ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දෙන්න අවබෝධයක් තිබෙන්නේ අපේ රජයට විතරයි

 ඡායාරූපය:

ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දෙන්න අවබෝධයක් තිබෙන්නේ අපේ රජයට විතරයි

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

තම මූලික අපේක්ෂාව රටේ ආරක්ෂාව තහවුරු කිරීම බවත් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දීම සඳහා අවබෝධයක් තිබෙන්නේ තම රජයට පමණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (03)ගාල්ල කරාපිටිය නගරයේ පැවැති ජන රැලියට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

"අපගේ රජයක් යටතේ මේ රටට අවශ්‍ය ආරක්ෂාව ගෙන ඒමට සියලුම කටයුතු යොදනවා. ඒ වගේම රට ස්වයංපෝෂිත කිරීම සඳහා අවශ්‍ය සියලුම සැලසුම් සකස් කරනවා. අද මේ රටේ ජනතාව ඉන්නේ එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන්. මෙම අවිශ්වාසය නැති කිරීමේ හැකියාව තිබෙන්නේ පොදුජන පෙරමුණු රජයකට පමණයි. ඒ සඳහා මෙවර ජනාධිපතිවරණයට මා ඉදිරිපත් වී සිටිනවා. මම රට දියුණු කිරීම සඳහා ප්‍රායෝගික වැඩසටහනක් සැලසුම් කර තියෙනවා. අපගේ මූලික අපේක්ෂාව වන්නේ රටේ ආරක්ෂාව තහවුරු කිරීමයි. මේ සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර තිඛෙනවා.

"මට මේ රට දියුණු කිරීමේ හැකියාව තිබෙනවා. යුද්ධය නිමා කිරීමට අවශ්‍ය සහයෝගය දුන් මා කෙරෙහි ජනතාව විශ්වාසය තබන බව අපට විශ්වාසයි. අපි කොළඹ නගරය හරිත නගරයක් කර අලංකාර නගරයක් කිරීමට කටයුතු කළා. නමුත් දැන් කොළඹ නගරයේ තැන තැන කුණු තියෙන්නේ. අපේ රජයක් යටතේ ගාල්ල නගරය දියුණු නගරයක් කිරීමට අවශ්‍ය සියලුම කටයුතු යොදනවා. අපේ ආර්ථීක සැලසුම් මඟින් රට දියුණු කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු අපි යොදනවා. මේ වන විට බිලියනයක් වන සංචාරක කර්මාන්තය බිලියන 10ක් දක්වා වැඩි කිරීමට අපි සැලසුම් සකස් කරනවා. පෞද්ගලික අංශයේ ව්‍යාපාර දියුණු කිරිමට කටයුතු යොදනවා. පෞද්ගලික අංශයේ ව්‍යවසාය වැඩිදියුණු කර ආර්ථීක සංවර්ධනය වැඩි කරනවා. අපි කොළඹ නගරය සංවර්ධිත නගරයක් බවට පත් කළා. කෙටි කාලයක් තුළ මෙම නගරය ජනතාවට ගැලපෙන හරිත නගරයක් බවට පත් කිරීමට අපි කටයුතු කළා. උද්‍යාන ඇතිකිරීම, කසළ කළමනාකරණය, පරිසරය අලංකාර කිරීමට හැකියාව ලැබුණා. අපේ ව්‍යාපෘති සියල්ලම රට දියුණු කිරීම සඳහායි.

"ගාල්ල නගරය අපි සංවර්ධනය කළා. නගරයේ ඇළවල් සංරක්ෂණය කරන්න කටයුතු කළා. අපේ රජය මඟින් ගාල්ල ආසියාවේ හොඳම නගරය බවට පත් කරනවා. මේ වන විට ලක්ෂ දෙකක පමණ පිරිසක් උසස් පෙළ සමත් වෙනවා. නමුත් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන්නේ 30,000ක පිරිසක්. ඉතිරි සියලු දෙනාටම උසස් අධ්‍යාපනය ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය විශ්ව විද්‍යාල ඇති කරනවා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රටේ තිබුණු ත්‍රස්තවාදය තුරන් කර ඔබලාගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකියාව ලැබුණා. එහි විශාල කාර්යක් මා ඉටු කළා. ඒ බව රටේ ජනතාව හොඳින්ම දන්නවා. එබැවින් ඔබලා මා කෙරෙහි විශ්වාසය තබන බව මට විශ්වාසයි. ඔබ මා වෙනුවෙන් යුතුකම ඉටුකරන විට ඔබ වෙනුවෙන් අවශ්‍ය යුතුකම නිසි ලෙස මා ඉටු කරනවා. අපි රටට සාමය ගෙනාවා. නමුත් දැන් ආරක්ෂක සැලැස්ම විනාශ වෙලා. රට ආරක්ෂා කිරීම සඳහා අපි බුද්ධි අංශ ප්‍රයෝජනයට ගත්තා. ඒ නිසා ඒ කාලයේ රටට හොඳ ආරක්ෂාවක් තිබුණා. නමුත් මේ රජයෙන් ආරක්ෂාව පිළිබඳව අවධානය නැහැ. අප යොදවා තිබූ බුද්ධි අංශයේ ආරක්ෂක සැලැස්ම කඩා දැම්මා. අභූත චෝදනා නඟමින් බුද්ධි අංශ නිලධාරීන් සිරගත කළා.

"ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දීම සඳහා අවබෝධයක් තියෙන්නේ අපේ රජයට පමණයි. රටේ ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට හැකියාව ඇත්තේ අපට පමණයි. රටේ ස්ථාවරත්වය ඇති කළා. රටට සංවර්ධනය උදා කළා. ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය වුණේ කොළඹ නගරය. අද කොළඹට එන ඔබ දකින සියලුම ව්‍යාපෘති ආරම්භ කළේ අපේ රජය බව මතක තබා ගත යුතුයි."

News Order: 
6
මාතෘකා