ලක්ෂ 159ක් වන ඡන්දදායකයන්දැන් තමන්ගේ මතයට එළැඹී අවසානයි

 ඡායාරූපය:

ලක්ෂ 159ක් වන ඡන්දදායකයන්දැන් තමන්ගේ මතයට එළැඹී අවසානයි

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත

ලක්ෂ 159ක් පමණ වන ඡන්දදායකයන් මේ වන විට තමන්ගේ මතයන්ට එළැඹී අවසාන බව පාර්ලමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (05) රාජගිරිය ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය

"මැතිවරණයට තිබෙන්නේ තව දින 11යි. මැතිවරණ ප්‍රචාරක කටයුතු නිම කරන්න තව දින 7ක් තිබෙනවා. ලක්ෂ 159ක් පමණ වන ඡන්දදායකයන් මේ වන විට තමන්ගේ මතයන්ට එළැඹිලා අවසානයි. රාජ්‍ය සේවකයන්, පොලිසියේ නිලධාරීන් මේ වන විට ඡන්දය දමා අවසන්. ඡන්දය දාන්න බැරි වුණ තැපැල් ඡන්දදායකයන්ට 07 වැනිදා තමන්ගේ ඡන්දය භාවිත කරන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තැපැල් ඡන්දයට පෙර එළිදැක්වුවත් සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වුවේ තැපැල් ඡන්දයෙන් පසුයි. මේ නිසා තැපැල් ඡන්ද දායකයන්ට ප්‍රතිපත්ති ප්‍රකාශය කියැවීමෙන් තොරව ඡන්දය භාවිත කරන්නට සිදුවුණා. දමිළ ජාතික සන්ධානයේ අය විවිධ මත දැරුවා. විග්නේෂ්වරන්, පොන්නම්බලම්, සුරේෂ් වැනි අය කිව්වේ පුළුවන් නම් වර්ජනය කරන්න කියලා. ටී.එන්.ඒ. එක කිව්වේ කැමති තීරණයක් ගන්න කියලා. හිටපු ප්‍රධාන ඇමැති විග්නේෂ්වරන් මහතා කියනවා සජිත්ගේ මැතිවරණ ප්‍රකාශවල සිංහල, ඉංග්‍රීසි, දෙමළ මාධ්‍යවල පරස්පරතාවයක් තිබෙනවා කියලා. විශේෂයෙන් ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 15 පිටුවේ තිබෙනවා ජනතාවගේ ව්‍යවස්ථාව කියලා. එහි තිබෙනවා ශක්තිමත් බව ස්ථාපිත කිරීම කියලා. ව්‍යවස්ථාව කියන්නේ රටක මූලික නීතිය. මේ අර්ථ දැක්වීම ගැන ගැටලු සහගතයි. අපේ රටේ ව්‍යවස්ථා පරිණාමය අපට මතකයි.

"මේ යහපාලන රජය බිහි වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කරන්න ඕනේ කියලා යෝජනාවක් ගෙනාවා. ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජිතයන්ගේ එකතුවෙන් තේරීම් කාරක සභාවක් පත් කරන්නත් යෝජනාවක් ආවා. ඒ යටතේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු වසර තුනක් තිස්සේ අනු කමිටු 6ක් දාලා කරගෙන ගියා. මේ තේරීම්කාරක සභාව අතුරු වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාව එක්ක සියලු දේශපාලන පක්ෂ ඔවුන්ගේ මතය, අදහස් ඇමිණුමක් ලෙස ඉදිරිපත් කළා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මතය කියන එක තමයි ජනතාවට හිතාගන්න තිබෙන්නේ. එහි තිබෙනවා අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාව මත විධායක ජනාධිපතිවරයාගේ බලය බෙදා හැරීම හා මැතිවරණ ක්‍රම පිළිබඳව ව්‍යස්ථා ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සියලු පාර්ශ්වකරුවන් සමඟ ප්‍රමාදයකින් තොරව අවසන් කෙරෙනු ඇත කියලා. ඒ වගේම පරිණාමීය ප්‍රජාතන්ත්‍රවාදියේ මාවත ඔස්සේ නොසැලෙන ගමන දිගටම යමින් ජනමත විචාරණයක් ඔස්සේ නව ව්‍යවස්ථාව ජනතාව විසින් අනුමත කරනු ලැබ ඇත කියලා තිබෙනවා. ජනමත විචාරණයකට යන්න කලින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගන්න අවශ්‍යයි. ඒ තුනෙන් දෙක නැති නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහතාට සිදු වුණේ තේරීම් කාරක සභාවක් පත් කරන්න. එය එසේ නොවේ යැයි පුළුවන් නම් කියන්න කියලා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රශ්න කරන්න කැමැතියි. එය තහවුරු කරන ප්‍රකාශයක් අගමැතිවරයා පසුගියදා කිව්වා. අපි කරගෙන ආපු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය 17න් පස්සේ තුනෙන් දෙකක් ලබාගෙන ඉදිරියට ගෙනියනවා කියලා කියනවා."

ඡායාරූප - දුෂ්මන්ත

News Order: 
5
මාතෘකා