ලාංකේය ජනාධිපතිවරණ ඉතිහාසයේ කඩඉම්

 ඡායාරූපය:

ලාංකේය ජනාධිපතිවරණ ඉතිහාසයේ කඩඉම්

 

ශ්‍රී ලංකාවේ අටවැනි ජනාධිපතිවරණය පැවැත්වීමේ සූදානම අබියස සිටින ලාංකිකයන් මෙතෙක් පැවැති ජනාධිපතිවරණයන්හි සුවිශේෂී කඩඉම් පිළිබඳව දැනුවත්ව සිටීම වැදගත්ය. මෙම ලිපියේ අරමුණ වන්නේ මෙතෙක් පැවැති ජනාධිපතිවරණ සියල්ලේ වැදගත්ම කඩයිම් දැක්වීමය.

ශ්‍රී ලංකාවේ පැවැති ජනාධිපතිවරණ ගණන

මෙතෙක් ශ්‍රී ලංකාව තුළ ජනාධිපතිවරණ 07ක් පවත්වා ඇත. ඒ අනුව 1982, 1988, 1994, 1999, 2005, 2010 සහ 2015 යන වර්ෂවල ජනාධිපතිවරණ පවත්වා තිබේ. මෙසේ පැවැති ජනාධිපතිවරණයන්ගෙන් එතෙක් ජනාධිපතිවරයාගේ ධුර කාලය වූ වසර 06ක කාලය අවසාන වූ පසුව මෙන්ම එකී ජනාධිපති ධුර කාලය අවසන් වීමට පෙරද ජනාධිපතිවරණ පවත්වා ඇත. මේ අනුව මෙවර පවත්වන්නේ 08 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන 08 වැනි ජනාධිපතිවරණයයි.

පළමු ජනාධිපතිවරණය

මෙරට පළමු ජනාධිපතිවරණය 1982 ඔක්තෝබර් 20 වැනිදා පැවැත්විණි. පළමු ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් සංඛ්‍යාව 6ක් විය. මේ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් (අලියා) ජේ.ආර්. ජයවර්ධන මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් (අත) හෙක්ටර් කොබ්බෑකඩුව මහතාද ජනතා විමුක්ති පෙරමුණෙන් (සීනුව) රෝහණ විජේවීර මහතාද අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයෙන් (බයිසිකලය) ජී.ජී.පොන්නම්බලම් මහතාද ලංකා සමසමාජ පක්ෂයෙන් (යතුර) ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාද නව සමසමාජ පක්ෂයෙන් (කුඩය) වාසුදේව නානායක්කාර මහතාද පළමු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූහ.

පළමු ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය සියයට 81.06ක් විය. භාවිත කළ ඡන්දවලින් වලංගු ඡන්ද ප්‍රතිශතය සියයට 98.78ක් වූ අතර සියයට 1.22ක ඡන්ද ප්‍රතිශතයක් ප්‍රතික්ෂේප විය.

පළමු ජනාධිපතිවරණයේදී වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 52.9ක ප්‍රතිශතයක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිවරණයෙන් ජය ලැබුවේය.

දැනට ජීවත්ව සිටින පැරණිම ජනාධිපති අපේක්ෂකයා

දැනට ජීවත්ව සිටින පැරණිම ජනාධිපති අපේක්ෂකයා වන්නේ වාසුදේව නානායක්කාර මහතාය. ඔහු වර්තමානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වේ. වාසුදේව නානායක්කාර මහතා 1982 පැවැති පළමු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර පළමු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් දැනට ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා වන්නේ වාසුදේව නානායක්කාර මහතාය.

පළමු ජනාධිපතිවරණයට නව සමසමාජ පක්ෂයෙන් (කුඩය) ඉදිරිපත් වූ වාසුදේව නානායක්කාර මහතා ඡන්ද 17,005ක් ලබා ගත්තේය. එය සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 0.26ක ප්‍රතිශතයකි. එවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩුම ඡන්ද ප්‍රමාණය ලබා ගත් අපේක්ෂකයා වූයේද වාසුදේව නානායක්කාර මහතාය.

ජනාධිපතිවරණයකට මුලින්ම ඉදිරිපත් වූ දෙමළ ජාතික අපේක්ෂකයා

ජනාධිපතිවරණයකට මුලින්ම ඉදිරිපත් වූ දෙමළ ජාතික අපේක්ෂකයා වන්නේ ජී.ජී. පොන්නම්බලම් මහතාය. පොන්නම්බලම් මහතා 1982 පැවැති පළමු ජනාධිපතිවරණයට අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයෙන් (බයිසිකලය) ඉදිරිපත් වී ඡන්ද ලක්ෂ එකහමාරකට වඩා වැඩි ප්‍රමාණයක් ලැබුවේය. එය සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් සියයට 2.66ක ප්‍රතිශතයකි‍.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් අඩුම ජනාධිපතිවරණය

ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ අඩුම අපේක්ෂකයන් සංඛ්‍යාව වාර්තා වූයේ 1988 ජනාධිපතිවරණයේදීය. එම ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වූයේ අපේක්ෂකයන් තිදෙනකු පමණි. එනම් එවර ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් (අලියා) රණසිංහ ප්‍රේමදාස මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් (අත) සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියද ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් (ඇස) ඔසී අබේගුණසේකර මහතාද ඉදිරිපත් වූහ. 1988 කාලය තුළ ඇවිළෙමින් තිබූ භීෂණ ස්වභාවයද මෙයට හේතුවක් වී යැයි සිතිය හැකිය.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් වැඩිම ජනාධිපතිවරණය

මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැති ජනාධිපතිවරණවලදී වැඩිම අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වූ ජනාධිපතිවරණය වන්නේ 2010 ජනාධිපතිවරණයයි. 2010 ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 22ක් ඉදිරිපත් වී තිබිණ.

ලාංකේය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ 1982 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් 06ක්ද 1988 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් 03ක්ද 1994 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් 06ක්ද 1999 හා 2005 ජනාධිපතිවරණවලදී අ‍පේක්ෂකයන් 13ක් බැඟින්ද 2010 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් 22ක්ද 2015 ජනාධිපතිවරණයේදී අ‍පේක්ෂකයන් 19ක්ද ඉදිරිපත් වූහ.

කෙසේ නමුත් 2019 ජනාධිපතිවරණයට සුදුසුකම් ලැබූ සමස්ත අපේක්ෂකයන් සංඛ්‍යාව සැලකූ විට මෙම වාර්තාව ඉදිරි කාලයේදී හිමි වන්නේ 2019 ජනාධිපතිවරණයටය. මන්දයත් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35ක් ඉදිරිපත් වන හෙයිනි.

ඡන්ද භාවිතය අඩුම ජනාධිපතිවරණය

මෙරට පැවති ජනාධිපතිවරණවලින් අඩුම ඡන්ද භාවිතයක් සහිත ජනාධිපතිවරණය වන්නේද 1988 ජනාධිපතිවරණය වේ. එම ජනාධිපතිවරණය වන විට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 9,375,742ක් වූ අතර එයින් ඡන්දය භාවිත කළේ ඡන්දදායකයන් 5,186,223කි. එනම් 1988 ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කළ ප්‍රතිශතය සියයට 55.31ක් දක්වා පහත වැටිණි. එවර ජනාධිපතිවරණය හැර අනෙක් සෑම ජනාධිපතිවරණයකදීම ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය සියයට 70ක සීමාව ඉක්මවා තිබිණි. 1988 කාලයේ වර්ධනය වෙමින් පැවැති භීෂණකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය සැලකිය යුතු මට්ටමකින් පහත වැටිණි.

ජනාධිපතිවරණයකදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අපේක්ෂකයා

ජනාධිපතිවරණයකදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අපේක්ෂකයා වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. ඇය 1994 ජනාධිපතිවරණයෙන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 62.27ක් විය. එමෙන්ම ඇය මෙරට ජනාධිපති ධුරයට තේරී පත්වූ පළමු කාන්තාවද වේ. පොදුජන එක්සත් පෙරමුණෙන් (පුටුව) ඇය 1994 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවාය.

ජනාධිපතිවරණයක හොඳම පරාජිතයා

ජනාධිපතිවරණයකදී අඩුම ප්‍රතිශතයක ඡන්ද පරතරයකින් පරාජයට පත්වූ අපේක්ෂකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. 2005 ජනාධිපතිවරණයේදී ජයග්‍රාහකයා සියයට 50.29ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා විට රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සියයට 48.43ක් විය. එය ජයග්‍රාහකයාගේ ඡන්ද ප්‍රතිශතයට වඩා සියයට 1.86ක අඩු වීමකි. එනම් 2005 ජනාධිපතිවරණයේදී ඔහු පරාජයට පත්වූයේ ජයග්‍රාහකයාට වඩා ඡන්ද 180,786ක් අඩුවෙන් ලබා ගැනීම හේතුවෙනි. රනිල් වික්‍රමසිංහ මහතා 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ එක්සත් ජාතික පක්ෂයෙනි.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර වැඩිම ඡන්ද පරතරය

ජනාධිපතිවරණයකදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර තිබූ වැඩිම ප්‍රතිශතයක ඡන්ද පරතරය දැකගත හැකි වන්නේ 1994 ජනාධිපතිවරණයේදීය. එවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 6 දෙනකු ඉදිරිපත් වූ අතර මේ අතුරෙන් ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ වජිරා ශ්‍රීමතී දිසානායක මහත්මියයි (ඇය හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මහතා‍ගේ බිරිඳ වේ. ගාමිණී දිසානායක මහතාගේ අනපේක්ෂිත මරණයත් සමඟ ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවාය). මෙහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 62.27ක් ලබා ගන්නා විට ශ්‍රීමතී දිසානායක මහත්මිය ලැබුවේ සියයට 35.9ක ඡන්ද ප්‍රතිශතයකි. මේ අනුව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර ඡන්ද පරතරයේ ප්‍රතිශතය සියයට 26.37ක් විය. එය ජනාධිපතිවරණයක ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර පැවැති වැඩිම ප්‍රතිශතයක ඡන්ද පරතරය වේ.

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වැඩිම ජනාධිපතිවරණය

මෙරට ජනාධිපතිවරණයකදී ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාවෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් භාවිත කර ඇත්තේ 2015 ජනාධිපතිවරණයේදීය. එවර මුළු ඡන්දදායකයන් සංඛ්‍යාවෙන් සියයට 81.52ක පිරිසක් සිය ඡන්දය භාවිත කර තිබේ. මෙම ජනාධිපතිවරණයට පෙර ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාවෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් භාවිත කර ඇත්තේ 1982 ජනාධිපතිවරණයේදීය. එය සියයට 81.06කි.

ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය වැඩිම ජනාධිපතිවරණය

ප්‍රකාශිත මුළු ඡන්දවලින් ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය වැඩිම ජනාධිපතිවරණය වන්නේ 1999 ජනාධිපතිවරණයයි. එහිදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 8,635,290ක් වූ අතර ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය 199,536ක් (ලක්ෂ දෙකකට ආසන්නය) විය‍. එම ඡන්ද ප්‍රමාණය ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණයෙන් සියයට 2.32ක ප්‍රතිශතයකි.

ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය අඩුම ජනාධිපතිවරණය

ප්‍රකාශිත මුළු ඡන්දවලින් ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය අඩුම ජනාධිපතිවරණය වන්නේ 2010 ජනාධිපතිවරණයයි. එහිදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 10,495,451ක් වූ අතර ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය 101,838ක් විය‍. එම ඡන්ද ප්‍රමාණය භාවිත කළ මුළු ඡන්ද ප්‍රමාණයෙන් සියයට 0.97ක ප්‍රතිශතයකි.

සුළු ජාතික අපේක්ෂකයන් වැඩිම ජනාධිපතිවරණය

ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති ජනාධිපතිවරණවලදී සුළු ජාතික අපේක්ෂකයන් වැඩිම පිරිසක් ඉදිරිපත් වූ ජනාධිපතිවරණය වන්නේ 2010 ජනාධිපතිවරණයයි. 2010 ජනාධිපතිවරණයේදී සුළු ජාතිකයන් 04 දෙනෙක් ඉදිරිපත් වූහ. මේ අතුරෙන් තිදෙනකු මුස්ලිම් ජාතිකයන් වන අතර එක් අපේක්ෂකයකු දෙමළ ජාතිකයකු වේ.

මීට පෙර ජනාධිපතිවරණ පැවැත්වූ වර්ෂ වන 1982 හා 1999දී සුළු ජාතික අපේක්ෂකයන් එක් අයකු බැඟින්ද 2010දී සුළු ජාතිකයන් සිව්දෙනකුද 2015දී සුළු ජාතිකයන් දෙදෙනකුද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූහ. කෙසේ නමුත් 1988, 1994 හා 2005 ජනාධිපතිවරණවලදී කිසිදු සුළු ජාතික අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නොමැත.

2019 ජනාධිපතිවරණයට අපේ ජාතික පෙරමුණ නම් පාර්ශ්වයෙන් ඉදිරිපත් වී සිටින සුබ්‍රමනියම් ගුණරත්නම් නම් අපේක්ෂකයාද දෙමළ ජාතිකයකු වන්නේ නම් මෙම වාර්තාවද මෙවර ජනාධිපතිවරණයෙන් බිඳ වැටේ. මන්දයත් එසේ වුවහොත් මෙවර ජනාධිපතිවරණයට සුළු ජාතිකයන් 05 දෙනකු ඉදිරිපත් වූවා යැයි සැලකිය හැකි හෙයිනි‍. එසේ වුවහොත් මෙවර ජනාධිපතිවරණයට මුස්ලිම් ජාතිකයන් තිදෙනකු සහ දෙමළ ජාතිකයන් දෙදෙනකු ඉදිරිපත්ව තිබෙන බව සැලකිය හැකිය.

ජනාධිපතිවරණයේ කාන්තා නියෝජනය

ලාංකේය ජනාධිපතිවරණ ඉතිහාසයේ මුල් වරට කාන්තාවක ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ 1988 ජනාධිපතිවරණයේදීය. 1988 ජනාධිපතිවරණයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිවරණ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වී තිබේ.

ඉන් අනතුරුව පැවැති 1994 ජනාධිපතිවරණය ඉතිහාසගත වන්නේ ජනාධිපතිවරණ අපේක්ෂිකාවන් වැඩිම පිරිසක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පළමු සහ එකම අවස්ථාව ලෙසය. එවර ජනාධිපතිවරණයට පොදු ජන පෙරමුණෙන් (පුටුව) චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද ගාමිණී දිසානායක මහතාගේ අනපේක්ෂිත අභාවය හේතුවෙන් ඔහුගේ බිරිඳ වන වජිරා ශ්‍රීමතී දිසානායක මහත්මිය එක්සත් ජාතික පක්ෂයෙන්ද (අලියා) ඉදිරිපත් වූහ.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ කාන්තාවන් ජනාධිපති අපේක්ෂිකාවන් ලෙස ඉදිරිපත් වූ ජනාධිපතිවරණ වන්නේ 1988, 1994 සහ 1999 ජනාධිපතිවරණයන්ය. 2019 ජනාධිපතිවරණයේ විශේෂත්වය වන්නේ වසර 20කට පසු ජනාධිපතිවරණයක් සඳහා කාන්තාවක මෙවර ඉදිරිපත් වී තිබීමය. මේ අනුව මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂිකාවක ලෙස ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය එක්වී සිටින්නීය.

වැඩිම වාර ගණනක් ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂකයා

එමෙන්ම මෙවර ජනාධිපතිවරණයෙන් පසුවද සුවිශේෂී අවස්ථාවක් දැකගත හැකිය. එනම් මෙවර ජනාධිපතිවරණයෙන් පසුව එක්සත් සමාජවාදී පක්ෂයෙන් (ත්‍රිරෝද රථය) ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සිරිතුංග ජයසූරිය මහතා වැඩිම වාර ගණනක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා බවට පත්වන්නේය. ඔහු මේ වන විට 2005, 2010 සහ 2015 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වී තිබේ. මේ අනුව ඔහු මෙවර ජනාධිපතිවරණයටද ඉදිරිපත් වන්නේ‍ය. මෙයත් සමඟ ඔහු ජනාධිපතිවරණ 04කට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී තිබේ.

(මෙම ලිපිය සකස් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ ජනාධිපතිවරණ ප්‍රතිඵල සංඛ්‍යාලේඛන යොදා ගැනිණ.)

 

සටහන [අමිල මහවත්ත]

News Order: 
-2