ජනාධිපතිවරණ ඉතිහාසයේ දිගම ලැයිස්තුව

 ඡායාරූපය:

ජනාධිපතිවරණ ඉතිහාසයේ දිගම ලැයිස්තුව

ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගැනීම ඊයෙ හත්වැනිදා නිමවූයේ ඉතිහාසගත වාර්තාවක් තබමින් බව කවුරුත් දනිති. ලබන මස 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 41 දෙනකු ඇප මුදල් තැන්පත් කළ අතර ඉන් ඉන් තිස්පස් දෙනකුනාම යෝජනා භාර දී ඇති වගද අපි දනිමු.

ජනපතිවරණයට මේ තරම් අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වූයේ මන්ද? එය මේ රටේ කොයි කාටත් ප්‍රශ්නයක් බව සහතිකය. 1948දී මෙරට ඉංග්‍රීසින්ගෙන් නිදහස් ලැබූවද ඉන් අනතුරුව මෙරටට හඳුන්වා දුන් දේශපාලන ක්‍රමය නිසා රටත් රටේ මිනිසුනුත් මහා නරකාදියට වැටී ඇති වග ඉතා පැහැදිලිය. ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 41 නෛක් ඇප බැඳ ඉන් 35 දෙනකු ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීම විශේෂ තත්ත්වයක් ලෙස සැලකීම වරදක්ද නොවේ. ඇතැම් විට මෙය ප්‍රජාතන්ත්‍රවාදය ලෙසද යමකුට දැනෙන්නට හැකි වුවද මේ අපේක්ෂක ප්‍රමාණය ඉහළ යෑම නිසා ජනාධිපතිවරණය සඳහා යන වියදම රුපියල් කෝටි හාරසීයේ සිට කෝටි පන්සීය දක්වා වැඩිවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා තිබිණි.

ඇත්තටම මෙතරම් අපේක්ෂකයන් පිරිසක් ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම නිසා ජනාධිපතිවරණය පැවැත්වීමට යන වියදම රුපියල් කෝටි සියයකින් ඉහළ යන්නේ නම් ඒ බරත් පතිත වන්නේ ජනතා හිස මතය.

එළඹෙන ජනාධිපතිවරණයට තරග කරන මේ පිරිස මේ රටේ ජනාධිපති වී සිය දේශපාලන දැක්ම හා ප්‍රතිපත්ති මත රටත් රටේ ජනතාවත් ගොඩනඟන්නට සිතා තරග කරන්නේ දැයි ඒ අයම ඔවුන්ගේ හෘද සාක්ෂියෙන් විමසීම වටී.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් තිස්පස් දෙනාගෙන් කී දෙනකුට දේශපාලන දර්ශනයක්, දැක්මක් තිබෙන්නේදැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධානද විමසා සිටියි. ඇතැමුන් ඇප මුදල් තැන්පත් කර නාමයෝජනා භාරදී ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම හරහා ලැබෙන වරප්‍රසාද හා දේශීය විදේශීය දේශපාලන වාසි තකා යැයිද සිවිල් සංවිධාන රැසක්ම චෝදනා එල්ල කර ඇත.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සියලුම අපේක්ෂකයන්ට සමාන ගුවන් කාලයක් හිමිය. තැපැල් පහසුකම්, ආරක්ෂාව, ඡන්දපොළ නිරීක්ෂණය වැනි කටයුතුද එපරිදිම උරුමය. එපමණක්ද? රටක ජනාධිපතිවරණයකට තරග කිරීම දේශපාලන වාසිවලට නියම පාරකි. අවශ්‍ය නම් දේශපාලන රැකවරණද ලබාගැනීමට මෙයම හේතුවක් කර ගත හැකිය. නිදහස් ශ්‍රී ලංකාව තුළ කිහිපවරක්ම ජනාධිපතිවරණයට තරග කළ අයද මේ තිස් තිස් පස් දෙනා අතර සිටිති. දේශපාලන පක්ෂවලින් තරගවදින අපේක්ෂකයකු රුපියල් 50,000ක මුදලක්ද ස්වාධීන අපේක්ෂකයකු රුපියල් 75,000ක මුදලක්ද මුදලක්ද ඇප ලෙස තැන්පත් කළ යුතුය. ඇප නැතත් කමක් නැතැයි සිතා ජනාධිපතිවරණයට තරග කරන්නට තීරණය කර ඇත්දැයි අපි නොදනිමු.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණය අපේ රටට ඉතා තීරණාත්මක ලෙස බලපාන වග සහතිකය. 1977 මහ මැතිවරණයෙන් පසු 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනැවිත් ජේ. ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ධුරය ඇති කළ පසු ජේ. ආර්. සමඟ තවත් හය දෙනකු මෙකී විධායක ජනාධිපති පුටුවේ වාඩි කරවීමට ජනතාව සිය කතිරය භාවිතා කළ බව සැබැවි. 78 ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය කර ප්‍රථම විධායක ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන දෙවරක්ම මෙරට විධායක ජනාධිපති ලෙස කටයුතු කළේ එහි බලය රටට පෙන්වමිනි. විධායක ජනාධිපතිට කළ නොහැක්කේ ගැහැනියක පිරිමියකු කිරීමත් පිරිමියකු ගැහැණියක කිරීමත් පමණකැයි ජේ. ආර් කී කතාව සහතික ඇත්තකි. ඊට පසුව විධායක ජනාධිපති පුටුවේ වාඩිවූ ආර්. ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ධුරය දිගටම ආරක්ෂා කරගත්තේ ඒ මහා බලයේ අනුහසිනි. දෙදහස් පහළොවේදී බලයට පැමිණි වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් සියලු පක්ෂවල සහයෝගය ඇතිව ව්‍යවස්ථා සංශෝධනය හරහා එහි බලතල අඩු කර දමන්නට ක්‍රියා කළේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමිනි. නමුත් අදටත් මේ විධායක ජනාධිපති ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අවසන්ව නොමැති නිසා මෙවර ජනාධිපතිවරණයේදී එම අවශ්‍යතාවද ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කෙලින් සිට ගනිමින් මැතිවරණ නීති රීති සිහි කළ අපූරුව අපි දුටිමු. නමුත් මේ රටේ මැතිවරණ ඉතිහාසය හාරා බලද්දී නම් අපට මේ ජනාධිපතිවරණ සමය පිළිබඳවද සහතික දිය විය නොහැකිය. පූර්ව මැතිවරණ හා මැතිවරණ අවසානයේදී ගම්බිම් පුරා ගලා යන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නවතාලීමට පියවර ගත යුතුව ඇත. එකදු හෝ මිනිසකුටවත් හානියක් සිදු නොවන පරිදි මැතිවරණය පැවැත්වීමටද සියලු දේශපාලන පක්ෂ මෙන්ම ජනතාවද වගබලා ගත යුතුය.

මෙරට දේශපාලන ඉතිහාසය තුළ ජනාධිපතිවරණයක් සඳහා අපේක්ෂකයන් තිස් පස් දෙනකු තරග වදින මේ ජනාධිපතිවරණයෙන් පසුවවත් ජනතාවට ජයග්‍රහණය හිමි වෙන්නේ නම් කොපමණ හොඳද? විධායක බලතල යම් පමණකට කපා දමා තිබෙන ජනාධිපතිවරණයෙන් පසුව විධායකය අහෝසි කරන බවට පාරම්බාන දේශපාලන පක්ෂත් අපේක්ෂකයනුත් ලබන 17 වැනිදායින් පසු මේ අහිමි වූ විධායක බලතල යළි ලබා ගන්නට උත්සාහ කළද එයද පුදුමයට කරුණක් නොවනු ඇත. කෝටි ප්‍රකෝටි ගණන් වැයකර පවත්වන ජනාධිපතිවරණයෙන් පසුව වුවත් ජනතාවට සාධාරණයක් ඉටුවිය යුතුව ඇත. නොමැති නම් මේ රටටත් රටේ ජනතාවටත් හෙටක් නැතැයි අපගේ වැටහීමය.

[ශිරාන් රණසිංහ]

මාතෘකා