ගුවන් විදුලියේ මුල් පුටුවට

 ඡායාරූපය:

ගුවන් විදුලියේ මුල් පුටුවට

හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, රොනී ද මැල් මහතාගේ ජීවන චරිතය ඇසුරෙන් ‘රැස’ පුවත්පත ගෙන එන ලිපි මාලාවේ දස (10) වැන්න මෙය වේ.

ළමා අවදිය, ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන අවදිය මෙන්ම සරසවි අධ්‍යාපනයද භාණ්ඩාගාරයේ පුහුණු නිලධාරිවරයෙක්, දිසාපතිවරයෙක්, අමාත්‍යාංශ උප ලේකම්වරයෙක්, සමුපකාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙක් ලෙස ගත කළ සමයන් පිළිබඳ මින් පෙර ලිපි හරහා තොරතුරු ගෙන හැර දැක්වූ අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ සමයේ සිට ඉදිරියට මතු දැක්වේ.

ඩී.එස්.ගේ පාලන සමයෙන් පසු පැමිණි රාජ්‍ය නායකයකුට සිය පාලන සමය අර්බුදවලින් තොරව නිම කිරීමට තරම් හැකියාවක් නොවීම මෙරට දේශපාලන ක්ෂේත්‍රයට ලබා තිබූ මහා අභාග්‍යසම්පන්න දශාවක් විය. ඩඩ්ලිගේ අග්‍රාමාත්‍ය වාර දෙකේදීත් කොතලාවල මහතාගේ පාලන සමය පුරාත් එය මනාව ප්‍රදර්ශනය විය.

රටේ ජනතාව බණ්ඩාරනායක මහතාගෙන් බලාපොරොත්තු වූ තවත් අපේක්ෂාවක් වූයේ මීට පෙර නොතිබූ එම දේශපාලන නිශ්චලභාවය නැවත ඇති වේය යන්නයි.

එහෙත් අවසනාවන්ත ලෙස චීවරධාරියකුගේ වෙඩි පහරකට ලක්ව එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වීම මෙරට දේශපාලන සංස්කෘතියේ එතෙක් නොවූවිරූ ක්‍රියාදාමයක ඇරඹුමක් විය.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලය සිය තේමා පාඨය ලෙස යොදා ගනිමින් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනඟමින් ක්‍රියාත්මක වූ නව දේශපාලන චින්තනය, බණ්ඩාරනායක මහතාගේ රතු රුධිරය මෙන්ම ඉහිරි ගලා ගියේය.

1959 වසරේ සැප්තැම්බර් 25දා බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ බණ්ඩාරනායක රජයේ අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ ගාල්ලේ ඩබ්ලිව්. දහනායක මහතාය.

එතුමන්ගේ මාස හයක කෙටි පාලන සමය, 1960 මාර්තු 22දා නිමා වූයේ ආණ්ඩුකාර ඔලිවර් ගුණතිලක මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙනි.

පසුව 1960 මාර්තු පැවති මැතිවරණයෙන් විපක්ෂ නායක ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් යුතු එ.ජා.ප. ය නැවත වරක් බලයට පත් විය. 1960 මාර්තු මැතිවරණය මෙරට දේශපාලන හා මැතිවරණ ක්ෂේත්‍රයේ සුවිසල් සංධිස්ථානයක් විය. ඒ වන විට දින ගණනක් විටින් විට පැවැත්වූ මැතිවරණය වෙනුවට එක් දිනයක සමස්ත රටේම ඡන්දයක් පැවැත්වූයේ මෙම අවස්ථාවේදීය. එමෙන්ම වෙනදා එක් එක් පක්ෂයට හිමි විවිධ වර්ණයෙන් යුත් පෙට්ටිවලට ඡන්දය දැමීම වෙනුවට පක්ෂ සලකුණ සටහන් කර ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹුණේද මෙම මැතිවරණයේදී වන අතර තැපැල් ඡන්ද ප්‍රථම වරට භාවිතයට එන්නේද මෙදා ඡන්දයේදීය. එහෙත් අවාසනාවන්ත ලෙස පාර්ලිමේන්තුවේ රාජාසන කතාව පරාජය වීමෙන් ආණ්ඩුව විසුරුවා හැරීමට ඩඩ්ලිට සිදු විය.

1960 ජූලි 20දා නැවතත් මහ මැතිවරණයක් පැවති අතර ඒ සඳහා එ.ජා.ප. කණ්ඩායමට ඩඩ්ලි නායකත්වය සැපයූ අතර ශ්‍රීලනිප ය ඇතුළු සන්ධානයට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නායකත්වය සපයන ලදී.

සිය සැමියාගේ සේවය පිළිබඳව සිහි කරමින් රට වටා ගිය මැතිණිය, ඇතැම් අවස්ථාවන්හි හඬා වැටීම එවකට ඡන්දදායකයන් සංවේදී කළ සිදුවීමක් විය.

1960 ජූලි 21දා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෙරට ප්‍රථම අගමැතිනිය ලෙස පත් වූවාය. එය ලොව ප්‍රථම අගමැතිනිය මෙරටින් බිහි වීමක් ලෙස වාර්තා ගත විය.

දේශපාලන කෝඩුකාරියක වූ මැතිනිය සිය පාලනය ගෙන ගියේ බණ්ඩාරනායක මහතාගේ දේශපාලන සහකරුවන්ගේද සහාය ඇතිවය. බණ්ඩාරනායක මහතාගේ ආධාරකරුවකු ලෙස රොස්මිඩ් පෙදෙසට නිතරම ආ ගිය රොනී ද මැතිනියගේ දේශපාලන ගමන්මඟට අවශ්‍ය උපදෙස් මෙන්ම මාර්ගෝපදේශයන් සපයමින් එතුමියට සිය සහාය පළ කළේය.

මැතිනිය අගමැතිනිය වීමත් සමඟ රජයේ වැදගත් මර්මස්ථාන සඳහා තමනට හිතවත් නිලධාරීන් පත් කිරීමට උත්සුක වූවාය. ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු වූ මෙවැනි ප්‍රධාන ස්ථානයක් වූයේ රජයේ පණිවුඩ ජනතාව අතරට ගෙන ගිය සන්නිවේදන මධ්‍යස්ථානය ලෙස එවකට ඒකාධිකාරය හිමි කරගෙන තිබූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.

රොනී ද මැල් මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමට බණ්ඩාරනායක මැතිනිය අපේක්ෂා කළාය. එහෙත් තමා ප්‍රවීණත්වය දරන ක්ෂේත්‍ර ඕනෑතරම් තිබියදී කිසිදු අත්දැකීමක් නොමැති මාධ්‍ය ක්ෂේත්‍රයේ ආයතනයකට පත් කිරීමට සූදානම් වීම පිළිබඳ රොනී, මැතිනිය වෙත සිය කනස්සල්ල පළ කළේය. ඔහු අපේක්ෂා කළේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හෝ මුදල් අමාත්‍යාංශයේ සුදුසු තනතුරකි. ගුවන් විදුලියේ තනතුර බාරගන්නා ලෙස මැතිනිය කළ අඛණ්ඩ ඉල්ලීම් මධ්‍යයේ අකමැත්තෙන් වුවද ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය ඔහු බාරගත්තේ වසර දෙකක් (02) පමණක් සේවය කර ඉවත් වන බවට වන පොරොන්දුව මතය.

රොනී ගුවන් විදුලියේ ලොකු පුටුව බාරගන්නා විට එම ආයතනය තුළ විවිධ කල්ලි හා දේශපාලන කණ්ඩායම්වල කඹ ඇදිලි හා ගැටුම්වලින් පිරී පැවතිණි. මධ්‍යස්ථ මතධාරියෙක් හා උගත් නිලධාරියෙක් ලෙස රොනීගේ ක්‍රියා කලාපය ඒ සියලු පාර්ශ්වයන් විසින් පිළිගත් බැවින් බොහෝ අභ්‍යන්තර ප්‍රශ්න හා ගැටලු සමනය කර ගැනීමට ඔහු සමත් විය.

විවිධ හේතු නිසාවෙන් නතර කර තිබූ බොහෝ වැඩසටහන් නැවත ඇරඹීමටත් ඇතැම් ඵලදායී දේ ක්‍රියාත්මක කිරීමට තිබූ බාධාවන් ඉවත් කර ගුණාත්මක ගුවන් විදුලි සේවාවක් ඇති කිරීමටත් රොනී ට කෙටි කලක් තුළ හැකි විය.

වින්සන් පණ්ඩිත මහතා ඇතුළු උගත්, බුද්ධිමත් වියතුන් ගුවන් විදුලියට බඳවා ගනිමින් ගුවන් විදුලියේ මෙහෙවර සාරවත් කිරීමටද රොනී කටයුතු කළේය. එමෙන්ම ප්‍රාදේශීය වශයෙන් තිබූ ශ්‍රවණබාධා ඉවත් කරමින් පුළුල් සේවයක් ලබා දීමටද ඔහු කටයුතු කළේය.

රොනීගේ සංකල්පයක් මත ගුවන් විදුලි සංස්ථාවේ ක්‍රියාත්මක වූ තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් වූයේ ‘ග්‍රාමීය අසන්නන්ගේ සමාජ‘ රට පුරා ආරම්භ කිරීමයි.

මෙම ග්‍රාමීය අසන්නන්ගේ සමාජ හරහා සිදුවූයේ රට පුරා ගම් නියං ගම්වල ගුවන් විදුලි ශ්‍රවණ සමාජ බිහිකර ඒවා හරහා ගම්වල තොරතුරු රටටම ප්‍රචාරය කිරීමයි. මාධ්‍ය ක්ෂේත්‍රයට සක්‍රිය දායකත්වයක් ලබා දීමට ගමේ තරුණ තරුණියන් පළමු වරට පෙරට ආ රියැලිටි ක්‍රියාදාමය වූයේ මෙම වැඩසටහන යි.

ඒ වන විට ටොරින්ටන් ගුවන් විදුලි මහගෙදර මැදිරි තුළ පුස්කමින් තිබූ වටිනා ශ්‍රව්‍ය උපකරණ හා පටිගත කිරීමේ මෙවලම් හා හා පුරා කියා ගම්මානවලට කද මලු බැඳ ගෙන රැගෙන ගියේ මෙම වැඩසටහනේ බාහිර පටිගත කිරීම් සඳහාය. ගුවන් විදුලියේ ජීප් රථවලට යා නොහැකි ඇතැම් අතිශයින් ග්‍රාම්‍ය දුෂ්කර ගම්වලට යෑමට තිබූ ප්‍රවාහන අවහිරතා පිළිබඳ සැලකිල්ලට ගනිමින් රොනී නිලධාරීන්ට උපදෙස් දුන්නේ එවැනි අවස්ථාවල කත් කරුවන් යොදා ගෙන අදාළ උපකරණ අදාළ ස්ථාන වලට රැගෙන යෑමටයි.

කත් මතින්ද පාලම් පාරු, ඒදඬු හරහාද ගමට ගිය මෙම මෙවලම් නිසා ගමේ ඉතිහාසයද ග්‍රාම නාම විකාශය, පැරණි වෘත්තාන්ත, වන්නම්, සවුදම්, කෝලම්, ජන ගායනා, බෞද්ධ පුරාවෘත්ත, පෙර රජ දවස ගමේ ශ්‍රී විභූතිය ඇතුළු ජනශ්‍රැති රට පුරා ප්‍රචාරය වූයේ ගමේ යටගියාවට අලුත් වටිනාකමක් ලබා දෙමිනි.

ගමේ තොරතුරු ගමේ සැබෑ මිනිසුන්ගේ හඬින්ම එළිදැක්වූ මෙම වැඩසටහන ගම ගැන ගැමියන් තුළද පිබිදීමක් ඇති කළ නව ආරක වැඩසටහනක් විය. එමෙන්ම ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ මාධ්‍ය ආයතනයක් සිය සජීවී බාහිර පටිගත කිරීමක් හරහා ක්‍රියාන්විතයක නිරත වූ ප්‍රමුඛ අවස්ථාවද එය විය.

නව ආරක වැඩසටහන් පෙළගැස්මක් ක්‍රියාත්මක කිරීමත් ජනතාවගේ හදවතට දැනෙන පරිදි බුද්ධි කළම්බනයක් ඇති කිරීමත්, රොනීගේ ගුවන් විදුලි මාධ්‍ය දැක්ම විය. ආනන්දයෙන් ප්‍රඥාවට යන මාධ්‍ය සංකල්පය මෙරට ගුවන් විදුලිය හරහා ප්‍රථම වරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළේ රොනී ය.

එහෙත් ගුවන් විදුලියේ රොනීගේ ඇතැම් කටයුතු එවකට මාධ්‍ය මගින්ද විවේචනයට ලක් විය. පන්දමත් පගාවත් අත්තනෝමතික භාවයත් රජ කරන ගුවන් විදුලියේ ඇතැමුන්ගේ කටයුතු පාලනය කිරීමට රොනී අසමත් වූ බැව් එවකට හෙළබිම පුවත් පතේ කතුවරයා වූ, දයාවංශ ජයකොඩි මහතා (වත්මන් දයාවංශ ජයකොඩි ප්‍රකාශකයෝ හි අධිපති) රොනී විවේචනය කරමින් ලිපි පළ කර තිබිණි. එහෙත් ඒ මහතා පවා සිය විවේචනාත්මක ලිපි හරහා පවසා සිටියේ සිවිල් නිලධාරීන් අතර විරළ පුද්ගලයකු වූද උගත්කම හා කාර්යක්ෂම භාවය කැටිකොට ගත් මෙල් මහතාට නිසි ලෙස කටයුතු කිරීමට ගුවන් විදුලියේ දේශපාලන හෙයිචයියන් අවස්ථාව අහුරන බවයි. මෙල් මහතාගේ සමයේ ගුවන් විදුලියේ ළමා වැඩසටහන් හා දහම් වැඩසටහන්වල ගුණාත්මක බව ඉහළ දැමීම සම්බන්ධයෙන්ද දයාවංශ ජයකොඩි මහතා රොනීට පසසමින් එදා හෙළබිම පුවත්පතේ කරුණු දක්වා තිබිණි.

සිවිල් සේවාව තුළ තමා වෙත ලබාදෙන ඕනෑම තනතුරක සිට නිර්මාණශීලීව වැඩක් කළ හැකි පුද්ගලයකු බවට රොනී ඒ වන විට පත් වෙමින් සිටියේය. දේශපාලන ක්ෂේත්‍රය සමඟ සෘජුව ගනුදෙනු කිරීම නිසාම රොනී ඒ වන විට දේශපාලනයට ප්‍රවේශ වීමේ ආශාවෙන් පසු විය.

සිවිල් සේවය හරහා කළ හැකි සේවයට වඩා සිය දහස් ගුණයක සේවයක් දේශපාලන ක්ෂේත්‍රය හරහා තමාට කළ හැකිය යන විශ්වාසය රොනී තුළ ඒ වන විට කිඳා බැස ගෙන තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා දේශපාලනයට ප්‍රවේශවීමට සුදුසු සමය සොයමින් රොනී අවදානයෙන් පසු විය. මැතිනියගේ ආශීර්වාදයද තමාට ඇති බැවින් සිය අපේක්ෂා මුදුන්පත් කර ගැනීම පහසු වනු ඇති බවට ඔහු තුළ දැඩි විශ්වාසයක් පැවතිනි.

රොනී සිවිල් සේවයට සමු දේවිද...? ඒ පිළිබඳ වැඩිදුරට තොරතුරු මීළඟ සතියේදී බලාපොරොත්තු වන්න.

මාතෘකා