මහපොළ හෙවත් මනුෂ්‍යත්වයේ හදබිම

 ඡායාරූපය:

මහපොළ හෙවත් මනුෂ්‍යත්වයේ හදබිම

 

1980 - 1990 යුගයේ අඳුරු අමිහිරි මතක අතර රිදී රේඛාවක් ඇඳී තිබේ. ඒ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලයි. නිසි කල ඉක්මවා ගොස් කොළඹ සරසවියට ඇතුළු වූ මා මහපොළ ශිෂ්‍යත්වය ලබා ගත්තේ ඇල්පිටිය නාගොඩ මහා විද්‍යාලයේදී ලලිත් ඇතුළත්මුදලි ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය. අගහිඟකමේ වැස්සෙන් ඕනෑවටත් වඩා තෙමී හෙම්බත්ව සිටි මා ඇතුළු දහස් ගණන් සිසුන්ට මහපොළ ආශිර්වාදයක් විය.

මගේ පවුලේ හතර දෙනකු උසස් අධ්‍යාපන වරම් ලැබුවද මහපොළ වරම ලැබුණේ අවසන් වරට සරසවි ගිය මට පමණි. ඊට පෙර එවැනි ඵලදායී ක්‍රමයක් ක්‍රියාත්මක නොවීය. මගේ වැඩිමල් සොයුරා විදුදය සරසවියට ඇතුළු වූයේ 1968දීය. උපාධිය ලැබීමට නියමිතව තිබුණේ 1972 වසරේදීය. අවසන් පරීක්ෂණයට ඔන්න මෙන්න තිබියදී ඔහු හදිසි අනතුරකින් මියගියේය. මාස කීපයක් ගත විය. ණය මුදල පොලිය සමඟ ගෙවන මෙන් බැංකුවෙන් නිවසට ලියුම් ආවේය. එකල දුප්පත් සිසුන්ට බැංකුවෙන් මාස්පතා ණය මුදලක් ලැබිණ. මතකයේ හැටියට රුපියල් 125කි. උපාධිය ලබාගෙන රජයේ රැකියාවක නිරත වන විට ණය මුදල මාසික වැටුපෙන් අය කර ගනියි. බැංකුවේ ලියුමෙන් මගේ මවුපියෝ අන්ත අසරණ බවට පත් වූහ. ගෙදර සන්තකයේ තිබූ එකම වටිනා වස්තුව වූ බක්කි කරත්තයද විකුණා දැමිණ.

මෙවැනි කටුක අත්දැකීම් ඇති බොහෝ අය සිටිති. මට මහපොළ ලැබුණේ එය ක්‍රියාත්මක වීමෙන් පසු දෙවැනි කණ්ඩායමේ සිසුවකු හැටියටය. රටේ පැවැති භීෂණකාරී වාතාවරණය නිසා වරින් වර සරසවි වසනු ලැබුවද මහපොළ ලබා දෙන දින කොයි අහුමුල්ලක හෝ සිට පැමිණ එය ලබා ගැනීමේ සන්නිවේදන ජාලයක් අප සතු විය. මහපොළ ශිෂ්‍යත්වය මාසික වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් නොවුණද එයත් නොතිබුණා නම් ඇති වන දුෂ්කර තත්ත්වය සිතාගත නොහැක.

මහපොළ ශිෂ්‍යත්වය ක්‍රියාත්මක වීම ඇරඹුණු 1983 සිට 2019 දක්වා එයින් ප්‍රතිලාභ ලැබූ සිසුන් සංඛ්‍යාව 3,06,637කි. 1981 අංක 66 දරන පනත අනුව මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ගොඩනැඟිණ. සංවර්ධන ලොතරැයි මණ්ඩලය පිහිටුවන ලද්දේ අරමුදල පෝෂණය කිරීම සඳහාය. ලොතරැයි ආදායම ජනාධිපති අරමුදලට බැර කෙරේ. එයින් 50%ක් මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට වෙන් කෙරේ. මහපොළ ශිෂ්‍යත්වය සියලු විශ්වවිද්‍යාල මෙන්ම උසස් අධ්‍යාපන ආයතන රැසක් ආවරණය කරයි. භික්ෂු විශ්ව විද්‍යාලය, තාක්ෂණික ආයතනය (NDT), ජාතික සමාජ සංවර්ධන ආයතනය, විවෘත විශ්ව විද්‍යාලය, ජාතික උසස් තාක්ෂණ ආයතනය යනු එම ආයතනයි. වත්මනෙහි එක් ශිෂ්‍යත්වලාභියකු සඳහා මාසිකව ලබාදෙන මුදල රුපියල් 5,000කි.

මහපොළ ශිෂ්‍යත්වයෙහි නිර්මාතෘ දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාය. ඔහු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකි. ඔහු වෙළෙඳ හා නාවික ඇමති ධුරය හෙබවූ සමයෙහි කොළඹ වරාය ලොව හොඳම වරායන් අතරට ගෙන ඒමට සමත් විය. මහපොළ ප්‍රදර්ශනය තවත් සංකල්පයකි. නගරයට සීමා වූ රූපවාහිනිය ඇතුළු භාණ්ඩ රැසක් එම ප්‍රදර්ශනයට ඇතුළත් විය. ග්‍රාමීය ජනයාට මෙය ආස්වාදනීය අත්දැකීමක් විය. අධිසුඛෝපභෝගී භාණ්ඩවලට ජනතාව හුරු කරනවා යැයි එකල මෙරට ප්‍රකට උගත්තු චෝදනා කළහ. පසු කලෙක ඔවුන්ගේ නිවෙස්වලද පුළුල් තිර රූපවාහිනී දක්නට විය. මහපොළ ප්‍රදර්ශනයෙහි මුඛ්‍ය අරමුණ මහපොළ ශිෂ්‍යත්වය සඳහා අරමුදල් තරකර ගැනීමය. ලොතරැයි කුටිය ඒ සඳහා වෙන් විය. මේ අරමුදලින් සතයක්වත් ඇතුලත් මුදලි මහතා පුද්ගලික ප්‍රයෝජනයට නොගත්තේය. ඔහු මෙය ආරම්භ කළේද තම පුද්ගලික අරමුදලිනි. ඇතුලත්මුදලි මහතාගේ සමීපතම ගෝලයකු ලෙස පෙනී සිටිමින් ඔහුගේ දේපළවල භාරකාරත්වය දැරූ එක් දේශපාලකයකු පසුකලෙක එම දේපළ තමා සතු කර ගත් බවත් සරලා ඇතුලත්මුදලි දියණිය පිය උරුමයෙන් දේපළ හිමි නොවූ තැනැත්තියක් බවට පත් වූ බවත් නොදන්නා අය බහුලය.

මහපොළ ශිෂ්‍යත්ව ආරම්භ කිරීම සඳහා ඇතුලත්මුදලි මහතාට බලපෑවේ තම ජීවන අත්දැකීම්ය. නීති උපාධිය හැදෑරීම සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවියට යෑමේ වරම ඔහුට ලැබුණේ එම සරසවියේ කීර්තිමත් ආදි සිසුවකු වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ අතදීම නිසාය. ඇතුලත්මුදලි එම සරසවියෙහි ශිෂ්‍ය සංගම් සභාපති බවට පත්වූයේ ඔහු සතු වූ චතුර කථිකත්වය හා තීක්ෂණ බුද්ධිය නිසාය. ඔහු පශ්චාත් උපාධියද ඉහළින් සමත් විය. නීති පීඨයෙහි කථිකාචාර්ය ධුරයට වඩා දේශපාලනය තෝරා ගැනීම රට තුළ විශාල පරිවර්තනයකට හේතු විය.

සිසු වියෙහිදී තමා මුහුණ දුන් අභියෝගය අමතක නොකළ ඔහු උසස් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් කල් පවත්නා වැඩසටහනක් සැලසුම් කළේය. මහපොළ ශිෂ්‍යත්වය එහි මාහැඟි ප්‍රතිඵලයයි. මහපොළ ශිෂ්‍යත්වයේ ආධාරයෙන් උසස් අධ්‍යාපනය ලබා රටේ ඉහළ තනතුරුවල සිටින සංඛ්‍යාව විශාලය. විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන බුද්ධිමතුන් හා පර්යේෂකයන් ගණන විශාලය. මේ බොහෝ අය තමන්ට උපකාරී වූ ශිෂ්‍යත්වය ගැන කීම මදිපුංචිකමක් ලෙස සලකති. ඒ අපේ රටේ හැටිය. 2,500ක උරුමය හා ගල් කණු ගැන නිතර කතා කරන ඔවුහු මෑත අතීතය වළදමති. කොටින්ම සරසවි සිසුන් සීයකගෙන් මහපොළ ශිෂ්‍යත්වය ගැන ඇසුවහොත් එයින් දෙතුන් දෙනකුවත් ඇතුලත්මුදලි මහතාගේ නමවත් දන්නේ යැයි මම නොසිතමි. 80 දශකයේ මහපොළ ලැබූ බොහේ අයගේ දරුවන්ද වත්මනෙහි මහපොළලාභීහූ වෙති. ඔවුන්ගේ මවුපියන්වත් ඒ කතාව කියාදී නැත. "ජේ.ආර්. රට කෑවා" යන මන්තරය ගිරවුන් මෙන් මැතිරීම ඊට වඩා පහසුය. මේ වනාහී අපේ රටේ ජාතික ලක්ෂණයකි.

1959 ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය උලෙළේදී "බමුණු කුලයේ බිඳ වැටීම" ලිපිය වෙනුවෙන් මාර්ටින් වික්‍රමසිංහයන්ට රුපියල් 5,000ක ත්‍යාගයක් ලැබිණ. ඔහු ඒ මොහොතේම එයින් දුප්පත් සරසවි සිසුන් සඳහා ශිෂ්‍යත්වයක් ආරම්භ කළේය. වැඩි ප්‍රසිද්ධියක් නැතිව ඔහු කාලයක් තිස්සේ මෙය කරගෙන ගියේය. පසු කලෙක මාටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ දයාපාල ජයනෙත්ති මහතාට මම යෝජනාවක් කළෙමි. එනම්, මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ශිෂ්‍යත්වයේ ආධාරයෙන් උසස් අධ්‍යාපනය ලබා විවිධ තනතුරුවල සිටින හෝ විශ්‍රාම ගිය අයගේ අතීත අත්දැකීම් එකතු කර ග්‍රන්ථයක් සම්පාදනය කිරීමය. ඒ අනුව පුවත්පත් මඟින් ඇරයුම් කරන ලදි. එහෙත් එකදු පුද්ගලයකුවත් තොරතුරු දැන්වූයේ නැත.

මේ සියල්ල අනුව පෙනී යනුයේ කෘතගුණ දත් අතීත උරුමයක් ඇති ජනතාවක් ක්‍රමයෙන් ආත්මාර්ථකාමීත්වයට ඇදී යමින් සිටින බවය. පහනින් පහන දැල්වීම නොකරන බවය. මහපොළ භාරකාර අරමුදලේ ප්‍රමාණය දන්නා ධනවැද්දන් ඊට අත තැබීමට උත්සාහ දරා ඇති බවද අපි දනිමු.

මීට වසර කීපයකට පෙර පේරාදෙණිය සරසවියේ නේවාසිකාගාරයක් ඇතුලත්මුදලි නමින් නම් කෙරිණ. ඊනියා ශිෂ්‍ය සංගම්කාරයෝ නාම පුවරුවද කඩා දැමූහ. මහපොළෙන් බත්පත කන සිසුන්ද ඒ අතර සිටින්නට ඇත. පෙරටුගාමී නම ඇතත් වැඩ පසුගාමී බව පෙනිණ. ඇතුලත්මුදලි මහතා කලෙක උසස් අධ්‍යාපන ඇමති ලෙසද කටයුතු කර ඇති බව මේ අපතයෝ නොදත්හ. මේ සිදුවීම දකින්නට ඇතුලත්මුදලි මහතා ජීවතුන් අතර නොසිටියේය. සිටියා නම් ඔහුගේ හදවත නිහඬ වන්නේ ඒ මොහොතේදීය.

විධිමත් පාසල් අධ්‍යාපනයකින් තොරව සරසවියට ඇතුළත් වූ මම පුවත්පත්කලාවේදියකු වීමට පෙර විවිධ රැකියා කළෙමි. දේශනවලට සහභාගී වූයේද ඉඳහිටය. අගනුවර ගත කළේ දුෂ්කර ජීවිතයකි. ඇතුලත්මුදලි මහතාගේ දේශපාලනයට මුළුමනින්ම ප්‍රතිපක්ෂ දේශපාලන දැක්මක් අපට විය. ඇතුලත්මුදලි මහතා මියයද්දී ඔහුට වයස අවු 58කි. මේ ලියුම්කරු ඔහු ගැන සටහනක් තබන්නේ ඔහුගේ වයසේදීමය. ආපසු හැරී බලන විට පෙනෙන්නේ අද වැනි යුගයක ඔහු ජීවතුන් අතර සිටියා නම් රට දියුණු කිරීමේ නවීකාරක චින්තනය අතින් ඔහුට සම කළ අයකු නොමැති බවය. දේශප්‍රේමයේ සළු ඇඳගත් වියරු ෆැසිස්ට්වාදයක් හිස ඔසවන මට්ටමට රට අරාජික වූයේ ඇතුලත්මුදලිලා නොසිටි නිසා යැයි හැඟේ.

[තිඹිරියාගම බණ්ඩාර]

News Order: 
1
මාතෘකා

ජනප්‍රිය ලිපි