ජනාධිපතිවරණය ගැන විද්‍යාර්ථීන්ගේ උනන්දුව

 ඡායාරූපය:

ජනාධිපතිවරණය ගැන විද්‍යාර්ථීන්ගේ උනන්දුව

අටවැනි ජනාධිපතිවරයා තේරීමේ මැතිවරණය අබියස සියලු පුරවැසියන් සිටින මොහොතක ඒ ගැන සරසවි සිසුන් දක්වන අදහස් පිළිබඳ 'රැස' කළ විමසුමකදී ඔවුන් දැක්වූ ප්‍රතිචාරයන් මෙසේ සටහන් කරමු.

 

මම නිදහස වෙනුවෙන්

දිලංක ලොකුගේ - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

තරුණයෙක් විදිහට මෙවර මැතිවරණයේදී නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරැකෙන, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදය සුරකින, දූෂණයෙන් තොර රටක් බිහිකර ගැනීමට සුදුසු යැයි හැඟෙන කඳවුරට කැමැත්ත ප්‍රකාශ කිරීම වැදගත් වෙනවා. යල් පැනූ අදහස් ඇති මහලු පිරිසක් වෙනුවට තත්කාලීන සමාජයට ගැළපෙන අදහස් යෝජනා ක්‍රියාත්මක කිරීමට හැකි වැඩපිළිවෙළක් සහිත පිරිසක් තමන්ව පාලනයට හා කළමනාකරණයට තෝරාගැනීම වෙනුවෙන් මෙවර කැමැත්ත ප්‍රකශ කිරීමේදී සැලකිලිමත් වීම වඩා වැදගත් වෙනවා කියලා කියන්න පුළුවන්. මේ මොහොතේ ජනතාව තම ස්වකැමැත්තේ අයිතිය නිවැරදිව භාවිත කළ යුතුය.

 

තට්ටු මාරුවෙන් මිදෙමු

ධරණි අබයරත්න - කොළඹ විශ්වවිද්‍යාලය

අවුරුදු 71ක තට්ටු මාරු දේශපාලන ක්‍රමයකට හුරු වුණු අපේ වැඩිහිටියො අපට ඉතුරු කළේ කොහොම රටක්ද?

ඇත්තටම අපි කැමති දෙයක් ඉගෙන ගන්න, ඉගෙන ගන්න දේකට වටිනාකමක් ලබන්න පුළුවන් රටක්ද? අපේ සෞඛ්‍යයට වගකීමක් දෙන්න පුළුවන් රටක්ද? අපේ ජීවිතේ නිදහසේ ගෙවන්න, කලා නිර්මාණයක් විඳින්න, ආදරේ කරන්න පුළුවන් රටක්ද? අලුත් තාක්ෂණය එක්ක ලෝකෙ අනිත් රටවල් එක්ක ඉදිරියට ගමන් කරන්න පුළුවන් රටක්ද? මේ වර්ග කිලෝමීටර් හැටපන්දාස් පන්සිය දහය ඇතුළෙ විඳින්න පුළුවන් ජීවිතයක් කියලා අපට කියන්න වෙන්නෙ මේ තියෙන විදියෙ ජීවිතයකටද?

අපේ වැඩිහිටියො අපට ඉතුරු කරලා තියෙන විදියෙ දූෂණයෙන් පිරුණු, ජරාජීර්ණ, මිථ්‍යාව ඉතිරෙන, සංස්කෘතික හිරකාරයො සහිත රටක්ද අපි අපේ අනාගත පරම්පරාවට ඉතුරු කරන්නෙ?

 

තාම තීරණයක් නෑ

චතුරංග දිල්රුක්ෂ - විවෘත විශ්වවිද්‍යාලය

අවුරුදු 71ක් තිස්සෙ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් අතර බලය හුවමාරු වුණා. මගේ අදහස නම් පුරවැසියො පොඩි වෙනසකට කල්පනා කළ යුතුයි කියලයි. නමුත් තවමත් ඒ වගේ දෙයකට සූදානම් නැති නිසා මම හිතනවා ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් අඩුම දුර්වලකම් තියෙන පුද්ගලයා සොයා ගන්නා තැනට කල්පනා කළොත් වඩා හොඳයි කියලා. කොහොමත් දැනට ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් පුද්ගලයා කවුද කියන එක මට කියන්න බෑ.

 

ප්‍රායෝගික කෙනෙක්ට

එරික් - විවෘත විශ්වවිද්‍යාලය

මූලිකවම ජනාධිපතිවරණයක් කියන්නෙ රටේ ඉන්න විධායක බලතල අතට එන පුද්ගලයා තෝරන එක. විධායක බලයක් අතට එන පුද්ගලයකුගෙන් අපි පැහැදිලිවම බලන්න ඕනෙ, එයාට තියෙන ප්‍රතිපත්ති මොනවද? එයාගෙ තියෙන චරිතමය ලක්ෂණ සහ එයා මේ වන තුරු කරලා තියෙන දේ මොනවද කියන එක. පක්ෂ දේශපාලනය කියන එකෙන් ඈත් වෙලා තරුණයෙක් විදියට ඔවුන්ට ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති මොනවද කියලා බලන්න ඕනෙ. ඕන කෙනකුට ප්‍රතිපත්ති කියන්න පුළුවන්. හැබැයි ඒ හැමදේම සාර්ථක වෙන්නේ නැහැ. අපි බලන්න ඕන ඒවායින් ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රතිපත්ති මොනවාද සහ ඇත්තටම අපේ අනාගතය වෙනුවෙන් ලැබෙන්නේ මොනවාද කියන දේ.

 

රටේ වෙනසකට

ඩම්. එම්. කේ.ජී. බණ්ඩාර - රුහුණ විශ්වවිද්‍යාලය

මේ ජනාධිපතිවරණයත් හැමදාම වගේ මිනිස්සුන්ගෙ පරමාධිපත්‍ය බලය, ඡන්දය ලබා දීම වැනි සාමාන්‍ය දෙයක් වෙනවා. බලය හැමදාමත් යන්නෙ රටේ ධනවාදී පක්ෂ දෙකකට. රටේ උගත් බුද්ධිමත් මිනිස්සු මේ පාරත් ඡන්දෙ ඉල්ලනවා. හැබැයි කවදාවත් මේ රටේ සිස්ටම් එක වෙනස් වෙන්නෙ නෑ. මේ සැරේ වෙනසක් තියෙනවා. තවත් තරගකාරී පක්ෂයක් තරගෙට ඇවිත් ඉන්නවා. හැමදාමත් රටේ වෙන වංචාව, දූෂණය පැත්තකට දාලා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් සහිත යම් කෙනෙක් බලයට පත්කිරීමයි වැදගත්. උගත් තරුණ තරුණියන් විදියට අපට වගකීමක් තියෙනවා; මොකද අපිට රටක් අවශ්‍යයි. ඒ නිසා කොටු පැනිල්ල නතර කරලා හැමදාමත් වෙන ඡන්දයකට වඩා රටේ වෙනසක් කළ හැකි කෙනෙක් බලයට පත් කිරීම වැදගත්.

 

රටේ පරිවර්තනයක් විය යුතුයි

හසිත ඒකනායක - රජරට විශ්වවිද්‍යාලය

සරලම කතාව මේ වෙලාවෙ රට තියෙන්නෙ තීරණාත්මක තත්ත්වයක. මේක රටේ පරිවර්තනයක් බලාපොරොත්තු වෙන වෙලාවක්. මෙතනදි තරුණයො විදියට අපිට හිතන්න වෙන්නෙ රැල්ලට යනවද නැත්නම් විවිධ කාරණා ඔස්සේ සලකා බලලා කටයුතු කරනවද කියන එක. තරුණ පරම්පරාවේ බොහෝ දෙනාගෙ මතයක් තියෙනවා 225ම එපා කියලා. හැබැයි අවුරුදු 71ක් පරණ මේ දේශපාලන පිල් මාරුව එපා කියලා විකල්ප බලවේගයක් කරා තරුණයො යොමු කරන්න හදන්නෙ මේ 71 ඇතුළෙ හිටපු කණ්ඩායම කියලයි මට දැනෙන්නෙ.

තුන්වැනි විකල්පයකට යනවට වඩා මේ රටේ ප්‍රධාන ධාරාවන්ට ඡන්දය දෙන්න සිද්ධ වෙන්නෙ මේ රටේ සාම්ප්‍රදායික දේශපාලන මත එක්ක ගම්වල මිනිස්සු ඉන්න හින්දයි. ඒගොල්ලො ඔය කඳවුරු දෙකට බෙදිලා ඉවරයි. මේ රටේ තරුණයෝ එකතු වෙලා තීරණය කළ යුතු දේ තමයි අපේ රටට අඩුවෙන්ම හානි කළ පුද්ගලයා කවුද කියන එක. ඒක කිරල මැනලා බලන්න ඕනෙ. තනි පුද්ගලයෙක් දිහා පමණක් බලන්න එපා. ඒ මනුස්සයා එක්ක වටේට ඉන්න අය ගැනත් බලන්න.

 

ජනතාව වෙනස් විය යුතුයි

චාමිකා වනසිංහ - රුහුණ විශ්වවිද්‍යාලය

මෙවර බලය ලබා ගැනීමේ සටන බොෙහාම වැදගත්. රටේ උගත් තරුණ ප්‍රජාව විදිහට අපිට කොටසකගේ හරි ආකල්ප හොඳ විදිහට ගොඩනඟන්න පුළුවන් නම් ශක්තිමත් නායකත්වයක් බිහි කරන්න පුළුවන්. හැබැයි එකාට එකා නැති, එකමුතුවක් නැති ජාතියකට මේක ටිකක් ආමාරුයි. හැමදාමත් අපි සිස්ටම් එක ගැන කතා කරන්වා. ඒවා වෙනස් කරන්න කැම්පස්වල සාකච්ඡා කරනවා. ඒත් වෙනස් වුණේ නෑ. ඇයි? තමන්ගේ වාසි වෙනුවෙන් හැමෝම වෙනස් වෙනවා. පාලකයන්ට වඩා ජනතාවයි වෙනස් විය යුත්තේ. ආකල්ප වෙනසක් කරන්න පුළුවන් නම් ඒකයි වැදගත්.

 

යුක්තිය ඉටුවන රටක්

දිනිත් සුමනසේකර - මහරගම විද්‍යාපීඨය

රටක් කියන්නෙ පාලන ව්‍යුහයක්. රට කියන සංකල්පය හැදිලා තියෙන්නෙ අපි ජීවත් වෙන සමාජ ක්‍රමයේ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් රටකට අනිවාර්යයෙන් පාලකයෙක් හෝ පාලක පන්තියක් ඉන්නවා. ඒ යටතේ තමයි රට පාලනය වෙන්නෙ. ඒ කියන්නෙ ජනතාව ජීවත් විය යුතු විදිහ ඒ රටේ පාලන බලය හිමි පිරිසට හෝ පුද්ගලයාට තීරණය කරන්න පුළුවන්.

අපිට පිළිගන්න සිද්ධ වෙනවා අපි ජීවත් වෙන යුගයේ අප ජීවත් වෙන සමාජ ක්‍රමය යටතේ සියල්ලන්ටම යුක්තිය ඉටු නොවන බව. මම විශ්වාස කරන විදිහට අප පාලකයකුගෙන් බලාපොරොත්තු විය යුතු දේ තමයි මනුෂ්‍යයන් ලෙස ජීවත් වීමේ නිදහස. ඒ වගේම අප තේරුම් ගත යුතු තවත් දෙයක් තමයි පාලකයන් අපව පාලනය කරන්නේ නීතිවලින් පමණක් නොවන බව. අප පාලනය වෙන්නෙ පාලක පන්තිය විසින් නිර්මාණය කරලා දෙන දෘෂ්‍ටිවාදය මඟින්. ඒ කියන්නෙ අපි ලෝකය දකින විදිහ, දෘෂ්ටිකෝණය නිර්මාණය කරලා දෙන්නෙත් පාලක පන්තිය විසින්. අපි ජීවත් වෙන්නෙ අපි ලෝකය දකින්න, හරි වැරැද්ද තීරණය කිරීමට අපිට කියලා දීලා තියන විදිහට.

 

පෙර හැසිරීම වැදගත්

සුකිත් රන්දුල - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ඡන්දයක් භාවිත කරනකොට මූලිකවම අපේක්ෂකයෙක්ගේ අධ්‍යාපන සුදුසුකම්, පෙර දේශපාලන ගමන්වල ඒ අපේක්ෂකයාගෙ ක්‍රියාකලාපය බලන්න ඕනෙ. පෙර හැසිරීම හොඳ නැති නම් මෙවරත් හැසිරීම ඒ වගේම වෙන්න පුළුවන්. ඒ කෙනා තමන් කරන්න යන දේවල් පිළිබඳ අවබෝධයක් තියෙන නායකයෙක් විය යුතුයි. ප්‍රතිරූපය වශයෙන් බැලුවමත් ඒ පුද්ගලයා නායකත්වයට සුදුසුද කියන දේ බලන්න ඕනෙ. ඒ වගේම කාගෙවත් අතකොළුවක් නොවී ඉන්න බුද්ධිමත් කෙනෙක්ද කියන දේවල් ඡන්දයක් දෙන්න කලින් බලන්න ඕන. හරි අවබෝධයක් නැති වුණොත් මේ පාරත් අමාරුවේ වැටෙන්නේ අපි.

 

ජනහිතකාමී නායකයෙක්

මීනු ගුණසිංහ - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

රටේ පත්වෙන නායකයා ජනහිතකාමී විය යුතුයි. ජනතාවගේ විහිළුවට ලක් නොවෙන ඍජු තීරණ ගන්න කෙනෙක් විය යුතුයි. ලංකාවේ මිනිස්සුන්ව හදන්න නම් විනය සහිත පාලකයෙක් අවශ්‍යයි. අපිට ඕනෙ හිට්ලර්ලා නෙවෙයි; ලංකාවට ගැළපෙන රට දියුණු කරන්න පුළුවන් නායකයෙක්. නව දැනුම සමඟ අපි ලෝකෙන් පසුගාමී වෙලා ඉන්න මොහොතක නව දැනුම එක්ක මිනිස්සු සංවර්ධනයකට ගෙනියන්න අවශ්‍ය පුද්ගලයෙක්ට ඡන්දය භාවිත කළ යුතුයි.

 

රටට ගැළපෙනම කෙනෙක්

අයන්ත ප්‍රනාන්දු - කොළඹ විශ්වවිද්‍යාලය-ශ්‍රීපාලි මණ්ඩපය

මේ දවස්වල කාටද ඡන්දය දෙන්නේ කියන ප්‍රශ්නය ගැන අපි නිතර කතා කරනවා. මූලිකවම ජනාධිපති අපේක්ෂකයන්ගේ දේශපාලන චාර්යාව දිහා තමයි මම බලන්නේ. මම කැමතිම කෙනා නෙවෙයි; රටට ගැළපෙනම කෙනයි බලන්න ඕන. ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්ති ගැනත් බලන්න ඕන. රට, රටේ සංවර්ධනය, රටේ ආරක්ෂාව, දේශපාලන බලපෑමකින් තොරව වෘත්තිකයන්ට තම වෘත්තිය නිදහසේ කටයුතු කිරීමට ඉඩ දීම ගැනත් මම හිතනවා.

 

හිතන් ඉන්න කෙනා ඒවි

කනිෂ්ක විජයරත්න - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

මේ වෙද්දි අලුත් අපේක්ෂකයෙක් ඕන කියන දේ පරණ වෙලා, පිළුණු වෙලා. සිස්ටම් එකේ චක්‍රෙ කැරකෙන විදිහ දැකලා දැකලා, ඒකෙන් බැට කාලා, හති වැටිලා ඉන්න ශ්‍රී "ලාංකේය පුරවැසියා" කියන ජීවියාට මේ පාර ජනාධිපතිවරණය තවත් එක ඡන්දයක් විතරක්මදෝ කියලා සමහර වෙලාවට හිතෙනවා. ජනාධිපතිලා ඒවි; හම්බුකරාවි; යාවි. අපි ඒ හැමදේම බලන් ඉඳීවි. ඡන්දෙත් දේවි. මිනිහා නොහදා රට හදන්න බෑ කිව්වා වගේ මොකා ආවත් අපට අපි නොවී අනාගතයක් හිතන්න බෑ කියලයි මට හිතෙන්නෙ. මේ පාර ඡන්දෙ ගැන හිතෙන දේ සාරාංශ කළොත් හිතන් ඉන්න කෙනා ඒවි. එහෙමයි කියලා ඕනෑවට වඩා හීන ගොඩගන්නැතුව ඉමු!

 

ප්‍රගතශීලි විකල්පයක්

විරන්ත දසනායක - මොරටුව විශ්වවිද්‍යාලය

තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක ජීවත් වන අපි මේ මොහොතේදිත් තෝරාගත යුත්තේ ප්‍රධාන ධාරාවේ තට්ටු මාරු දේශපාලනය නොවන බව තරුණයකු වශයෙන් මට දැනෙන හැඟීමයි. 225ක අවුලකින් පිළිබිඹු වන්නේද අප ජීවත්වන සමාජයේම හරස්කඩ නිරූපණයක් බව දැනගත යුතුය. විකල්ප කියන ෙද්වල් අහසින් පාත් නොවන නිසා අප තරුණයන් වශයෙන් කළයුතු වන්නේ මතු දිනක ජයග්‍රහණයෙන් කෙළවර වීම සඳහා වඩාත් ප්‍රගතිශීලී විකල්ප බලවේග මේ මොහොතේ ශක්තිමත් කිරීමයි. මේ දේශපාලනය විනාශ කරමින් පවතින්නේ ඔවුන්ගේ නොව අපගේ අනාගතයයි.

 

සියල්ල නිර්මාණය කරපු මත

තිමිර ෂැල්වින් - කැලණිය විශ්වවිද්‍යාලය

හැම කඳවුරකින්ම අදහස් වෙන්නේ මේක තීරණාත්මක කාලයක් කියලා.

ප්‍රධාන දේශපාලන ධාරාවේ කිනම් අපේක්ෂකයෙක් පත්වුවත් ඔවුන්ට නටන්නට සිදුවන්නේ ජාත්‍යන්තර දේශපාලන අධිකාරීත්වයේ බෙර තාල අනුව. තුන්වන ලෝකයේ රටකට එහෙම ස්වායත්තව ඉදිරියට යෑමේ හැකියාවකුත් නැහැ. සරලව කිවහොත් ප්‍රධාන ධාරාවේ සියලු අපේක්ෂකයන් නියෝජනය කරන්නේ ජනතාව වෙත අදිසි බලවේගයන් විසින් එන්නත් කළ අභිලාෂයන් ස්වල්පයක්. ඇත්තටම ජනතාවට එම අභිලාෂ තමන්ගේ සැබෑ අභිලාෂයන්ද කියන්න කිසි අවබෝධයක් නෑ. ඒ සියල්ල නිර්මාණය කරපු මත. මගේ අදහස නම් අප කළ යුත්තේ මෙම රික්තය පිරවීම. ඒකට සංවාද පැවැත්වීමත් ජනතාව සංවිධාන කිරීමත් කරන්න පුළුවන්. මේකට එල්ල වෙන ප්‍රබලතම විවේචනය වෙන්නේ එය ප්‍රායෝගික නැහැ කියන එක.

සුදු වෑන් නැති යුගයක්

උපේක්ෂා විමුක්තිනී - කැලණිය විශ්වවිද්‍යාලය

මගේ ඡන්දය පාවිච්චි කිරීම පුරවැසියකුගේ ප්‍රජාතාන්ත්‍රික අයිතියක්. මං මගේ දේශපාලන මතය ගොඩනඟාගන්නේ මගේ ජීවිතයේ ආකල්ප කෙරෙහි වඩා යහපත් සහ සාර්ථක විමසුමක් ඇතිවයි. ඒක මගේ පවුලේ පාරම්පරික පක්ෂ දේශපාලන මතය ඉදිරියට ගෙන යෑමක් හෝ මට නැරඹීමට ඇති ටීවී නාලිකාවලින් උපක්‍රමිකව කියන දෙයක් නෙවෙයි. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවට මාධ්‍යවේදීන් ඝාතනයට පෙලඹෙන දේශපාලනයකට, සිවිල් පුරවැසියන් ඝාතනයට පෙලඹෙන දේශපාලනයකට වචනයකින්වත් සහාය නොවීමට තරම් ශක්තිමත් ප්‍රතිපත්ති කෙරේ තමන්ගේ දේශපාලන මතය ගොඩනඟා ගැනීමේදී සැලකිලිමත් විය යුතු බව මම තරයේ විශ්වාස කරනවා. දේශපාලකයන්ගේ නීතිවිරෝධී පුරවැසිබව ප්‍රශ්න කළ සිවිල් පුරවැසියන් සුදු වෑන් යවා ඝාතනය කළ යුතු බවට ජනතාව ඉතා නොබියව කියා තිබුණා. එයින් ප්‍රකට වන එක් කරුණක් තමයි ඔවුන් සුදු වෑන් අනුමත කරන බව.

 

මූණු මාරු කරලා වැඩක් නෑ

ප්‍රදීප් චමින්ද බණ්ඩාර - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

අවුරුදු ගාණක් පුරා අපි කළේ අපිව පාලනය කරන්න කවුරු හරි තෝරාගන්න එක. මූණට මූණක් මාරු කරලා තව මූණක් ගේන එක තමයි අපි කළේ. ඡන්දය පාවිච්චි කරලා අපි කරන්නෙ අපිව සූරාකෑමට කාවහරි කෙනෙක් ගේන එක. ධනවාදී ක්‍රමේ ඇතුළෙ පාලකයො කවදත් මැදිහත් වුණේ එයාලගෙ පන්තිය වෙනුවෙන්. කවුරු ආවත් වෙන්නෙ අහිංසක මිනිස්සු තැෙළන එක. මූණු මාරුවකින් ප්‍රශ්න විසඳන්න බෑ. තරුණයන් විදියට අපිට වගකීමක් තියෙනවා; මේ ක්‍රමය වෙනස් කිරීමට මැදිහත් වීම. විකල්පය තුළින් සමාජ ක්‍රමය වෙනස් කිරීමටයි හිතන්න ඕනෙ.

 

දෙපාරක් හිතන්න වෙලා

තිළිණි භාග්‍යා - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ඡන්දය ප්‍රකාශ කිරීම ඕනෑම පුරවැසියකුගේ අයිතිවාසිකමක්. එය භාවිත කරනවද නැද්ද කියලා තීරණය කිරීමත් මට අයිති කාරණයක්. එක ඡන්දයකින් ලෝකයක් කණපිට පෙරළන්න පුළුවන්. මගේ මතය අනුව කවුරු හෝ මෙවර ඡන්දය අවලංගු කරනවා කියන්නේ ඒ මනුස්සයා අවංකවම දේශපාලන පක්ෂ හෝ ඒ අපේක්ෂකයන් පිළිබඳ සෑහීමකට පත් නොවී තිබීම. කොහොම වුණත් මගේ හෘද සාක්ෂියට අනුව මෙවර ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ කාටද කියන එක දෙවරක් සිතිය යුතු දෙයක් වෙලා. හේතු ගණනාවක් තියෙනවා. ළඟම හේතුව පාස්කු ප්‍රහාරය. එවැනි ප්‍රශ්නයක් නිසියාකාරව විසඳගන්න බැරි දේශපාලකයන්‍ටද ඡන්දය දිය යුත්තේ? ඒක බරපතළ ප්‍රශ්නයක්. මම ඡන්දය භාවිත කරනවා. මිනිස්සුන්ගෙ මළ කඳන් මතින් උඩට එසවුණු නොමිනිසුන් වෙනුවෙන් නෙවෙයි; මනුෂ්‍යත්වය වෙනුවෙන් හඬ නඟන දේශපාලනයක් වෙනුවෙන් අපි ඡන්දය භාවිත කළ යුතු බවයි මගේ අදහස.

 

[සසංකා විතානගේ]

මාතෘකා