්‍යාජ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඔහුට බැරි ඇයි කියලා දැන් සැමටම තේරෙනවා. දින ගණනාවක් මුළුල්ලේ වෙනමම කණ්ඩායම් යොදලා මාධ්‍යවේදින් තමන් ළඟට එන එක වළක්වලා මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන එක නතර කරලා හිටපු කෙනාට ඊයේ දවසේ මගේ අභියෝගය මත හෝ මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා මාධ්‍යවේදින් අහන ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවුණා. මාධ්‍ය ඉස්සරහට‍ ඇවිල්ලා වසර 10කට පසුව හෝ සත්‍ය හෙළි කිරීම ගැන මම සතුටු වෙනවා.

ජනරාල් ජානක පෙරේරා මැතිතුමා මතකද..? ජානක පෙරේරා කියන්නේ යුද හමුදාවේ එස්.එෆ් බලකාය මෙහෙයවපු ආර්.ඩි.එෆ් බලකාය මෙහෙයවපු රණවිරුවායි. එතුමා විශ්‍රාම ගොස් එක්සත් ජාතික පක්ෂයෙන් උතුරු මැද පළාතේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනකොට එතුමාට ආරක්ෂාව ලබා දුන්නේ නැහැ. අවසානයේ කොටි ත්‍රස්තවාදීන් ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජානක පෙරේරා රණවිරුවා අපට අහිමි වුණා. ඒ විතරක් නොවෙයි මුහුමලේ සටන මෙහෙයවපු 53 වන සේනාංකයේ සමන්ත සූරිබණ්ඩාර මහත්තයාට මොකක්ද කළේ..? එතුමාවත් රටින් එලෙව්වා විතරක් නොවෙයි එතුමාට මේ රටේ අවසන් ගමන් යන්නවත් අවස්ථාව දුන්නේ නැහැ. එවැනි කුරිරු අන්දමින් මේ රටේ රණවිරුවව තළලා පෙළලා, පොඩි කරලා ආඥාදායකත්වයක් තුළින් ඒකාධිපතිත්වයක් තුළින් රණවිරු පවුල විනාශ කළ පුද්ගලයා තමයි අද රට හදන්න ඇවිල්ලා ඉන්නේ.

අපේ ප්‍රතිවාදියා, මම නොවෙයි යුද්ධ කළේ... අයියා නොවෙයි යුද්දේ කළේ... කියලා පිළිතුරු දෙන්නේ යුද්ධයේදි සිදු වූ හානිය පිළිබද මාධ්‍යවේදිනියක් ඇසූ ප්‍රශන්යකට පිළිතුරු දෙමිනුයි. මේ රටේ රණවිරුවා ආරක්ෂා කරන සැබෑ නායකයෙක් නම් කවදාවත් කියන්නේ නැහැ අපෝ මම නොවෙයි මේකට වගකියන්නේ, අයියා නොවෙයි යුද්ධ කළේ කියලා ප්‍රශ්නය රණවිරුවාගේ කරේ තියන්නේ නැහැ. වගකීමෙන් පැන ගොස් තවකෙකුට බෝල පාස් කරන්නේ නැහැ. මේකද සැබෑ නායකත්වය කියන්නේ..?මේකද ශක්තිමත් නායකත්වය කියන්නේ..? තමන්ට හා සහෝදරයාට පුද්ගලිකව හානියක් වෙන නිසා ඔහු ඒ බෝලය සරත් ෆොන්සේකා මැතිතුමාට පාස් කරලා ඇඟ බේරා ගත්තා. මෙන්න මේක තමයි මේ ඇත්තන්ගේ සැබෑ දේශප්‍රේමීත්වය.

රටේ වෙච්ච දේවල් ගැන ප්‍රශ්න කරනකොට රටේ රාජ්‍ය නායකයා වෙන්න බලාගෙන ඉන්න කෙනා මෙහෙමද උත්තර දෙන්නේ. මෙහෙම කෙනෙක් කොයි විදියට රටේ සම්පත් දේපළ පිටරවලට විකුණයිද තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කියන ප්‍රශ්නය පැන නගිනවා. කව්රු හරි බලපෑමක් කළොත් තමන්ගේ පුරවැසිභාවය, තමන්ගේ ජන්මය පිළිබදව, හැඳුනුම්පත පිළිබදව එතනදි රටයි ජාතියයි ජනතාවයි තුට්ටු දෙකට විකුණලා තමන්ගේ ඇඟ බේරා ගන්න ප්‍රතිවාදියෙක් තමයි අපට ඉන්නේ. මුහුණු පොතට ගොස් ඔහු කළ සම්පූර්ණ කතාව බලලා ජනතාවට තීරණය කරන්න පුළුවන් මගේ ප්‍රතිවාදියා රටේ නායකත්වයට සුදුසුද නැතිද කියලා. තමන්ගේ යටතේ සිටි යුද හමුදාව පොලීසිය සිවිල් ආරක්ෂක බලකාය ගැන කව්රු හරි ප්‍රශ්න කළා නම් මම ඒ විරෝධාර රණවිරුවන් වෙනුවෙන් බෙල්ලත් දෙනවා. මගේ මුළු සර්වාංගයම පරිත්‍යාග කරලා ඔවුන් බේරා ගන්නවා. මම බෝල පාස් කරලා මගේ වගකීම අනුන් පිට පටවන්නේ නැහැ. මම රණවිරුවන්ට කියනවා සජිත් ප්‍රේමදාස මේ රට බේරා ගත්තු ගොවියගේ ධීවරයාගේ පුංචි මනුස්සයාගේ මධ්‍යම පාන්තිකයාගේ වගේම රාජ්‍ය සේවකයාගේ දුවලා පුතාලා වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් මේ රටේ නායකයා ලෙස කරන්නට ලැහැස්තියි කියලා.

News Order: 
2
මාතෘකා