ගිවිසුම් සහ විවේචන

ගිවිසුම් සහ විවේචන

ඇමෙරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය (Millennium Challenge Corporation) විසින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රදානයක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුගියදා හිමි විය. මෙම ප්‍රදානය උපයෝගී කරගෙන ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ අවශ්‍යතා පදනම් කරගනිමින් රටේ ප්‍රදාන රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරන නිලධාරීන් විසින් සකස් කර ඇත. Millennium Challenge Corporation (MCC) සමඟ මෙම ගිවිසුම අත්සන් කළ පසුව වුවද ශ්‍රී ලංකාවේ අවශ්‍යතා අනුව මෙම ව්‍යාපෘති සංශෝධනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය සතුව පවතී. Millennium Challenge Corporation වෙතින් ලැබෙන මෙම ප්‍රදානය ශ්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් ප්‍රථම වතාවට සාකච්ඡා ඇරඹුවේ එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් 2001 වසරේදීය. මේ වන විට දේශපාලන වේදිකාවේ කතාබහ කරන උණුසුම් මාතෘකාවක් ලෙස Millennium Challenge Corporation හෙවත් MCC ගිවිසුම හැඳින්විය හැකිය. මේ ඒ පිළිබඳව සමාජ ක්‍රියාකාරීන් දැක්වූ අදහස් වේ.

MCC ගිවිසුම මෙවර ලබාගැනීම රටට ජයග්‍රහණයක්

මනෝරම වීරසිංහ

සහශ්‍ර අභියෝගතා ගිවිසුම හෙවත් මිලේනියම් චැලේන්ජ් ගිවිසුම (MCC) මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළෙහි ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තියෙනවා. මෙහිදී ඇමරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් ලබාදෙන කොන්දේසි වැරදි විදියට අර්ථකථනය කරගැනීම තමයි ගැටලුව වෙලා තියෙන්නෙ. මේ ගිවිසුම සඳහා පණවා ඇති සීමාවන් ගැන බැලූ කළ ඒවා කිසිසේත් හානිදායක හෝ ඒක පාර්ශ්වීය යෝජනා නෙවෙයි. හමුදා, පොලිස්, සන්නද්ධ, ජාතික ආරක්ෂක බලමුළු හෝ වෙනත් අර්ධ හමුදා සංවිධාන හෝ ඒකකයකට සහාය දීම හෝ ඒවායේ පුහුණුව සඳහා ආධාර භාවිත කළ නොහැකියි. ඇමෙරිකාවේ නිෂ්පාදන වෙළෙඳපොළට හෝ රැකියාවලට හානියක් වන පරිදි මෙම ආධාර උපයෝගී කර නොගත යුතුය. පරිසරයට, සෞඛ්‍යයට, සමාජ විෂමතාවන්ට (කාන්තාවන්ට සහ දරුවන්ට අහිතකර) ඉඩ නොදිය යුතුය. වන්ද්‍යාකරණය හෝ ගබ්සා කිරීම්වලට කිසිදු සහායක් නොදැක්විය යුතුය. මේ තමයි ඒ සීමාවන්. ඉතින් මෙම කටයුත්තේදී සිදුවන්නේ ප්‍රවාහන කළමනාකරණය විධිමත් කිරීමට අවශ්‍ය සියලු යටිතල සහ වෙනත් පහසුකම් සම්පූර්ණ කිරීම සහ ඉඩම් පිළිබඳ අයිතිය හා ඒවා නිරවුල් කිරීමට අදාළ කටයුතු යෙදීම පමණයි. එහිදී ඔවුන් අපේ රටෙන් බලාපොරොත්තු වන්නේ ආර්ථික නිදහස, සාධාරණ පාලනය, මහජනතාව වෙනුවෙන් කරන ආයෝජන ආදිය පමණයි. මීට පෙර රජයන් කිහිපයක්ම මෙය ලබාගැනීමට උත්සාහා කරත් ඔවුන්ට හැකියාවක් ලැබී නැහැ. නමුත් මෙවර මෙය ලබාගැනීම රටට ජයග්‍රහණයක්.

මෙවැනි ගිවිසුම්වල අවශ්‍යතාව සහ වගවීම ප්‍රකාශ කළ යුතුය

සුසන්ත බණ්ඩාර

1815 උඩරට ගිවිසුම, 1987 ඉන්දු ලංකා ගිවිසුම වැනි ගිවිසුම්වල අවසාන ප්‍රතිඵලය ගැටලු රැසකට මුහුණපෑමට සිදුවීම. ගිවිසුමකට අත්සන් තබන්න පාර්ශ්ව ගණනාවක් ඉන්න පුළුවන්. ගැටලුව පැන නඟින්නේ එකඟ පිරිස හා විරුද්ධ පිරිස අතර. ගිවිසුම කුමක් වුණත් කුමන හැඩයක වුවත්, ජනතාව දැනුවත් කිරීම සිදුකළ යුතුයි. ඒක පාලකයන්ගේ යුතුකමක් හා වගකීමක් විය යුතුයි. ඒ වගේම ගිවිසුමට එළැඹීමට එය සුදුසු කාලයක විය යුතුයි. ගිවිසුම්වලට එකඟතාව සියයට 100ක් ලබාගත නොහැකියි. නමුත් එකඟ වන, විරුද්ධ වන සියල්ල එකතු කොට නිසි ක්‍රමවේදයකට මෙවැනි ගිවිසුම්වලදී අත්සන් තැබීම කළ යුතුයි. MCC ගිවිසුමේ ප්‍රතිඵලය ඉහළ උදාහරණ ගිවිසුම් හා ඒවගේ ප්‍රතිඵලවලට සමාන නොවිය යුතුය. අද රටට කාලීන අවශ්‍යතාව කුමක්ද යන්නත්, මේ ගිවිසුම් සම්බන්ධයෙන් රජය හෝ ඒ පාර්ශව මෙවැනි ගිවිසුම්වල වගවීම පැහැදිලිව ප්‍රකාශ කිරීමත් කළ යුතුය.

ගිවිසුම බිල්ලෙක් කරගෙන විපක්ෂය මැතිවරණ වාසි ගන්නවා

ජයනි අබේසේකර

MCC‍ ගිවිසුම එහෙම නැත්නම් මිලේනියම් වැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් තියෙන ජනප්‍රිය චෝදනාව තමයි ඒක ඇමෙරිකානු මර උගුලක් බව. නමුත් ඇත්තටම අපි තේරුම් ගන්න ඕන අපි වගේ රටවල්වලට සිද්ධ වෙනවා මෙවැනි ගිවිසුම්වලට එළැඹිලා වෙළෙඳමය යටිතල පහසුකම් දියුණු කර ගැනීම වෙනුවෙන් වැඩ කරන්න. මේ ගිවිසුමේ එන වගන්තිවලට අනුව ඒ කිසිවක් ක්‍රියාවට නංවන්නේ ඇමෙරිකාවෙන් කවුරු හරි ඇවිල්ලා නෙවෙයි. ඒ සියල්ල සිදුවෙන්නේ රජයේ මැදිහත්වීමෙන් ඇති කරන කමිටු හරහා. විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් ආසන්නයේ ආණ්ඩුව මේ ගිවිසුම අත්සන් කරන්න කටයුතු කරනවා කියන්නෙම ඔවුන් මේ විපක්ෂ කණ්ඩායම් ගේන ව්‍යාජ තර්කවලට බය නැහැ කියන එක. මේ ගිවිසුම බිල්ලෙක් විදියට මවා පෑමෙන් මේ අය උත්සහ කරන්නේ සුපුරුදු ඇමෙරිකානු විරෝධය හරහා මැතිවරණ වාසි ගන්න.

ගිවිසුම් ගහන්නේ නැතිව ඉන්න පුළුවන් ගෝත්‍රික සමාජයකටයි

භාරත තෙන්නකෝන්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා හෝ වෙනත් පාර්ශ්වයක් රාජ්‍ය වශයෙන් හෝ කලාපීය වශයෙන් හෝ රාජ්‍යයන් දෙකක් අතර වන ගිවිසුමකට එළැඹීමේදී දේශීය යාන්ත්‍රණය තුළ අනුමත කරගත යුතුයි. මේ ගිවිසුම් කවදාවත් හුදෙකලාව ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ සඳහා කැබිනට් අනුමැතියක් තිබිය යුතුයි. ඕනෑම ගිවිසුමක් මේ මහපොළොවේ ක්‍රියාත්මක කරන්න අමාත්‍යංශ, දෙපාර්තුමේන්තු, අධිකාරීන් හා සංවිධාන සම්බන්ධ කරගන්න වෙනවා. ඒ ගිවිසුම ක්‍රියාත්මක කරන්නට අදාළ නීති රෙගුලාසි සියල්ල හදන්නේ පාර්ලිමේන්තුව හරහා. ඒ සඳහා අවම වශයෙන් නීති සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. එවිට මහජනතාව හැමෝටම මේක බලන්න පුළුවන්. මේ ගැන දැනුවත් වෙන්න පුළුවන්. රටක් ලෙස ජාත්‍යන්තර ගිවිසුම්වලට එළැඹෙන්නේ නැතිව ඉන්න බැහැ. එහෙම ඉන්න පුළුවන් ගෝත්‍රික සමාජයකට. රටවල් සමඟ කලාපීය වශයෙන් ජාත්‍යන්තර ගිවිසුම්, එකඟතාවලට එළැඹෙන්න වෙනවා. ඒ නිසා විය යුත්තේ සෘජුවම ගිවිසුම් එපා කියන්නේ නැතිව සාපේක්ෂව, කාලෝචිතව මහජනයාට උචිත ආකාරයට ඒවා අනුමත කිරීමයි.

ගිවිසුම ගැන ජනතාව දැනුවත් කිරීම අඩුයි

අමන්දා අබේසූරිය

MCC ගිවිසුමේ කෙ‍ටුම්පතක් මේ වන විට මාධ්‍යයට නිකුත් කරලා තිබුණත් ඒ කෙ‍ටුම්පතෙහි සිංහල පරිවර්තනයක් නිකුත් කරලා නැහැ. එමෙන්ම මෙවැනි ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා විවාදයට ලක් කළ යුතු වුණත්, එය හෝ තවම සිදු කර නැහැ. මුදල් අමාත්‍යාංශය මඟින් ප්‍රකාශ කර ඇති අන්දමට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුවයි. දේශපාලකයන් මුළු රටේම ජනතාවට බලපාන මෙවැනි ගිවිසුම් සිය තනි කැමැත්තට අත්සන් කිරීමේ ඉතිහාසයක් ලංකාවට තිබෙනවා. ETCA, 2007දී ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනපදය හා අත්සන් කළ ACSA එවැනි ගිවිසුම්. ජනපතිවරණය අවසන් වන තෙක් එම ගිවිසුම අත්සන් නොකරන බවට අමාත්‍ය පාඨලී චම්පික ඊයේ ප්‍රකාශ කර තිබුණා. ජනපතිවරණයෙන් පසුව වුවද පාර්ලිමේන්තු විවාදයකින් තොරව ප්‍රමාණාත්මක සකච්ඡාවකින් තොරව මේ ගිවිසුම අත්සන් කිරීම කිසිසේත් සිදු නොකළ යුතුයි.

මේ ගිවිසුමේ අන්තර්ගතය ගැන මිනිසුන්ට පැහැදිලි මදි

හසිත ඒකනායක

MCC ගිවිසුමට එකඟ වෙන්න බැහැ. හේතුව අපි විශ්වාස කරන විදිහට සාමාන්‍ය බහුතර ස්ථරවලට දැනගන්න ඉඩක් තියලා ගිවිසුම්වලට එළැඹෙන්න ඕනේ. මේ ගිවිසුමේ කාරණා මිනිස්සු දන්නේ නැහැ. මේ ගිවිසුම මොකක්ද? මෙහි ප්‍රතිලාභ මොනවාද? ගිවිසුමට එළැඹෙන්නේ ඇයි? කියන දේ මිනිස්සුන්ට පැහැදිලි නැහැ. 1818දීත් අපේ ඉඩම්වල අයිතිය විදේශිකයන්ට දීලා අපිට විශාල ගැටලුවලට මූණදෙන්න වුණා. මේක උතුර දකුණ යා කරන ආර්ථික කොරිඩෝවක් කියලා කියනවා. එහි වටිනාම ආර්ථික සම්පත් ඇමරිකාව වගේ රටකට දුන්නාම අපේ රට දෙපැත්තට බෙදෙනවා. අපේ රටේ මිනිසුට ගොඩනඟන්න පුළුවන් දේවල් වෙන රටකට දෙනවා කියන්නේ කලාපීය වශයෙන් අපිට ගැටලු එන්න පුළුවන්. ඒ වගේම ඇමරිකාව වගේ රටක් ලංකාවේ ආර්ථිකයට මැදිහත් වුණොත් ඒක රටේ ස්වාධීනත්වයට බරපතළව හානිදායක වෙන්න පුළුවන්.

[නිර්මාණි බණ්ඩාරනායක]

News Order: 
8
මාතෘකා