ඇන්. ඇම්. රොනීට දුන් අනගි වරම

 ඡායාරූපය:

ඇන්. ඇම්. රොනීට දුන් අනගි වරම

හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, රොනී ද මැල් මහතාගේ ජීවන චරිතය ඇසුරෙන් ‘රැස’ පුවත්පත ගෙන එන ලිපි මාලාවේ එකොළොස්වැන්න (11) මෙයවේ.

ළමා අවදිය, ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන අවදිය මෙන්ම සරසවි අධ්‍යාපනයද භාණ්ඩාගාරයේ පුහුණු නිලධාරීවරයක්, දිසාපතිවරයෙක්,

අමාත්‍යාංශ උප ලේකම්වරයෙක්, සමුපකාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙක්, ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ගත කළ සමයන් පිළිබඳව මින් පෙර ලිපි හරහා තොරතුරු ගෙන හැර දැක්වූ අතර ගුවන් විදුලියෙන් ඉවත්වී දේශපාලනයට ප්‍රවේශ වීම දක්වා කාලය පිළිබඳ තොරතුරු මතු දැක්වේ.

දේශපාලනය ඕනෑවටත් වඩා ඔඩුදුවා තිබීම හේතුවෙන් ගුවන් විදුලියේ පරිපාලන කටයුතු ඉටුකිරීම සිවිල් සේවාවේ මීට පෙර රොනී දැරූ තනතුරුවලදී තරම් මටසිලුටු නොවීය. දේශපාලන ඝර්ෂණය මැඩලමින් තම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යෑම උදෙසා රොනීට මහත් ආයාසයක් දැරීමට සිදු විණි.

එහෙත් දේශපාලනීකරණයට නතුවී තිබූ සෙසු ආයතනවලට සාපේක්ෂව ගුවන් විදුලිය ඉහළ ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යෑමට රොනී දැක්වූ දක්ෂතාව සමකාලීන රාජ්‍ය නිලධාරීන්ගේද පැසසුමට ලක්විණි.

ගුවන් විදුලියේ කටයුතු හැරුණු විට රොනීගේ දෛනික ක්‍රියාවලියේ ප්‍රමුඛ ස්ථානයක් ලැබී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධාන කටයුතු වෙනුවෙනි. බණ්ඩාරනායක මැතිනියගේ රට වටා පැවති ජනහමුවලදීත් විදේශ දූත මණ්ඩල සම්බන්ධ ක්‍රියාකාරකම්වලදීත් රොනී එතුමියට සහාය දැක්විය. එදා මැතිනියගේ හි තෛශී වලල්ල තුළ සිටි ස්වාමීන් වහන්සේලා හා හිතවතුන් අතර රොනීටද හිමිවූයේ අති විශේෂ ස්ථානයකි.

තමා පූර්ණ කාලීන වශයෙන් දේශපාලනයට අවතීර්ණ වීමට අපේක්ෂා කරන බැව් රොනී පළමු වරට පවසා සිටියේ සිය බිරිය වූ මල්ලිකා ද මැල් මහත්මියටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා රොනී දේශපාලනයට ප්‍රවේශ වීම කෙරෙහි ඇය සිය අකැමැත්ත පළ කර සිටියාය. එ.ජා.ප.ය ආරම්භ කළ සමයේ සිට සිය පියා වූ ශ්‍රීමත් ලියෝ ප්‍රනාන්දු මහතාගේ අඩිපාරේ යමින් මල්ලිකා ද මැල් මැතිනිය ඇතුළු ඇගේ පවුලේ සියලු දෙනාද එක්සත් ජාතික පාක්ෂිකයෝ වූහ. ඇයගේ නිගමනය වූයේ දේශපාලනයට අවතීර්ණ වන්නේ නම් ඒ සඳහා සුදුසු වන්නේ එ.ජා.ප.ය බවයි. එහෙත් සිවිල් සේවාවේ තනතුරු අතහැර දේශපාලනයට ප්‍රවිෂ්ට වීම ඇය කිසිසේත් අනුමත නොකළාය.

පූර්ණකාලීන දේශපාලයට පිවිසීමට වූ රොනීගේ ආශාව, වැරෙන් අල්ලා දියේ බහාලූ පන්දුවක් වැනි විය. ග්‍රහණය ලිහිල් වන සෑම විටම එය වේගයෙන් දිය මතුපිටට නිදහස් වීම දක්නට විය. බිරිය මල්ලිකාගේ විරෝධය සමනය වී ඇති සෑම විටම රොනී සිය දේශපාලන ස්වප්නයේ රිසිසේ නිමග්න විය.

ඔහු සිය අපේක්ෂාව බණ්ඩාරනායක මැතිනිය වෙත සැලකර සිටියේය. සිය විශ්වසනීය හිතවතා පූර්ණකාලීනව නිදහස් පක්ෂයට එක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් මැතිනිය දැඩි සොම්නස් සහගත අනුකූලතාවක් පළ කර සිටියාය. විවිධ සමාජ හා වෘත්තීය මට්ටම්වල ප්‍රවීණයන් එවකට ශ්‍රීලනිපය තුළ වුවද සිවිල් සේවාවේ අත්දැකීම් බහුල බුද්ධිමතකු සඳහා ඇබෑර්තුවක් ඒ වන විට පක්ෂය තුළ විය. එබැවින් එම පුරප්පාඩුව සැපිරීමට අවශ්‍ය තරම් සුදුසුකම් රොනීට විය.

සභාග ආණ්ඩුවේ රට පුරා කිසිදු මැතිවරණ බල ප්‍රදේශයක ආසන සංවිධායක ධුරයක් හිස්ව නොතිබූ බැවින් රොනීගේ ඉල්ලීම ක්ෂණිකව ඉටු කිරීමට මැතිනියට එදා හැකියාවක් නොවීය.

සිවිල් සේවයේ නිරතව රට පුරා සේවය කර ඇති බැවින් ශ්‍රී ලංකාවේ කොතැනක හෝ අසුනක් සඳහා තරග කළද රොනීට ජයගත හැකිය යන විශ්වාසය මැතිනිය කෙරේ විය. පක්ෂයේ කටයුතු හා මැතිවරණ සඳහා ඕනෑ තරම් මුදල් වැය කිරීමේ හැකියාවක්ද රොනීට තිබූ බැවින් එය තවත් පහසු වනු ඇතැයි ඇය සිතුවාය.

එහෙත් රොනීගේ තක්සේරුව වූයේ එය නොවේ. ඔහුගේ අපේක්ෂාව වූයේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම අසුන හෝ බුලත්සිංහල අසුන සඳහා තරග කිරීමයි. ඊට හේතුවූයේ ඔහුගේ පරපුරට මෙන්ම සිය බිරිය වූ මල්ලිකාගේ පරපුර හරහා උරුමකම් කියන වතුපිටිවල සේවක සේවිකාවන්ගේ ඡන්ද ඉලක්ක කර පහසුවෙන් ජය ගැනීමට හැකි මඟකි.

විශේෂයෙන් අක්කර පන්දහසකින් යුතු ගී කියන කන්ද වතුයාය, වරකාගොඩ, නාහල්ල, කුඩලිම, මදුරාවල, තෙබුවන, බුලත්සිංහල ආදී විශාල ගම්මාන රැසක් පුරා පැතිර තිබිණි. එම වතුයායන්හි සේවක සේවිකාවෝ දසදහසකට අධික පිරිසක් සේවය කළහ.

තමා මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් එම වතුපිටිවල සේවක පවුල්වල ඡන්ද තමා වෙත හිමිවන බැවින්ද ඒ ප්‍රදේශවල මැල් පරපුරට තිබූ සැලකිල්ලද හේතුවෙන් මතුගම හෝ බුලත්සිංහලින් තරග කළ හොත් ආයාසයකින් තොරව ජය ගත හැකි බවද රොනී සිතුවේ ඒ නිසාවෙනි.

එහෙත් රොනීගේ සිතැඟි ඒ ආකාරයෙන් ඉටුකර දීමට මැතිනියට හැකියාවක් නොවීය. සිය ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු වූ ලංකා සම සමාජ පක්ෂයට කළුතර දිස්ත්‍රික්කයේ තිබූ මැතිවරණ බලප්‍රදේශ හතමනි තරග ගිවිසුමක් යටතේ ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟතා ගිවිසුමකට එළැඹ තිබිණි. ඒ අනුව සම සමාජය, ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු ලෙස සිටින තුරා කළුතරට නිදහස් පක්ෂ අපේක්ෂකයකු ඉදිරිපත් නොකිරීමට එයින් ගිවිස ගෙන තිබිණි.

කළුතර දිස්ත්‍රික්කයෙන් රොනී ඉදිරිපත් කළ හොත් ඔහු අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන බැව් මැතිනියද සක්සුදක් සේ පිළිගෙන තිබිණි. එහෙත් තම ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවකු සමඟ ඇති කරගත් එකඟතාවක් බිඳ දැමීමට ඇය උත්සුක නොවූවාය.

කෙසේ වුවද රොනීගේ බලවත් පෙරැත්ත මෙන්ම කළුතර අසුනක් ශ්‍රීලනිපයට නතුකර ගැනීම කෙරේ පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් දැක්වූ කරුණුද සැලකිල්ලට ගත් බණ්ඩාරනායක මැතිනිය රොනීගේ ඉල්ලීම සලකා බැලීමට එකඟ වූවාය. ඒ අනුව ලංකා සම සමාජ පක්ෂයේ නායක, ඇන්.ඇම්. පෙරේරා මහතා සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව බුලත්සිංහල මැතිවරණ කොට්ඨාසය රොනී වෙත ලබා දීමට ඇන්.ඇම්. පරිත්‍යාගශීලී විය.

පාරම්පරික එ.ජා.ප. පරපුරක දැවැන්ත චරිතයක්, වමේ කඳවුරට ගොනු වීම කෙරේ ඇන්.ඇම්. දැක් වූයේ සහෝදරාත්මක එකඟතාවකි.

රොනී වර්තමානයේ ගැනීමට සූදානම් වන්නේ සිය ජීවිතයේ බැරෑරුම් තීන්දුවකි. කීර්තිමත් සිවිල් සේවය තුළ තමා සිටින ඉහළම ශ්‍රේණියේ තනතුරු සියල්ල අතහැරීමට ඔහු සූදානම්ව සිටියේය.

වත්මන් යුගයේදී රාජ්‍ය සේවයේ නිරත වන්නකු දේශපාලනයට ප්‍රවේශ වන්නේ නම් සිය රැකියාවෙන් තාවකාලිකව නිදහස් වී දේශපාලන කටයුතු කිරීමටත් යම් ලෙසකින් දේශපාලනයෙන් ඉවත් වුවහොත් නැවත සිය ස්ථිර රැකියාව සඳහා වාර්තා කිරීමටත් හැකියාව ඇත්තේය.

එහෙත් එදා එවැනි පහසුකමක් රජයේ සිවිල් සේවකයන් වෙත හිමිවී නොතිබිණි. කුමන හේතුවක් මත හෝ ඉල්ලා අස්වේ නම් අදාළ නිලධාරියා දරන සියලු තාන්න මාන්න මෙන්ම වරප්‍රසාද සියල්ලද අහෝසි වීම එදා ක්‍රමවේදය විය.

සිය ධනස්කන්දය හේතුවෙන් වැටුප්, වරප්‍රසාද හෝ විශ්‍රාම වැටුපක අවශ්‍යතාවක් රොනීට නොවූවද සිවිල් සේවා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස වූ සමාජ පිළිගැනීම හා තත්ත්වය කෙරේ ඔහුගේ පරපුරේ සෙස්සන්ට යම් අභිමානයක් පැවති බව ප්‍රකටව තිබිණි. ධනය තිබූ බැවින් පවුලේ බහුතරයකට අවශ්‍ය වූයේ කීර්තිය හා බලය යන සාධක සිය පරපුරට ගොනුකර තබා ගැනීමටයි. ඒ පිරිස අතරින්ද ප්‍රමුඛ වූයේ මල්ලිකා ද මැල් මැතිනියයි.

සිවිල් සේවයෙන් ඉවත්ව ශ්‍රීලනිපයට එක්වීම කෙරේ ඇය තදින්ම විරුද්ධ වූවාය. පවුලෙන් මතුවූ විරෝධතාව හේතුවෙන් බණ්ඩාරනායක මැතිනියගේ ඉල්ලීම මත ඇන්.ඇම්. පෙරේරා මහතා ලබාදුන් අවස්ථාව අතහැර දැමීමට රොනීට සිදුවිය. සන්ධාන ආණ්ඩුවක දේශපාලන ගිවිසුමක් පවා සංශෝධනය කරමින් රොනීට පහසුවෙන් ජය ගත හැකි ස්වර්ණමය අවස්ථාවක් ලබාදී තිබියදී එයට පයින් ගැසීමට ඔහුට සිදු විය.

මේ අතරතුර මහියංගණය රාජමහා විහාරස්ථානයේ කොත් පැලඳවීමේ උලෙළ උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඇරයුම් ලැබ සිටියේ අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. එය සුවිශේෂී අවස්ථාවක් බැවින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා අදාළ උලෙළ සජීව ලෙස විකාශය කිරීමටද රොනී සියලු විධිවිධාන සැලසීය. නියමිත පරිදි රොනී මහියංගණයට ගියේ මැතිනියද සමඟයි. සියලු තාක්ෂණික හා පිරිස් බලය අදාළ අවස්ථාව සඳහා යොදවා තිබූ බැවින් සජීව විකාශයේ කිසිත් ගැටලුවක් ඇති බවක් පෙනෙන්නට නොතිබිණි. එහෙත් කුමක් හෝ හේතුවක් මත අදාළ විකාශය නිසි පරිදි විසුරුවා හැරීමට ගුවන් විදුලි සේවක මඩුල්ල අපොහොසත් වූහ.

අදාළ සිදුවීම හේතුවෙන් රොනී දැඩි ලෙස අපහසුතාවට පත් විය. සිවිල් සේවා දිවිය තුළ එවැනි තත්ත්වයකට ඔහු පත්වූ පළමු අවස්ථාව එය විය. අගමැතිතුමිය විසින් තමා වෙත බාරදුන් වගකීම් ඉටු කිරීමට තමා අපොහොසත් වූයේය යන කනස්සලු සහගත හැඟීම ඔහු තුළ ජනිත විය.

ඒ අනුව කොළඹ පැමිණි විගසින් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු අගමැතිතුමිය වෙත යොමු කළේය.

1962 වසරේදී ගුවන් විදුලියෙන් ඉවත් වීමත් සමඟම පහළොස්වසරක රොනීගේ නිකැළැල් හා කීර්තිමත් සිවිල් සේවයට ඉසිඹුලැබිණි. එමෙන්ම රොනී සිවිල් සේවයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් එම සේවාව තුළ ඔහු භුක්ති විඳි සෙසු වරප්‍රසාද සියල්ලද අහෝසි විය. ලංකා සිවිල් සේවාව තුළ එවැනි පරිත්‍යාගයක් කොට රැකියාවෙන් සමුගත් පළමු නිලධාරියා වූයේද රොනී ද මැල්ය.

රොනී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ලේකම් ලෙස පත්වෙයි... ඒ පිළිබඳ වැඩිදුරට තොරතුරු මීළඟ සතියේදී බලාපොරොත්තු වන්න.

[උපුල් ගලප්පත්ති]

 

මාතෘකා