අපේ න්‍යාය පත්‍රයේ ජාතිවාදය නෑ

 ඡායාරූපය:

අපේ න්‍යාය පත්‍රයේ ජාතිවාදය නෑ

ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක

අනුර කුමාර දිසානායක

ජාතිවාදය න්‍යාය පත්‍රයේ නොමැති එකම දේශපාලන පක්ෂය ජාතික ජන බලවේගය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (06) බේරුවලදී පැවැති ජනතා රැළියට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

"මහජන දේපොළ ගසා කාපු නැති මිනිස්සු ඉන්න එකම වේදිකාව ජාතික ජන බලවේගයේ වේදිකාවයි. ජාතිවාදය ඇතුළත් නොවූ න්‍යාය පත්‍රයක් සහිත එකම දේශපාලන ව්‍යාපාරයද අපියි. ජාතික ජන බලවේගයේ දේශපාලනය ජාතික සමඟියේ දේශපාලනයයි. අපේ ආණ්ඩුවක් යටතේ ජාතිවාදය නීතියෙන්ම තහනම් කරලා ඒක අනිවාර්යෙන්ම ව්‍යවස්ථාවට ඇතුළු කරනවා. අපේ ස්වෛරීභාවය රඳා පවතින්නේ ප්‍රධාන කොටම අපේ ආර්ථික ශක්තිය මතයි. ජාතික ආරක්‍ෂාව කියන්නේ සිංහල මුස්ලිම් ගම්මාන බැරියර් දාලා වෙන් කරන එක නොවෙයි. සියලු ජාතිකත්වයන්ට අයත් ජනයා සමානයන් ලෙස සැලකීමයි. සම අයිතීන් සියල්ලටම ලබා දීමයි. අපි ඒ සඳහා වගන්ති අපේ ආණ්ඩුවක් යටතේ ව්‍යවස්ථාවට ඇතුළු කරනවා. දුප්පත්කම විකුණන එක අපේ දේශපාලනය නෙවෙයි. අපි කරන්නේ රටේ දුප්පත්කම තුරන් කරන දේශපාලනයක්. ඒ සඳහා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට අපි ළඟ සැලසුම් තිබෙනවා. ඒකට ගැමි ජනතාවගේ යැපුම් මාධ්‍යය ප්‍රවර්ධනය කිරීම අනිවාර්යයයි. ඒ සඳහා සැලසුම් අපි සතුයි. මෙතෙක් කල් ඡන්දවලදී ගත්තු වැරදි පියවර මේ වතාවේදී නොදුන්න කියලා අපි රටේ ජනතාවගෙන් ඉල්ලනවා. අනේ අපොයි කියලා කම්පා වන තීන්දුවක් නොවැම්බර් 16 ගන්න එපා.

"අපේ ආණ්ඩුවකින් අපි ණය ගන්නේ අත්‍යාවශ්‍ය ව්‍යාපෘති සඳහා පමණයි. ණය තුළින් වත්කම් උපදවන සැලැස්මක් අපි ළඟ තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලොව අලූත් වෙළඳපොළවල් සොයා දීමේ විශේෂ වගකීමක් අපි තානාපති සේවයට අනිවාර්යෙන් පවරනවා. එම ව්‍යවසායකයින් නගා සිටුවන කි‍්‍රයාමාර්ග අප සතුව තිබෙනවා.

"අධ්‍යාපන ක්ෂේත්‍රයේදී අපි නව පරිවර්තනයක් කරනවා. පාසල් දරුවන් කිලෝමීටර් 2ක් ඇතුළත පාසලට ළඟා වීමේ සැලැස්මක් අපි හදනවා. පළමු වසරට ඇතුළු වීමේ සිට ඉහළම අධ්‍යාපනය දක්වා සියලු දරුවන්ගේ අධ්‍යාපනයේ වගකීම අපේ ආණ්ඩුවක් යටතේ බාර ගන්නවා.

"ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ මේ තියෙන අතිශය දුෂ්කරතා ඉවත් කරන සැලැස්මකින් නව ප්‍රවාහන සැලසුමක් හා මිනිසසුන්ට පහසුවෙන් ගමන් කළ හැකි ප්‍රවාහන පද්ධතියක් අපි නිර්මාණය කරනවා. ඊට අවශ්‍ය දියුණු ප්‍රවාහන සේවයකුත් අපි නිර්මාණය කරනවා.

"දියුණු රටවල ධීවරයන්ට පහසුවෙන් මාළු අල්ලා ගැනීම සඳහා මුහුදේ යම් යම් ප්‍රදේශවල මාළු වගා කරනවා. එහිදී ඔවුන්ට පුළුවන් දිනකින් දෙකකින් මාළු අස්වැන්න නෙළාගෙන ගොඩට එන්න. අපේ ධීවර මාස ගණන් මුහුදේ රස්තියාදු වෙලා හොඳටම හෙම්බත් වෙලා සමහර විට හිස් අතින් එන්නේ.

අපේ ආණ්ඩුවක් යටතේ අති නවීන ධීවර උපකරණ ධීවරයන්ට ලබා දීමට කටයුතු කරන අතර ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම්ද ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂා කරන පියවරද ගැනීමට කටයුතු කරනවා. ගොවියා නව තාක්‍ෂණයට යොමු කරමින් ගොවියා සහ ගොවිතැන යන දෙකම නවීන ලොවට ගැලපෙන ලෙස ප්‍රවර්ධනය සඳහා අප සැලසුම් කොට තිබෙනවා. දැන් ජනතාවට ඇත්තේ එකම ජයග්‍රාහී මාවතයි. ඒ ජාතික ජන බලවේගයේ මාවතයි."

 

 

මාතෘකා