ආර්ථික වෙනසකට අඩිතාලමක් දානවා : අමාත්‍ය හර්ෂ ද සිල්වා

 ඡායාරූපය:

ආර්ථික වෙනසකට අඩිතාලමක් දානවා : අමාත්‍ය හර්ෂ ද සිල්වා

ආර්ථික ව්‍යුහයේ වෙනස්කම් සඳහා අග්‍රාමාත්‍යවරයා අඩිතාලමක් දමා තිබෙන බවත් දැනුම පදනම් වූ සමාජ ආර්ථික වෙළෙඳපොළ ක්‍රමයක් සැකසීමට කටයුතු කරන බවත් පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා ඊයේ (14) පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසීය.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂය අද විවාදයට ගත් අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“ආර්ථික ව්‍යුහයේ වෙනස්කම් සඳහා අග්‍රාමාත්‍යවරයා අඩිතාලමක් දමා තිබෙනවා. දැනුම පදනම් වූ සමාජ ආර්ථික වෙළෙඳපොළ ක්‍රමයක් සැකසීමට වෑයමක් කරනවා. විෂන් 2025 දැක්ම ඉදිරියට යනවා. මේ වෙනුවෙන් වසර 13ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම, තාක්ෂණ දැනුම ලබාදීමට කටයුතු කරනවා. මැදි ආදායම් උගුලෙන් එළියට ඒමට උත්සාහ කරනවා. උතුරු පළාත සංවර්ධනය කරනවා. ඉඩම් වැඩියෙන් නිදහස් කරනවා. ප්‍රශ්නයට දීර්ඝකාලීන විසඳුමක් ලබාදෙනවා. අලුත් නිවාස ඉදිකරනවා. කන්කසන්තුරේ වරාය දියුණු කරනවා. යාපනයට ජලසැපයුම් ව්‍යාපෘතිය, වාලච්චේනිය කඩදාසි කර්මාන්තශාලාව නැවත ආරම්භ කිරීම ආදී වැඩසටහන් රැසක් සිදු කරනවා. තවත් අවුල් ඇතිකරගන්නේ නැතිව ඉදිරියට යා යුතුයි. ජනාධිපතිවරණයට පෙර කතා කළේ විදුලි පුටු ගැනයි. අද විදුලි පුටුවේ ප්‍රශ්නය විසඳා තිබෙනවා. පාට කණ්ණාඩි දෙස බලන්නේ නැතිව සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් දිය යුතුයි. ආණ්ඩුව සිටින්නේ එතනයි.”


එතෙක් මෙතෙක් විශාලතම ආයෝජනය මාලඹේ-කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියයි

අමාත්‍ය පාඨලී චම්පික

ඉතිහාසයේ රජයක් විසින් සිදු කළ විශාලතම ආයෝජනය මාලඹේ-කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (13) මහානගර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“කඩුවෙල සිට පිටකොටුව දක්වා දිවෙන ජපන් ණය ආධාර මත ක්‍රියාත්මක වන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉතාම වැදගත් ව්‍යාපෘතියක්. මේ වන විට එය ක්‍රියාත්මක කිරීම සඳහා අපට කැබිනට් අනුමැතිය ලබුණා. විස්තරාත්මක ඉංජිනේරුමය සැලසුම්කරණය, භෞතික වශයෙන් ගොඩනැඟීමේදී ටෙන්ඩර්පත් සැකසීම සහ ප්‍රසම්පාදනය, කොන්ත්‍රාත්කරුවන් ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේදී සුපරික්ෂාව සහ කළමනාකරණය යන වගකීම් මෙන්ම වැඩ ආරම්භ කර මගීන් ප්‍රවාහනය කරන කාලය තුළ වසර දෙකක් වැඩ සුපරික්ෂාවෙන් යම් යම් අඩුපාඩු සිදුවනවා නම් ඒ පිළිබඳව කටයුතු කිරීම කියන බරපතළ වගකීම අපි තරගකාරී ලංසු කැඳවීමක් අන්තර්ජාතිකව සිදුකරලා ජපන් අධාර කොමිෂන්වල තිබෙන ප්‍රසම්පාදනයන්ට අනුකූලව මෙම උපදේශන සේවාව ඔරියන්ටල් සමාගමට ලබාදෙනවා.

“ඒ අය ලබන මාසය වන විට එහි මූලික කටයුතු ආරම්භ කරාවි. වැට් බදු නොමැතිව ආසන්නයෙන් ඩොලර් මිලියන 100ක පමණ කොන්ත්‍රාත්තුවක් මෙහි තිබෙනවා. එය අපට ජපානයෙන් ණය ආධාරයක් ලෙසයි ලැබෙන්නේ. එහි පොලී අනුපාතය සියයට දශම බින්දුවයි එකක් වැනි ඉතාමත්ම අඩු පොලියකට ජපානයෙන් අපට ලැබී තිබෙනවා. මෙහි වැට් ඇතුළු සියලුම අනෙකුත් කාරණා සමඟ මෙය ඩොලර් මිලියන 148ක වැනි අගයකට නැංවී තිබෙනවා. ඒ කියන්නේ බිලියන 22ක ව්‍යාපෘතියක්. මේ රටේ දැනට රාජ්‍ය ආයෝජනයක් සිදු කර තිබෙන විශාලතම ව්‍යාපෘතිය මේක. මේකට සියලුම බදු සමග ඩොලර් මිලියන 2,200ක් මුළුමනින්ම වැය වෙනවා. මේක තමයි මෙරට ඉතිහාසයේ රජයක් ආයෝජනය කරන විශාලතම ව්‍යාපෘතිය බවට පත්ෙවන්ෙන්.”


ජනතාවට අගතියක් වන කිසිම නීතියක් ගේන්නේ නෑ

අමාත්‍ය තිලක් මාරපන

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය හා සෛවරීභාවය යළි තහවුරු කර ගැනීමට සමත්වූ බවත් අපේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට අගතිදායක කිසිදු නීතියක් සම්මත කිරීමට ක්‍රියාකර නැති බවත් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.

අමත්‍යවරයා අද (14) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ, ජිනීවා මනව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කෙරෙන යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය කුමක්දැයි විමසූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙනි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් පසුව පත්වූ රජය දින 100 වැඩපිළිවෙළ අනුව දේශීය ක්‍රියාදාමයන් හරහා රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් යම් පියවර ගැනීමට ප්‍රතිඥා දුන්නා. ඒ තුළින් ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ විමර්ශනයේ ප්‍රතිඵලයක් වශයෙන් අන්තර්ජාතික පියවර ගැනීමට සිටි ඉඩ ප්‍රස්ථා සියල්ලම නතර වුණා. අපේ ස්වාධීනත්වය හා සෛවරීභාවය යළි තහවුරු කර ගැනීමට අප සමත් වුණා. අපේ ප්‍රශ්න අපටම විසඳා ගන්න අවස්ථාව අප සකස් කර ගත්තා. අපේම ජනතාව වෙනුවෙන් අපිම පෙනී සිටිමින් පුළුල් සාකච්ඡා මාර්ගයකින් දශක ගණනාවක් විසඳුමක් නැති ප්‍රශ්න හඳුනාගෙන ඒ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට දේශීය ක්‍රියාදාමයක් හා දේශීය යාන්ත්‍රණ පිහිටුවීමට අප දේශීය රජයක් වශයෙන් අපේ වගකීම අප බාරගන්නවා.”


ඕනෑම පුද්ගලයකුට ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු ගොනු කළ හැකියි

ඇමතිනී තලතා අතුකෝරළ

“වංචා, දූෂණ, නාස්තිය සම්බන්ධයෙන් දේශපාලනඥයන් රජයේ නිලධාරීන් මෙන්ම ඕනම කෙනකුට විරුද්ධව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු ගොනු කළ හැකියි. බැඳුම්කරයද වෙනත් වංචාවක්ද කියලා විශේෂත්වයක් නැහැ. අපේ වගකීම අධිකරණයට අවශ්‍ය පහසුකම් සපයන එකයි. ඒ ගැන කටයුතු කිරීම පරීක්ෂණ පවත්වන අධිකාරීවලත් නීතිපති දෙපාර්තමේන්තුවේත් අල්ලස් කොමිසමේත් වගකීමක්. මහ බැංකුවේ හිටපු අධිපතිවරයා විතරක් නොවෙයි මිග් යානා ගනුදෙනුවලට අවශ්‍ය වෙලා තියෙන උදයංග වීරතුංග පවා එවන්න කියලා අපි අවශ්‍ය රටවලට කියලා තියෙන්නේ.” යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) පෙරවරුවේ දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරිය තවදුරටත් මෙසේද සඳහන් කළාය.

"අපේ යහපාලන රජයේ ප්‍රතිපත්තියක් හැටියට මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් වෙච්ච ඕනම සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවන්න කටයුතු කළා. පළවෙනි එක පිහිටෙව්වා. තුනක් තමයි පිහිටුවන්න බලාපොරොත්තු වෙන්නේ. දෙවැනි එක අද දවසේ විවෘත කරනවා. අධිකරණ සංවිධාන පනත සංශෝධනය වන හැටියට තමයි දෙවැනි එක අද පිහිටුවන්නේ. විශේෂයෙන්ම වංචා දූෂණ නාස්තිය සම්බන්ධයෙන් වන පැමිණිලි දේශපාලනඥයන්, රජයේ නිලධාරීන්ද ඇතුළු ඕනම කෙනෙකුට විරුද්ධව ගොනු කරනවා. නීතිපතිතුමා හා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්තුමාලාට නඩු පැවරීමේ අයිතිය තියෙනවා. බැඳුම්කරයද වෙනත් වංචාවක්ද කියන එක මෙතන අපිට විශේෂත්වයක් නැහැ. අපේ වගකීම තියෙන්නේ අවශ්‍ය පහසුකම් සපයන එකයි.

ඊට අවශ්‍ය කටයුතු කරන එක පරීක්ෂණ පවත්වන අධිකාරීවලත් නීතිපති දෙපාර්තමේන්තුවේත් අල්ලස් කොමිසමේත් වගකීමක්. ඒක බැඳුම්කරයේ පුද්ගලයාද චූදිතයා හැටියට ඉන්නෙ කියලා මට තීරණය කරන්න බැහැ. ඒක කරන්න ඕන ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන අය. මහ බැංකුවේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අධිපතිවරයා විතරක් නොවෙයි, මිග් යානා ගනු දෙනුවලට අත්‍යවශ්‍ය වෙලා තියෙන උදයංග වීරතුංග පවා එවන්න කියලා අපි කියලා තියෙන්නේ. එවන නොඑවන එක ඒ රටවල්වල කටයුතු කරන විදිහට තමයි. අපිත් මේ බලාගෙන ඉන්නේ ඒ වගේ සිද්ධි එහේ අය මෙහේ ඇවිල්ලා කළොත් බාර දෙන කොට අපිටත් ඒ වගේ තීරණ ගන්න වෙයි.

අපරාධකරුවන් නැවත බාරදීම සම්බන්ධයෙන් අපි එකඟතා ඇති කරගෙන තියෙනවා. මේ හැම එකක්ම කෙරෙනකොට රාජ්‍යයන් අතර අවබෝධයකින් කටයුතු කරන්න ඕන. ඉතිං සමහර වෙලාවට අපි හිතන විදිහට සමහර රාජ්‍යයන් අතර වැඩ කටයුතු කරගෙන යනකොට සමහර අයගේ කළු සල්ලි තියාගෙන තියෙන රාජ්‍යයන් තියෙනවා. රටවල් තියෙනවා. ඒවාගෙන් හරි අමාරුයි අපරාධවලට සම්බන්ධ අයව ගෙන්න ගන්න ඉතිං උදර්පණ නීතිය තුළින් ගිවිසගෙන තිබෙන විදිහට අපිට බාර දෙන්න ඕන. හැබැයි ඉතිං සමහර තැන්වල ඒක කෙරෙන්නේ නැහැ. ඒකට ඉතිං අපි අපේ රට පැත්තෙන් අපේ රජය හැටියට ඒවා සිදු කරන්න පුළුවන්. හැබැයි ඉතිං අපිත් වගකීම ඒ රටවලින් බලාපොරොත්තු වෙනවා. විදේශ අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදු කරනවා.”

මාතෘකා