ජනාධිපතිවරණ ඉතිහාසයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය විසඳුණු අයුරු

 ඡායාරූපය:

ජනාධිපතිවරණ ඉතිහාසයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය විසඳුණු අයුරු

මඩකලපුව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නැඟෙනහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්ක තුන අතුරින් එකකි. වර්ගකිලෝමීටර් 2,854ක භූමි ප්‍රමාණයකට හිමිකම් කියන මඩකලපුව වැඩි වශයෙන් ධීවර ප්‍රජාවක් වෙසෙන දිසත්‍රික්කයක් ලෙසින් හඳුනාගත හැකිය. මඩකලපුව දිස්ත්‍රික්කයේ සුවිශේෂත්වයක් වන්නේ දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂයට වාසි ගෙන දුන්, එක්සත් ජාතික පක්ෂයට සිය බලය අභිමානවත්ව රඳවා ගැනීමට හැකි වූ දිස්ත්‍රික්කයක් වීමයි. මෙතෙක් පැවැති සෑම ජනාධිපතිවරණයකදීම සෑම දිස්ත්‍රික්කයකම පාහේ පළමු හා දෙවැනි ස්ථාන ප්‍රධාන පක්ෂ දෙක හිමි කර ගනිද්දී මඩකලපුවේ පමණක් තෙවැනි බලවේගයක් විසින් ජනාධිපතිවරණයේ දෙවැනි ස්ථානය දිනා ගැනීම විශේෂ වේ. ඒ 1982දී පැවැති පළමු ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව තෙවැනි ස්ථානයට පත් කරමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ අපේක්ෂක කුමාර් පොන්නම්බලම් දෙවැනි ස්ථානයට පත් වීමත් සමඟය.

මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ආසන ගණන 3කි. එනම්,

1. මඩකලපුව

2. කල්කුඩා

3. පදිරුප්පු

මඩකලපුව ආසනය

මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආසනය වන්නේ මඩකලපුව ආසනයයි. මෙම ආසනය පැවැති ජනාධිපතිවරණ 7න් 6කදීම ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල නියෝජනය කළ අපේක්ෂකයාය. 1994 ජනාධිපතිවරණයේදී පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණෙන් ඉදිරිපත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මඩකලපුව ආසනය ජය ගත්තාය. කෙසේ වෙතත් පළමු ජනාධිපතිවරණයේදී හැර අන් සෑම අවස්ථාවකදීම එක්සත් ජාතික පක්ෂය තුන් ගුණයකටත් වඩා වැඩියෙන් ඡන්ද ලබා ගනිමින් ආසනය විශිෂ්ට අයුරින් ජය ගැනීම විශේෂත්වයක් වේ.

කල්කුඩා ආසනය

කල්කුඩා ආසනයද සුපුරුදු පරිදි එක්සත් ජාතික පක්ෂය සිය බලය අති විශිෂ්ට අයුරින් රඳවා ගන්නා ආසනයකි. 1994 ජනාධිපතිවරණයේදී හැර පැවැති සෑම ජනාධිපතිවරණයකදීම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල නියෝජනය කළ අපේක්ෂකයා කල්කුඩා ආසනයේ බලය තහවුරු කර ගත්තේය. පැවැති අවසන් ජනාධිපතිවරණයේදී තරග වැදුණු මහින්ද රාජපක්ෂ කල්කුඩා ආසනය පරාජයට පත් වූයේ තමන්ට වඩා පස්ගුණයකටත් වඩා වැඩියෙන් ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල නියෝජනය කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණු මෛත්‍රීපාල සිරිසේනටය.

පදිරුප්පු ආසනය

පදිරුප්පු ආසනයේ විශේෂත්වයක් වන්නේ පැවැති පළමු ජනාධිපතිවරණයේදී මෙම ආසනයේ ජය තුන්වැනි බලවේගය වශයෙන් ඉදිරිපත් වුණු සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ අපේක්ෂක කුමාර් පොන්නම්බලම් හිමි කර ගැනීමයි. එහිදී සමස්ත දිස්ත්‍රික්කයේ ජය ජේ.ආර්. ජයවර්ධන හිමිකර ගත්තද පදිරුප්පු ආසනය ඡන්ද තුන් ගුණයකින් පමණ පරාජය වන්නට ඔහුට සිදු විය. කෙසේ වෙතත් 1982 සහ සුපුරුදු පරිදි 1994දී හැර ඉතිරි සියලු ජනාධිපතිවරණවලදී පදිරුප්පු බලය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල නියෝජනය කළ අපේක්ෂකයා හිමි කර ගත්තේය.

පැවැති ජනාධිපතිවරණ 07දී මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු

1982 ජනාධිපතිවරණය

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ.ආර්. ජයවර්ධන තරග කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුවත් තුන්වැනි බලවේගය වූ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයෙන් කුමාර් පොන්නම්බලමුත් තරග වැදුණි. එහිදී ජේ.ආර්. ජයවර්ධන මඩකලපුව දිස්ත්‍රික්කයේ පදිරුප්පු ආසනය හැර ඉතිරි ආසන 02 ජයග්‍රහණය කරමින් සමස්ත දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 999කින් ජය ගැනීමට සමත් විය.

ජේ.ආර්. ජයවර්ධන - ඡන්ද 48,094 (40.05%)

කුමාර් පොන්නම්බලම්- ඡන්ද 47,095 (39.22%)

1988 ජනාධිපතිවරණය

1988 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස තරග වදින විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක තරග වැදුණාය. මෙහිදී මඩකලපුව දිස්ත්‍රික්කයේ ආසන තුනම ජය ගනිමින් රණසිංහ ප්‍රේමදාස දිස්ත්‍රික්කයේ බලය තහවුරු කර ගැනීමට සමත් විය. ඒ, වැඩි ඡන්ද 40,639ක් ලබා ගනිමිනි.

රණසිංහ ප්‍රේමදාස - ඡන්ද 61,657 (50.99%)

සිරිමාවෝ බණ්ඩාරනායක - ඡන්ද 21,018 (17.38%)

 

1994 ජනාධිපතිවරණය

1994 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල නියෝජනය කළ පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ ශ්‍රීමතී දිසානායකයි. එවර චන්ද්‍රිකා බණ්ඩාරනායක මඩකලපුව දිස්ත්‍රික්කයේ ආසන 03ම පහසුවෙන් ජය ගනිමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 129,913ක අති විශිෂ්ට ජයක් ලබා ගනිමින් වීම විශේෂත්වයකි. එහිදී ඇය 85%ක් ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගත්තාය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක - ඡන්ද 144,725 (87.30%)

ශ්‍රීමතී දිසානායක - ඡන්ද 14,812 (8.93%)

1999 ජනාධිපතිවරණය

1999 ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහයි. එවර මඩකලපුව දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය රනිල් වික්‍රමසිංහ හිමිකර ගත්තේය. ඒ වැඩි ඡන්ද 45,125ක විශිෂ්ට ජයක් ලබා ගනිමිනි.

රනිල් වික්‍රමසිංහ - ඡන්ද 104,100 (61.19%)

චන්ද්‍රිකා බණ්ඩාරනායක - ඡන්ද 58,975 (34.66%)

2005 ජනාධිපතිවරණය

2005 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහයි. එවර රනිල් වික්‍රමසිංහ මඩකලපුවෙන් අති විශිෂ්ට ජයක් වාර්තා කළේය. ඒ, සියලු ආසන ජය ගනිමින් වැඩි ඡන්ද 92,678ක් ලබමිනි.

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 121,514 (79.51%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 28,836 (18.87%)

2010 ජනාධිපතිවරණය

2010 ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල නියෝජනය කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ සරත් ෆොන්සේකායි. එවරද මඩකලපුව දිස්ත්‍රික්කයේ ආසන 3ම පහසුවෙන් ජයග්‍රහණය කළේ එජාප ප්‍රමුඛ පිලේ අපේක්ෂක සරත් ෆොන්සේකායි. ඒ, වැඩි ඡන්ද 90,394ක් ලබා ගනිමිනි.

සරත් ෆොන්සේකා - ඡන්ද 146,057 (68.93%)

මහින්ද රාජපක්ෂ - ඡන්ද 55.663 (26.27%)

2015 ජනාධිපතිවරණය

මෙම ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේනයි. එවර මඩකලපුව දිස්ත්‍රික්කයේ ආසන 3ම ජය ගත්තේ මෛත්‍රීපාල සිරිසේනයි. ඒ වැඩි ඡන්ද 167,791ක විශිෂ්ට ජයක් වාර්තා කරමිනි.

මෛත්‍රීපාල සිරිසේන - ඡන්ද 209,422 (81.62%)

මහින්ද රාජපක්ෂ - ඡන්ද 41,631 (16.22%)

[චාමිකා මුණසිංහ]

News Order: 
0
මාතෘකා