අවස්ථාවාදය

 ඡායාරූපය:

අවස්ථාවාදය

'කඩා වැටුණු රට ගොඩගන්න පුළුවන් ඔහුට විතරයි. ඔහු කියන්නේ මේ රටේ අභිමානය. ඔහු හමුදාවේ රණශූරයෙක්; ශක්තිමත් නායකයෙක්. ඔහුගේ පෞරුෂය, එඩිතරකම වෙන කාටවත් නෑ. අසල්වැසි රටවලින් එන අභියෝග සුනුවිසුනු කරන එක ඔහුට අසුරු ගහනවා වගේ වැඩක්'

උගන්ඩාවේ ඉඩි අමීන් ගැන මෙහෙම හිතුවේ උගන්ඩාවේම මිනිස්සුය. ජාතිවාදී කැරලි, ආර්ථික අවපාත යනාදී සියල්ල දූරීන්භූත කිරීමට තම රටට දෙවියන් එවූ 'ගැලවුම්කරුවා' ඉඩි අමීන් යැයි එරට මිනිස්සු කල්පනා කළහ.

දෙවැනි ලෝක මහා යුද්ධ සමයේදී බ්‍රිතාන්‍ය යටත් විජිත යුද හමුදාවේ 'අප්‍රිකානු රාජකීය රයිෆල් හමුදාවට' බැඳුණු ඉඩි අමීන් බුරුමයේදී බ්‍රිතාන්‍ය හමුදාව සමඟ එක්‌ වී ජපානයට විරුද්ධව සටන් කළේය. 1946දී ඔහු ෂිෆටා යුද්ධයේදී සෝමාලියානු කැරලිකරුවන්ට විරුද්ධව සටන් කළේය. මුළු රටම ඔහු ‘රණ විරුවෙක්’ ලෙස අභිෂේක නැංවීය. ඒ සමඟම 1957දී ඔහු සැරයන් තනතුරට පත්විය. 1959දී වොරන්ට්‌ ඔෆිසර් නිලයටත් 1961දී ලුතිනන්වරයකු ලෙසත් 1962දී කැප්ටන් තනතුරටත් පත්විය . 1963දී මේජර් තනතුරටද 1964දී නියෝජ්‍ය ආඥාපති තනතුරටද ඉඩි අමීන් පත්විය. 1965දී කර්නල් තනතුරටද 1968දී මේජර් ජෙනරාල් තනතුරට පත් වූ ඔහු රජයේ ප්‍රධානියාගේ ආරක්‍ෂක සභාවේ සභාපති ලෙස පත් වී 1971දී සේනාධිනායක වී සන්නද්ධ හමුදා යුද හමුදා කාර්ය මණ්‌ඩල ප්‍රධානියා හා ප්‍රධාන මාණ්‌ඩලික නිලධාරිවරයා බවටද පත්විය.

‘අපේ වීරයා ඔහුයි... ගලවාගැනීමේ නියමුවා ඔහුයි’

උගන්ඩාවේ මිනිස්සු ජයඝෝෂා නැඟූහ.

1971 ජනවාරි මස 25 වැනිදා ඔබොටේගේ නායකත්වයෙන් යුත් රජය හමුදා කැරැල්ලකින් පෙරළා දමා උගන්ඩාවේ බලය අල්ලා ගන්නට ඉඩි අමීන්ට හැකි විය. කම්පාලා අගනුවර සෑම රජයේ ආයතනයක්‌ම හමුදාව යටතට පත් කරගෙන හේ භීෂණයක්‌ ඇති කළේය.

ඔබොටේගෙන් ලැබුණු රටට වඩා අභිමානවත් රටක් පැතූ උගන්ඩාවේ මිනිස්සු 'ඉඩිට' ඉඩ දුන්නේය. ඔබොටේගේ පාලනය සෝවියට් කඳවුර දෙසට නැඹුරු වෙමින් පැවති එකක් වූ අතර ඔහු යම් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ රැසක් උගන්ඩාවට ලබා දුන්නේය. අනෙක් අතට ඔහුට බටහිර රටවල්ද මුලින් හිතවත්කමක් පෑවේය. ඔෙබාටේ කල්පනා කළේ ලෝකයේම සහාය තමන්ට ලැබෙනවා කියාය.

'ප්‍රජාතන්ත්‍රවාදය කන්නද?'

සමහරු එසේ නොඇසුවා නොවේ.

අන්තිමට සැඟවුණු න්‍යායපත්‍රයකින් බටහිර සහාය ලැබුණේත් ඉඩි අමීන්ටය.

බලයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ඉඩි අමීන් ව්‍යවස්‌ථාව සංශෝධනය කරමින් සියලුම විධායක බලතල තමන් වෙතට පවරා ගත්තේය.

'රට ගැන හිතන නායකයා'

'විනය සහිත වීරයා'

'යුද්ධය දිනවූ සෙන්පතියා'

යනාදී අනේක විධ වර්ණනාවන් ඔහුට තිබුණේය.

නමුත් කාලයත් සමඟ අප්‍රිකානු මහාද්වීපයේ රටවල් නිදහස ලබා ගත්තාට පසු බිහිවූ දරුණුතම රාජ්‍ය නායකයා ලෙස ඉඩි අමීන් නාමය ඉතිහාසගත විය. ඔහුගේ පාලන කාලය තුළ අවම වශයෙන් පුද්ගලයන් 1,00,000 සිට 5,00,000 දක්‌වා ඝාතනය හෝ අමානුෂික වධ හිංසාවලට භාජන වී ඇත.

උගැන්ඩාවට සුදු නයිල් නදිය සම්පතකි. ගොවිතැන සඳහා ජලය ලබා ගන්නේ සුදු නයිල් නදිය සහ ඒ හා ආශ්‍රිත ජල ධාරාවන්ගෙන්ය.. රට කොළ පැහැතිය. සශ්‍රීක පසක් ඇත. මේ කාලයේ නම් දකුණු සුඩානයේ සිට පැමිණෙන සරණාගතයන් උගන්ඩාවටද පැමිණේ.

රටේ එක්තරා වගාවක් වන්නේ, ‘කෝපි’ ය. මේ කෝපි ඉතාමත් රසවත්ය. ලෝකයේ කෝපි නිෂ්පාදනය කරන රටවල් දහය අතරට උගන්ඩාවත් අයත් වේ.

එහෙත් ඉඩි අමීන් ඒ රට නන්නත්තාර කළේය.

1971 පෙබරවාරි 2 වැනිදා ඉඩි අමීන් තමා උගන්ඩාවේ ජනාධිපති බවට ප්‍රකාශ කළ අතර සන්නද්ධ හමුදා, යුද හමුදා මාණ්‌ඩලික ප්‍රධානි තනතුරු ද තමන් දරන බවට ප්‍රකාශ කළේය. උගන්ඩා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අතට ගෙන තමාගේ සෙල්ලම පටන් ගත් ඔහු ඇතැම් විධිවිධාන අත්හිටුවා ව්‍යවස්ථාව කතන්දර පොතක් කළේය. කම්පාලා නුවර ජනාධිපති මන්දිරය 'අණදීමේ මධ්‍යස්‌ථානය' ලෙසට නම් කළ ඔහු කැබිනට්‌ ඇමැතිවරු අලුතෙන් පත් කළේය. ඔවුන් සියලු දෙනාම හමුදා නීතියට යටත්විය යුතු විය. පීඩාව උග්‍ර විය. ඒකාධිපති වියරුව පටන් ගත්තේය. සිවිල් වැසියන් බොහෝ ගණනක්‌ අතුරුදන් විය. ආගමික නායකයන්, මාධ්‍යවේදීන්, කලාකරුවන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විනිසුරුවරුන්, නීතිඥයන්, සිසුන් හා බුද්ධිමතුන් සාපරාධී චෝදනා යොමුකොට ඝාතනය කළේය .

හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම අග්‍රවිනිශ්චයකාරයකු වූ බෙනඩික්‌ටෝ කිවුනුකා, ඇංග්ලිකන් අගරදගුරු, උගන්ඩා මහ බැංකුවේ අධිපති, හිටපු ආණ්‌ඩුකාර ජෝෂප් මුබීර්, මැකරේර් විශ්වවිද්‍යාලයේ උපකුලපති ෆරූන්ත් කලිමුසෝ, ප්‍රසිද්ධ නාට්‍ය රචකයකු වූ බයිරන් කවාදාව, අමීන්ගේ කැබිනට්‌ ඇමැතිවරුන් දෙදෙනකු වූ එරීනෝයෝ විල්සන් ඔරීමා සහ චාල්ස්‌ ඔටුත් ඔළුම්බි ද ඝාතනය විය.

ආසියානුවන් හා යුරෝපීයන් සතු දේපළ අත්පත් කර ගැනීම ඇතුළු ප්‍රතිපත්ති මාලාවක්‌ 'ආර්ථික යුද්ධයක්‌' ලෙස ප්‍රකාශයට පත් කළ ඔහු බ්‍රිතාන්‍ය පාස්‌පෝට්‌ හිමි වූ ආසියානුවන් 50,000ක්‌ රටින් පන්නා දැමීමට තහනම් නියෝග නිකුත් කළේය.

ඉඩි අමීන් ලිබියාවේ මුවම්මර් ගඩාෆිගෙන් හා රුසියාවෙන් සහයෝගය ලබාගත්තේය. මුලින් උදවු කළ බටහිර රටවල් පවා ඉඩිගෙන් ඈත් විය.

1973දී ඇමෙරිකානු තානාපති තෝමස්‌ පැට්‌රික්‌ මෙලදී, ඉඩි අමීන් ජාතිවාදී, ම්ලේච්ඡ, අඥාන, යුදවාදී, අතාර්කික, හාස්‍යජනක මිලිටරිවාදියකු ලෙස හැඳින්වීය.

20,000ක පමණ උගන්ඩා ජනතාව ආරක්‍ෂාව පතා ටැන්සානියාවට පලා ගියේය.

'ඔහු අවුරුදු 8ක් රට පාලනය කළා. දෙවියනේ ඒ බිහිසුණු කාලය. ඔහු බලයෙන් පහ වීම සිහිනයක්. නපුරු සිහිනයකට පස්සේ අවදි වුණා වගේ දැනුණා'

ඔහුගේ වසර අට ගැන මිනිස්සු කියන්නේ එහෙමය.

අවස්ථාව සහ කම්පනයන් ඔස්සේ මිනිස්සු තීන්දු ගන්නා විට විනාශය පෙනෙන්නේ නැත. තෝල්ස්තෝයි ලෝක ප්‍රකට ලේඛකයකු වුවත් ඔහු අතිශය කෲර ස්වාමිපුරුෂයෙකි. ඔහුගේ සාහසික ලිංගික අඩන්තේට්ටම් නිසා අසීමාන්තිකව දුක් විඳි කතුන් අපමණය.

'ඔහු කාන්තාව සලකන්නේ ලිංගික මැෂිමක් කියලයි'

ඔහු ගැන බිරිය කියන්නේ එහෙමය.

ජාතියක් අර්බුදයට පත්වීම තමන්ගේ 'අවස්ථාව' ලෙස සලකන අයෙක් වෙත්නම් 'උගන්ඩාව' මතක් කර ගැනීම මැනවි.

මීට මාස කිහිපයකට පෙර මාධ්‍ය අතර මෙහෙම සංවාදයක් විය.

'මාධ්‍ය -'ඔබ ජනාධිපතිවරණෙට එනවද?'

ඔහු- නැහැ,තවම ඒ ගැන කියන්න අවස්ථාව නෙවෙයි.

තවත් ටික කලකින් මාධ්‍ය ඔහුගෙන් මෙහෙම අඇසීය.

'පුරවැසිකම ඉවත් කරගත්ත නේද?'

'ඔව්,ඒ ගැන කටයුතු වෙනවා..'

'ඔබ ජනාධිපතිවරණෙට එනවද?'

'අපි බලමු නේද..තව කල් තියෙනවනේ..අවස්ථව ආවම කියන්නම්'

කාලය ගෙවී ගියේය..

මුළු රටක් පමණක් නොව ලොවක් සසල කළ ප්‍රහාරයක් රටට එල්ල විය. බියගුලු, බිහිසුණු ප්‍රහාරයෙන් රටම සසල විය. එකා වන්ව මිනිස්සු මෙයින් දුක් වූහ. පාර්ලිමේන්තුවේ එකෙක්, දෙන්නෙක් දේශපාලන අරමුණු සහිතව හැසිරුණි. එල්ලෙන්න වැලක් හොයන ඕනෑම අනාතයෙක් අහුවෙන දේක එල්ලෙන එක පුරුද්දය.

'දේශපාලනේ පස්සේ කරමු..මුලින් ප්‍රශ්නේ විසඳගමු'

බොහෝ දෙනා එහෙම කීහ.

'මේකට අපි හැමෝම වගකියන්න ඕන. අපි හැමෝම රට ගොඩනඟමු' ආගමික නායකයෝ කීහ.

'ලෝකෙන්ම වැඩිපුර ඇස් දන් දෙන මිනිස්සු ඉන්නේ ඒ රටේ. වැඩියෙන්ම ලේ දන් දෙන මිනිස්සු ඉන්නේ ඒ රටේ. වැඩියෙන්ම වකුගඩු දන් දෙන්නේ ඒ රටේ. එහෙව් මිනිස්සුන්ගේ රටට බෝම්බ ගහන්නේ කොහොමද?'

චීන ජාතික ලේඛකයෙක් පසුගිය ප්‍රහාරය ගැන එහෙම ලියා තිබිණ.

'මේ අසීරු අවස්ථාවේ ලෝකයම ඔබ සමඟ බව මතක තබා ගන්න'

එක්සත් ජාතීන්ගේ සංවිධානය එහෙම නිවේදනය කළේය. ලෝක නායකයෝ ඉල්ලා සිටියේ එකා වන්ව නැඟිටින්න ශක්තිය දෙන බවය.

ගෝඨාභය රාජපක්ෂ ඔය අතර මෙහෙම කීවේය.

'මම ජනාධිපතිවරණෙට එනවා...'

 

මාතෘකා