මෝදි වගේ කෙනෙක්

 ඡායාරූපය:

මෝදි වගේ කෙනෙක්

'මට මේ වෙලාවේ කනගාටු ඇතිවෙන්නේ ඉන්දියාවේ ශ්‍රීමතී ඉන්දිරා ගැන. ඉන්දිරාව නරක් කළෙත් මෙයා. ජවහර්ලාල් නේරුතුමාගේ දුහිතෲ අගමැති වුණාම අපි හිතුවා මුළු භාරතයටම නව යුගයක් උදා කරයි කියලා. කොහෙද, මෙහේ ආවා තුන්හතර පාරක්. මම දැනගත්තා වැඩේ ඉවරයි කියලා. මෙයා කරපු දේමයි එයා එහෙත් කළේ. පාර්ලිමේන්තු කාලේ මෙහෙත් දික් කළා; එහෙත් දික් කළා. හදිසි නීතිය දාලා පාලනය කළා. එහෙත් කළා. මෙහේ පුතා කිට්ටු කරගත්තා. එයත් කළා. මෙහේ බෑනා කිට්ටු කරගත්තා. එහේ භන්ති ලාල්ව කිට්ටු කරගත්තා. මිනිහා සාතන් වගේ. මෙහේ වගේම දිරච්ච ලණු මිනිහත් එයාට දුන්නා. මොකද වුණේ? මෙයාට ඉස්සරවෙලා එයාට වැදුණා.”

1977 රණසිංහ ප්‍රේමදාස පාර්ලිමේන්තුව දෙදරන්න කතාවක් කළේ එහෙමය. ඔහු කතාව පටන් ගත්තේ 'මස්කෙලියේ දෙවැනි මන්ත්‍රී, මේ කතා කරන්නේ කෙහෙල් වත්තේ ලැවරිය විකුණපු කොල්ලා' කියාය.

එදා ප්‍රේමදාස තමන්ගේ කතාවෙන් ඉන්දියාවේ පවුල් පාලනය පලු ඇරියේය. ප්‍රේමදාස කීවා වගේම ඉන්දිරාගේ පාලනය පෙරළුණේය.

පවුලකට නායකත්වයත් පාලනයත් උරුමකර දෙන පරවේණි ක්‍රමයට ඔහු පන්න පන්නා පහර දුන්නේය. ඒ විතරක් නෙවේ එදා ප්‍රේමදාස එතෙක් ලංකාවේ තිබූ රදල ආධිපත්‍යයටත් කුඩුවෙන්න ගැහුවේය.

‘පුංචි මිනිහගේ දුක දන්න මනුස්සයා’ කියා ප්‍රේමදාස මිනිස්සුන්ගේ පපුවෙහි සලකුණු විය. ඔහු තැබූ ඒ සලකුණ එදාට වඩා අද තහවුරු වෙලාය. 'මේ කවුද? මොනවද කරන්නේ?' යන පෝස්ටරය රට පුරා අලවමින් ජනාධිපති සටනට පිවිසි රණසිංහ ප්‍රේමදාස මහතා ඒ සටන දිනා වසර පහක් රට පාලනය කළේ 'නැති බැරි අය ඇති හැකි අය කරමු' යන පරමාර්ථය පෙරදැරිවය. පවුල් ගස් ගලවා දමා ඒ වෙනුවට වැඩ කරන මිනිස්සුන්ට ඉඩ හැදුවේ ඔහුය.

ඉන්දියාවේ වුණෙත් එහෙමය.

එදා 76 ඉන්දියාවේ පවුල් පාලනය එරට ජනයා ප්‍රතික්ෂේප කළේ යම් සේද ඊට අවුරුදු හතළිස් දෙකකට පස්සේ නැවත වතාවක් පිට පිටම ඉන්දියාව පවුල් පාලනය පෙරළා දමා දුම්රියේ තේ වික්ක කොල්ලාට භාරතය බාර දෙන්නට තීරණය කළහ.

ඉන්දියාව ලෝක ශිෂ්ටාචාරයේ තොටිල්ල යැයි ආචාර්ය ඒ. එල්. බෂාම් ලියා තිබේ.

එම ඉන්දීය තොටිල්ල පැදවීමේ හස්තය නරේන්ද්‍ර මෝදි වෙත ලබා දීමට කෝටි සංඛ්‍යාත ඉන්දියානුවෝ තීන්දු කිරීම අරුමයක් විය. ඒ අතර පවුල් පාලනය නමැති නෂ්ටාවශේෂ ගෝත්‍රිකත්වය පරාජය කරන්නටද එරට ජනයා තීන්දුකොට තිබේ.

2014 මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ජයගත් විට බොහෝ දෙනා කීවේ 'මෝදි සුනාමියක්' වගේ කියාය. ඔහු පාරම්පරික පවුල් පාලනයක් ගෙනගිය කොංග්‍රසය කරකවා අතෑරියේය. ‘මෝදි’ දේශපාලන සුනාමියට හසු වූ ඉන්දීය කොංග්‍රස් පක්ෂය ඒ මැතිවරණයේදී ලද්දේ වාර්තාගත පරාජයකි.

එය දෙවැනි වරටත් මහා සුනාමියක් වී කොංග්‍රසය සෝදා හැරියේ මෙවර මැතිවරණයේදීය.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අමෙති ආසනය වෙනුවෙන් තරග කරන ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායක රාහුල් ගාන්ධි භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂිකා ස්ම්‍රිති ඉරානිට (මහගෙඩ්ගර තුල්සි ) පරාජය විය. පවුල් පාලනයෙන් පිරුණු කොංග්‍රසයෙන් ඉවත්ව භාරතීය ජනතා පක්ෂයට එක් වූ ගාන්ධිලා දෙදෙනාම ජයගත්හ.

'පවුල්වාදය කරේ තියාගෙන ගියපු යුගය ඉවරයි. මේ නව සියවසක්. අලුත් පරිච්ඡේද ලියන සියවසක්. භාරතය පවුලක බූදලයක් නොවේ'

එහෙම කියන්නේ මැදිහත් විචාරකයෝය.

94 එජාපය පරාජය වූවාට පසු නැවත බලය ගියේ බණ්ඩාරනායකලාටය. එහෙත් චන්ද්‍රිකා එය පවුලේ බූදලයක් කරගත්තේ නැත.

එහෙත් ඊට පසුව මහින්ද රාජපක්ෂලා බලයට ආවාට පසු රටක්ම වහල් දිවයිනක් බවට පෙරළා දැම්මේය. 1982 ජනාධිපතිවරණය කාලයේ සමහරු ඇසුවේ ‘මේ සැරේ “ජේ. ආර්. කම” කාටදැයි කියාය..! සමහරු හිතුවේ ජේ. ආර්. යනු තනතුරක් කියාය. ඒ තරමට ජේ.ආර්. දිගු කලක් රට පාලනය කළේය.

රාජපක්ෂ අවදියේ එය සිය ගුණයකින් උග්‍ර විය. රටේ නම 'ශ්‍රී ලංකාව' කියනවාට වඩා 'රාජපක්ෂ' යනු රටේ නම බවට පත්ව තිබිණ.

එක් අවස්ථාවකදී මෙම පවුල විසින් ජාතික අයවැයෙන් සියයට 70ක් පාලනය කළ බව වාර්තා විය (2014 අයවැයෙන් ඔවුන් සඳහා අයවැයෙන් සියයට 47ක් වෙන් කර තිබිණි.)

රාජපක්ෂලාගෙන් තොරව නායකත්වයක් එහි කාටවත් උරුම නැත. ශ්‍රීලනිපය මෛත්‍රීට අයත් වන විට රාජපක්ෂලා තමන්ට කියා පක්ෂයක් හදා ගත්හ. ඒ 'පොහොට්ටුවයි'.

පවුලෙන් තොරව කිසිවකුට කිසිම ඉඩක් නැති බවට කිට්ටුම උදාහරණය මෙවර ජනාධිපතිවරණයේදී නාම යෝජනා දෙන දිනයේ සිදුවිය. ගෝඨාට එරෙහිව නඩුවක තීන්දුව දෙන්නට නියමිතව තිබූ දිනයේම නාමයෝජනා දෙන්නට සිදුවූ අතර තීන්දුව අවාසි වුණොත් කරන්නට විකල්පය ඔවුන් තෝරා ගත්තේ 'චමල් රාජපක්ෂ' ලවා නාමයෝජනා දීමෙනි.

ඒ අනුව පෙනුණේ රාජපක්ෂලා මිස කිසිවකුට එතැන ඉඩ නෑ කියන එකය. දිනේෂ්ලා, වාසුලා, පොහොට්ටුවේ 'සක්ක' බව පමණක් එයින් ඔප්පු විණි.

රාජපක්ෂ රැල්ල පෙරළන්න ඊට හරියන කෙනෙක් වුවමනා විය. ඒ කෙනා ‘මෝදි පන්නයේ’ අයෙක් විය යුතු විය.

එහෙම බැලුවම සජිත් කියන්නේ මෝදි වර්ගයේ තෝරාගැනීමකි.

ගෝත්‍රික උමතුව ඉහවහා ගිය විට කූඹියෙක් කොටියෙක් ලෙසත් මාළුවෙක් කිඹුලෙක් ලෙසත් දකින්නට බැරිකමක් නැත.

2018 ඔක්තෝබර් මාසයේදී හිටපු ජනාධිපති රාජපක්ෂ අගමැති පදවියේ පිහිටුවන ලද මොහොතේ මෝදිගේ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ දේශපාලන හැඩගැසීම් කෙරෙහි අවධානයෙන් බලා සිටියේය.

"අපේ අසල්වැසි ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු තබමු. ශ්‍රී ලංකාවේ මෑත සිදුවූ දේශපාලන හැඩගැසීම් කෙරෙහි අපි අවධානයෙන් සිටිමු" යනුවෙන් එදා ඉන්දීය විදේශ අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද ප්‍රකාශනයක සඳහන් විය.

මහින්දලාගේ ආණ්ඩුවේ අවසන් කාර්තුවේ ක්‍රියාකාරිත්වය මෝදිගේ ආණ්ඩුවේ ප්‍රසාදයට හේතු නොවීය. මෝදි පාලනය ආරම්භ වූ වකවානුවේ එවක ඇමැති කෙහෙලිය කීවේ කුමක්ද?

‘‘අපේ හිත් සැහැල්ලුයි. දැන් ඕනෑම ප්‍රශ්නයක් ගැන මෝදි අගමැතිවරයාට ස්වාධීනව සහ ශක්තිමත්ව තීන්දු ගන්න පුළුවන්’’කියාය. හැබැයි වැඩි දවසක් යෑමට පෙර මෝදිගේ ආණ්ඩුව වහකදුරු විය.

යහපාලන ආණ්ඩුව පත්වීමෙන් පසු මෝදි සිය මිත්‍රත්වයේ දෑත් දිගු කළේය.

මහින්දවාදීන් සසල වූයේ ඒ නිසාය. සුවසැරිය පවා රට ඉන්දියාවට පාවාදීමක් කියන නොසන්ඩාල මිථ්‍යාව සමාජයට ගෙනාවේ ඒකය.

2019 මැතිවරණය ආසන්න වන විට මෝදි ගැන තිබුණේ අමුතු චිත්‍රයකි. 2014 ජයගත් මෝදි ක්ෂණිකව ජනප්‍රිය වූයේ නැත. ඔහු ගත් ජනප්‍රිය නොවන තීන්දු නිසා ඉන්දියානුවෝ බොහෝ පීඩාවට පත්වූහ. වරක් ඔහු මුදල් නෝට්ටු තහනමක් ගෙන ආවේය. මුළු ඉන්දියානුවෝම ඔහුට මවුපියන් සිහිකර බැන වැදුණු අතර 2015 පැවැති බිහාර් ප්‍රාන්ත මැතිවරණයේ මෝදි පරාජය විය. ආසන 243කින් සමන්විත බිහාර් ප්‍රාන්ත සභාවේ බහුතර බලය දිනා ගැනීමට එහි විපක්ෂ සන්ධානය සමත් විය. ඔවුන් ආසන සංඛ්‍යාව 157ක් ගනිද්දී මෝදිගේ භාරතීය ජනතා පක්ෂය දිනාගත්තේ ආසන 77කි.

ලංකාවෙත් එහෙම විය.

මහ මැතිවරණය එක්සත් ජාතික පක්ෂය දිනද්දී ඊට වසර කිහිපයකට පසුව තිබූ ප්‍රාදේශීය සභා මැතිවරණය පොහොට්ටුව ජය ගත්තේය.

මෑත කාලීනව ඉන්දියාවේ මැතිවරණ සිතියම සහ ලංකාවේ මැතිවරණ සිතියම විපරම් කිරීම වටින්නේ රටවල් දෙකක් වුණාට මැතිවරණ ආශ්‍රිත හැසිරීම හරියට තැපැල් ඡන්ද ප්‍රතිඵලයෙන් සමස්ත ප්‍රතිඵලය කියවෙනවා වගේ නිසාය.

77 කොංග්‍රසය පරාදය. භාරතීය ජනතා පක්ෂය දිනුම්ය.

77 ලංකාවේ එජාපය දිනුම්ය. ශ්‍රීලනිපය පරාදය.

2004 කොංග්‍රසය දිනුම්ය. භාරතීය ජනතා පක්ෂය පරාදය.

2005 එජාපය පරාදය. ශ්‍රීලනිප සන්ධානය දිනුම්ය.

2009 කොංග්‍රසය දිනුම්ය. භාරතීය ජනතා පක්ෂය පරාදය.

2010 එජාපය පරාදය. ශ්‍රිලනිප සන්ධානය දිනුම්ය.

2014 කොංග්‍රසය පරාදය. භාරතීය ජනතා පක්ෂය දිනුම්ය.

2015 එජාපය දිනුම්ය. ශ්‍රීලනිප සන්ධානය පරාදය.

2019 කොංග්‍රසය පරාදය. භාරතීය ජනතා පක්ෂය දිනුම්ය.

එතකොට ලංකාවේ?

'ඔහොම කීවට මේ වෙලාවේ ආණ්ඩුව ඉන්නේ අමාරුවෙන්. ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා හෙල්ලිලා'

එහෙම කියන අයට දෙන්නට උත්තර බොහෝ තිබේ. ඉන්දියාවෙත් මරාගෙන මැරෙන ප්‍රහාර පසුගිය දිනවල සිදුවිය. ඊටත් වඩා ආරක්ෂාව ගැන අංක 1,2,3 සියල්ලම වෙන් කළ ඇමෙරිකාවේ එවන් ප්‍රහාරවලින් පසු මැතිවරණවල ප්‍රතිඵල කියවා බැලීම වටී.

2000 ජනාධිපතිවරණයේදී ජෝර්ජ් බුෂ් දිනන්නේ නූලෙන්ය. එහිදී ප්‍රතිවාදී අල්ගෝර් සීයට 48.4ක් ගනිද්දී බුෂ් ගන්නේ සීයට 47.9කි. යාන්තමට බුෂ් ගොඩ ගියේ අතින් ගණන් කරපු නිසාය. එහෙත් ඇමෙරිකාවේ බිහිසුණුම ප්‍රහාරය එල්ල වූ 2001න් පසුව 2004 ජනාධිපතිවරණයේදී බුෂ් ප්‍රතිවාදී කෙරීව පරාජය කරන්නේ සීයට 50.7ක් වැඩි ඡන්ද ලබමිනි.

1992 ක්ලින්ටන් දිනන්නේ සීයට 43ක ප්‍රතිශතයකිනි. 1993දීත් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ඒ වෙලාවේ අැමෙරිකාවේ ජනාධිපති ක්ලින්ටන්ය. 1993 ප්‍රහාරයෙන් පසුව ක්ලින්ටන්ට චෝදනා දසතින්ම ආවේය. ආරක්ෂාව ගැන අතිශය සංවේදී ඇමෙරිකාව එහෙම හිතපු එක හරිය. ඒ මදිවට ක්ලින්ටන්ට කාන්තා චෝදනාත් ආවේය. 1996 ජනාධිපතිවරණය ආවේය. චෝදනා කිසිවක් නැතිව 92දී සීයට හතලිස් තුනක් පමණක් ගත් ක්ලින්ටන් 96දී චෝදනා කප්පරක් තිබියදී සීයට 49ක් ඡන්ද ගෙන දෙවැනි වරටත් ජනපති විය. ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වූ ප්‍රංශයේත් නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් රුසියාවෙත් වුණේ ඒකමය.

එතකොට ඉන්දියාවෙත් ඇමෙරිකාවෙත් මිනිස්සු හෙල්ලුණේ නැත. ආණ්ඩුව රැකගෙන ස්ථීර සුරක්ෂිතතාවක් හදන්න ඔවුහු කැපවූහ.

එජාපය මෙච්චර කල් හෙව්වේ ‘ප්‍රේමදාස’ මොඩලයේ මෝදි වගේ නායකයෙක්ය. මිනිසුන් හෙවුවෙත් එහෙම කෙනෙක්ය.

ලංකාවේ තව සති කිහිපයකින් මැතිවරණය පැවැත්වේ.

උත්තරය බලාගන්නට පිළිවන.

මාතෘකා