ජනාධිපතිවරණ ඉතිහාසයේ තරගයක් නැති තුන්වැනි අපේක්ෂකයා

 ඡායාරූපය:

ජනාධිපතිවරණ ඉතිහාසයේ තරගයක් නැති තුන්වැනි අපේක්ෂකයා

ජනාධිපතිවරණ සටන මුහුණට මුහුණ පටන්ගෙන තිබේ. මීට පෙර ජනාධිපතිවරුන් තෝරා පත් කර ගැනීමේ මැතිවරණ හතක්ම පවත්වා තිබෙන අතර මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගත වන්නේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වූ ජනාධිපතිවරණය ලෙසය. 1982 පැවැති පළමු ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 6ක් ඉදිරිපත් විය. මීට පෙර වැඩිම පිරිසක් ඉදිරිපත් වූයේ 2010දීය. ඒ අපේක්ෂකයන් 22කි.

මෙවර ජනාධිපතිවරණයට සිව්වැනි වතාවට ඉදිරිපත් වන සිරිතුංග ජයසූරිය මහතා විශේෂ වන්නේ වැඩිම වාර ගණනක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා ලෙසය. මෙරට ජනාධිපතිවරණ ඉතිහාසය පිරික්සන විට දකින්නට ලැබෙන සුවිශේෂ තත්ත්වය වන්නේ එය හැම අවස්ථාවකම පාහේ අශ්වයන් දෙදෙනකුගේ තරගයක් බවට පත්ව තිබෙන බවය.

කෙටියෙන්ම කීවොත් තුන්වැනි අපේක්ෂකයාට ඇත්තේ අඩු ලංසුවකි.

ජනාධිපතිවරණ 7ක් දෙස අවධානය යොමු කරන විට ඒ බව පසක් වෙයි.

1982 පැවැති මෙරට පළමු ජනාධිපතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඡන්ද 3,450,811ක් ලබා ගත් අතර එය 52.91%ක ප්‍රතිශතයකි. හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ අතර ඡන්ද 2,548,438ක් ලබා ගත්තේ 39.07%ක ප්‍රතිශතයක් ලබමිනි. රෝහණ විජේවීර මහතා සීයට 4.19ක ප්‍රතිශතයක් ලබා ගත්තේ ඡන්ද 273,428ක් ගනිමිනි. සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජනය කළ කුමාර් පොන්නම්බලම් මහතා එවර 2.67%ක ප්‍රතිශතයක් ලැබීය.

ඒ අනුව එවර තුන්වැනි අපේක්ෂකයා බරපතළ තරගකරුවෙක් වූයේ නැත.

"මේ කවුද මොනවද කරන්නේ" හිසින් යුත් පෝස්‌ටරයක්‌ එක්‌ රැයකින් රට පුරා ඇලවීමෙන් 1988 ජනාධිපතිවරණ සටන ආරම්භ කළ රණසිංහ ප්‍රේමදාස එම මැතිවරණය ජය ගත් අතර ප්‍රධාන අපේක්‌ෂකයන් වූයේ රණසිංහ ප්‍රේමදාස - එ.ජා.ප, සිරිමාවෝ බණ්‌ඩාරනායක- ශ්‍රීල.නි.ප, ඔසී අබේගුණසේකර- ශ්‍රීල.ම.ප යන අයයි. එහිදී රණසිංහ ප්‍රේමදාස ඡන්ද 25,69,199ක් ලබා ගත් අතර ප්‍රතිශතය 50.43%ක් විය. සිරිමාවෝ බණ්‌ඩාරනායක ඡන්ද 22,89,960 ගත්තේ 44.95%ක ප්‍රතිශතයක් ලබමිනි.

තෙවැන්නා වූ ඔසී අබේගුණසේකර ඡන්ද 2,35,719ක් ගත් අතර ප්‍රතිශතය 4.63%ක් විය.

එවරද ප්‍රධාන දෙදෙනාට වඩා ගව් ගාණක් දුරින් තෙවැන්නා සිටියේය.

1994 වසරේ යළි ජනාධිපතිවරණ සටනක් පැවැති අතර මෙතෙක් ඉතිහාසයේ පැවැති ජනාධිපතිවරණ එකක් හැර අනෙක් සියලු ජනාධිපතිවරණයන්වල ජයග්‍රහණය කළ අපේක්ෂකයා 60% ජන්ද ප්‍රතිශතය ඉක්මවා යෑමට සමත් වී නැත. ජයග්‍රහණය ලැබූ අපේක්ෂකයා 60%ක ජන්ද ප්‍රතිශතය ඉක්මවා යෑමට සමත්වෙන එකම ජනාධිපතිවරණය වන්නේ 1994 වසරේ පැවැති ජනාධිපතිවරණයයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ලබාගත් ජන්ද ප්‍රමාණය 47,09,205කි. එය ප්‍රකාශිත ජන්ද ප්‍රමාණයෙන් 62.28%කි. ශ්‍රීමතී දිසානායක ලබා ගන්නේ ජන්ද 27,15,283කි. එය ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 35.91%කි. තෙවැනි වශයෙන් හඩ්සන් සමරසිංහ ලබා ගත්තේ සීයට 0.78ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

තෙවැනි අපේක්ෂකයා ඉතාම දුර්වල තැනකට පත් වූ ජනාධිපතිවරණයක් ලෙස එය වාර්තාගතය.

1999 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග ඡන්ද 43,12,157ක්‌ සහ රනිල් වික්‍රමසිංහ ඡන්ද 36,02,748ක්‌ ලබා පිළිවෙළින් සීයට 51.12න් 42.71ක් ඡන්ද ලබද්දී තෙවැනි ස්ථානයට හිමිකම් කියූ නන්දන ගුණතිලක ලැබූ ඡන්ද ප්‍රතිශතය 4.08ක් විණි.

2005 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගත්තේ සීයට 50.29ක ප්‍රතිශයක් ලබා ගනිමිනි. ඔහු ඡන්ද 48,87,152ක් ලබා ගත්තේය. රනිල් වික්‍රමසිංහ ඡන්ද 47,06,366ක් ලැබුවේ 48.43ක ප්‍රතිශතයක් ලබමිනි. තෙවැනි අපේක්ෂකයා වශයෙන් සිරිතුංග ජයසූරිය ලැබූයේ සියයට 0.36ක් පමණි.

2010 වසරේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූයේ මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකාය. ඔවුන් දෙදෙනා පිළිවෙළින් සීයට 57.88ක් හා සීයට 40.15ක් ඡන්ද ලබද්දී තෙවැනියා වශයෙන් මොහොමඩ් කාසීම් මොහොමඩ් ඉස්මයිල් නමැති අපේක්ෂකයාට හිමි වූයේ සීයට 0.38ක ඡන්ද ප්‍රතිශතයකි. තවත් අයැදුම්කරුවන් 19ක් එවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියහ.

2015 වසරේදී පැවති අවසන් ජනාධිපතිවරණයේදීද තෙවැනි අපේක්ෂකයා එතරම් බලපෑමක් කළේ නැත. එහිදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 62,17,162ක් ලබා සීයට 51.28ක ප්‍රතිශතයක් ලබා ජය ගනිද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි වුණේ සීයට 47.58ක ඡන්ද ප්‍රතිශතයකි. ඡන්ද 57,68,090ක් ඔහු ලබා ගත්තේය. තෙවැන්නා වූයේ රත්නායක ආරච්චිගේ සිරිසේන නමැත්තාය. ඔහුගේ තෝරා ගැනීම මෙරට මැතිවරණ ඉතිහාසයේ එක්තරා අපුල සිදුවීමක් විය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණ ඉතිහාසයේ තෙවැනි අපේක්ෂකයා ලබා තිබෙන තත්ත්වය එතරම් සුබදායක නැත.

නමුත් මෙවර කුමක් වෙයිද කියා තවමත් අනාවැකි කිව නොහැක.

[දමිත් දිසානායක]

මාතෘකා