මුදලට විකිණෙන දේශපාලන පක්ෂ

 ඡායාරූපය:

මුදලට විකිණෙන දේශපාලන පක්ෂ

මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි දේශපාලන පක්ෂ මුදලට විකිණෙන බවට ජනාධිපතිවරණ උණුසුම අතර චෝදනාවක් එල්ල විය. විශේෂයෙන් ඒ චෝදනාව කරළියට පැමිණියේ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන බව පැවසූ නාගානන්ද කොඩිතුවක්කු තමන් අපේක්ෂකත්වයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමත් සමඟය.

දේශපාලන පක්ෂ කිහිපයක් තමාට මිලියන තිහේ සිට පනහ දක්වා ලංසු ඉදිරිපත් කළ නමුත් ඊට එකඟ නොවූ අතර පසුව තමාට අපේක්ෂකත්වය ලබාදෙන බවට පොරොන්දු වූ එක්තරා දේශපාලන පක්ෂයක් අවසාන මොහොතේ තමා රැවටීමකට ලක් කළ බවත් ඔහු පැවසීය.

දේශපාලන පක්ෂ එලෙස මුදලට විකිණෙන බවට වන චෝදනාව සාධාරණීකරණය කරමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකරද සඳහන් කළේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි පක්ෂ දේශපාලනිකව ක්‍රියාකාරී නොවුණද ඡන්ද කාල සීමාව තුළ මුදල් සෙවීමේ අරමුණින් විවිධ අපේක්ෂකයන්ට විකිණෙන බවය.

දේශපාලන පක්ෂයකට මිලක් ලැබීම

මැතිවරණ මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි නමුත් වඩා ක්‍රියාකාරී නොවන දේශපාලන පක්ෂයකට මිලක් නියම වීම හේතු කිහිපයක් නිසා සිදුවිය හැකිය.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් කිහිපදෙනකුම දේශපාලන පක්ෂවල නියෝජිතයන් නොවේ. නාගානන්ද කොඩිතුවක්කුද පිළිගත් දේශපාලන පක්ෂයකින් තරග බිමට පිවිසි පුද්ගලයෙක් නොවූ අතර ඔහු කිසිදු දේශපාලන පක්ෂයක් මැතිවරණ මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි කිරීමට හෝ කටයුතු කර නොතිබිණ. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් හෝ හිටපු මන්ත්‍රීවරයකුද නොවේ.

මැතිවරණ නීතියට අනුව ජනාධිපතිවරණයට තරග කළ හැක්කේ පිළිගත් දේශපාලන පක්ෂයක නියෝජිතයකුට හෝ වත්මන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පමණි.

එම සුදුසුකම් සපුරා නොමැති අපේක්ෂකයකුට පහසුකම් සැලසීම වෙනුවෙන් ඉදිරිපත් වන ලියාපදිංචි පක්ෂ මෙලෙස ඒ සඳහා විවිධ ලංසු ඉදිරිපත් කරන බව නාගානන්ද කොඩිතුවක්කු මෙන්ම ඩිව් ගුණසේකරද නඟන චෝදනාවය.

"මහජනතාව රැවටීමක්"

මේ චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විශ්ලේෂකයන් මෙය අර්ථ දක්වන්නේ මහජන නියෝජනය මුදලට අලෙවි කිරීමක් ලෙසිනි. සුළු පක්ෂ මුදලට ගනිමින් මහජන ඡන්දය අපේක්ෂා කරන අපේක්ෂකයන්ද ජනතාව කෙරේ සැබෑ වගවීමක් දැක්වීමේ පරම චේතනාව මත පදනම්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද යන්න දෙවරක් සිතා බැලිය යුතු කාලය එළැඹ ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පවසයි.

"දේශපාලන පක්ෂයක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක tool එකක්. ඒක මුදලට විකිණෙනවා කියන්නේ රට කොච්චර අර්බුදයක තියනවද කියන එක" ආචාර්ය විශාකා සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසුවාය.

"පක්ෂයක් නිර්මාණය කරගන්න ව්‍යවස්ථාවක්, කොන්දේසි මාලාවක් තිබෙනවා. ඒක බාහිර අපේක්ෂකයකු වෙනුවෙන් වෙන්දේසි කරන්න බෑ. මහජනතාව තමන්ගේ මතය දේශපාලන පක්ෂයක් තුළින් නියෝජනය කිරීමයි බලාපොරොත්තු වෙන්නේ. තමන්ගේ පක්ෂය මුදලට විකිණෙනවා කියන්නේ එකී පක්ෂයේ අනුගාමිකයන් වෙන්දේසි කිරීමක්. එය ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටකට ඉතා හානිකර තත්ත්වයක්."

සැබෑ අවශ්‍යතාව මත ශ්‍රී ලාංකික පුරවැසියකුට හෝ කිසියම් දේශපාලන මතයක් නියෝජනය කරන කණ්ඩායමකට මැතිවරණ මහලේකම් කාර්යාලයේ දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කර ගැනීමට අවස්ථාව පවතී.

පක්ෂ ලියාපදිංචි කිරීමට නොහැකිවූ හේතුව

එසේ නම් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට එම අවස්ථාව හිමි නොවීමට බලපෑ කරුණු කවරේද?

මැතිවරණ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ ලෙස සලකනු ලබන්නේ 2009 අංක 58 දරන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනතෙන් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ අංක 7 වගන්තියේ විධිවිධාන අනුව ලියාපදිංචි දේශපාලන පක්ෂය. ඒ අනුව සෑම වසරකම ජනවාරි මස 31 වැනි දිනට පෙර මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉල්ලුම්පත් කැඳවමින් ප්‍රසිද්ධ පුවත්පත්වල දැන්වීමක් පළ කෙරේ.

ජනවාරි මස තුළ ඡන්ද විමසීමක් ප්‍රකාශයට පත්වී ඇත්නම් ඡන්ද විමසීමේ දින සිට දින තිහක (30) කාලයක් ඉකුත් වීමෙන් පසු එම දැන්වීම පළ කරන බව මැතිවරණ කොමිසමේ ව්‍යාපෘති අධක්‍ෂ චන්න පී. සිල්වා මහතා පවසයි.

කෙසේ වුවද 2018 වසරේ ඇල්පිටිය ඡන්ද විමසීම වාරණයට අදාළව දී තිබූ අධිකරණ නියෝගය හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයට අදාළව හෝ නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට 2019 වසරේ ජනවාරි මාසයේ අවස්ථාවක් හිමි නොවිණ.

ශ්‍රී ලංකාවේ පක්ෂ ලියාපදිංචිය සහ ඉතිහාසය

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ඉතිහාසය සැලකීමේදී

ශ්‍රී ලංකා සම සමාජ පක්ෂය පැරණිම දේශපාලන පක්ෂය ලෙස සැලකේ.

ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයත් ඊටත් පසුව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලාංකීය දේශපාලන ධාරාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙක ලෙස පැවතිණ.

කෙසේ වෙතත් මේ වන විට මැතිවරණ මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 70 ක් තිබේ.

අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රස්

ජනසෙත පෙරමුණ

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ

අකිල ඉලංගෙ ද්‍රවිඩ මහා සභා

ජාතික කොංග්‍රසය

මව්බිම ජනතා පක්ෂය

අපේ ජන බල පක්ෂය

ජාතික ජනතා පක්ෂය

මහජන එක්සත් පෙරමුණ

අපේ ජාතික පෙරමුණ

ජාතික නිදහස් පෙරමුණ

මුස්ලිම් ජාතික සන්ධානය

අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය

ජාතික සංවර්ධන පෙරමුණ

යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ

ඉලංගෙයි තමිල් අරසුකච්චි

ජාතික සමඟි පෙරමුණ

ලංකා කම්කරු කොංග්‍රසය (දේශපාලන අංශය)

ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

ජාතික හෙළ උරුමය

ලංකා සමසමාජ පක්ෂය

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

ජාතීන්ගේ සමඟි සංවිධානය

ලිබරල් පක්‍ෂය

ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ

තමිල් මක්කල් විඩුදලෛප් පුළිකල්

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය

එක්සත් ජනතා නිදහස් සන්ධානය

දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්‍ෂය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

එක්සත් ජාතික නිදහස් පෙරමුණ

දේශ විමුක්ති ජනතා පක්‍ෂය

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

එක්සත් ජාතික පක්ෂය

ද්‍රවිඩ ඊලාම් විමුක්ති සංවිධානය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ

ශ්‍රී ලංකා ප්‍රගතශීලී පෙරමුණ

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

ශ්‍රී ලංකා මහජන පක්ෂය

එක්සත් මහජන පක්‍ෂය

නව සමසමාජ පක්ෂය

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

එක්සත් ලංකා පොදුජන පක්ෂය

නව සිහල උරුමය

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය

එක්සත් ලංකා මහ සභා පක්‍ෂය

පුරවැසි පෙරමුණ

ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය

එක්සත් වාමාංශික පෙරමුණ

පෙරටුගාමී සමාජවාදී පක්ෂය

සමාජවාදී ජනතා පෙරමුණ

එක්සත් සමාජවාදී පක්ෂය

පොදුජන එක්සත් පෙරමුණ

සමාජවාදී සමානතා පක්ෂය

එක්සත් සාම සන්ධානය

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ

සිංහල දීප ජාතික පෙරමුණ

ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ

කඳුරට ජනතා පෙරමුණ

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ

කම්කරු ජාතික පෙරමුණ

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය

ජනතා විමුක්ති පෙරමුණ

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය

ජනනායක තමිල් තේසිය කූට්ටනි

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය

යම් දේශපාලන පක්ෂයක් මැතිවරණ මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි කිරීමේදී නිර්ණායක කිහිපයක්ද සලකා බැලේ.

1. පක්ෂ ව්‍යවස්ථාවේ පිටපත

2. පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ ලැයිස්තුව

3. පක්ෂයේ විගණනය කරන ලද ගිණුම් ප්‍රකාශ

4. පක්ෂයේ තත්කාලීන ප්‍රතිපත්ති ප්‍රකාශය

දේශපාලන පක්ෂයක් වශයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වූ බව සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි සියලුම ලිපි ලේඛන හා ඒ පිළිබඳ වාර්තාද අවශ්‍ය වේ. මෙලෙස විධිමත් ක්‍රමවේදයක් සහිතව ලියාපදිංචි වන දේශපාලන පක්ෂයක් මුදලට විකිණෙන්නේද යන්න වාර්තා වී තිබෙන්නේද යන්න බීබීසී සිංහල සේවය මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කළ ප්‍රශ්නයකි.

එහිදී එම කොමිසමේ ව්‍යාපෘති අධක්ෂ චන්න පී. ද සිල්වා පැවසුවේ තම කොමිසමට එවැනි සිදුවීම් සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් පැමිණිලි ඉදිරිපත්ව නොමැති බවය.

"විවිධ පුද්ගලයෝ එක එක තැන්වල ප්‍රවෘත්තිවල කියනවා මේ පක්ෂ විකිණෙනවා කියන දෙය. නමුත් අපේ කොමිසමට නිල තොරතුරක් දීල නෑ එවැනි දෙයක් සම්බන්ධයෙන්. සමහරු අපෙන් ඇවිත් අහනව දේශපාලන පක්ෂයක් එහෙම සල්ලිවලට ගන්න පුළුවන්ද, ඒ සම්බන්ධීකරණය කරලා දෙන්න පුළුවන්ද කියලත්. නමුත් සමහර පුද්ගලයන් මේ චෝදනාව සමාජ මාධ්‍යවලට ප්‍රකාශ කළත් කොමිසම දැනුවත් කර නැහැ." චන්න පී ද සිල්වා පැවසීය.

“මම පැමිණිලි කළා"

කෙසේ වෙතත් නාගානන්ද කොඩිතුවක්කු නාමයෝජනා ප්‍රකාශයට පත්කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ පැවසුවේ තමන් මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා ජාතික මැතිවරණ කොමිසම දැනුවත් කළ බවය.

"දේශපාලන පක්ෂ තියනවා මාකට් එකේ විකුණන්න මිලියන තිහේ සිට පනහ දක්වා. මේක සංවිධානාත්මකව කළ දෙයක්. මේ සම්බන්ධයෙන් විරෝධතාවක් අන්තර්ජාලය ඔස්සේ මම ගොනු කළා. මේ දේශපාලන පක්ෂ ගැනත් සඳහන් කළා," ඔහු චෝදනා කළේය.

ඒ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට කොමිසමට බලයක් පවතීද?

"යම් පක්ෂයක් මැතිවරණ මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි වූ පමණින් එකී පක්ෂයේ නිලධාරීන් සහ ගැණුම්කරුවන් අතර රහසිගතව සිදුවන මෙවැනි ගනුදෙනු පාලනය කිරීමට ආයතනයක් ලෙස අපට මැදිහත් වෙන්න බෑ. නමුත් පිළිගත් දේශපාලන පක්ෂයක් රටේ මැතිවරණ නීති රීතිවලට අවනත නොවන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සෘජු තීන්දු අපි ගන්නවා." මැතිවරණ කොමිසමේ ව්‍යාපෘති අධක්‍ෂවරයා පවසයි.

කෙසේ වෙතත් ලියාපදිංචි දේශපාලන පක්ෂවල වාර්ෂික අයවැය ලේඛන, නිලධාරීන් වෙනස්වීම් වැනි කරුණු සම්බන්ධයෙන් තම ආයතනය දැනුවත් කෙරෙන බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

පිළිගත් දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් පසු විපරමක් කිරීම හෝ එකී පක්ෂවලට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මැතිවරණ මහලේකම් කාර්යාලයට හෝ කොමිසමට යම් නියාමනයක් වෙනුවෙන් නෛතිකව කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතු බව ආචාර්ය විශාකා සූරියබණ්ඩාර මේ අතර පෙන්වා දෙයි.

සමස්ත ව්‍යුහයම වෙනස් විය යුතුයි

ඇය පවසන්නේ මෙවැනි තත්ත්වයක් පාලනය කිරීමට නම් සමස්ත මැතිවරණ ව්‍යුහයම වෙනසකට ලක් විය යුතු බවය. එසේ නොමැතිනම් රටේ ජනතාව සමස්ත මැතිවරණ ක්‍රමය කෙරෙහිම අවිශ්වාසයෙන් බලන කාලයක් උදාවනු ඇති බවද ඇය පවසයි.

ඒ අනුව අපේක්ෂකයන්ගේ විශ්වසනීයත්වය, පිළිගත් දේශපාලන පක්ෂයක ක්‍රියාකලාපය මෙන්ම එකී පක්ෂ වෙනුවෙන් විශ්වාසය තබන ඡන්දදායකයා සුරක්ෂිත කිරීම වෙනුවෙන් නව නීති සකස්විය යුතු බව ඇගේ අදහසය.

"කොමිසමට මේ පක්ෂ නියාමනය සම්බන්ධයෙන් නෛතික බලයක් නැති එක ඛේදනීය තත්ත්වයක්. මතක තියාගන්න මෙතැනදී බොහෝ විට සංසරණය වන්නේ කළු සල්ලි. ඒවා අල්ලා ගැනීම සඳහා කිසිදු යාන්ත්‍රණයක් රාජ්‍ය මට්ටමේ නෑ. මුළු ව්‍යුහයම බිඳ වැටිලා. මේ ගනුදෙනු වෙන්නේ අදෘශ්‍යමානව. ඒ නිසා කොමිසමට එකවර පියවර ගත නොහැකි වුණත් නෛතික පසුබිම සාදන්න අවශ්‍යයි. බලන්න කෝටි 400ක් වියදම් වෙනවා. අපේක්ෂකයෝ මෙච්චර ගාණක් ඉදිරිපත් වෙලා. මොකක්ද මේකෙන් දෙන පණිවුඩය? පක්ෂ අවශ්‍ය නෑ කියන එකයි. මේක තමයි තියෙන අර්බුදය. මේකට ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍යයි." ආචාර්ය විශාකා සූරියබණ්ඩාර වැඩිදුරටත් පෙන්වා දෙන්නීය.

 

(බී.බී.සී. සිංහල සේවය ඇසුරිනි)

News Order: 
0
මාතෘකා

ජනප්‍රිය ලිපි