රට ඉදිරියට යෑමට නම් තිරසර පරිසර වැඩපිළිවෙළක් අවශ්‍යයි

 ඡායාරූපය:

රට ඉදිරියට යෑමට නම් තිරසර පරිසර වැඩපිළිවෙළක් අවශ්‍යයි

ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක

මිනිසා නිරන්තරයෙන් පරිසරය වෙනස් කරමින් ජීවත් වන බැවින් මිනිසා අතින් පරිසරය විශාල ලෙස විනාශ වී ඇති බවත් එමනිසා අපේ රට ඉදිරියට යෑමට නම් රටේ තිරසර පරිසර වැඩපිළිවෙළක් තහවුරු කළ යුතු බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මහනුවර ප්‍රදේශයේ පසුගියදා (05) පැවැති ජන හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දිසානායක මහතා මෙසේද කියා සිටියේය.

"රටක් ගොඩනැඟීමට නම් රට ආර්ථික වශයෙන් ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම සියලු පුරවැසියන්ට රැකවරණය, සුරක්ෂිතභාවය තහවුරු කළ යුතුයි. දරුවන්ට තම අනාගතය ගැන සහතිකයක් තිබෙන්න ඕනෑ. තරුණයන්ට සුදුසු රැකියාවක් ලැබිලා තමන්ගේ ජීවිතය සුරක්ෂිත කර ගන්න, ශක්තිමත්ව ගොඩනංවා ගන්න අවස්ථා තිබිය යුතුයි. වැඩිහිටියන්ට තම මහලු වියේදී ජීවිතය පිළිබඳ සුරක්ෂිතභාවයක් සහිත රටක් සමාජයක් අපි හදන්න ඕනෑ. කාන්තාවන්ට අනාරක්ෂිතභාවය වෙනුවට ආරක්ෂිත, සමාජ සාධාරණය ඉටුවන රටක් අපි හදන්න ඕනෑ. ආබාධිත පුරවැසියන්ට සාධාරණව සහ අයිතීන් භුක්ති විඳිමින් ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න ඕනෑ. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය ජනතාවට පහසුකම් ලැබෙන විධියට කාර්යක්ෂම සේවා බවට පත් කරන්න ඕනෑ. රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ඕනෑ. අද රාජ්‍ය සේවකයන් සතුටින් නොවෙයි ඉන්නේ. එයාගෙන් වැඩක් කරගන්න යන කෙනාත් සතුටින් නොවෙයි ආපසු එන්නේ. ඒ නිසා රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ඕනෑ. ඒ වගේම මහජන ආරක්ෂාව හා ජාතික සමගිය ගොඩනඟන්න ඕනෑ. රටේ ඕනෑම පෙදෙසක සැකෙන් බියෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් රටක් අපි හදන්න ඕනෑ.

"මිනිසා කියන්නේ පරිසර ලෝකයේ එක සත්ත්වයෙක්. අනෙක් හැම සතෙක්ම ස්වභාව ධර්මයෙන් දී තිබෙන පරිසර සාධක මත ජීවත්වෙනවා. අපි මොකද කරන්නේ. පරිසරය වෙනස් කරමින් ජීවත් වෙනවා. මෙතැනදි අද පරිසරයට වෙලා තිබෙන විනාශය අතිවිශාලයි. ඒ නිසා අපේ රට ඉදිරියට යෑමට නම් අපේ රටේ තිරසාර පරිසර වැඩපිළිවෙළක් අපි තහවුරු කළ යුතුයි. මේ කරුණු ඉටුකිරීම තමයි රටක පාලනයක ප්‍රධාන වගකීම.

"අපේ රටේ ජනයා විදේශවල වැඩිපුර කරන රැකියා මොනවාද? ගෘහ සේවය, කොන්ක්‍රීට් අනන එක. කොරියාව ගත්තොත් විශාල ප්‍රමාණයක් නිරතවෙලා ඉන්නේ, ඉතාම අනාරක්ෂිත රැකියාවල. එනිසා ලෝකය තුළ අපිට තිබෙන්නේ දුප්පතුන්ගේ රැකියා. මේ හැම අතින්ම අපි දුප්පත්භාවයට පත්වූ රටක්. පාලකයා පොහොසත් වීමේ හේතුව සොයාගෙන ගියොත් මේ රට දුප්පත් වීමේ හේතුව සොයාගන්න පුළුවන්. මේ වේදිකාවට ගොඩවී සිටින කිසිවෙක් මෙතැනට ආවේ තමන්ගේ ගිණුම් පොහොසත් කරගන්න නොවෙයි. මේ රට පොහොසත් කරන්න. මේ රට පොහොසත් කළොත් මේ ණය උගුලින් රට ගලවා ගන්න පුළුවන්.

"දැන් ලෝකයේ ණයවලින් අර්බුදයට ගිය රටවල් ගැන කතා කරන විට උදාහරණයට ගන්නේ ශ්‍රී ලංකාව.

අපිට ඕනෑ ක්‍රමානුකූලව අපේ රට ණය උගුලෙන් ගලවා ගන්න සැලැස්මක්. අපි හොඳ පුරෝකථනයක් හදන්න ඕනෑ. දැනට තිබෙන ණය ප්‍රමාණය මෙපමණයි. 2020 - 25 වගේ වෙනකොට මෙන්න අපේ ණය බර හෑල්ලු කරන සැලසුම් කියලා පෙන්වන්න පුළුවන් වෙන්න ඕනෑ. ඕනම ව්‍යාපාරිකයෙක් ණය උගුලක හිරවෙලා නම්, ඔහුට ඒකෙන් ගොඩ එන්න වෙන්නේ නැවත ණයක් අරගෙන ඵලදායී ව්‍යාපෘතියකට යෙදවීමෙන්. ඒ නිසා අපේ පාලනයක් යටතේත් අපිට ණය ගන්න වෙනවා. ඒක අපි හංගන්නේ නැහැ. අපට අවශ්‍ය ප්‍රාග්ධනයත්, අවශ්‍ය වන තාක්ෂණයත් ගෙන්වා ගැනීම වෙනුවෙන් අපි ණය ගන්න සූදානම්. අඩු පොලී අනුපාතයකට ණය ගැනීමේ ආයතන ලෝකයේ තිබෙද්දී අපේ රටේ පාලකයෝ ඇයි වැඩි පොලියට ණය ගන්නේ?

"වාණිජ වෙළෙඳපොළෙන් මේ පාලකයෝ ණය ගත්තා. ආධාර, යෝජනා ණය වර්ග දෙන ආයතන ලෝකයේ තිබෙනවා. හැබැයි ඒවායින් ණය ගන්න ගිය විට කොන්දේසි දමනවා. ඒ ණය අරගෙන කරන ව්‍යාපෘතිය ශක්‍යතාවෙන් යුක්ත වෙන්න ඕනෑ. යොදන මුදලට අනුව ප්‍රතිලාභ තිබෙන්න ඕනෑ. ඒ කොන්දේසියට අනුව ණය ගන්න ගියා නම්, සූරියවැව පිට්ටනිය හදන්න ණය හම්බවෙන්නේ නැහැ. ඇයි? යොදන මුදලට අනුව මැච් නැහැ. එන්නේ නැහැ. ඒ අනුව තමයි මොරගහකන්ද යෝජනා ක්‍රමයටත් ණය නොලැබුනේ. ඒකට මුදල් දැම්මේ ආණ්ඩුව. මොරගහකන්ද ව්‍යාපෘතියට යොදන මුදල අනුව අවුරුද්දට දස වතාවක් ජලය පිරෙන්න ඕනෑ. අර කොන්දේසිය අනුව. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා ණය දුන්නේ නැහැ.

"අඩු පොලියට ණය ගන්න පුළුවන් ආයතනවල ඊළඟ කොන්දේසිය නම් ඒ ණය අරගෙන හදන ව්‍යාපෘතිය, කොන්ත්‍රාත් දීමේදී ටෙන්ඩර් පටිපාටි විධිමත්ව අනුගමනය කළ යුතු බවයි. හැබැයි ඒවා රාජපක්ෂලාට රනිල්ලාට අල්ලන්නෙ නැහැ. ඇයි? ඒවා අනුව ණය ගත්තොත් තමන්ගේ ගජමිතුරන්ට කොන්ත්‍රාත් එක දෙන්න විධියක් නැති වෙනවා. ඊළඟ කොන්දේසිය නම් ඒ ණය අරගෙන කරන ව්‍යාපෘතිය පරිසරයට කොපමණ හානිදායකද කියලා බැලීම. පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවෙන් අසමත් නම්, ණය දෙන්නේ නැහැ. එහෙම ණයක් ගන්න ගියා නම් උමාඔය ව්‍යාපෘතියට ණය ලැබෙන්නේ නැහැ. ඒවාට ණය දෙනවා වාණිජ වෙළඳපොළෙන්.

"ඊළඟ කොන්දේසිය ඕනෑම ව්‍යාපෘතියකින් අවතැන් වන ජනතාව යළි ගොඩනඟන, ඒ අයගේ ජිවිත සුරක්ෂිත කිරීම සඳහා දෙන දීමනා, ප්‍රතිලාභ නිසි පරිදි ලබා දීම. අවතැන් වන දරුවන්ට පාසලක් තිබුණා නම් හොඳ පාසලක් සුදුසු තැනකින් ලබාදිය යුතුයි. අවතැන් වූවන්ගේ විනාශ වන නිවාස වෙනුවට සුදුසු නිවාස ලබාදිය යුතුයි. ඔවුන්ට පිරිසුදු පානීය ජලය ලබාදිය යුතුයි. මේ ආදී ලෙස රට හදන්න කවුරු හරි එනවා නම් මෙම කොන්දේසි අපි විසින්ම දාගත යුතු නොවේද? මේ කොන්දේසි රටකට නරකද? ජනතාවට හානිකරද? නැහැ."

News Order: 
3
මාතෘකා

ජනප්‍රිය ලිපි