(අගමැති රනිල් වික්‍රමසිංහගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙනි)

 ඡායාරූපය:

(අගමැති රනිල් වික්‍රමසිංහගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙනි)

කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරී පත්ව නීතිඥවරයකු ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කළේය. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ එකම පුද්ගලයා වන්නේද රනිල් වික්‍රමසිංහ මහතාය. වික්‍රමසිංහ මහතා ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 1977 වසරේදීය. ඔහු එහිදී තරුණ කටයුතු හා රැකී රක්ෂා අමාත්‍යධුරය හෙබවීය. එකල තරුණ ප්‍රජාව වෙනුවෙන් නොමැකෙන සේවාවන් රැසක් ඉටු කළ වික්‍රමසිංහ මහතා ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමට මුලිකත්වය ගෙන කටයුතු කළේය. 1980 වසරේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපනයේ උන්නතිය උදෙසා කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කළේය. විද්‍යාපීඨ මෙරටට හදුන්වාදීමේ පුරෝගාමියා වූ රනිල් වික්‍රමසිංහ මහතා විධිමත් අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම උදෙසා ජාතික අධ්‍යාපන ආයතනය ඇති කිරීමට කටයුතු කළේය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩු සමයෙහි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සෘණව පැවැති ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය කිරීමෙහිලා කැපී පෙනෙන මෙහෙයක් සිදුකරනු ලැබීය. විද්‍ය හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස මෙන්ම ජංගම දුරකතන මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමියා ලෙසද හඳුන්වා දිය හැකිය. රණසිංහ ප්‍රේමදාස මහතාගෙන් සහ ඩී. බී. විජේතුංග මහතාගෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පත් විය. 2001 මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණ සමත් විය. 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් එජාපයේ සහය දැක්වීමට තීන්දු කිරීම මෙරට දේශපාලන ඉතිහාසයේ සංධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.රනිල් වික්‍රමසිංහ මහතා පස්වරක් අගමැති වූ අතර 1993 සිට 1994 දක්වා, 2001 සිට 2004 දක්වා, 2015 ජනවාරි 08 සිට අගෝස්තු 15 දක්වා සහ 2015 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වා එලෙස ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබීය.හෙතෙම 2018 දෙසැම්බර් 16 වැනිදා නැවත අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

මේ ගතවෙමින් පවතින්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේ පස් වැනි ධුර කාලයයි. එය ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයෙහිද දුර්ලභ වරමක් හැටියට අර්ථකථනය කෙරෙයි. පස්වැනි වරම ලැබුණේ දේශපාලන කුමන්ත්‍රණයක් වැරදී යෑමේ ප්‍රතිඵලයක් හැටියටය.

56 දරුවන්ගේ උත්පත්තිය හා කල්කිරියාව ගැන පුරසාරම් දොඩන බොහෝ අය භික්ෂු පයිරුපාසානයෙන් දේශපාලනය කළ බණ්ඩාරනායක මහතා භික්ෂු කුමන්ත්‍රණයකින් වෙඩි කා මළ ආකාරය අමතක කරති. එමෙන්ම පනස් හයේ දේශපාලන පෙරළියෙන් යටපත් කරන ලද ජාතික එක්සත්කම ගොඩනැඟීමේ අභියෝගය අමතක කරති. ජාතික රාජ්‍යය ගොඩනැඟීමේ අසමත්කම තිස් වසරක යුද්ධයක් දක්වා ඇදී ගියේය. යුද්ධය නිමා වුවද ඊට පිටුදුන් ගැටලු විසඳීම වෙනුවට ජාතිකානුරාගය පුම්බමින් සැබෑ ප්‍රශ්න යට කිරීමටද සිංහලෝත්තමවාදය අනුව ජනමනස විකෘති කිරීමටද පාලකයෝ කටයුතු කළහ. රනිල් බටහිර ගැත්තකු ලෙස ගැරහීමට ලක්වන්නේත් ඔහු සිංහල බෞද්ධ විරෝධියකු ලෙස හංවඩු ගසන්නේත් ඔහු ජාතිවාදයේ සහ ආගම්වාදයේ ගිනි පිඹීම තම දේශපාලනය බවට පත් කර නොගත් හෙයිනි. එය ඔහුගේ දේශපාලන භාවිතයෙහි වැදගත්ම ලක්ෂණය හැටියට සැලකිය හැකිය. එහෙයින් ඔහුගේ දේශපාලන චින්තනය ජනප්‍රිය දේශපාලන ධාරාව නියෝජනය නොකරයි. සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මොන බැණුම් ඇසුවත් මිනිස් ඝාතන වළක්වාලමින් දේශපාලන විසඳුමකට යෑමේ අභිප්‍රාය ඔහුට විය. එය කඩා වැටීම කෙරෙහි පාර්ශ්ව කිහිපයකට වගකීම බෙදී යයි. යුද්ධමය විසඳුමකින් පසුවද ඒ වගකීම් ඉතිරිව ඇත.

එක් මැතිවරණ ව්‍යාපාරයකදී නිමල් සිරිපාලද සිල්වා ඇමතිවරයා රනිල් ටයිකෝට් අඳින හෙයින් බටහිර ගැත්තකු බවටද මහින්ද රෙද්ද අඳින බැවින් ඔහු දේශීයත්වය ගරුකරන්නකු බවටද වේදිකාවල පාරම්බෑවේය. රනිල් එම අවලාදයට උත්තර දෙන්නට ගියේ නැත. එන පොට හොඳ නැතැයි සිතා රෙද්දට බැස්සේද නැත. ඊට වඩා අශිෂ්ට ගණයේ අවලාද විමල් වීරවංශ වැනි මහජන නියෝජිතයන් ප්‍රසිද්ධ වේදිකාවල ඉදිරිපත් කරන විටද රනිල් කුපිත වූයේවත් ඒවාට වග උත්තර බඳින්නට ගියේවත් නැත. එමෙන්ම අගමැති ධුරයෙහි වරප්‍රසාද පාවිච්චි කරමින් එළිපිටවත් රහසේවත් පළිගන්නට ගියේද නැත. හැදෙනවා නම් එම යහගුණයෙන්ම හැදේ යැයි සිතිය හැකි වාචාලයන් කිසිදාක හැදේ යැයි සිතීමටද නොහැකිය. රනිල්ගේ චරිතයෙහි අප දකින දෙවැනි වැදගත්ම ලක්ෂණය එයයි. එනම් මහත්මා දේශපාලනයයි.

තෙවැනි වැදගත් ලක්ෂණය ලෙස දැකිය හැක්කේ ඔහු සතු නවීන චින්තනයයි. ඔහු අගමැතිවරු කිහිප දෙනකු යටතේ කැබිනට් ඇමති ධුර හොබවා ඇත. යෞවන කටයුතු, රැකීරක්ෂා, කර්මාන්ත, විද්‍යා තාක්ෂණ, අධ්‍යාපන යනාදී වශයෙන් තමන්ට පැවරුණු විෂය ක්ෂේත්‍රවලදී ඉදිරිගාමී ප්‍රතිසංස්කරණ රැසක් සිදුකර ඇත. මේවායෙහි යහපත් ප්‍රතිඵල අත්පත් වී ඇති ආකාරය සමාජ විශ්ලේෂකයන්ගේ අවධානයට ලක්විය යුතු මනාය. ජාතික විද්‍යා පීඨ යනු එක් නිදර්ශනයක් පමණි.

ආර්ථිකය ලිබරල්කරණය වත්මනෙහි විවාදාපන්න මාතෘකාවකි. මේ විෂයයෙහි රනිල්ගේ ඇතැම් සැලසුම් ඉදිරියට ගියේය. ඇතැම් ඒවා පරාජයට පත් විය. උදාහරණයක් වශයෙන් ගතහොත් රාජපක්ෂ පාලනය විසින් මහත් උජාරුවෙන් පම්පෝරි ගසන අධිවේගී මාර්ග පද්ධතිය සලකා බලමු. වැඩ නිමවී ඇති දක්ෂිණ අධිවේගී මාර්ගය ගතහොත් එය දැනට භාවිත වන්නේ මගී ප්‍රවාහනය සඳහාය. එමෙන්ම මූලික සැලසුම්වල තිබූ මං තීරු වෙනස්ව පටු මාර්ගයක් හැටියට ඉදිකර තිබේ. එහි සිදුවී ඇති නාස්තියද විශාලය. රනිල්ගේ අරමුණ වූයේ අධිවේගී මාර්ග කර්මාන්ත කලාප හා සම්බන්ධ කිරීමය. කර්මාන්තවල නිෂ්පාදන ප්‍රවාහනය කෙරෙන්නේ අධිවේගී මාර්ග පද්ධතිය ඔස්සේය. මේ සියල්ල කප්පාදු කරමින් ඉදිකර ඇති අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහනයෙන් ලැබෙන ආදායමෙන් ණය බේරිය හැකිවේ යැයි සිතිය නොහැක. විදෙස් ආයෝජකයන්ට හිතකර වාතාවරණයක් ඇති කිරීම රනිල්ගේ ආර්ථික සැලසුමෙහි ප්‍රමුඛ ලක්ෂණයක් විය. ඒ සඳහා රට තුළ නීතියේ පාලනය සහතික විය යුතුය. මානව හිමිකම් ආරක්ෂා විය යුතුය. සියලු රටවැසියන්ට සමානව සලකන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කළ යුතුය.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය හෙබවූ අවස්ථා මේ සඳහා දරන ලද උත්සාහයන් ඇතැම් විට අසාර්ථක වූයේ පසුගාමී දේශපාලන සංස්කෘතියක අනුහස නිසාය. එහෙත් ලංකාව වැනි දූපත් මානසිකත්වය රජයන රටක සම්මත ආකල්ප අභියෝගයට ලක් කිරීම ලේසිපාසු කටයුත්තක් නොවේ. අපි උදාහරණයක් ගනිමු.

දණ්ඩ නීති සංග්‍රහය යනු යල් පැනගිය නීතියකි. අධිරාජ්‍ය යුගයෙහි එය මෙරටට හඳුන්වා දුන් බ්‍රිතාන්‍යයවත් එම නීති වත්මනෙහි අනුගමනය නොකරයි. යටත් විජිතයෙන් නිදහස් වුණු රටක් වුවද ලංකාවේ එම නීතිය තවමත් ක්‍රියාත්මක වෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලයේ සිටින දියුණු චින්තනයක් සහිත මහජන නියෝජිතයකු වන මංගල සමරවීර දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළේය. මෙය විවාදාපන්න තත්ත්වයක් නිර්මාණය කළේය. ඊනියා ජාතික පත්තර පඩංගු සහ ආගමික සංස්ථා මෙයට පහර දුන්නේය. විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගි වූ මහජන වේදිකාවකදී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ මංගලගේ යෝජනාව විවේචනයට ලක්කරමින් යෝජිත ව්‍යවස්ථාවද පතුරු ගැසූහ.

භික්ෂූන් වහන්සේලාගෙන් අහන්නැතිව කිසිම දෙයක් කරන්නේ නැතැයි ප්‍රධාන කථිකයා පොරොන්දු විය. එය එතැනින්ම ඇණ හිටියේය. යටත්විජිත උරුමයන් බෞද්ධ උරුමයන් ලෙස කරපින්නාගන්නා ආගමික හා දේශපාලන සංස්ථා එකට දීග කන රටක් ශිෂ්ටත්වය කරා ගෙනයෑම ලේසිපාසු කාරියක් නොවේ. එබඳු අවස්ථාවලදී මූර්ඛ විජයලාභියෝ [මුඛරිකමින් අග තැන්පත්] කොඩිය කෙළින් කරගනිති. මරාලා, වංශලා පෙළහර පාති. එහි නිසැක ප්‍රතිඵලය රට ආපස්සට යෑමය. ලෝක මට්ටමෙන් විහිළුවට ලක්වන්නේද ලාංකේය මට්ටමින් සබුද්ධික ජනයාගේ සරදමට ලක්වන්නේද මේ තත්ත්වයයි. ජිනීවා දක්වා ගිගුම් දෙන මනුෂ්‍යත්වය පිළිබඳ කාරණා එනම් හිංසනයෙන් තොරව ජීවත්වීමේ අයිතිය යනාදිය මෙරටදී කුමන්ත්‍රණ ලෙස අර්ථ දක්වන පසුගාමී චින්තනයක් නඩත්තු කෙරෙන පාතාල මාධ්‍ය භාවිතයක්ද බිහිව තිබේ. මේ සමස්තය වෙනස් කිරීම උඩුගං බලා පිහිනීමකි.

ඔක්තෝබර් 26 දේශපාලන වියවුල සමඟ අරලියගහ මන්දිරය නිදහස් අරගලයේ කේන්ද්‍රය බවට පත් විය. රනිල් කවුදැයි නොදැන සිටි අයට ඔහු තේරුම් ගැනීමේ හැකියාව ලැබිණ. චම්පික, රාජිත, අජිත්, මංගල බලමුළුව පෙරටුව රනිල් සමඟ බොරුවට නොව ඇත්තටම හිටගත් මහා බලවේගයක් නිර්මාණය විය. කථානායක හැටියට කරු ජයසූරිය අචංචලව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දියත් කළ සටන ඉතිහාසගත වේ.

2019 තීරණාත්මක වන්නේ ජනාධිපතිවරණය නිසාය. එහිදීද ජාතිකානුරාගය කෙළින් කරන අශිෂ්ට මැර දේශපාලනය හිස එසවීමට උත්සාහ දරනු ඇත. එළැඹෙන ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂකයා රනිල්ද වෙනත් අයකුද යන්න තවමත් කිව නොහැක. කවුරු නම් කෙරුණත් නිසැක ජයක් ලැබිය හැක්කේ සියලු ලාංකිකයන් රටවැසියන් හැටියට සලකන වෛරී දේශපාලනය වෙනුවට අවෛරී දේශපාලනය අගයන නවීන චින්තනයක් ඇති අයකු හටය.

රනිල් ගැන ලියැවෙන මේ සටහන ඔහු පවතින සමාජ දේශපාලන සමාජ සන්දර්භයෙහි පිහිටුවා කළ දළ සාකච්ඡා කිරීමකි. තීන්දු ගැනීමේදී ජේ.ආර්. කෙරෙන් දිස්වූ අනම්‍ය ගතිය ඔහුගෙන් දිස් නොවීම විවේචනයටද ලක්ව ඇත. මාර්ක් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු මැතිවරණ දූෂණ කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ඉන් එකකි. එහෙත් ව්‍යවස්ථාදායක සභාව, කොමිෂන් සභා පිහිටුවීම යනාදී වැදගත් කටයුතුවලදී ඔහු දුන් නායකත්වය සුළුපටු නොවේ. මැතිවරණ දෙපාර්තමේන්තුව ශක්තිමත් ආයතනයක් බවට පත් විය.

ඉදිරියේදී මැතිවරණ දූෂණ වැළැක්වීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් පවතී. එමෙන්ම ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක වේ. ව්‍යවස්ථාදායක සභාව සහ කොමිෂන් සභාවලට කවර විවේචන එල්ලවුවද කථානායකවරයාද තහවුරු කරන පරිදි ශිෂ්ටත්වය අශිෂ්ටත්වයෙන් යටපත් කිරීම ලේසිපාසු කටයුත්තක් නොවනු නිසැකය.

[තිඹිරියාගම බණ්ඩාර]

මාතෘකා