දේශප්‍රේමී සළු

 ඡායාරූපය:

දේශප්‍රේමී සළු

“ඔහු ජාතියේ ගැලවුම්කරුවාය.

ඔහුගෙන් තොර ජාතියක් නැත.

ඔහුගේ උදාර ශ්‍රේෂ්ඨත්වය අබියස ලෝකයා පරාජිතය

එන්න ඔහුට වන්දනා කරන්න.”

මේ මීට දශක අටකට පෙර හිට්ලර් වෙනුවෙන් තිබූ ප්‍රශස්ති අතරින් එකක්ය. එහෙම උදාන පාඨ සිය ගණනක් හිට්ලර් වෙනුවෙන් ලියැවිණි. සියල්ල පිටුපස හිටියේ ‘අමුතු චරිතයක්’ය. ඔහු ගොබෙල්ස්ය.

හිට්ලර්ගේ ප්‍රවෘත්ති ඇමතිකම ලැබුණේ 'ආචාර්ය ගොබෙල්ස්ට'ය. හරියටම කීවොත් ඒ අමාත්‍යාංශය ජාතිය පුබුදු කිරීමේ හා ප්‍රචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයය.

ගොබෙල්ස් තමන්ට පැවරුණු රාජකාරිය අකුරටම කළේය.

හිට්ලර් දේවත්වයට නංවා රාජකීය අභිසෙස් ලබා දුන්නේ ගොබෙල්ස්ය. සෑම පාසල් පොතකම හිට්ලර්ගේ උදාන වාක්‍ය ඇතුළත් කරමින් ඔහු වන්දනීය චරිතයක් කළේ ගොබෙල්ස්ය. ආර්ථික අවපාතයෙන් රට මිරිකෙද්දී එය 'සුරපුරයක්' බවට ඒත්තු ගැන්වූයේ ගොබෙල්ස්ය. මුළු ලෝකයම ජර්මනියට එරෙහිව එන බවත් ඊට එරෙහිව හිට්ලර් වීරයකු සේ මුහුණ දෙන බවත් ගොබෙල්ස් කීවේය. 'බොරුව' සියදහස් වතාවක් කියවා එය සත්‍යයක් බවට ඒත්තු ගැන්වූ ගොබෙල්ස් හිට්ලර් එක්කම ජර්මනියත් වනසා දමන්නට පාර කැපුවේය.

1945 අප්‍රේල් මැයි මාසයේදී සෝවියට් රතු හමුදාව විසින් සමස්ත බර්ලින් නගරය වටකරනු ලැබීය. තවත් දින කිහිපයකින් බර්ලින් නගරය රතු හමුදාව යටතට පත්වීම ඉර හඳ වගේ විශ්වාසය. එහෙත් සීත කළ ජර්මන් ගුවන්විදුලි සංස්ථාවට ඒ උණුසුම දැනුණේ නැත. ගුවන්විදුලිය තුළ 'පදිංචි වී' මහත් වේගයෙන් කථා කළ ගොබල්ස් තවත් දින කිහිපයකින් සමස්ත සෝවියට් දේශයම නාසි හමුදාව අතට පත්වන බව ජර්මන් ජනතාවට කීවේය.

නමුත් සිදු වුණේ එහි අනෙක් පැත්තය.

කෙසේ වෙතත් අවසානයේ ගොබල්ස්ද සියදිවි නසා ගත්තේය.

පහුගිය ආණ්ඩු සමයේ එහෙම ගොබෙල්ස්ලා බොහොමයක් සිටියහ. ඒ ඒ ගොබෙල්ස්ලාට එක එක වර්ගයේ කාර්යභාරයන් පැවරී තිබිණි.

'රට බිලිගන්න එනවා'

'ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙනවා'

' රණවිරුවෝ විදුලි පුටුවට ගෙනියන්න හදනවා'

එහෙම කතා ආවේ ගොබෙල්ස් න්‍යායටය.

මහින්දගේ ආණ්ඩුව වසර ගණනාවක් යැපුණේ එහෙම ගොබෙල්ස්ලාගේ පුරාජේරු බොරු එක්කය.

එක පිට එක මැතිවරණ දිනන්නට සියල්ල දේශපාලනික රැල්ලකට හරවාගත් ඉතිහාසයක් ඔවුන් සතුය.

මැතිවරණ කට උඩ තියාගෙන 'විදුලි පුටු කතා' වික්ක හැටි සමහරුන්ට අමතකය. 2014 ජනවාරි 11 එවක කැබිනට් ඇමැති මහින්ද යාපා කීවේ මාර්තු 29 වැනිදා බස්නාහිර සහ දකුණ පළාත්සභා ඡන්දය පැවැත්වෙන බවය. සාමාන්‍යයෙන් පළාත් සභාවක් විසුරුවා හරින්නේ නැතිව මැතිවරණ දිනය ගැන කොමසාරිස්ටවත් කියන්නට හැකියාවක් නැත. එහෙත් මහින්ද යාපා ඒක කීවේය.

රහස කුමක්ද? ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් යෝජනාව ගන්නට තිබුණේ 2014 මාර්තු 28 හරියටම හවස 07ටය. පසුවදා උදේ 7ට ලංකාවේ පළාත් දෙකකට ඡන්දය යොදා ගත්තේ මේ නැකතට අනුවය. එවර නැකත හැදුවේ සුමනදාස අබේගුණවර්ධන නොවේය. එයද නවනීදම් පිල්ලේගේ නැකතට අනුව රාජපක්ෂ හදපු නැකතය. ජිනීවා මානව හිමිකම් සභාවේ යෝජනාව බිල්ලෙක් ලෙස පෙන්වා මුළු මැතිවරණයම මෙහෙයවීම උපක්‍රමය විය. එය එහෙමම විය. සැබැවින්ම එදා ආණ්ඩුව කළේ ජිනීවා වවාගෙන කෑමය. ලංකාව තූ තූ කොට දමන්නට විදෙස් බලවේග වලි කන බව ඔවුහු ගම් දනව් පුරා මිථ්‍යාව වැපිරූහ. එවක විමල් වීරවංශ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ ඊනියා උපවාසයක් කළේය. චෝගම් වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණනක් වැයකොට රාජ්‍ය නායකයන් ගෙන්වා ඔවුන්ට තග දමා 'මං පොර' වන්නට ගියේය. ලෝකය තුළ ලංකාව නොව ලංකාව තුළ ලෝකය තිබෙන බවට අති උන්මාදනීය මිථ්‍යාවක් ඔවුහු සමාජගත කළහ.

කුමන්ත්‍රණ මවමින් දේශපාලන බලය උදෙසා සකලවිද කාලය කැප කරන්නට ගොබෙල්ස්ලා ඒ ආණ්ඩුවේ ඇති පදම් සිටියහ. වරක් වෙසක් උලෙළ සඳහා ඉන්දිය අගමැති මෝදි මෙරටට එන විට විමල් කීවේ 'ඔහු එන්නේ ලංකාව අල්ලන්නට බවත් ඔහුට එරෙහිව කළුකොඩි දැමිය යුතු බවත්'ය. හැබැයි ඔහු ආවේ ඔවුන්ගේ වියදමින් ඉදි කළ නිවාස ජනතාවට ලබා දෙන්නටය.

'මගේ අම්මේ තාත්තේ, මේ වතාවේ බඩ ගැන හිතන්න එපා... පළාත් සභාවලත් බලය අපිට දීලා මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයන්ට පණිවිඩයක් දෙමු රටම ඉන්නේ මහින්ද එක්ක කියලා' එහෙම කතා ඒ දිනවල හෝල් සේල් එකේ අලෙවි විණි.

ඒ සියලු කතා ගජබින්නය. බලය, බලය... බලයම මිස වෙන කිසිවක් නොපැතූ බලකාමී රංචුවකට වුවමනා වූයේ කුදුමහත් කපටිකම් සියල්ල ස්වකීය බල උමතුව වෙනුවෙන් යොදා ගන්නටය. අපරාධය මොනතරම් බරපතළ වුවත් කෙනකුට මරණීය දණ්ඩනය පැනවීමේ බලයක් ‘ජාත්‍යන්තර අපරාධ අධිකරණයට’ ඇත්තේ නැත. ඒ විතරක් නොවේ, යම් හෙයකින් අන්තර්ජාතික අපරාධ අධිකරණයේ නඩු අසා වැරදිකරු කරනු ලැබුවත් ඔහු විදුලි පුටුවකට යන්නේ නැත. වෙන කිසිවක් නිසා නොව හේග් නුවර ඔය කියන විදුලි පුටුවක් නැත. එහෙත් කොහොමත් නළුවෙක් වූ සහ නළුවෙක් වන මහින්ද එදා අපූරුවට රඟපෑවේය. ගමක් ගමක් පාසා සියලු මිනිසුන් අත් කම්මුල්වල ගසාගෙන කල්පනා කළේ 'දෙයියනේ එතුමා විදුලි පුටුවට ගෙනයයිද?' කියාය. ඒ තරමට බොරුවට පියාපත් ලැබී තිබිණි. හැම රැලියකටම දෙගොඩතලා යන තරමේ සෙනඟ පැමිණ, සිය කම්පනය පෙන්වීය. ජිනීවාහිදී පසුගිය සතියේ පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 40 වැනි සැසිවාරය එන විට විමල්ලාගේ තැටිය රත් වෙයි. වචන දෝරේ ගලයි. කතන්දර වැසි වසී. බොරදියේ මාළු යහමින් සිටින බව දැනගෙන ඇම දමාගෙන සිටී. මිථ්‍යාව පොකුරු පිටින් වපුරයි. කන්දක් විළිලායි. මී පැටියෙක් තබා කූඹි බිජ්ජක්වත් නොවදයි. එහෙත් ලජ්ජාව නැති කළ නැවත නැවත බොරුවේම ගිලී, ඒ තුළම පිහිනමින් සිටියි.

'රට බෙදනවෝ' කියමින් රට වටේ දේශන තියාගෙන යයි.

එහෙත් ජිනීවාහිදී පසුගිය සතියේ පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 40 වැනි සැසිවාරයේදී ලංකාව පැත්තෙන් දුන් කිස්කනා පිළිතුර එක්කම ටික දිනක් 'ව්‍යාජ දේශප්‍රේමියෝ' සද්ද නැතිව සිටිති.

මානව හිමිකම් එනවා නම් එන්න තිබුණේ උතුරේ ප්‍රශ්නයකට නොව රාජපක්ෂලා වැජඹුණු දකුණට කළ විනාශය නිසාය. තම දේශපාලන පැවැත්ම උදෙසා මානව හිමිකම් බිල්ලා මැවූ රාජපක්ෂලාගෙන් ඒ බිල්ලා ගිලිහුණු අතර එය හිස් පඹයෙක් බව 2015න් පසු තහවුරු විය. නව ආණ්ඩුව ප්‍රශස්ත ලෙස එය කළමනාකරණය කළේය. එහෙත් මැතිවරණ වසර කට උඩ තියාගෙන නැවත 'පුරුදු බිල්ලා' මවමින් සිටී. “ලංකාවට විරුද්ධව තවත් ජිනීවා යෝජනාවක් සම්මත කිරීමට ආණ්ඩුව සහයෝගය ලබා දෙන බව රාජපක්ෂ මහතා කියා සිටී.”

'රට බෙදන්න දෙමුහුන් අධිකරණයක් ගේනවා' ඒ ඒකාබද්ධය කී මිථ්‍යාවයි. රජයේ ස්ථාවරය ජිනීවා මහකොමසාරිස්ට මෙලෙස පැවසී .

‘මහකොමසාරිස්තුමියනි,

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයක්

ශ්‍රී ලංකාවේ පිහිටුවීම සාධාරණීකරණය කළ හැකි යැයි

ශ්‍රී ලංකාව විශ්වාස කරන්නේ නෑ.'

මේ කතා ගැන විවේචකයෝ 'හ්ම්' නැත. ඔවුන් තමන්ට රුචි පරිදි තළුමැරිය හැකි 'කෑල්ල' සොයමින් එහෙ මෙහේ දුවති. ඒකාබද්ධය රෑ දවල් දොඩවන්නේ අමෙරිකන් කුමන්ත්‍රණ ගැනය. හේග් නුවරට තමා ගෙනියන්න කැස කවන්නේ අමෙරිකාව බව මහින්ද කීවේය. ඉඳහිට දැනුත් කියන්නේය. එහෙව් අමෙරිකාවේ පුරවැසියන් දෙදෙනා තම සොහොයුරන් බව හෙතෙම නොදන්නේද?

ඇතිවෙමින් තිබූ බිහිසුණු ආර්ථික අනාථභාවයත් ශීඝ්‍රයෙන් ඩැහැගෙන තිබූ ආර්ථික මර්මස්ථානත් නිසා ඒකාන්ත විනාශය දෑස අද්දර තිබියදී මහින්ද 'බොරදියේ මාළු බෑමට' තීන්දු කළේය. ඒ වසර දෙකකට පෙර මැතිවරණය කැඳවමිනි. අනෙක් අතට 'මැදමුලන සිස්ටම් එකට' අන්තර්ජාතිකය එක්ක ගනුදෙනු කරන්නට ගොස් මහින්ද මුළු රටම අන්තර්ජාතික කුණු බක්කියට දමා තිබිණ. තීරණාත්මක රටවලට එවක මහින්ද යැවූ තානාපතිවරු කවුද? තානාපතිවරයකු කියන්නේ මේ සියලු දේ සම්පූර්ණ කරමින් විදෙස් සේවාවේ වසර ගණනාවක පළපුරුද්දක් තිබෙන පුද්ගලයකුටය. ඒ අාකාරයෙන් විශාල කාලයක පළපුරුද්දක් තිබෙන පුද්ගලයන්, විශාල භාෂා පරිචයක් තිබෙන පුද්ගලයන් හෝ වෘත්තියවේදීන් විදෙස් තානාපති ධුරය සඳහා පත්කරනු ලබයි. එහෙත් මහින්ද පත් කළේ කවුද?

රාජපක්ෂලා අවලාද නඟමින් කරේ තබාගෙන ගිය ජිනීවා බිල්ලා දැන් බිල්ලෙක් නොවන බව රටම දනී.

ලොකුම විහිළුව රට ගැන මහා පුරසාරම් දොඩවන දේශප්‍රේමීන්ගේ හෙළුව රටටම පේන එකය. මවු රටේ පුරවැසිකම අතහැර 'සරු බිමක' පුරවැසිකම ගත් ව්‍යාජ දේශප්‍රේමීන්ගෙන් දේශප්‍රේමය බලාපොරොත්තු වෙනවානම් ඊට පෙර ඔවුන් මවු රටේ බැඳීම අමෙරිකාව ඉදිරියේ ගලවා වීසිකළ අයුරු මතකයට ගන්නා ලෙස කිව යුතුය.

ඒ මෙසේය.

'‘මෙතෙක් මා අයත් වූ මවු රටට මගේ තිබූ සෑම පක්ෂපාතීත්වයක් සහ භක්තියක්ම, මුළුමනින්මත් සදහටමත් අතහැරීමට මම සපථ කරමි. කවදාක හෝ නීතියෙන් ඉල්ලා සිටින මොහොතක් වෙතොත් ඒ මොහොතේ ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මම අවි දරමි… විදේශීය සහ දේශීයව එන සියලු සතුරන්ට එරෙහිව එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති අනුබල වශයෙන් ආරක්ෂා කරමි. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාවන්හි අසංග්‍රාමික සේවාවන් සඳහා කැප වෙමි… මේ වගකීම කිසිදු මානසික කොන්දේසියකින් තොරව මම බාරගනිමි… එසේ හෙයින් දෙවියනි; මට පිහිට වුව මැන.’’

ගෝඨාභය සහ බැසිල් එහෙම දිවුරපු දෙදෙනෙක් බව පමණක් සිහිපත් කරමි. නැවත ඒ දිවුරුම කියවන්නේනම් මැනවි.

මාතෘකා