පෙර පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනවා

 ඡායාරූපය:

පෙර පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනවා

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

සෑම පෙරපාසල් ගුරුතුමියකටම, සහාය පාලිකාවකටම තම රජය යටතේ වැටුප් ගෙවමින්, දූ දරුවන්ට දිවා ආහාරයද ලබා දෙමින් මේ රටේ පෙරපාසල් අධ්‍යාපනය සම්පූර්ණ නොමිලේ අධ්‍යාපනයක් කරන්නට, නිදහස්, නිවහල් අධ්‍යාපනයක් බවට පත් කරන්නට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (11) ගල්ගමුවේ පැවැති ජන රැලියකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

"අද දිනයේ ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයේ ඔබතුමන්ලා සියලුදෙනාම 16 වැනිදා හංසයාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද මේ පොළ භූමියට ඒකරාශී වෙලා අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට කටයුතු කිරීම පිළිබඳ මගේ ස්තූතිය හා ප්‍රණාමය පුදකර සිටිනවා. විශේෂයෙන්ම මේ බලප්‍රදේශයට බලපාන ගැටලු කිහිපයක් පිළිබඳව මම කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රදේශයේ බහුලව තිබෙන වන අලි - මිනිස් ගැටුමට ඉක්මන් විසඳුමක් ලබාදෙන්නට අපි කටයුතු කරනවා. ගල්ගමුව පමණක් නෙවෙයි මුළුමහත් මාතෘභූමියේම ඒ ගැටුමට මුහුණදෙන මිනිස් සම්පත හා වන සම්පත රැකගැනීම උදෙසා අපි ඒ කර්තව්‍ය ඉෂ්ට කරනවා. ඒ වගේම මේ වන්නි හත්පත්තුවට, ගල්ගමුවට, යාපහුවට, නිකවැරටියට අවශ්‍ය වාරි ජලය හා අවශ්‍ය පානීය ජලය සඳහා මොරගහකන්දේ ඊළඟ කොටස අපි රැගෙන එන්නේ මේ වන්නි හත්පත්තුවටයි කියලා මම ඔබතුමන්ලාට වගකීමෙන් ප්‍රකාශ කරන්න කැමතියි. ඒවගේම මේ බලප්‍රදේශයේ තිබෙන ඉඩම්වලට ඔප්පු ටික අපි කඩිනමින් ලබා දෙනවා.

මේ මැතිවරණ කොට්ඨාසයේ මාර්ග පද්ධතිය අපි ගොඩනඟනකොට මේ ප්‍රදේශයට අතිශය වැදගත් වන ඇහැටුවැව - මොරගොල්ලාගම පාර අපි අලුතෙන්ම සංවර්ධනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. මේ බලප්‍රදේශයේ නිවාස ප්‍රශ්නය අපි අවසන් කරනවා. මගේ පියාණන්ගේ සමයේ මුළු රටේම ඉදිවුණු උදා ගම්මාන අපි අලුතෙන්ම ප්‍රතිසංස්කරණය කරනවා. ඒ විතරක් නෙවෙයි 2025 වන විට අපි උදා ගම්මාන 20,000ක් ඉදිකරලා සැමට සෙවණ ලබාදෙනවා කියලා මේ අවස්ථාවේ ඉතා සතුටින් ප්‍රකාශ කරනවා. අපි ඒ 20,000න් දැනට පහුගිය අවුරුදු හතරහමාර ඇතුළත 2,600කට ආසන්න ප්‍රමාණයක් ඉදිකර තිබෙනවා. ඒවගේම වැඩිහිටි පරපුර ආරක්ෂා කිරීම සඳහා වැඩිහිටි දීමනාව රුපියල් 3,000 දක්වා අපි වැඩි කරනවා.

"සමෘද්ධි නිලධාරීතුමන්ලාට පසුගිය රජය කරපු ඒ මහා වංචාව තුළ අද විශ්‍රාම ගන්නට බැරිව කොට්ඨාසයක් සිටිනවා. ඒ අයගේ අර්ථසාධක මුදල් ප්‍රශ්නයත් අපි අනිවාර්යෙන්ම විසඳනවා. මිත්‍රවරුනි, අපේ රජය උපාධිධාරීන් විශාල ප්‍රමාණයකට රැකියා ලබා දීලා තිබෙනවා. 16 වැනිදට මේ රටේ ජනාධිපතිවරයා හැටියට අභ්‍යන්තර, බාහිර භේදයකින් තොරව සියලුම උපාධිධාරීන්ට පත්වීම් ලබාදෙන්නේ වෙන කවුරුත් නෙවෙයි මේ සජිත් ප්‍රේමදාසයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම මෝල් හිමියන්ගේ ප්‍රශ්නවලට අපි අවධානය යොමු කරලා ඒ දෙන්න තියෙන සහන ටික අපි ඉක්මනින් ලබාදෙනවා. මේ බලප්‍රදේශයේ තිබෙන්නා වූ වැව් සියල්ලක්ම ප්‍රතිසංස්කරණය කරලා, ගෙවල් හදන වැඩසටහන ගම් උදාව කළා වගේම අපි අලුතෙන්ම වැව් උදාව හරහා රටේ තිබෙන සියලුම වැව් වසර දෙකක් ඇතුළත ප්‍රතිසංස්කරණය කරලා අවසන් කරනවා. ඒ වගේම ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලට අපේ රටේ ඉන්න කාන්තාවන් විශාල ප්‍රමාණයක් ගොදුරුවෙලා තිබෙනවා. ගිනි පොලී ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් අසහනයට පත් වුණු ඒ කාන්තාවන්ගේ ණය ටික අපි කපා හරිනවා.

ඒ විතරක් නෙවෙයි ආසාදු ලේඛනයේ, ඒ කියන්නේ ක්‍රිබ් එකේ ඉන්න සියලුමදෙනාට පුද්ගලයාගෙන් පුද්ගලයාට අපි නැවත සොයා බලනවා කොහොමද ක්‍රිබ් එකේ ඉන්න අයට අපි උදවු කරන්නේ කියලා. ඒ නිසා මේ මොහොතේ ක්‍රිබ් එකට යෑම තුළින් අසහනයට පත් වුණු සියලුම ව්‍යාපාරික ප්‍රජාවට මම පණිවුඩයක් දෙනවා. තමුන්නාන්සේලාව අතරමං කරන්නේ නැතුව තමුන්නාන්සේලා විඳින අසහනයෙන් මුදා ගන්නට සජිත් ප්‍රේමදාස සූදානම්. ක්‍රිබ් එකේ ප්‍රශ්නයට මම මානුෂීයව අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම තමුන්නාන්සේලාට විශේෂිත වූ ජාතික වැඩසටහන් කිහිපයක් ගැන කියන්නට තිබෙනවා. මේ රටේ දුගී දුප්පත්කම තුරන් කරන සමෘද්ධි වැඩසටහන අපි තවදුරටත් ශක්තිමත් කරනවා. සමෘද්ධිය නොලැබුණු එහෙත් සුදුසුකම තිබෙන සියලුදෙනාට අපි සමෘද්ධිය ලබාදෙනවා. ඒ විතරක් නෙවෙයි ඉතාමත්ම කෙටි කාලයක් තුළ දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් සමෘද්ධියත් සමඟ සමෘද්ධියට අමතරව රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කරපු ජන සවිය වැඩසටහනත් කියන දෙකම අපි ලබාදෙනවා.

"අපි මේ රටේ කෘෂිකාර්මික විප්ලවයක් කරනවා. ඒ කෘෂිකාර්මික විප්ලවය තුළ ශ්‍රම සූක්ෂ්ම ශිල්පීය ක්‍රමවේද උපයෝගී කරගෙන නව යාන්ත්‍රික, නව තාක්ෂණ ශිල්පය උපයෝගී කරගෙන අපි කෘෂිකර්මාන්තය නවීකරණය කරනවා. අපි ගොවිතැන් ක්ෂේත්‍රයේ ඓතිහාසික විප්ලවයක් කරන්නට බලාපොරොත්තු වෙනවා. වී ගොවියාට පමණක් නෙවෙයි, එළවළු, පලතුරු ගොවියට, හේන් ගොවියට, තේ, පොල්, රබර් ගොවියට, කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි වැනි සුළු අපනයන භෝග ගොවියට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ පළමුවැනි වතාවට පොහොර ටික නොමිලයේ ලබා දෙනවා කියලා මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි. විශේෂයෙන්ම තමුන්නාන්සේලා දැනගන්න ඕනේ මගේ ප්‍රතිවාදියා පොහොර මිලවත් නොදන්න මනුස්සයෙක්. එයා තුන්සිය පනහේ පොහොරක් ගැන කතා කරනවා.

එකසිය පනහේ රක්ෂණ ගාස්තුව එයාට අමතක වෙලා. තුන්සිය පනහේ පොහොර නෑ පන්සිය පනහේ පොහොර තියෙන්නේ. ඒ නිසා හැම වගාවටම අපි නොමිලේ පොහොර ලබාදෙනවා. ඒවගේම මම කියන්න කැමතියි හැම උප දිසාපති කොට්ඨාසයකම යොවුන් පරපුර වෙනුවෙන් අපි දැවැන්ත වැඩසටහන් තුනක් ක්‍රියාත්මක කරනවා. පළමුවෙන්ම හැම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයකම කර්මාන්ත පුරවරය බැඟින් අපි ආරම්භ කරනකොට ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයේ ගල්ගමුවට, ගිරිබාවට, ඇහැටුවැවට, පොල්පිතිවැවට කර්මාන්ත පුරවර හතරක්ම අපි ආරම්භ කරනවා කියලා කියන්න කැමතියි. එපමණක් නෙවෙයි හැම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයකම නව තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, ඩිජිටල් තාක්ෂණය, නව තාක්ෂණය, නැනෝ තාක්ෂණය, නවෝත්පාදනය, නව නිර්මාණ, ජෛව තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව මේ යනාදී වශයෙන් ඉහළම මට්ටමේ, ඉහළම ප්‍රමිතියේ ජාත්‍යන්තර තාක්ෂණ අධ්‍යාපනයක් හැම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයකම ආරම්භ කරනවා. ඒවගේම හැම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයකම තොරතුරු තාක්ෂණ උද්‍යානයකුත් අපි ආරම්භ කරනවා. එතකොට අර තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලබා සමත් වෙන ඒ යොවුන් පරපුරට අර තාක්ෂණ උද්‍යානයේ අලුත් ඩිජිටල් ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාව නිර්මාණය වෙනවා. ඒ ඩිජිටල් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අපි මූලික ප්‍රාග්ධනය ලබාදෙනවා.

"ඒ නිසා මම විශේෂයෙන්ම තමුන්නාන්සේලාට කියන්න කැමතියි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඔබ සෑම දෙනාම වාසනාවන්තයි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තාක්ෂණ විද්‍යාල, තාක්ෂණ උද්‍යාන, කර්මාන්ත පුරවර අපි ආරම්භ කරනකොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙවන් සංවර්ධනයන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30කම ක්‍රියාත්මක කරනවා. මම හිතන්නේ නැහැ මගේ ප්‍රතිවාදියා මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30 කොහේ තියෙනවද කියලා දන්නවා ඇති කියලා. මම මහ පොළොවට පය ගහලා ඉන්න පුද්ගලයෙක් හැටියට මේ තිහටම මම ගිහිල්ලා තියෙනවා. මේ 30ම හද ගැස්ම, අපේක්ෂාව, බලාපොරොත්තුව මම දන්නවා. 16 වැනිදට තමුන්නාන්සේලා කුරුණෑගල දිස්ත්‍රික්කය උඩින්ම දිනවනකොට අනිවාර්යෙන්ම මේ දිස්ත්‍රික්කයේ හැම පවුලකම, හැම සාමාජිකයෙක්ම රණසිංහගේ පුතා රකිනවා කියලා මම තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා.

ඒවගේම මගේ පියාණන් තමයි පාසල් දූ දරුවන්ට නිල ඇඳුම, දිවා ආහාරය ලබාදුන්නේ. මගේ ප්‍රතිවාදියාගේ දේශපාලන කල්ලිය තමයි පාසල් දූ දරුවන්ගේ දිවා ආහාරය හොරා කෑවේ, කපාහැරියේ. 16 වැනිදා මේ රටේ පොදුජන ජනාධිපතිවරයා වෙනකොට හතළිස්හතර ලක්ෂයක් වන පාසල් දූ දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි දිවා ආහාරයයි කියන තුනම ලබාදෙනවා. මහපොළොවට පය ගහලා ඉන්න පුද්ගලයෙක් හැටියට නගරවල, ගම්මානවල පෙරපාසල් අධ්‍යාපනය හා එහි අවිධිමත්භාවය පිළිබඳ මම හොඳින් දන්නවා. පෙරපාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ අධ්‍යාපනයක් කරන්නට, සෑම ගුරුතුමියකටම, සහාය පාලිකාවකටම අපි රජයෙන් වැටුප් ගෙවලා දූ දරුවන්ට දිවා ආහාරයත් ලබාදීලා මේ රටේ පෙරපාසල් අධ්‍යාපනය නිදහස්, නිවහල්, නොමිලේ අධ්‍යාපනයක් බවට පත් කරනවා. ත්‍රිරෝද රථ රියැදුරන්ට ඇපයක්, පොලියක් නැතිව ලක්ෂ තුනක ණය ලබාදෙනවා. දසලක්ෂ ගණන් ත්‍රිරෝද රථ රියැදුරන්ට ඒ ඓතිහාසික ශක්තිය අපි ලබාදෙනවා. ඒවගේම දරුවන්ට පාසල්වලට ඇතුළත් කරන කොට සරල ක්‍රමයක් හදලා මවුපියන්ට එක එක්කෙනා පස්සේ ගිහිල්ලා පිංසේණ්ඩු දේශපාලනය කරන්නේ නැතිවෙන ආකාරයට මේ රටේ හැම දරුවෙකුටම සර්ව සාධාරණත්වය අත්පත් කරන දූ දරුවන් ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදයක් අපි ආරම්භ කරනවා.

මේ රටේ ජාතික ආරක්ෂා, නීතිය හා සාමය සුරක්ෂා කරන්නට අපි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාව නීතිය හා සාමය ආරක්ෂක ඇමතිවරයා හැටියට පත්කරනවා. ඒ තුළින් අපි ත්‍රස්තවාදීන්, කුඩුකාරයන්, කප්පම් දේශපාලනය, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාරකරුවන් විනාශ කරනවා. මම වගකීමෙන් තමුන්නාන්සේලාට කියනවා මේ රටේ ජනාධිපතිවරයා හැටියට මම මොනම ත්‍රස්තවාදියෙක්වත්, අච්චු කරපු ත්‍රස්තවාදීන්, අච්චු කරපු කුඩු මුදලාලිලා, අච්චු කරපු මිනීමරුවෝ, කුඩුකාරයන්, කප්පම් දේශපාලනය, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාරකරුවන් මගේ කාලය තුළ නිදහස් කරන්නේ නැහැ. විනයක් ඇති මාතෘභූමියක් මේ රට තුළ ශක්තිමත් සංවර්ධනයක් නිර්මාණය කර, තේජස්වන්ත මාතෘභූමියක් බිහි කරන්නට අපි අත්වැල් බැඳගමු."

News Order: 
-1