MCC විරෝධය ගෝනි සෙල්ලමේ තවත් පැතිකඩකි

 ඡායාරූපය:

MCC විරෝධය ගෝනි සෙල්ලමේ තවත් පැතිකඩකි

මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වීමට පෙර හා ඉන්පසුවත් ජනාධිපති ධුරයෙන් පළවා හැරීමෙන් පසුවත් මේ දක්වා ගත වූ කාලය දෙස බලන විට ඔහු තරම් අසත්‍ය තොරතුරු මහජනතාව මත පතුරුවා හැරි වෙනත් නායකයකු මේ රටේ නැත.

ඔහු සුපුරුදු පරිදි හැමදාම කළේ ගෝනි සෙල්ලමේ යෙදීමය. දකුණු පළාතේ විශේෂයෙන් හම්බන්තොටට ආවේණික සටන් ක්‍රමයක් වන ගෝනි සෙල්ලම මේ රටේ සෙසු ප්‍රදේශවල බොහෝ දෙනෙක් දන්නේ නැත.

ගෝනි සෙල්ලම යනු තමන්ගේ විරුද්ධවාදීන්ට මහ රෑ නිරුවතින් කරන පහර දීමකි. එය වඩාත් පැහැදිළි කරන්නේ නම් තමන්ට සතුරුකම් කරන කිසියම් අයකු වෙත්නම් ඔහුගෙන් පළිගැනීමට සුදුසු අවස්ථාවක් එනතෙක් ඉවසිලිවන්තව සිටීම ගෝනි සෙල්ලම්කරුවාගේ ස්වභාවයයි. තමන්ගේ සතුරා රාත්‍රියේ කිසියම් හෝ ස්ථානයකට යන්නේ නම් මහ රෑ නිරුවතින් මඟ රැක සිට සතුරා එන විට එක්වරම ඔහුගේ ඇඟ මතට කඩා පනියි. එක්වරම ඔහුගේ මුහුණ වැසෙන සේ ගෝනියක් දමන අතර ඉන් අනතුරුව ඔහුට මැරෙන තුරු හෝ මාරාන්තික තුවාල ලබන තෙක් පහර දීම හම්බන්තොට ගෝනි සෙල්ලම්කරුවන්ගේ පුරුද්දය.

මහින්ද රාජපක්ෂලා යනු මේ ගෝනි සෙල්ලම මනාව පුරුදු පුහුණු කළවුන් වන අතර ඔවුන් අද රට පුරා තම දේශපාලන ක්‍රමවේදය ලෙස පවත්වාගෙන යන්නේ මෙම ගෝනි සෙල්ලමයි.

ශාරීරිකව පහර දී අඩාළ කිරීම මෙන්ම වෙනත් පුද්ගලයන් යොදා මතිමතාන්තර පතුරුවා හරිමින් තම සතුරු පාර්ශ්වය අඩාළ කිරීමද මෙම ගෝනි සෙල්ලමේ තවත් ලක්ෂණයකි. මහින්දගේ ගෝනි සෙල්ලමෙන් අතීතයේදී ගුටිබැට පමණක් නොව ජීවිත පවා අහිමි කරගත් පිරිස අති විශාලය. ඒ බව මවිසින් නම් වශයෙන් නොකිව්වද මේ රටේ මහජනතාව ඒ ගැන හොඳින් දනී.

මහින්දගේ ගෝනි සෙල්ලමට මේ දිනවල ලක්ව තිබෙන කාරණා දෙකක් තිබේ. එකක් නම් සජින් වාස් ගුණවර්ධනට ලොහාන් රත්වත්තේ හරහා මරණ තර්ජන එල්ල කිරීම හා මිලේනියම් සිටි කෝපරේෂන් ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ලැබෙන අති විශාල මුදල් සම්භාරය පිළිබඳ බළල් අත් යොදා ගනිමින් කොස් ඇට බෑවීමයි.

සජින් වාස් ගුණවර්ධන යනු මහින්දගේ කළු සල්ලි සුදු කිරීමට යොදාගත් හා මහින්දට කාන්තාවන් සැපයීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන සිටි පුද්ගලයා බව දේශපාලන ලෝකයට රහසක් නොවේ. කොටින්ම කිවහොත් මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මෙන්ම සමස්ත රාජපක්ෂලා කළ කී සියලු දෑ සජින් තරම් දන්නා අන් අයකු නැත. ඇත්ත වශයෙන් එවකට රාජපක්ෂලාගේ ඔඩොක්කු කුක්කා සජින්ය. මහින්දලාට සුපුරුදු ගෝනි සෙල්ලමේදී ඒ සඳහා යොදා ගන්නා පුද්ගලයන් මරා දමා හෝ සීන් එකෙන් අවුට් කර තැබීම ඔවුන්ගේ සිරිතය. චණ්ඩි මල්ලි, වම්බොට්ටා වැන්නවුන්ට අත්වූ ඉරණම ඔබට මතක ඇත.

දැන් ඉරණමට සජින් වාස් ගුණවර්ධනද ලක්ව තිබේ. ඉදිරි කාලය තුළ වම්බොට්ටා හා චණ්ඩි මල්ලි මෙන් සජින් වාස්ද මහමඟ බලුකුක්කෙක් පරිදි මැරී වැටී සිටියහොත් පුදුම විය යුතු නැත. මහින්දලාගේ ගෝනි සෙල්ලමේ යෙදෙන බළල් අත් තවමත් හම්බන්තොට මෙන්ම රට පුරා ව්‍යාප්තව තිබේ. ලොහාන් රත්වත්තේ යනු මොළයක් ඇති මිනිහෙක් නොවේ. ඔහුට මොළයක් තිබුණා නම් සජින් කතා කරන විට උත්තර දෙන්නේ නැත. දැන් සජින්ට යමක් සිදු වුවහොත් රාජපක්ෂලා නිදහස් වන අතර ගොදුර වන්නේ ලොහාන් රත්වත්තේය. රත්වත්තේ රාජපක්ෂලාගේ ගොදුරක් වන්නේ මහින්දලාගේ එම ගෝනි සෙල්ලම නිසාය. එහෙත් කන්ද උඩරට ලොහාන්ලා අංගම්පොර සටන් කලාව දැන සිටියත් හම්බන්තොට හෙලුවෙන් ගහන ගෝනි සෙල්ලං සටන් කලාව දන්නේ නැත.

එපමණක් නොව ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය තෙක් එන්නට මඟ හසර පෙන්වූ සුප්‍රකට වියත් මඟ නමැති සංවිධානය අද ගෝඨලාට තුට්ටුවකටවත් වටින්නේ නැත. එහි සිටි චන්න ජයසුමනලා, ගුණදාස අමරසේකරලා, නාථ දෙවියන්ගෙන් පවා ගෝඨා රජ කරවීමට වරම් ලබා ආ ගණිතය පිළිබඳ මහැදුරු නලින් ද සිල්වා පවා මේ වන විට මස්තබාල්දු වූ රුපියලක් තරමටවත් මහින්දලාට වටින්නේ නැත. එයට හේතුව ඡන්දය දිනවීමට උගත්කම නමැති සාධකය ශතපහක් තරම්වත් නොවටිනා දෙයක් බව මහින්දලා දන්නා හෙයිනි.

වන්දි භට්ටකමටම ලක ලැහැස්ති වී සිටින නූගත් වීරවංශලා තරම් හෝ කට වාචාලකමින් හා කෙලතොළුකමින් පිරුණු ගම්මන්පිලලා තරමට රාජපක්ෂලාට චන්න ජයසුමනලා නොවටින්නේ ඒ නිසාය.

මුස්ලිම් විරෝධය ඉස්මතු කරමින් ගිනි ඇවිළීමට මහින්දලා යොදා ගත් අතුරලියේ රතන හා ගලගොඩ අත්තේ ඥානසාරලා, මැදගොඩ අබේතිස්සලා මෙන්ම මුරුත්තෙට්ටුවේ ආනන්දලා අද ගලේ පැහැරූ බළලුන් තත්ත්වයට පත්ව සිටින්නේ මහින්දලාගේ මේ ගෝනි සෙල්ලමේ ආදීනවය නිසාය.

අනෙක් කාරණය නම් රට තුළ සළු වෙච්ච චරිත නැවත තමන් වෙත වැද්ද ගන්නට රාජපක්ෂලා කිසි විටෙක පියවර ගන්නේ නැත. එසේ වූ විට ඔවුන් කරන්නේ නව ජනප්‍රිය චරිත හොයා යෑමය. මහින්දලාගේ ගෝනි සෙල්ලමේ දැන් අලුත්ම චරිතය වන්නේ උඩුදුම්බර කාශ්‍යප හිමියන්ය. උඩුදුම්බර කාශ්‍යප හිමියෝ යනු මේ රටේ සිල්වත් භික්ෂුවක් ලෙස ප්‍රකට ධර්මදර හා විනයදර භික්ෂුවකි. භික්ෂුවකගේ ගරුත්වය හා පූජනීයත්වය මහින්දලාට හීනෙන් පිටවන අධෝ වාතයක් තරමටවත් වටින්නේ නැත. එමනිසාම ඔවුහු ඇඹරූ ගුළියට උන්වහන්සේ හසුවූහ.

MCC හෙවත් මිලේනියම් සිටි කෝපරේෂන් ගිවිසුම යනු බොරු බිල්ලෙකි. ඒ මහින්දලාද දනී. එහෙත් ඇමෙරිකානු පුරවැසිභාවය ලබා සිටින තම සහෝදරයා ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා තිබියදී ඔහු ඊට එරෙහිව ඉදිරියට දැමීම තම සුරතින් හිස ගසා දැමීමක් වන බව මහින්දලා දනිති. මෙම කාරණයට එරෙහිව විරෝධතාවක් කළ හැකි කිසිදු පිළිගත් චරිතයක් දැන් මහින්දලාගේ පක්ෂය තුළ නැත.

විමල්ට, ගම්මන්පිළට, රතනට, ඥානසාරට හෝ වෙනත් අයකුට මෙම බැරෑරුම් කාර්යය බාරදිය නොහැකිය. එහෙත් එම ලණුව අමු අමුවේම ගිල්ලවන ලද්දේ අහිංසක උඩුදුම්බර කාශ්‍යප හිමියන්ටය. උන්වහන්සේ MCC හෙවත් මිලේනියම් සිටි කෝපරේෂන් ගිවිසුම යනු කළුද සුදුද කියාවත් දන්නේ නැත. බුදුදහම ගැන උතුම් ධර්මාවබෝධයක් එතුමන්ට තිබුණද නිරපරාදේ තම‍

කීර්ති නාමය මහින්දගේ ගෝනි සෙල්ලම නිසා උන්වහන්සේ විනාශ කර ගත්හ. මේ අන්දමටම මහින්දලාගේ ගෝනි සෙල්ලමට ලක්ව මහාචාර්ය ධීරානන්ද උගත් ස්වාමීන්වහන්සේද තම කීර්ති නාමය පළුදු කර ගත්තේ මහින්ද වහළෙක් වන මැදගොඩ අබේතිස්සගේ ලණු ගිල දැමීම නිසාය.

අනික් කාරණය නම් වහාම උපවාසය නවත්වන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකන් විරෝධය හරහා ප්‍රතිවිරෝධතා මතුවෙන්නට වූ බැවිනි.

එනම් මහජනතාව මහින්දලාගේ ඇමෙරිකන් විරෝධය ගැන කතා කරන්නට විය. එම කතාබහ ධනාත්මකව නොව ඝෘණාත්මකවය. ඇමෙරිකාවෙන් මෙම ගිවිසුම හරහා ලැබෙන අතිවිශාල මුදල් සම්භාරයක් සහිත ප්‍රදානය සැබවින්ම ශ්‍රී ලංකාවේ ජනතාවට ලැබෙන තෑග්ගකි. එම තෑග්ග ලැබෙන්නේ අන් කිසිවක් නිසා නොව 2015 සිට වත්මන් රජය යහපාලනය ඔස්සේ ගන්නා ලද පියවරයන් අන්තර්ජාතික ඇගයීමට ලක්ව ඇති නිසාය.

ඇමෙරිකාවෙන් ලැබෙන ඇමෙරිකන් ඩොලර් මිලියන 480ක මුදල එපා කියමින් ඇමෙරිකන් විරෝධයක් මවන පොදු ජන පෙරමුණේ නායකයන් මේ රටේ 2020 ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ ඇමෙරිකන් පුරවැසිභාවය සහිත එකෙකි. “හකුරු හොඳයි පදුවා නරකයි” කියන්නාක් මෙන් ඇමෙරිකන් පුරවැසියා ජනාධිපති කරන්න හොඳයි; ඒ වුණාට ඇමෙරිකන් සල්ලි හොඳ නෑයි කියමින් මහින්දලා කරන මේ ගෝනි සෙල්ලම මහජනතාව විසින් විමසමින් නිරාවරණය කරන්නට වීම තුළ ජනාධිපතිවරණයට සති දෙකක පමණ කෙටි කාලයක් තිබියදීත් ගෝඨාභයට අවාසියක් බව රාජපක්ෂලා තේරුම් ගත්තේය.

'එමනිසාම ඊයේ (05) මහ රෑම කාශ්‍යප ස්වාමීන්වහන්සේ වෙත ලිපියක් යැවූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම මාරාන්තික උපවාසය අත්හරින ලෙස නියෝග කළේය. අවසානයේ කාශ්‍යප හිමියන්ගේ කිර්තිනාමය ලත් තැනම ලොප් විය.

තමන් ගන්නා සෑම පියවරකින්ම මේ වන විට තමන් කරන ගෝනි සෙල්ලම් හෙළිදරව් වීම තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරාජයේ සෙවණැලි මතුවෙමින් තිබේ. චන්න ජයසුමනලාද දැන් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් කන්කෙඳිරි ගාන්නේ තමන් වපුරපු අයහපත් බීජවල ප්‍රතිඵල දැන් තමන්ටම නෙළන්නට සිදුවී ඇති නිසාය.

MCC හෙවත් මිලේනියම් සිටි කෝපරේෂන් ගිවිසුම යනු මේ රටේ අතිශයින් දැවෙන ගැටලු දෙකකට තිරසර විසඳුම් ලබා දීම සඳහා ලැබෙන මුදලකි. අපේ රටේ මහජනතාව වර්තමානයේ දැවෙන ප්‍රධානම ගැටලු දෙකක් වන්නේ ඉඩම් පිළිබඳව පවතින ගැටලු නිරාකරණය නොවීම හා මහාමාර්ග හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින වාහන තදබදය, වායු දූෂණය ඇතුළු ගැටලුයි.

MCC හෙවත් මිලේනියම් සිටි කෝපරේෂන් ගිවිසුම හරහා මේ රටේ ප්‍රවාහන සේවයේ උන්නතියට අවශ්‍ය පියවර ගැනීම සඳහා වෙන්කර ඇති මුදල අැ.එ.ජ. ඩොලර් මිලියන 350කි.

එමඟින් කි.මී. 205ක මාර්ග ජාලයේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම, ධාවනය කෙරෙන වාහනවල තොරතුරු ඒ අවස්ථාවේම දත්ත ලබා ගැනීම හා විශ්ලේෂණය කිරීම, අන්තර් සම්බන්ධිත ආලෝක සංඥා පද්ධති ස්ථාපනය කිරීම, මාර්ග ජාලය තුළ බස් ප්‍රමුඛතා මංතීරු සැකසීම, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මංසන්ධි 132ක් සංවර්ධනය කිරීම, පදික මාරු ස්ථාන පුළුල් කිරීමද ඒ අතර වෙයි.

එමෙන්ම මේ රටේ ඉඩම් ව්‍යාපෘතිය සඳහා මෙම ගිවිසුම යටතේ වෙන් කර ඇති මුදල ඇ. එ.ජ. ඩොලර් මිලියන 67කි.

ඒ යටතේ ඉඩම් කැබලි පිළිබඳ මූලික සිතියම් සැකසීම, රජයේ ඉඩම් e-state Lands Information management system – e-SLIMB පද්ධතියට ඇතුළත් කිරීම, පරිගණක තක්සේරුකරණ පද්ධතියක් සැකසීම, රාජ්‍ය හා පෞද්ගලික ඉඩම්වල තක්සේරු කටයුතු කාර්යක්ෂම කිරීම, රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සතුව පවතින ඉඩම් හිමිකම් වාර්තා ඩිජිටල්කරණය කිරීම , රජයේ ඉඩම් ලේඛනය සමග සම්බන්ධ කිරීම මඟින් තොරතුරු ලබා ගැනීම කාර්යක්ෂම කිරීමද වේ.

මෙම කටයුතු සිදු කිරීම මඟින් රට බෙදනවා යැයි හෝ ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරනවා යැයි කියන්නේ මෝඩ හා නිවට වහලුන් විනා අබ පියල්ලක තරම් මොළේ කළඳක්වත් ඇත්තවුන් නොවේ.

තම ඉඩමට ඔප්පුවක් ලබා ගැනීමට හෝ තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට අවුරුදු ගණන් බලා සිටින මිනිසුන් පිරිසක් සිටින මෙවැනි රටක, තම කටයුතු කාර්යක්ෂම කරවා ගැනීමට කිසියම් රටක් සහාය වන්නේ ඒවා එපා යැයි කියමින් විරෝධතා දක්වන්නේ ඇපොකැලිප්ස් වර්ගයේ නොදියුණු ගෝත්‍රිකයන් විනා දියුණු හා බුද්ධිමත් මිනිසුන් නොවේ.

වර්තමාන ලෝකය ගමන් කරන්නේ තවත් ලෝක යුද්ධයක් දෙසට නොවේ. විවිධ රටවල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් යුද ගිනි ඇවිලුණත්, නැවත තුන්වැනි ලෝක යුද්ධයක් ඇතිවීමට ඇති ඉඩකඩ අඩුය. දැන් පවතින්නේ වෙළෙඳ යුද්ධයකි. මෙම වෙළෙඳ යුද්ධයට අවතීර්ණව සිටින්නේ රටවල් තුනකි. එනම් ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය හා ඉන්දියාවයි.

2030 වන විට ඉන්දියාව අනෙක් රටවල් දෙකම අභිභවා දළ දේශීය නිෂ්පාදනය හා අපනයනයෙන් ප්‍රමුඛස්ථානයට පත්වීම වැළැක්විය හැක්කක් නොවේ. ඇමෙරිකාව තමන්ට අහිමි වන ස්ථානය ඉන්දියාව ලබාගන්නවාට විරුද්ධ නැතත්, චීනය එතැනට එනවාට ඇමෙරිකා එක්සත් ජනපදය කැමැති නැත. එමෙන්ම මේ වන විට චීනයද One Belt- One Road ව්‍යාපෘතිය යටතේ ඉන්දියාව දකුණු ආසියාව තුළ හුදෙකලා කිරීමේ වැඩපිළිවෙළක් අරඹා තිබේ. ඒ අනුව මේ වන විට පකිස්ථානය, නේපාලය, ලාඕස්, භූතානය වැනි රටවල් මෙන්ම අප්‍රිකානු මහාද්වීපයේ රටවල් ගණනාවක්ද හොංකොං හා පැනමා වැනි රටවල්ද තම ග්‍රහණයට නතු කර හමාරය.

නමුත් ශ්‍රී ලංකාව සතු නොබැඳි පිළිවෙත නිසාත් සියලු රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන නිසාත් තවමත් කිසිදු රටකට ශ්‍රී ලංකාව නතු කර ගැනීමට හැකියාවක් ලැබී නොමැත. එසේ හෙයින් ඇමෙරිකාවට හෝ චීනයට ශ්‍රී ලංකාව තුළ යුධ කඳවුරු පිහිටුවනවාට වඩා වැදගත් වන්නේ ශ්‍රී ලංකාව ආර්ථික මධ්‍යස්ථානයක් වශයෙන් සංවර්ධනය වීම තුළ ඔවුන්ට ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමට හැකිවීමයි. අද මුළු ලෝකයම කාර්මික නිෂ්පාදනවලට වඩා කෘෂිකර්මය පදනම් කර ගත් හරිත ආර්ථිකයකට ගමන් කරමින් සිටින අවස්ථාවක

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වශයෙන් දියුණු වීමේ වාසිය මුළු ලෝකයටම ලැබේ.

අප ඉලක්ක කර ගත යුත්තේද එයයි. එහෙත් තවමත් යුද්ධ කරන්නේ මුහුණට මුහුණ තුවක්කු බයිනෙත්තු අමෝරා ගනිමින් යැයි විශ්වාස කරන ගෝත්‍රිකයන් පිරිසක් විසින් පොදු මහජන මනස විකෘති කිරීමට කරන ගෝනි සෙල්ලම දැන්වත් නවත්වා දැමිය යුතුය.

MCC හෙවත් මිලේනියම් සිටි කෝපරේෂන් ගිවිසුම හරහා මේ රට බෙදනවා යැයිද ඉඩම් අක්කර 80,000ක් ඇමෙරිකාවට විකුණනවා යැයිද කියමින් මහජන මනස විකෘති කිරීමට දරන රාජපක්ෂ වෑයම පරාජය කළ යුතුය. රාජපක්ෂලා මේ රටට කළ හොඳවලට වඩා ඇත්තේ නරකය. එයට හේතුව ඔවුන් සියල්ලම කර ඇත්තේ තම පවුලෙහි පැවැත්ම උදෙසා බව පැහැදිලිය.

එම නිසා රාජපක්ෂලාගේ හම්බන්තොට සුප්‍රකට ගෝනි සෙල්ලම මේ රටේ මහජනතාව දැන්වත් හඳුනා ගත යුතුය.

[සල්පිටියේ ධම්මදස්සි හිමි]

News Order: 
2
මාතෘකා