අට වැනි ජනපති තෝරන සටන

 ඡායාරූපය:

අට වැනි ජනපති තෝරන සටන

අට වැනි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ගැනීම ඊයේ (07) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41ක් දෙනකු ඇප මුදල් තැම්පත් කර තිබූ අතර පිළිගත් දේශපාලන පක්ෂ 19ක, ස්වාධීන කණ්ඩායම් 19ක සහ වෙනත් පක්ෂ 3ක අපේක්ෂකයින් ඒ අතරට අයත්ය.

ඊයේ (07) උදෑසන නාම යෝජනා භාර දීමට පෙර අදාළ අපේක්ෂකයින් අනුගමනය කළ යුතු කරුණු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට පැහැදිලි කළේය. පෙරවරු 9 සිට 11 දක්වා කාලය තුළ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමේ කටයුතු සිදුවිය. ඇප මුදල් තැම්පත් කළ අනුපිළිවෙලට ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරගත් අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා, ජනාධිපති නීතීඥ නලින් අබේසේකර මහතා සහ මහාචාර්ය රත්නජීවන් හූල් මහතා විසින් නාමයෝජනා බාරගැනීමේ කටයුතු සිදු කරන ලදී.

පෙරවරු 11ට 2019 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර බාරගැනීමේ කටයුතු අවසන් කළ අතර ඇප මුදල් තැම්පත් කළ අපේක්ෂකයන් 41 දෙනාගෙන් 35 දෙනෙකු නාමයෝජනා පත්‍ර බාරදුන් අතර අපේක්ෂකයන් 6 දෙනෙකු ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර බාර දී නොමැත.

ඉන්පසුව පෙරවරු 11 - 11.30 දක්වා කාලය ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරදීම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා වෙන් වුණු අතර එම කාලය තුළ නාමයෝජනා සඳහා විරෝධතා දෙකක් ඉදිරිපත් වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් පැවසීය.

ඉන්පසුව ජනාධිපතිවරණ සම්බන්ධයෙන් පුරවැසියන් අනුගමනය කළ යුතු නීති රීති, ආචාර ධර්ම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැනුවත් කිරීමක් සිදු කළේය. ජනාධිපතිවරණ අපේක්ෂකයන්, දේශපාලකයන් සහ ඔවුන්ට සහාය දක්වන ආධාරකරුවන් පිළිපැදිය යුතු නීති, පොදු ජනතාව පිළිපැදිය යුතු නීති, අපේක්ෂකයින් සහ දේශපාලකයන් සඳහා වන ආචාර ධර්ම, මාධ්‍ය උපමාන (ආචාරධර්ම), සමාජ ජාලාවල තොරතුරු හුවමාරු කරගැනීමේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම සහ නීති විරෝධී ක්‍රියා සිදු කිරීමෙන් ලැබෙන දඩුවම් පිළිබඳව එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එහිදී පැහැදිලි කළේය. ජනාධිපතිවරණය කිසිදු බාධාවකින් තොරව නිදහස්ව සාධාරණ හා නිවැරදිභාවයෙන් යුතුව විශ්වසනීයව පැවැත්වීමට මෙම නීති රීති හා ආචාරධර්ම පිළිපදින ලෙස මහින්ද දේශප්‍රිය මහතා සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර බාරදීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටත අපේක්ෂකයින් ජනතාව විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

නාමයෝජනා බාරදුන් ජනපති අපේක්ෂකයන්

1. සමරවීර වීරවන්නී මහතා

2. ජයන්ත කැටගොඩ මහතා

3. බත්තරමුල්ලේ සීලරතන හිමි

4. අජන්තා විජේසිංහ පෙරේරා මහත්මිය

5. සමන්සිරි හේරත් මහතා

6. ඒ.එස්. පී. ලියනගේ මහතා

7. එම්. කේ. සිවාජිලිංගම් මහතා

8. සමන් ප්‍රසන්න පෙරේරා මහතා

9. සිරිපාල අමරසිංහ මහතා

10. බැද්දේ ගමගේ නන්දමිත්‍ර මහතා

11. සරත් විජිතකුමාර කීර්තිරත්න මහතා

12. අශෝක වඩිගමංගාව මහතා

13. දුමින්ද නාගමුව මහතා

14. ප්‍රියන්ත මුනිහත් එදිරිසිංහ මහතා

15. ආරියවංශ දිසානායක මහතා

16. අජන්ත ද සොයිසා මහතා

17. චමින්ද අනුරුද්ධ මහතා

18. මිල්රෝයි සර්ජියස් ප්‍රනාන්දු මහතා

19. අහම්ඩ් හසන් මොහොමඩ් අලවි මහතා

20. රොහාන් පල්ලෙවත්ත මහතා

21. නාමල් රාජපක්ෂ මහතා

22. අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි

23. වජිරපානි විජේසිරිවර්ධන මහතා

24. අනුර කුමාර දිසානායක මහතා

25. අරුණ ද සොයිසා මහතා

26. එම්.එල්.ඒ. හිස්බුල්ලා මහතා

27. ඉල්ලියාස් අයිද්රූස් මොහොමඩ් මහතා

28. බෂීර් සේගුදාවුද් මහතා

29. පියසිරි විජේනායක මහතා

30. රජීව විජේසිංහ මහතා

31. සරත් මනමේන්ද්‍ර මහතා

32. සුබ්‍රමනියම් ගුණරත්නම් මහතා

33. සජිත් ප්‍රේමදාස මහතා

34. ගෝඨාභය රාජපක්ෂ මහතා

35. මහේෂ් සේනානායක මහතා

[නිර්මාණි බණ්ඩාරනායක]

ඡායා [විමල් කරුණාතිලක]

[වාසිත පටබැදිගේ]

[හිරන්ත ගුණතිලක]

මාතෘකා