අර්බුද සහ නඩු මැද ජනපති සටන ඇවිළේ

 ඡායාරූපය:

අර්බුද සහ නඩු මැද ජනපති සටන ඇවිළේ

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයන් පසුගිය සති කිහිපයේදී තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ පූර්ව කටයුතු ආරම්භ කළත් පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට නොයෙක් බාධක මතුවෙමින් තිබුණේය. ඒ ශ්‍රී ලංකා පුරවැසිභාවය අහෝසි කරගෙන ඇමෙරිකානු පුරවැසිභාවය පමණක් ලබා ගත් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ අධිකරණ ක්‍රියාමාර්ග නිසාය.

පසුගිය සතියේම රාජපක්ෂ පවුලේ අවධානය යොමු වී තිබුණේ යම් හෙයකින් ගෝඨාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වුවහොත් ගන්නා ක්‍රියාමාර්ගය කෙරෙහිය. ඒ සඳහා චමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීම පිළිබඳවත් අවධානය යොමු වී තිබූණේ සති අන්තයට පෙර ඔහු ඉදිරිපත් කිරීම සඳහා වන ඇප මුදල් තැන්පත් කළ යුතු බව කියමිනි. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වී තිබුණේ ගෝඨා ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනු දැකීමය.

"ගෝඨා එන එක හොඳයි. ගෝඨාට ගහන්න ඕන තරම් දේවල් තියෙනවා. දැන් ඔය ගෝඨා තමන්ට නඩු දානවා කියලා කියනවානේ. මේවායේ තියෙන්නේ මොනවාද කියලා බලන්න. මේ නඩු දිහා බැලුවම අපේක්ෂකයාගේ තරම තේරෙනවා." එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් හමු වූ විට කියන්නේ එවැන්නකි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවමත් තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබද අවසන් තීරණයක් ගැනීමට හැකියාවක් ලැබී නැත. ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබද තීරණය කිරීමට පෙර ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න ගැනවත් අවසන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාවක් ලැබී නැත. තීරණයක් නොමැතිව අවසන් වන මධ්‍යම කාරක සභා රැස්වීම් පවත්වමින් තීරණය කල් දමන විට රාජපක්ෂවරු විවේචනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සිටි කුමාර වෙල්ගම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් සිටින්නේය. ඔහු සිකුරාදා දිනයේදී ඇප තැන්පත් කිරීමේ අපේක්ෂාවෙන් සිටී. එසේ වුවහොත් ඔහුට තරග කිරීමට සිදු වන්නේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසය.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ගැනීමට සාකච්ඡා කිහිපයක් පැවැත්වුවත් ඒ සියල්ලම අවසන් වූයේ සාර්ථක එකඟතාවකින් තොරවය. පසුගිය සතියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කැඳවනු ලැබ තිබුණේ මේ ගැන සාකච්ඡා කිරීමටය. මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර චීන ජාතික දින සැමරුම් උත්සවයට සහභාගී වූ ජනාධිපතිවරයා එතැන සිටි පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකරද කැඳවාගෙන පැමිණියේය.

මධ්‍යම කාරක සභාවට පෙර තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාගේ නිවසේද සාකච්ඡාවක් පැවැත්වුණේ මන්ත්‍රීවරු කිහිපදෙනකුගේ සහභාගීත්වයක් ඇතිවය. තිලංගගේ වැඩි කැමැත්තක් තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි තීරණයක් ගන්නවාටය.

"අපි පක්ෂයක් ලෙස ගන්නා තීරණය සමඟ ඉඳිමු. පක්ෂය හැර දාලා කවුරුවත් යන්න එපා. ඒ වගේම මේ වෙලාවේදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගත යුතුයි." තිලංග කීවේය.

මේ සාකච්ඡාව අවසන් කළ තිලංග ඇතුළු පිරිස මධ්‍යම කාරක සභා රැස්වීමට පැමිණියේය.

"ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දීමට තිබෙන්නේ තවත් දවස් කීපයයි. පොහොට්ටුව සමඟ එකතු වෙන්න කියන ආරාධනාව අපිට තිබෙනවා. ඒ වගේම පොහොට්ටුව ලකුණින් තරග කරන අපේක්ෂකයකුට සහාය ලබා දෙන්න බෑ කියලා අපේ සමහරු කියනවා. මේ සම්බන්ධයෙන් අපිට අවසන් තීරණයක් ගැනීමට සිදු වෙනවා. පක්ෂයක් විදියට අපි මේ ගැන තීරණයක් ගත යුතුයි." ජනාධිපතිවරයා කීවේය.

පොහොට්ටුවට එක්වෙන්න දුමින්දගේ විරෝධය

"පොහොට්ටුවේ ලකුණින් තරග කරනවා නම් අපිට සහාය ලබා දෙන්න බෑ. පොහොට්ටුව ලකුණ වෙනස් කරලා පොදු ලකුණකින් තරග කරනවා නම් අපිට සහාය ලබා දෙන්න පුළුවන් කියලා අපි දැනටමත් කියලා තියෙන්නේ." දුමින්ද දිසානායක පොහොට්ටුව සමඟ එකතු වීමට දැඩි විරෝධයක් දැක්වූවේය.

"දැන් අපේ පක්ෂයේ අය පොහොට්ටුටවත් එක්ක එකතු වෙන්න ඕන කියලා කියනවා. පක්ෂය ඇතුළේ තනතුරු තියාගෙන ඉන්න අයත් මේ වගේ අදහස් දක්වනවා." මධ්‍යම කාරක සභාවේදී විරෝධයක් මතු වූයේ රංජිත් සියඹලාපිටිය ඉලක්ක කරගෙනය.

"මම ශ්‍රී ලංකාකාරයෙක්. උපාධිධාරී සංගමය කියන්නේ වෘත්තීය සමිතියක්. මා ප්‍රකාශ කළේ සංවිධානයේ ඒකමතික මතයයි. පක්ෂය ආරක්ෂා වන මතය හෙළි කරනවා හැර එහෙයියෝ වෙන්න අපි සූදානම් නෑ." රංජිත් සියඹලාපිටිය කීවේය.

මේ අතර මලිත් ජයතිලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්ව ඇති ඉරණම පිළිබද කරුණු දැක්වූයේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමිනි.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මහා වෘක්ෂය දැන් ඇදවැටිලා තියෙන්නේ." මලිත් ජයතිලක කීවේය.

"ඒ වුණාට අපි පොහොට්ටුවේ එල්ලෙන්න ඕනෑ නෑ. අපිට ගිහින් පොහොට්ටුවේ වැඩ කරන්න බෑ. ඒ පාක්ෂිකයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හරින්න බෑ." ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයා කීවේය

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපිට අපේ අනන්‍යතාවයක් තිබෙනවා. මේ අනන්‍යතාවය නැතිකර ගන්නේ නැතිව අපිට යන්න බෑ." දුමින්ද කීවේය.

මේ සමඟ මධ්‍යම කාරක සභා රැස්වීම මහා ගාලගෝට්ටියක් බවට පත්වූ අතර එය අවසන්වූයේ එකඟතාවකින් තොරවය.

මෛත්‍රී - මහින්ද - සජිත් රහස් කතා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකර සිටින ජනාධිපතිවරයා පසුගිය සතියේදී රහස් දේශපාලන සාකච්ඡා කිහිපයක් පැවැත්වූවේය. ඔහු එක් සාකච්ඡාවක් පැවැත්වූයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමඟය. රහසිගත සාකච්ඡාවක් වූ එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ සිටින ඇමැතිවරුන් කිහිපදෙනෙක් සහභාගී වී සිටි නමුත් ඔවුන් කිසිවෙක් මේ සාකච්ඡාව ගැන කතා නොකිරීමට වගබලා ගත්හ.

මේ අතර ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමඟද සාකච්ඡාවක් පැවැත්වීය. මහින්ද සමඟ සාකච්ඡා කරන විට බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂද මහින්දගේ දෙපසින් විය. ඒ සාකච්ඡාවද තීරණයකින් තොරව අවසන් වූ අතර අවස්ථා තුනකදී ජනාධිපතිවරයා බැසිල් සමඟ සාකච්ඡා කර තිබුණි.

ජනාධිපතිගෙන් පොලිසියට උපදෙස්

ජනාධිපතිරවයා පසුගිය සතියේදී පොලිස් නිලධාරීන් හමු විය. ඒ මැතිවරණයේදී පොලිසිය කටයුතු කළ යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීමටය.

"මැතිවරණයේදී ස්වාධීනව කටයුතු කරන්න. චෝදනා එන විදියට වැඩ කරන්න එපා" ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

රනිල්ට සුබපැතුම්

සජිත්ගේ අපේක්ෂකත්වයට දැවැන්ත ජාතික සහ ජාත්‍යන්තර සුබපැතුම් ගලා එද්දී පක්ෂය එක්සේසත් කරන්නට එකී තීන්දුවට මූලිකත්වය ගත් අගමැති රනිල්ටද දැවැන්ත සුබපැතුම් ගලා එන්නට විය.

අනතුරුව පසුදා සිටම දිනපතා රනිල් සහ සජිත් උදේ පාන්දරින්ම හමු වී මැතිවරණ ව්‍යාපාරය සැලසුම් කිරීමට අදාළ තීරණාත්මක සාකච්ඡාවලට එක් වූහ. එහිදී ගන්නා තීන්දු තීරණ සජිත් විසින් එජාප පක්ෂ නායකයන් ඇතුළු ඡන්ද ව්‍යාපාරයට අදාළ මෙහෙයුම් මණ්ඩලවලද දැනුම්දී එය ක්‍රියාත්මක කරවන්නට විය. සෑම දිනකම සජිත් ඇමති මංගලගේ නිවසට ගොස් දෙස් විදෙස් මාධ්‍යකරුවන් හමුවේ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් සිය ප්‍රතිපත්ති සහ ස්ථාවරයන් එළිදැක්වීම මෙන්ම එජාපය හැරගිය පිරිස් මෙන්ම සෙසු පක්ෂවල සාමාජිකයන්ද ඔහු වටා පෙළගැසෙන අයුරු ලෝකයටම ප්‍රදර්ශනය කළේය. පසුගිය දින කිහිපය පුරා නාවින්න, නියෝමාල් පෙරේරා, ඒකනායක මෙන්ම මෙරට වාමාංශික දේශපාලනයේ වසර 70ක ප්‍රබලයකු ලෙස සිටි අතාවුද සෙනෙවිරත්නද සජිත් වටා රොක් වීම විශේෂත්වයක් විය.

"තවම මේ කසකාරයන් පමණයි. මීටත් වඩා ලොකු සෙල්ලම් ඉදිරියේදී පෙනේවි. අපිත් එක්ක එකතු වෙන්න වැඩියෙන්ම උනන්දු වෙන්නේ පොහොටුවේ අයයි." සජිත් නිතරම කියන්නේ එවැන්නකි.

"මම සමාජවාදියෙක්. මේ රටේ දශක ගණනක දේශපාලන අත්දැකීම් මට තියනවා. දැනට රට තුළ සිටින වඩාත්ම ජනතාවාදී පොළොවේ පය ගැසූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදියා සජිත් ප්‍රේමදාස නිසයි මගේ සහාය ඔහුට ලබා දෙන්නේ." අතාවුද සෙනෙවිරත්න සජිත්ට ලබා දුන්නේ එවැනි අති විශිෂ්ට දේශපාලන සහතිකයකි.

එදිනම තවත් පක්ෂ 16ක් සජිත් හා එකතු වූ අතර සුළු ජාතික පක්ෂ ගණනාවක්ද සිටීම විශේෂත්වයක් විය. එසේම 2015දී රාජපක්ෂ කඳවුරට සහාය පළකළ එජාප ප්‍රබලයකු වන තිස්ස අත්තනායකද සජිත්ට සහාය පළ කිරීම ඔහු ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් සේ සැලකේ. තිස්ස සජිත්ගේ මැතිවරණ මෙහෙයුම් කළමනාකරු ලෙස දැවැන්ත වගකීමකින් පිදුම් ලැබීමද විශේෂත්වයක් විය.

පක්ෂ සම්මේලනය

බ්‍රහස්පතින්දා එජාපයට තවත් විශේෂ දිනයක් විය. ඒ, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සම්මත කරන ලද සජිත්ගේ එජාප ජනාධිපති අපේක්ෂකත්වය අනුමත කිරීමේ විශේෂ සමළුව සුගතදාස ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට තිබූ බැවිනි. රනිල් - සජිත් හමුව එදිනද උදේ අරලියගහ මැදුරේදී පැවැති අතර අගමැතිවරයා අනතුරුව කතානායකවරයා හමුවීමට එම නිල නිවසට යෑමට සැලසුම්කොට තිබිණ.

"මම සම්මේලනයට එන්නේ ඊට පස්සේ. සජිත් දැම්මට පස්සෙ විශාල පිබිදීමක් රට පුරා තියෙනවා. මුලින්ම ඉල්ලනකොටම දැම්මා නම් මේ වෙනකොට ගෝඨාගෙ හුළං බැහැලාම ගියා වගේ සජිත්ගෙත් හුළං ටිකක් හරි අඩු වෙන්න තිබුණා. සමහර දේශපාලන උපක්‍රම බොහෝ දෙනකුට තේරෙන්නෙ නෑ." අගමැතිවරයා කීය.

"ඔබතුමා අන්තිමට මේක මට ලබා දෙන බව මම දැනන් හිටියා. මෙතැන උපක්‍රමශීලී බවකුත් තිබුණා කියන එකත් ඔබතුමාගෙන් මට ඉඟි ලැබුණ බව මතකයි." සජිත් කීවේ ස්තූති පූර්වකවය.

"දිනන අපේක්ෂකයාට මේක දෙනවා කියල අපි රට පුරා කිව්වා. සජිත්ට දීමෙන් ගෝඨයි පොහොට්ටුවයි වගේම ශ්‍රීලනිපයත් ලොකු අවුලකට ගියා." ලක්ෂමන් කිරිඇල්ල කීවේය.

"ගෝඨාභය උසාවියට පුදුම බයක් තියෙන්නේ. හැම නඩුවකටම කෝටි ගණන් විසි කරලා එක්කො කල් ගන්නවා, නැත්නම් නොගිහින් ඉන්නවා. රාජපක්ෂ කාලෙ අතුරුදන් කරපු පෙරටුගාමී එකේ ලලිත් හා කුගන් නඩුවටත් තුන් පාරක් කර ඇරලා අන්තිමට උසාවියේ ආරක්ෂාව නෑ කියලත් ඇඟ බේරා ගත්තා. ගෝඨාභය තරම් උසාවිය අනුකම්පා කරපු කෙනෙක් මේ රටේ තවත් නෑ කියලයි මිනිස්සු කියන්නේ." උපාලි පියසෝම කී දේට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළ වූයේ නිහඬ ප්‍රතිචාර මඟිනි.

"මෙච්චර චෝදනා හා නඩු තියෙන ජනාධිපති අපේක්ෂකයෙක් ලෝකෙම නැතුව ඇති. ද්විත්ව පුරවැසිකමට අදාළවයි හැඳුනුම්පත හා පාස්පෝට් එක ව්‍යාජ බවයි ඔහුට විරුද්ධව ඇති අලුත්ම චෝදනාව. ඒකට එදා ඇමති හැටියට කවුරු හරි අත්සන් කළාට එහෙම ඇමතිකමක් එදා තිබිලා නෑ කියලයි නීති තර්කය වෙන්නේ. කාටත් හොරා ජනාධිපති කෙනෙක් මෙවැනි ප්‍රාථමික ලේඛනයකට අත්සන් කළා නම් ඒකත් සදාචාරත්මකද කියලයි නීතිඥයො අහන්නේ." ලක්ෂමන් කිරිඇල්ල කීවේ එවැන්නකි.

"මේ නඩුව බොහෝ විට ශ්‍රේෂ්ඨාධිකරණයටත් යන්න බැරි නෑ. ඒත් ගෝඨාට අවාසි අවසන් තීන්දුවක් මේ අධිකරණයෙන් ආවොත් විතරයි නාම යෝජනා දෙන්න බැරි වෙන්නෙ කියලයි නීති විශේෂඥයො කියන්නෙ." චමින්ද විජේසිරි කීවේය.

"අවසන් තීන්දුවක් නෑවිත් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ නඩුව ගියොත් කූඨ ලේඛන තැනීම පිළිබඳව විශාල චෝදනාවක් එක්කයි ගෝඨාභයට ඡන්ද සටනට යන්න වෙන්නේ..." හේෂා විතානගේ කීවේය. "කූඨ ලේඛන ගැන රාජද්‍රෝහී චෝදනා සහිතව නාම යෝජනා දීපු යම් කෙනෙක් ජනපතිවරණයක් දිනුවොත් ඒක විශාල ගැටලුවක්. අනිත් එක ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් බවයි පේන්නෙ. කැම්පේන් එක අතෑරල බෙහෙත් ගන්න රට යන්නත් උසාවියෙන් අවසර ඉල්ලලා තියෙනවා. මේ නිසා පොහොට්ටු කැම්පේන් එක හොඳටම අවුල් වෙලා තියෙන්නෙ කියලා ඒ පැත්තෙ අයම පිළිගන්නවා." දිනේෂ් වීරක්කොඩිගේ විග්‍රහය එය විය.

"ගෝඨාභය ලංකාවට ඇවිත් යුද්ධයට ජනාධිපති අයියා හරහා කොළඹ ඉඳන් පහසුකම් සැපයීමයි කළේ. සැලසුම් හදල යුද්ධය දිනුවේ ෆොන්සේකයි. ගෝඨා කොළඹ ලස්සන කළාලු. විනාඩි 10ක වැස්සකින් කොළඹ ලස්සන කරපු හැටි පේනවා." උපාලි පියසෝම කීය.

"හිටපු හමුදාපති මහේෂ් සේනානායක අලුත් මූණක්. ඔහුත් ෆොන්සේකා වගේ චෝදනා නැති, යුද්දෙදි සටන් බිමේ හිටපු රණවිරුවෙක්. ඔහු ජනාධිපතිවරණයට එන එකෙන් ගෝඨාගෙ ඡන්ද පදනම සම්පූර්ණයෙන්ම දෙදරලා. දැන් එජාප - ශ්‍රීලනිප සාකච්ඡාවල ප්‍රතිඵලය මොකක්ද? ඊයෙ නීතිපති අංශය ගෝඨගෙ නඩුව ගැන උසාවියට දීපු ස්ථාවරයෙන් ඒ සාකච්ඡාවල ප්‍රතිථලය කියැවුණාද කියලයි මට හිතෙන්නෙ" මහාචාර්‍ය ආශු මාරසිංහ කීවේ එවැන්නකි.

"දේශපාලනික උසිගැන්වීම්වලට වර්ජන කරලා ජනතාව පීඩනයට පත් කරන්න දෙන්න නරකයි. දුම්රිය ඇතුළු බොහෝ ක්ෂේත්‍ර අත්‍යාවශ්‍ය සේවා කරන ගැසට් එක ආවාම වැඩට නොඑන අය ඉබේම සේවය අතහැර ගිය අය ලෙස සැලකේවි. ඡන්දයක් මැද මෙහෙම පහත් වර්ජන කරන ලෝකෙ එකම රට ලංකාව කියල මිනිස්සුන්ටත් දැන් හොඳ අවබෝධයක් තියෙනවා." නවීන් දිසානායක කීවේ එවැන්නකි.

"සජිත් රණවිරුවන්ගෙ ප්‍රශ්නය විසඳන්න ඉදිරිපත් වෙලා කැබිනට් පත්‍රිකාත් දැම්මා. ඒත් සමහර පත්තර හා ජනමාධ්‍ය සජිත්ගෙ නම හැංගුවා. සජිත් රණවිරුවන් බලන්නත් ගියා. මේක කන වැටුණු මහින්ද රාජපක්ෂ පැය කීපයකින් තනියම ගිහින් රණවිරුවන්ට කතා කරලා උපවාසෙ ඉවර කරන්න කිව්වා. ගෝඨාභය එතෙන්ට එන්න බෑ කියලලු. ඒ තමන් අතින් එදා රණවිරුවන්ට මේ වැරැද්ද කරපු බව පිළිගන්න වෙන නිසාලු. මහින්ද ආවහම මේ උපවාසය අතාරින්න රහස් තීන්දුවක් අරගෙන තියනවා කියල ඒ රණවිරුවන් අතරින් විශාල පිරිසක් සජිත්ට පණිවිඩය දීල තියෙන්නෙ අපි පොහොට්ටු දේශපාලකයන්ගෙ අතකොළුවක් හැටියට මෙච්චර කල් වැඩ කරලා තියනවා කියන කනගාටුවත් එක්කයි." නවීන් දිසානායක තමාට ලැබුණු තොරතුරු තවදුරටත් එළිදැක්වූයේ ඉතා සංවේදීවය.

සජිත්ගේ වොක්ෂෝල් වීදීයේ මෙහෙයුම් කාර්යාලය

පසුගිය සිකුරාදා සජිත්ගේ මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලය කොළඹ 02 වොක්ෂෝල් වීදීයේ රක්ෂණ මන්දිරයට යාබදව විවෘත වූයේ රනිල් හා සජිත්ගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාවටද දැවැන්ත ජනකායක් එක් වූහ. අගමැතිවරයා එහිදීද මැතිවරණ මෙහෙයුම් ගැන සජිත් හා තිස්ස ඇතුළු එජාප ප්‍රබලයන්ට උපක්‍රම රැසක් පිළිබඳව දැනුවත් කළේය.

"සර්, අපි රැස්වීම් 160ක් තියෙනවා. ඔබතුමා පුළුවන් සෑම එකකටම එන්න ඕනෑ. රනිල් සජිත් සුසංයෝගයයි මෙවර ජයග්‍රහණයේ තේමාව වෙන්නේ." තිස්ස අත්තනායක කීවේය.

"රැස්වීම් 160ක්? ඒකත් ලෝක වාර්තාවක් වේවි." යැයි කී අගමැතිවරයා දෑත් හිස මත තබා ගත්තේය.

"පුළුපුළුවන් හැම එකකටම මම එනවා. අඩුගානෙ එක දිස්ත්‍රික්කයක ප්‍රධාන රැස්වීමට හෝ මම එනවා. සජිත්ට දුවන්න පුළුවන්නේ. මොකද ගෝඨට වයස 70යි සජිත්ට 50යිනේ." යැයි අගමැතිවරයා කීවේ සිනහ මැදය.

"මේ වොක්ෂෝල් කාර්යාලය වීදුරු ගෙයක්. රනිල් - සජිත් විශේෂ සාකච්ඡාවක් කරනකොටත් ආපු පිරිස් කටවල් දිහා බලන් හිටියා. ඒක හරියන්නෙ නෑ. ආවරණ අවශ්‍යයි." ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ රනිල් මෙන්ම සජිත්ද අනුමත කළ අතර ඒ සඳහා පිළියම් යොදන ලෙස තිස්සට උපදෙස් ලැබිණ.

දින කිහිපක් තුළදී අලංකාරවත් ලෙස සකස් කර අවසන් කළ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමට සහභාගී වීම සඳහා සජිත් කල් ඇතිවම එහි ගියේය. පස්වරු පහ පමණ වන විට සජිත් එහි පැමිණි අතර ඔහු මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් සමඟ සුහද කතාබහක යෙදෙමින් සිටියේ විවෘත කිරීමේ වේලාවට පැයක් පමණ තිබුණු නිසාය.

"සර්, මැතිවරණ ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් අපි එකතු කරන්න අවශ්‍යයි." මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ අයෙක් කීවේය.

"කිසිම අවස්ථාවක රාජ්‍ය දේපළ භාවිත කරන්න එපා. අපි මේ මැතිවරණය විනිවිවධභාවයකින් කරන්න ඕන. ඒ වගේම තමයි අපේ ප්‍රතිවාදී අපේක්ෂකයන්ට එරෙහිව ක්‍රියාත්මක විය යුත්තේ දේශපාලනිකව හා ප්‍රතිපත්තිමය වශයෙන්. අපේ ප්‍රතිපත්ති ජනතාව අතරට අරගෙන යෑම තමයි වැදගත්." සජිත් කීවේය.

සජිත් කතා බහ කරමින් සිටින අතරවාරයේදී මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා සැලසුම් කර තිබූ වේලාවටම රනිල් පැමිණියේය. රනිල් සමඟ රවි කරුණානායක ඇමැතිවරයාද විය. ඒ අතර තිනියාවල පාලිත හිමියන්, බෝපිටියේ ධම්මිස්සර හිමියන් වැඩ සිටියේ ආශිර්වාද කිරීමටය.

මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කළ රනිල් එය නිරීක්ෂණය කළේය. රනිල් එහි එන විට කාලයක් එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්ව සිටි තිස්ස අත්තනායක, නියෝමාල් පෙරේරා ඇතුළු පිරිසක් එහි විවිධ වැඩකටයුතුවල නිරතව සිටියහ.

"තිස්සත් දැන් අපිට ඇවිත් ඉන්නවා." සජිත් කීවේ තිස්ස පෙන්වමිනි.

"තිස්ස ඉතිං ආවේ අද ඊයේ නෙමෙයිනේ. දැන් කාලෙකට කලින්නේ තිස්ස ආවේ." රනිල් කීවේ අවට සිටි අයද සිනාගන්වමිනි.

ගෝඨා එනවට සජිත් කැමතිලු

සජිත් පසුගිය සතියේදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී කටයුතු කරන නීතීඥයන් අවස්ථා කිහිපයකදීම හමුවූවේය. එක් නීතිඥ හමුවකදී ප්‍රතිවාදී අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පිළිබද නීතිඥයන් විවිධ අදහස් දක්වන්ට විය.

"උසාවියට ගියොත් ගෝඨා පහසුවෙන් හිර කරන්න පුළුවන්. ලංකාවේ පුරවැසිභාවය එපා කියලා,

ශ්‍රී ලංකා පාස්පෝට් එක ඉරලා වැසිකිළියට දාලා ඇමෙරිකාවට ගියපු ගෝඨා හොර පාරෙන් ලංකාවේ පුරවැසිභාවය ගත්තා කියන එක පහසුවෙන්ම ඔප්පු කරන්න පුළුවන්“ නීතිඥයන් කීවේ ගෝඨාට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බව පවසමිනි.

"ගෝඨාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කරලා උසාවි යන්න එපා. ප්‍රතිවාදී අපේක්ෂකයෙක්ට නීතිමය බාධාවක් ඇති කරලා, කකුල් මාට්ටු දාලා වට්ටන්න මට අවශ්‍ය නෑ. ගෝඨාට ඡන්දයට එන්න දෙන්න. ඡන්දෙදි දුවලා බලන්න කියන්න. මම එතැනදී එයාව පරාද කරලා පෙන්වන්නම්. අවලාදවලින් නැතිව ප්‍රතිපත්තිවලින් සහ මඩ ගහන්නේ නැතිව ජනාධිපතිවරණය දිනන්නේ කොහොමද කියන එක මම පෙන්වන්නම්." සජිත් කීවේ මැතිවරණය ජය ගැනීම කෙරෙහි තමන්ට ඇති සැලසුම් හා විශ්වාසය පිළිබඳ අවධානය යොමු කරමින්ය.

මේ අතර නාම යෝජනා සකස් කිරීම

ඒ හා සම්බන්ධ නීතිමය කරුණු පිළිබදවත් සාකච්ඡා කිරීම සඳහා පක්ෂය සම්බන්ධ නීතීඥයන් පිරිසක් සජිත් හමු වූයේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේදීය. එහිදී ‘හංසයා’ ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය නීතිමය කරුණු ගැන අවධානය යොමු කළේය.

"මේ රටට ආදරය කරන සියලු දෙනාම එකතු කරගෙන තමයි මම මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා පොදු ලකුණක් අපිට අවශ්‍යයි. හංසයා ලකුණින් අපි තරග කරන්නේ මේ නිසයි." සජිත් පැහැදිලි කළේය.

නාම යෝජනා බාර දී මාසයක් ගත වීමට පෙර වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබා දිය යුතු බවත් නීතීඥයෝ පෙන්වා දුන්හ.

"වත්කම් බැරකම් ප්‍රකාශ අලුතින් හදන්න අවශ්‍ය නෑ. ඔය පාර්ලිමේන්තුවට දීපු වත්කම් බැරකම් ප්‍රකාශයක්ම අරගෙන දුන්නා නම් හරි." නීතීඥයෙක් කීවේ පහසු ක්‍රමයකි. නමුත් සජිත් ඒ ක්‍රමයට වැඩි කැමැත්තක් දැක්වුයේ නැත.

"මම ජනාධිපති අපේක්ෂකයා විදියට ආදර්ශමත් වෙන්න ඕන. පාර්ලිමේන්තුවට වත්කම් බැරකම් ප්‍රකාශය දීලා දැන් ටික කාලයක් වෙනවානේ. මැතිවරණ ව්‍යාපාරයට ඉදිරිපත් වෙන දවසට තියෙන වත්කම් බැරකම් මම ඉදිරිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් කරනවා. ඒ වගේම නාම යෝජනා බාර දීලා මාසයක් යනකල් මම බලාගෙන ඉන්‌නේ නෑ. නාම යෝජනා දෙනවත් එක්කම වත්කම් බැරකම් ප්‍රකාශය දෙනවා. මොකද මට හංගන්න වත්කම් නෑ. පිටරට දේපළ මට නෑ. මට තිබෙන දේවල් මොනවාද කියලා පෙන්වන්න මම ඕනෑම වෙලාවක සූදානම්." සජිත් කී‌වේය.

අතාවුද ආපු හැටි

තිස්ස අත්තනායක ඇතුළු කණ්ඩායමක් පසුගිය කාලයේදී “පරමාදර්ශී දේශපාලන ව්‍යාපාරය” නමින් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණේ දේශපාලන පක්ෂ භේදයෙන් තොරවය. රට ගොඩනැඟිය හැකි දේශපාලන නායකත්වයක් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා ආරම්භ කළ මෙම දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය තිස්සට හිමිව තිබුණත් එහි සභාපතිවරයා වූයේ වාමාංශික නායකයෙකු වන අතාවුද සෙනවිරත්නය.

තිස්ස සජිත්ගේ මැතිවරණ මෙහෙයුම සමඟ සම්බන්ධ වීමත් සමඟ අතාවුද තිස්සට කතා කළේ ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් ගැන අවධානය යොමු කරමින්ය.

"අපිට මේ වෙලාවේදී දේශපාලන තීරණයක් ගන්න වෙනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් අතරින් හොඳම අපේක්ෂකයාට අපි සහාය ලබා දෙන්න ඕන. මේ රටේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවේන් පෙනී සිටින නායකයාට අපි සහාය ලබා දෙන්න ඕන." අතාවුද, තිස්ස සමඟ කීවේය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගමන් මඟක සිටින සජිත් සමඟ එක්වන ලෙස තිස්ස කළ ආරාධනාව අතාවුද පිළිගත්තේය.

ඒ අනුව සජිත්ට සහාය ලබා දීම පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට අතාවුද පැමිණියේ මංගල සමරවීර ඇමතිවරයාගේ නිවසටය. අතාවුද සමඟ ඩබ්ලිව්.බී. ඒකනායක හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාද පැමිණියේය. මංගලගේ නිවසට අතාවුද එන විට සජිත් එහි පැමිණ සිටියේය.

"අපේ රටට දරුණු පාලකයෙක් අවශ්‍ය නෑ. රටට හොඳ දෙයක් කරන නායකයෙක් වෙනුවෙන් අපි පෙළගැසෙනවා." අතාවුද කීවේ සජිත්ගේ දෑත් අල්ලාගෙනය.

"ඔබතුමා වාමාංශික නායකයෙක්නේ." එතැන සිටි අයෙක් අතාවුදගේ දේශපාලනය ගැන සිහිපත් කළේය.

"මම අදටත් වාමාංශිකයෙක්. මගේ වාමාංශික ප්‍රතිපත්ති මම අතහැරලා නෑ. ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන්ගෙන් හොඳම අපේක්ෂකයා මම තෝරාගෙන තියෙනවා." අතාවුද කීවේ තමන් සමඟ දේශපාලන පක්ෂ හතක් හා සිවිල් සංවිධාන දහනවයක් සජිත්ට සහාය ලබා දීමට එක්වන බව සිහිපත් කරමින්ය.

මේ අතර ජයම්පති වික්‍රමරත්නගේ වාමාංශික පෙරමුණේ විධායක සභිකයන් පිරිසක් තිස්ස අත්තනායක හා ඉමිතියාස් බාකීර් මාකර් හමු වූයේ සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය ලබා දීම ගැන සාකච්ඡා කිරීමටය.

"අපිට සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙක් අවශ්‍යයි. ඒ නිසා අපි ඔබතුමාලාගේ අපේක්ෂකයා දිනවීමට වැඩ කරනවා." විධායක සභිකයන් පිරිස පැවසූහ.

"එතකොට ජයම්පතිලා ඉන්නේ කොතැනද?" ඉමිතියාස් ඇසුවේය.

"එයාලා කොතැන හිටියත් අපි සජිත් වෙනුවෙන් එනවා."ඔවුහු පැවසුහ.

සජිත් නම් කළ සමුලුවේ සිදු වූ දේ

මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වරට හිටපු ජනාධිපතිවරයකුගේ පුතෙකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ ඉතිහාසගත වාර්තාව එක්සත් ජාතික පක්ෂය ඊයේ නිල වශයෙන් සම්මත කළේය. ඒ, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔවුන්ගේ මහා සමුළුවේදී ඒකමතිකව සම්මත කරමිනි.

මෙරට වැඩිම කලක් රට පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය වුවද එයින් ජනාධිපතිවරු බිහි කර ගන්නට ලැබුණේ දෙදෙනෙක් පමණි.

1978 පෙබරවාරි 4 වැනි දින අගමැති ජයවර්ධන මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස අග්‍රවිනිශ්චයකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. පසුව එජාපයෙන් ජනාධිපතිවරයෙක් 88දී බිහි විය. ජේ.ආර්. හැරුණුකොට එජාපයෙන් දෙවරක් එකම පුද්ගලයා ජනාධිපති වී නැත.

එහෙත් පොදු පෙරමුණින් චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ දෙවරක් ජනපති වී තිබේ. 2005න් පසු එජාපයට ජනාධිපති අපේක්ෂකයෙක් හිටියේත් නැත. ඔවුන්ගේ අඩුව සම්පූර්ණ කළේ පොදු අපේක්ෂකයන්ය. මෙවර කල් තියාම එජාපයේ බහුතරයක් ඉල්ලා සිටියේ තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් විය යුතුයි කියාය. එයිනුත් සාතිශය බහුතරය ඉල්ලුවේ සජිත් ප්‍රේමදාසය.

බොහෝ මතවාද, වාග් සංග්‍රාම මැද ඇදී ගිය එජාප අපේක්ෂකයා තේරීම ලෙහෙසි පහසු නොවිණි. ප්‍රතිවාදී ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ සටන කල් තියා පටන් ගත් අතර ඒ වන විටත් එජාප අපේක්ෂකයා තීන්දු නොවී තිබිණ. එනිසාම 'සජිත්' ඉල්ලූ පිරිස් තැන තැන රැලි තැබූහ. ඒවාට ජන ගංගාවක් ගලා ඒම විපක්ෂයට පවා විමතියට කරුණක් විය.

1972 ජනරජ ව්‍යවස්ථාව සංශෝධනය කර ගනිමින් ඒ වන විට අගමැති පදවියේ සිටි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති පදවියට අනුප්‍රාප්ත වීමත් සමඟ අගමැති පදවියේ පුරප්පාඩුවක් ඇතිවුණි.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ වඩාත් දීර්ඝ ඉතිහාසයක් සහිත ජ්‍යෙෂ්ඨයන් කීප දෙනෙක් ඉදිරිපත් වුවත් ඔවුන් අභිබවා යමින් තනතුර දිනා ගැනීමට ආර්. ප්‍රේමදාස සමත් විය.

රණසිංහ ප්‍රේමදාස විසින් 1988දී ජනාධිපති ධුර අපේක්ෂකත්වය හිමි කර ගන්නා ලද්දේ පක්ෂ අභ්‍යන්තරයේ ඊටත් වඩා තියුණු 'සීතල යුද්ධයක්' අවසානයෙහිය.

ප්‍රේමදාස පුත් සජිත්ද 2019 ජනාධිපති ධුර අපේක්ෂකත්වය හිමි කර ගන්නේ ඊට නොදෙවැනි පක්ෂ "අභ්‍යන්තර අරගලයක" නිරත වෙමිනි.

"මම ප්‍රේමදාසගේ පුතා" යනුවෙන් ඔහු පසුගියදා පැවැති ප්‍රසිද්ධ රැස්වීම් කීපයකදීම කියා සිටියේය.

ඔය සියල්ල අතර තීරණාත්මකම හමුව ලෙස පසුගිය සැප්තැම්බර් 26 රැස් වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සජිත් ප්‍රේමදාස සිය අපේක්ෂකයා ලෙස නම් කළේය. මෙහිදී දකින්නට ලැබුණු සුවිශේෂම තත්ත්වය පක්ෂය තුළ තිබූ ප්‍රජාතන්ත්‍රවාදයයි.

එය සහමුලින්ම පොදුජන පෙරමුණට වඩා ගව්ගාණක් ඉදිරියෙන් බව මොනවට පසක් විය. මේ අතර එජාපය සම්ප්‍රදායිකව සිය අපේක්ෂකයා රටට හඳුන්වා දෙන මහ සමුළුව ඊයේ පැවැත්වීය.

එහිදී සිදු වූ විශේෂතා කිහිපයක්ම විය. 1988ට පසු මෙවර ජනාධිපති අපේක්ෂකයා හඳුන්වා දීමත් ආකර්ෂණීය සිදුවීම්වලින් සහ දෛවෝපගත සිදුවීම්වලින් ගහන විය.

අපූරු සිදුවීම්

88 ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහතාව යෝජනා කළේ ගාමිණී දිසානායකය. මෙදා රණසිංහ ප්‍රේමදාසගේ පුතා වන සජිත් ප්‍රේමදාසව යෝජනා කළේ ගාමිණී දිසානායකගේ පුත් නවීන් දිසානායකය.

ඔහු ඉතා සංවේදී ලෙස ඒ බව සිහිපත් කළේය.

“එදා මගේ පියා තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාව හම්බන්තොට සංවිධායක කළේ. මගේ පියා 94 ජනාධිපතිවරණයට එනකොට හේමා ප්‍රේමදාස මහත්මියයි සජිත් මහත්මයයි දෙන්නම එතුමාට උදවු කළා. අපේ තාත්තලා කොහේ හරි ඉඳලා බලාගෙන කියනවා ඇති අපි කරන්න ඕන දේ. මගේ තාත්තා මට කියනවා ඇති පුතේ, සජිත් ප්‍රේමදාසට උදව් කරපන් කියලා”

වසර 14කට පසුව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙක් නම් කරන මොහොතට විශාල පිරිසක් එක්ව සිටිනු දැකිය හැකි විය. සජිත් ප්‍රේමදාස මහතාව එජාප අපේක්ෂකයා ලෙස නම් කරන්නට සිදුව තිබුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාටය. ඊට ඔහුට ආරාධනා කරන විට ඔහු හුන් තැනින් නැඟිට්ටේය. අඩි කිහිපයක් ඉදිරියට විත් දකුණට හැරී යාබද අසුනේ සිටි හේමා ප්‍රේමදාස මහත්මිය වෙතට ගියේය. ඇයට සිය සුරත දිගු කළ ඔහු ඈ වෙත නැඹුරුව “එන්න වේදිකාවට යමුයි.” කීවේය. ඒ ආරාධනය හේමා ප්‍රේමදාස ආර්යාවට ජීවිතයේ අනුස්මරණීය ආරාධනයක් විය. හිටපු ජනාධිපතිවරයකුගේ බිරිය සිය පුතාව ජනපති අපේක්ෂකයා ලෙස නම් කරන වේදිකාවට අගමැතිවරයා විසින් වත්තන් කරගෙන යනු ලබන දසුන සංවේදීම තත්පර කිහිපයක් බවට පත් විය. සියලු දෙනා අසුන්වලින් නැඟිට එම අවස්ථාවට ප්‍රණාමය පුද කළහ. බොහොමයකගේ දෙනෙත් තෙත්ව තිබෙනු දැකිය හැකි විය.

ගඟ මැද බෝට්ටු මාරුව බෑ - වාසු

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් විජේරාම නිල නිවසේදී පැවැත්වුණේ සඳුදාය. මහින්ද සමඟ ගෝඨාභය සහ බැසිල්ද රැස්වීමට එක්ව සිටි අතර නීතිඥවරුන් කණ්ඩායමක් එහි කැඳවා තිබුණේ ගෝඨාභයගේ නඩුව සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමටය.

මහින්ද, ගෝඨා, බැසිල් සහ මෛත්‍රිපාල අතර පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ගේ අවධානය යොමු විය. පසුගිය සෙනසුරාදා එම සාකච්ඡාව පැවැති අතර මහින්ද ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ට කරුණු පැහැදිලි කළේය.

"අපි මේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළා. අපේ පැත්තෙන් අපි කරුණු පැහැදිලි කළා. සුබවාදීව ඒ දිහා බලමු." මහින්ද කීවේය.

"මේ අයගේ එකම යෝජනාව වෙලා තියෙන්නේ පොහොට්ටුව වෙනස් කරන්න කියන එක. නමුත් මේ වෙලාවේ එහෙම කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. විශේෂයෙන් අපි ජනාධිපතිවරණ සටනේ මේ තරම් දුරක් ඇවිත් තියෙන කොට මේ ඉල්ලීම ඉටු කරන එක හරියට ගඟ මැද ඉඳන් බෝට්ටු මාරු කරනවා වගේ වැඩක්“ වාසු විග්‍රහ කළේය.

"සාකච්ඡාවෙන් විසඳන්න බැරි දෙයක් නැහැ. ඒ අය තීන්දුව ගන්නේ 05 වැනිදටනේ. අපි ඊට පෙර සාකච්ඡා කරලා මේක විසඳගමු. ඒකයි මම කිව්වේ සුබවාදීව මේ දිහා බලන්න කියලා." මහින්ද පැවසීය.

"ඡන්දයට අපේක්ෂකයෝ 20කටත් වඩා ඉදිරිපත් වෙනවා. හැබැයි එතැනින් බහුතරයක් ඉන්නේ අපේ අපේක්ෂකයාට විරුද්ධව. අපේ පැත්තට ඉන්නේ අපි විතරයි. මොනවා වුණත් ජනතාව ඉන්නකල් අපිට බය වෙන්න දෙයක් නැහැ. ජනතා මතය තමයි හැමදේටම වඩා උත්තරීතර." බැසිල් පෙන්වා දුන්නේය.

ගෝඨාට නුවරින් මැසිවිලි

තමන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය පළකරන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා එම කඳවුරේ සිටින බැවින් යැයිද එසේ නොමැති නම් කිසි විටෙකත් ගෝඨාභය රාජපක්‍ෂ වැනි මිලිටරි මානසිත්වයක් ඇති පුද්ගලයකු සමඟ දේශපාලනය කිරීමට තමන් සූදනම් නොමැති බවද පසුගියදා මහනුවර ඕක්රේ හෝටලයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ගේ රැස්විමකදී එහි ප්‍රබල සමාජිකයන් කිහිපදෙනකුම ප්‍රසිද්ධියේ පවසා ඇතැයි වාර්තා වෙයි.

කුමන වැරදි තිබුණද මහින්ද රාජපක්‍ෂ මහතා හොඳ දේශපාලනඥයකු මෙන්ම හොඳ ප්‍රජාතන්ත්‍රවාදියකු යැයිද මහින්ද රාජපක්‍ෂ රජය සමයේ ගෝඨාභය රාජපක්‍ෂලා කළ හිතුවක්කාර වැඩ නිසා පසුගිය ජනාධිපතිවරණයේදි තමන්ට පරාජය අත් වු බවද ගෝඨාව ලේසියෙන් මිලිටරිකරණයෙන් මුදවාගෙන සාමාන්‍ය දේශපාලනඥයකු බවට පරිවර්තනය කිරීම ඉතා අපහසු කටයුත්තක් බවද එහිදී පවසා තිබේ.

සියලු සුළු ජාතීන් බහුලව ජීවත් වන මහනුවර මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි ගෝඨා වෙනුවෙන් කැම්පේන් කිරීම ලේසි පහසු කටයුත්තක් නොවන බවද පවසා ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පෙරමුණෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් නොකර ඒ වෙනුවට සජිත් ඉදිරිපත් කිරීම නිසා උඩරට ඡන්ද ගෝඨාභය රාජපක්ෂට වඩා සජිත් ප්‍රේමදාසට හිමි වනු ඇත බවද එහිදී සාකච්ජා කර ඇති බව සඳහන් වේ.

චමල් කරලියට

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ඇති බාධාකාරී තත්ත්වයන් නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විකල්ප අපේක්ෂකයා ලෙස චමල් රාජපක්ෂ මහතාද නාම යෝජනා බාර දීමට නියමිතව ඇති බැවින් යම් හෙයකින් චමල් රාජපක්ෂ මහතාව ජනාධිපතිවරණ අපේක්ෂකයා කර ගැනීමේ විකල්පයට යෑමට සිදුවුවහොත් ඒත් සමඟම ගෝඨාභය රාජපක්ෂ මහතාව අගමැති අපේක්ෂකයා ලෙස නම් කරමින් ප්‍රචාරණ ව්‍යාපාරය හැසිරවිය යුතු බවට පොහොට්ටුවේ ප්‍රචාරණ විශේෂඥ කමිටුව තරයේ නිර්දේශ කර තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් එජාපය පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිවරණයට ඉදිරිපත් වීම තම අපේක්ෂාව බවය.

වෙල්ගම සටනට

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් නොකරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම තීරණය කර ඇතැයි වාර්තා වේ. ඔහු නිතර කීවේ තමන් පොහොට්ටුවට එකතු නොවන බවයි.

ඒ අනුව වෙල්ගම වෙනුවෙන් ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස අද (4) ඇප මුදල් තැන්පත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය කියයි.

අයිවන්ගේ අනාවැකිය

මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට පහසු ජයග්‍රහණයක් අත්වන බවට ප්‍රවීණ දේශපාලන විචාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අනාවැකි පළකරයි.

'රාවය' පුවත්පතේ උපදේශක වික්ටර් අයිවන්, එම කාරණය අවධාරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ පවතින සමාජ තත්ත්වයන් මෙසේ සැකෙවින් විග්‍රහ කරමිනි.

''සාමාන්‍යයෙන් දුප්පත් හා පීඩිතම ජනයා සජිත් දකින්නේ ගැලවුම්කාරයෙක් විදිහට. ඒක දේශපාලනයේ, සමාජයේ, විශේෂයෙන්ම ඡන්ද පදනමේ ලොකු ගැඹුරු වෙනසක් ඇති කරනවා. ඒ කියන්නේ මම දකින්නේ ඇත්තටම සජිතුයි ගෝඨයි අතර තරඟයේදී, සජිත් පහසු ජයග්‍රහණයක් ලබා ගන්නවා.

ඒ පීඩිතයි කිව්වම සිංහයලයින් කෙරෙහි විතරක් නෙවෙයි සජිත් බලපාන්නේ. පීඩිතයි කිව්වම ඒ කියන්නේ උතුර කෙරෙහිත් බලපානවා, වතුකරය කෙරෙහිත් බලපානවා. මොකද ඒගොල්ලො හරි පීඩිතයි. ඒගොල්ලො කාගෙත් ආශ්වාදජනක නායකයෙක් තමයි සජිත්. ඒක ගෝඨට නෑ.

ගෝඨට තියෙන්නේ වෙනම පදනමක්. එතකොට සජිත්ට තියෙන වාසිය තමයි යූඑන්පී පදනමට අතිරේකව අනිත් අයගේ පදනම්වලින් ඡන්ද ලොකු සංඛ්‍යාවක් ලබාගන්න පුළුවන් ...''

පිල් මාරු

දේශපාලන පක්ෂ මාරු ගණනාවක් සඳහා මේ වනවිට පිටිය සැකසී තිබේ. දැනට පොහොට්ටුවේ සාමාජිකත්වය දරන මන්ත්‍රීන් දෙදෙනකුද එ.ජා.ප.ය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව පැවසේ. මේ වනවිටත් පොහොට්ටුවේ සිටි ප්‍රබලයෝ සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට එක්ව සිටිති. එස්.බී නාවින්න, නියෝමාල් පෙරේරා, මෙන්ම වාමාංශික ප්‍රබලයෙකු වන අතාවුද සෙනෙවිරත්නද ඒ අතර වෙයි. ඊට අමතරව මධ්‍යම සහ වයඹ විපක්ෂ ප්‍රභලයන් දෙදෙනෙක් පිම්මකට සැරසෙන බව වාර්තා වෙයි.

පොහොට්ටුව දෙමළ සංධානේ මන්ත්‍රීන්ට

දැල එලයි

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් දෙදෙනකු පොහොට්ටුව සමඟ කතාබහක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. උතුරේ ඡන්දය තීරණාත්මක නිසා පොහොට්ටුව වෑයම් කරන්නේ වෙන වෙනම හෝ උතුරේ මන්ත්‍රීවරුන් ගලවන්නටය. මේ පිළිබඳව දෙමළ ජාතික සංධානය විමසිල්ලෙන් සිටී.

මාතෘකා