අධිකරණයේ ස්වාධීනත්වය ගැන හිටපු ජනාධිපතිට සතුටුයිලු

 ඡායාරූපය:

අධිකරණයේ ස්වාධීනත්වය ගැන හිටපු ජනාධිපතිට සතුටුයිලු

ඔහුම මේ ගැන කීම අපට සතුටක්

ඇමතිනී තලතා අතුකෝරළ

මීට කලකට පෙ‍ර අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම විනාශ කළ හිටපු ජනාධිපතිවරයා අද අධිකරණය ස්වාධීන යැයි පැවසීම පිළිබඳ තමා සතුටට පත්වන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (07) නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් ජනාධිපතිවරණ ප්‍රධාන කාර්යාලය රත්නපුර වෙරලුප ප්‍රදේශයේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද කීවාය.

පක්ෂයක අපේක්ෂකයෙක් සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මතය කුමක්ද?

ඒක අපි පක්ෂයක් ලෙස අධිකරණයට ගිය එකක් නෙවෙයි. සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් කිහිපදෙනෙක්ට ලැබුණු තොරතුරක් මතයි අධිකරණයට ගිහිල්ලා තිබුණේ. අද මගේ වචනෙන්ම කියන්න ඕන නැහැ, මීට කාලෙකට ඉස්සෙල්ලා අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම විනාශ කරපු මේ රටේ හිටපු ජනාධිපතිවරයා කියනවා අද අධිකරණය ස්වාධීනයි කියලා. මොකද මීට ඉස්සෙල්ලා 2015 ජනවාරි 08 වැනිදාට පෙර මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය තියා අග්‍රවිනිශ්චයකාරවරයකුටවත් නිදහසේ වැඩ කරන්න බැරි තත්ත්වයක් තිබ්බේ. අද ඒ ගැන එයා එහෙම සන්තෝෂ වෙනවා නම් රටේ ජනතාව, සාමාන්‍ය මිනිස්සු, නොයකුත් විදිහට අසාධාරණයට ලක් වුණු අය මොනතරම් සන්තෝෂ වෙනවා ඇතිද?

චමල් රාජපක්ෂ මහතා හදිසියේම ඇප මුදල් තැන්පත් කළා. ඒ ගැන අදහස?

ඒකට කියන්න තියෙන්නේ රාජපක්ෂ කෙනෙක් නැත්නම් රාජපක්ෂ කෙනෙක් කියලා. එක පවුලක් රජ කරවන්න මේ රටේ ජනතාවට මේ තරම් උවමනා වෙලා තියෙන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. රාජපක්ෂ කෙනෙක් නැත්නම් රාජපක්ෂ කෙනෙක් එනවා. අපේ පක්ෂයේ එහෙම නෙවෙයි. අපේ පක්ෂය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ පටන් අරගෙන අද වෙද්දි මේ රටේ බිහිවන ලාබාලතම ජනාධිපති බිහි කරන තරගය දක්වා ඇවිල්ලා තියෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ මෙය අභියෝගයකට ලක් කරන්න සූදානමින් ඉන්නවා?

ඕනෑම කෙනකුට ඒ සඳහා අයිතියක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න රටේ පුරවැසියෙක් වෙන ඕනෑම කෙනකුට පුළුවන්. මෙහෙම ආනයනය කරපු කෙනකුට නම් බොහොම අමාරුයි ඒ වැඩේ කරන්න. මේ රටේ ඔක්කොම කල්පනා කරන්න ඕන දේ තමයි අද රටේ පුරවැසිකම ගැන අභියෝගයකට ලක් වුණු පුද්ගලයකුට බලය දෙනවාද කියන එක. එක්සත් ජාතික පක්ෂයට හැම තිස්සේම රට ඇමෙරිකාවට විකුණනවා. ඇමෙරිකාවත් එක්ක සෝපා ගිවිසුම අත්සන් කරනවා. ඇමෙරිකාවත් එක්ක අරක කරනවා මේක කරනවා කියන අය ඇයි ඇමෙරිකාවෙන් ගෙනාව එක්කෙනෙක් දිනවන්න හදන්නේ? මොකක්ද මේ පිටුපස තියෙන කුමන්ත්‍රණය? ඇමෙරිකානුවකු වෙලා ඇමෙරිකාවට ගැති වෙලා තියෙන්නේ ඇ‍ෙමරිකාවේ ද්විත්ව පුරවැසිභාවය තියෙන අයයි. ඒක තමයි කල්පනා කරන්න ඕන. රටේ මිනිස්සු හොඳට ඔළුවෙන් කල්පනා කරලා ගන්න ඕන තීරණයක් මේක.

මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා මේ වන විට එක්සත් ජාතික පාක්ෂිකයන් දැඩි අපහසුතාවට පත් වෙලා කියලා?

අපේ කිසිම පාක්ෂිකයෙක් අපහසුතාවට පත් වෙලා නැහැ. නමුත් එතුමාට අපහසුතාවයක් ඇති. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් විදිහට බිහි වෙලා, අත ලකුණින් බිහි වෙලා, දැන් අතත් නැහැ පක්ෂයත් නැහැ. මොකුත් නැහැ. පොහොට්ටුවක් හදාගෙන අද මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. අද ඒ ගොල්ලෝ තමයි අපහසුතාවට පත් වෙලා ඉන්නේ. පොහොට්ටුවෙන් හරි, කුසුමෙන් හරි, ටයර් එකෙන් හරි බලයට එන්න තමයි රාජපක්ෂවරු උත්සාහ කරන්නේ. වෙන මොකුත් නැහැ ඒක තමයි ඒ අයගේ අවශ්‍යතාව.

එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය පිළිබඳව ඔබතුමියගේ අදහස කුමක්ද?

අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා ඒකේ දෙකක් නැහැ. මොකද අපි දින 100 ආණ්ඩුවේ වැඩ කළා. ඊට පස්සේ දෙසැම්බර් 21න් පස්සේ අපි අපේම කියලා හදා ගත්ත ආණ්ඩුවකින් තමයි අපිට යමක් කර ගන්න පුළුවන් වුණේ. අපි මේ 2015 ජනවාරි 08 ජයග්‍රහණයෙන් පස්සේ සමහර අයගේ න්‍යායපත්‍රවල තිබුණේ අගමැතිතුමා පන්නන එක, අපේ පක්ෂය දෙකඩ කරන එක. අවසාන මෙහොත වෙනකල් පක්ෂය දෙකඩ කරන්න උත්සාහ කළා. අපි අද ඒකරාශී වෙලා සමඟියෙන් අපේ පක්ෂයේ නායකතුමා අගමැති ලෙස කටයුතු කරන වෙලාවක අපේ අපේක්ෂකයා ජයග්‍රහණය කරනවා.

පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වුණු නියෝජ්‍ය අමාත්‍යවරයකු කියලා තියෙනවා ඔබතුමිය එක්ක වැඩ කරන්න බැහැ, වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා?

මම ඒ ගැන නම් ටිකක් ලැජ්ජා වෙනවා. පිරිමියෙක් එහෙම දෙයක් කිව්ව එක ගැන. ගැහැනියක් කිව්වා නම් කමක් නැහැ.

පසුගිය දිනක සමුළුවක් තියලා නායකතුමා විසින් අපේක්ෂකයා යම්කිසි එකඟතාවකින් පත් කරනු ලැබුවා. ඒ පිළිබඳව අදහස?

ඒක සාමාන්‍ය දෙයක්. අපේ පක්ෂයේ නායකයා ඉදිරිපත් වුණත් මේ විදිහටම සමුළුවක් තියනවා. 2005 අපේ අගමැතිතුමා ඉදිරිපත් වන විටත් 2010 සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වන විටත් 2014 වත්මන් ජනාධිපතිතුමා ඉදිරිපත් වන විටත් මේ හැම අවස්ථාවකම අපේ පක්ෂයේ ව්‍යවස්ථාවේ තියෙන දෙයක් තමයි පක්ෂයේ සම්මේලනය කැඳවලා කැමැත්ත ලබා ගන්න එක. එය තමයි පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සිදු වුණේ.

ඒත් සමඟම බිම් මට්ටමේ සාමාජිකයන්ගේ උද්යෝගයක් ඇති කළා?

ඒකට හේතුව තමයි මේ රටේ පයට පෑගෙන දූවිලි බවට පත් වෙලා තිබුණු ජනතාවට හයියක් දුන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පියා ආර්. ප්‍රේමදාස මැතිතුමායි. ඩී.එස්. සේනානායක මැතිතුමාගෙන් ආරම්භ වෙලා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේ රටට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නා. ඒවා ගමට ගෙන ගියේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා බව ඔබ දන්නවා. ඒකයි අද ජනතාව සජිත් ප්‍රේමදාස මහතාට කැමති.

පසුගිය දිනක රූපවාහිනී විවාදයක් තිබුණා. ඒකට ගෝඨාභය රාජපක්ෂ මහතා ආවේ නැහැ?

මම අභියෝග කරනවා. පුළුවන් නම් ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකතුමා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නැතිව පුළුවන් නම් කොහේ හරි යන්න කියලා. වේදිකාවකට, රූපවාහිනී විවාදයකට එන්න කියලා තනියම. එතුමාට හිටපු ආරක්ෂ ලේකම් ලෙස විශාල ආරක්ෂාවක් දීලා තියෙනවා. එතුමාට අපි කියන්නේ මහින්ද රාජපක්ෂ නැති වේදිකාවක් ගන්න කියලා.

මාතෘකා