ගී කියන කන්දේ රහස් ගබඩාව

 ඡායාරූපය:

ගී කියන කන්දේ රහස් ගබඩාව

හර්තාල් සමයේ කැලඹුණු සිත

ලාංකීය දේශපාලන සන්දර්භය දිදුළ වූ කීර්තිමක් දේශපාලඥයන් අතරින් අද ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, රොනී ද මැල් මහතාය. ඒ මහතාණන්ගේ ජීවන ගමනේ සුවිශේෂ මං කඩවල් ඔස්සේ (රැස) පුවත්පත ගෙන එන කථාංග මාලාවේ අට (08) වැනි දිගහැරුම මෙය වේ.

1952 වසරේ මාර්තු වන විට රටේ තත්ත්වය අඳුරු සමයක ගිලී යමින් පැවතිණි. මාර්තු 21දා සුපුරුදු පරිදි අසු පිට නැඟ ගෝල්ෆේස් පිටියේ ගමන් කරමින් සිටි අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා අසු පිටින් ඇද වැටී දරුණු ලෙස තුවාල සිදු විය. අසාධ්‍ය තත්ත්වයේ පසුවූ එතුමා 1952 මාර්තු 22දා සදහටම දෑස් පියා ගන්නා විට නූතන ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් කරා ගෙනයෑමට අවශ්‍ය පුරෝගාමී මෙහෙවරක පාදම සකස් කර තිබිණි.

නිදහස් සිතිවිලිවලින් ආලෝළනය වී සිටි ශ්‍රී ලාංකේය සියලු ජාතීන් මහත් සේ කම්පනයටත් අපේක්ෂා භංගත්වයටත් පත් කිරීමට ඩී.එස්. ගේ අභාවය හේතු පාදක විය. ජාතික සමගිය, කඩිනම් සංවර්ධනය, ස්වයංපෝෂිත ආර්ථිකය, කෘෂිකාර්මික නවෝදය, දියුණු රාජ්‍යයක් බිහිකිරීම යන ලාංකේය නිවහනේ නන් විධ කුලුනු ගොඩනැඟී තිබුණේ ඩී.එස්.සේනානායක නමැති සෙල්මුවා පාදම මතය.

මෙතෙක් රටේ පැවති ස්ථාවර හා ශක්තිමත් භාවය බිඳ දමමින් අවිනිශ්චිත තත්ත්වයක් රට පුරා පැතිර යන්නට විය. රටේ නායකත්වය කාට හිමි විය යුතු දැයි කථිකාවතක් නිර්මාණය විය. ඩී.එස්. ගේ අනුප්‍රාප්තිකයා වීමේ අදිටනින් සර් ජෝන් කොතලාවල මහතාද පසුවිය. කෙසේ වුවද සාකච්ඡා, ඝට්ටන, අර්බුද මැදින් ගොවිකම් හා ඉඩම් අමාත්‍ය, ඩඩ්ලි සේනානායක මහතා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් 1952 මාර්තු 26 දා වැඩ බාර ගත්තේය.

ඩඩ්ලිට අග්‍රාමාත්‍ය ධුරය හිමිවීමත් සමඟ හිස්වූ ගොවිකම් හා ඉඩම් අමාත්‍ය ධුරය සඳහා අභිනව අමාත්‍යවරයා ලෙස පත්වූයේ පී.බී. බුලන්කුලම මහතාය.

ඩඩ්ලි සමග ඉතා සමීපව කටයුතු කළ රොනීට ඩඩ්ලිගේ නික්ම යාම සංකාසහගත හැඟීම් ජනිත කළ සමයක් විය. ඩඩ්ලිගේ මිත්‍රශීලී නායකත්වයට අනුගත වී සිටි රොනීට එම ක්‍රමවේදයෙන් බැහැර වීම වාවාගත නොහැකි වාතාවරණයක් උදා කිරීමට සමත් විය. කෘෂිකර්මයට මෙතෙක් තිබූ උද්යෝගය පවා ඔහු කෙරෙන් දුරස්වන බවක් ඔහුට දැනිණි.

ඒ වන විට අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේ එස්.එෆ්. අමරසිංහ මහතාය. අමරසිංහ මහතා හමුවූ රොනී, තවදුරටත් මෙම අමාත්‍යාංශයේ සේවය කිරීමට අපේක්ෂා නොකරන බවත් තමා මෙම අමාත්‍යාංශයෙන් නිදහස් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ අලුත් කැබිනට් මණ්ඩලයේ හස්ත කර්මාන්ත, කර්මාන්ත පර්යේෂණ හා ධීවර කටයුතු අමාත්‍යවරයා ලෙස පත්ව සිටියේ අමාත්‍ය, ජී.ජී. පොන්නම්බලම් මහතාය.

ලංකා ද්‍රවිඩ සංගමය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි පොන්නම්බලම් මහතා සමඟ එම පක්ෂයේ සිටි දේශපාලන නියමුවන් කිහිප දෙනෙකුම රොනීගේ සරසවි මිතුරෝ වූහ. පසුකලෙක එම පක්ෂයේ නායකයා වූද ලංකා පාර්ලිමේන්තුවේ පළමුවන ද්‍රවිඩ විපක්ෂ නායකයාද වූ අප්පාපිල්ලේ අමිර්තලිංගම් රොනීගේ මිතුරු සමාජයේ කුළුපග මිතුරෙකි. එමෙන්ම එම පක්ෂයේ පසු කලෙක මන්ත්‍රීවරුන් වූ සිවසිතම්බරම්, නවරත්නම්, කතිරවේලුපිල්ලේ ආදී ද්‍රවිඩ නායකයෝද රොනීගේ ගජ මිතුරෝ වූහ.

ඔවුන් සියලු දෙනා රොනීගෙන් ඉල්ලා සිටියේ තම පක්ෂය නියෝජනය කරන අමාත්‍ය පොන්නම්බලම් මහතාගේ කර්මාන්ත අමාත්‍යාංශයේ කටයුතුවලට එක් වන ලෙසයි.

උතුරුකරයේ තම ද්‍රවිඩ මිතුරන්ගේ ඉල්ලීම බාරගත් රොනී, පොන්නම්බලම් හමුවී කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ සේවයට එක්වීමට තීරණය කළේය.

ඒ අනුව එවකට කර්මාන්ත අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් වරයා වූ ආර්.එස්. බැසට් මහතා හමුවූ රොනී එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙස වැඩ භාර ගත්තේය.

එතෙක් කෘෂිකර්මය මත පදනම්ව තිබූ ශ්‍රී ලංකාව තුළ ඒ වන විට ස්ථාපිතව තිබුණේ කර්මාන්ත යුගයක මුල් අවස්ථාව පමණි. කර්මාන්ත අමාත්‍යාංශයේ සේවා කාලයද රොනීගේ සිවිල් සේවා රාජකාරි සමයේ තවත් එක් සංධිස්ථානයක් වූවාට සැක නැත. සිය වෘත්තීය දිවිය තුළ ඔහු දැන් එළැඹ ඇත්තේද ආධුනික ක්ෂේත්‍රයක් වෙතය. කර්මාන්ත ක්ෂේත්‍රය එතරම් නොදියුණු යුගයක, ඩී.එස්. ගේ දර්ශනය මත පදනම් වූ, ඩඩ්ලිගේ ආකල්ප මත ගොඩනැ‍ෙඟන රජයක, පොන්නම්බලම් මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වීමට රොනී ද මැල්ට පැවරී ඇත.

ස්වදේශීය ලක්ෂණවලින් හෙබි කර්මාන්ත හා ධීවර සංස්කෘතියක් හා ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමේ බාරදූර කාර්යයේ කොටස්කරුවකු වීමට වර්තමානයේ රොනීට සිදුවී ඇත.

 

පුත්තලමේ උපදිසාපති වශයෙන් කටයුතු කරන සමයේ ලද ධීවර කර්මාන්තය පිළිබඳ අත්දැකීම් හා පරිචය කර්මාන්ත අමාත්‍යාංශයේ ක්‍රියාකාරීත්වයට රොනීට බෙහෙවින් බලපෑවේය.

එම ප්‍රදේශයේදී නිරත වූ ක්ෂේත්‍ර පර්යේෂණයන් හරහා රොනී හඳුනාගත් ධීවර කර්මාන්තයට අදාළ විෂය කරුණු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවද රොනී පාදා ගත්තේ මෙම අමාත්‍යාංශයේදී ය.

අමාත්‍යාංශ විෂය පථයට අයත් හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තමාගේ දැනුම හා අවබෝධය ලුහුඬු බැව් රොනීට වැටහෙන්නට විය.

අධ්‍යාපනය හා දැනුම ලබා ගැනීමේ නොනිත් ආශාවෙන් යුතු වූ රොනීට හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳ තමා ප්‍රාමාණිකව දැනුවත් නැතැයි සිතීම මහත්සේ ලැජ්ජාවට කරුණක් සේ දැනෙන්නට විය. ක්ෂේත්‍රයේ දියුණුවට වැඩ කිරීමට නම්, ප්‍රතිපත්ති සැකසීමට නම් පළමුව නිලධාරීන් ලෙස අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳ සියලු කරුණු අවබෝධ කර ගත යුතු බව රොනීගේ හැඟීම විය.

එදා පුත්තලමේදී, වවුනියාවේදී ඔහු විසින් සිදුකළ ධීවර, කෘෂි අධ්‍යයන චාරිකා මාලාව මෙන්ම මෙදා රොනීගේ අධ්‍යයන චාරිකාව වූයේ දේශීය හස්ත කර්මාන්තකරුවන්ගේ ගැටලු පිළිබඳ අධ්‍යයනය කිරීමයි.

ඒ අනුව උඩරට ප්‍රදේශයේ පිත්තල කැටයම් කර්මාන්තය, ලාක්ෂා කර්මාන්තය, සේසත්, රන් රිදී ආභරණ කර්මාන්තයද, දකුණේ අම්බලන්ගොඩ රූකඩ, වෙස්මුහුණු, ගාල්ලේ බීරලු රේන්ද, බතික් ආදී හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයන්, දිවයිනේ සෙසු ප්‍රදේශ පුරා විහිදී තිබූ මැටි කර්මාන්තය, පන් කර්මාන්තය, අත්කම් රෙදි නිෂ්පාදනය, විසිතුරු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය හා ලී කැටයම්කරුවන්ද, යාපනයේ හා උතුරුකරයේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්තකරුවන්ද හමුවී ක්ෂේත්‍රය දියුණු කිරීමට අවශ්‍ය මං සොයමින් රොනී රට පුරා චාරිකා කළේය.

රොනීට කර්මාන්ත අමාත්‍යාංශයේ එතරම් දිගු කාලයක් සේවය කිරීමට නොහැකි විය. ඊට හේතු වූයේ මැති සබය විසුරුවාලීමට අගමැතිවරයා ක්‍රියා කිරීමයි. ඒ අනුව 1952 මැයි මාසයේ මහ මැතිවරණයක් පැවැත්විණි. එම මැතිවරණයට අනුව 1952 වසරේ ජුනි මාසයේ නව කැබිනට් මණ්ඩලයක් පත් විය.

ජේ.ආර්. ජයවර්ධන මහතා එහි අභිනව මුදල් අමාත්‍යවරයා වූ අතර භාණ්ඩාගාරයේ උසස් නිලධාරීන්ගේ නිර්දේශ මත කර්මාන්ත අමාත්‍යාංශයේ සේවය කරමින් සිටි රොනී ද මැල් නැවතත් භාණ්ඩාගාරයට කැඳවන ලදී.

සහකාර ලේකම්වරයෙක් ලෙස රොනී භාණ්ඩාගාරයේ සේවයට එක්වූ අතර මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන මහතා සමඟ ඔහු හා හා පුරා කියා සබඳතා ඇති කරගන්නේ මේ අවස්ථාවේදීය. ජේ.ආර්. මුදල් අමාත්‍ය ධුරය දැරූ එසමය ඩඩ්ලි හෝ එ.ජා.ප.යට එතරම් යහපත් කාලසීමාවක් නොවීය. ජේ.ආර්.ගේ පළමු අයවැය ලේඛනය හේතුවෙන් රටේ විවිධ කලබගෑනි හා දේශපාලන විරෝධතා ඇති වන්නට විය.

තැපැල්, දුම්රිය, බස්ගාස්තු අයවැයෙන් වැඩිවූ අතර, පාසල් සිසුන්ගේ නොමිලේ දිවා ආහාරය කපා හැරිණි. ජනතා සහන රාශියක් කප්පාදු කළ එම අයවැයෙන් ජනතාවට වඩාත්ම දැනුණු සිදුවීම වූයේ එවකට ශත 25ට අලෙවි කළ හාල් සේරුව ශත 45කින් ඉහළ දැමීමයි.

රට පුරා විරෝධතා ඇතිවූ අතර 53 හර්තාලය නමින් ප්‍රකට වූයේ මෙම ජනතා නැඟිටීමයි. කඩසාප්පු, කර්මාන්තශාලා, පාසල්, රජයේ ආයතන, වතු සමාගම් වැසී ගිය අතර වාමාංශික පිරිස්වල නායකත්වය යටතේ ගස් කපා මාර්ග හරස් කොට ගමනාගමනයට බාධා කෙරිණි. ට්‍රෑම් කාර් නතර කෙරිණි. ඇතැම් දුම්රිය මාර්ගවල රේල්පීලි කපා දමා අලාභ හානි කර තිබිණි. අම්බලන්ගොඩ, බලපිටිය ආදී ප්‍රදේශවල මෙන්ම ප්‍රධාන මාර්ග බොහොමයක ජනතාව මහාමාර්ගවල ළිප් බැඳ රොටි පුළුස්සා කෑවේ හාල් මිල නැංවීමට විරුද්ධවය.

ප්‍රචණ්ඩකාරීව රජයට එරෙහිව ජනතාව උසිගැන්වූ හා දේපළ හානි කළ හර්තාල්කරුවන්ට පොලිසිය වෙඩි තැබූ අතර, දොළොස් දෙනෙක් ඉන් මරුමුවට පත්වූහ.

ජේ.ආර්. යටතේ සේවය කළද ඔහුගේ ජනතාවාදී නොවූ අයවැය ප්‍රතිපත්ති පිළිබඳ රොනී එකඟනොවීය. සිවිල් සේවා නිලධාරියකු ලෙස හර්තාලයට සම්බන්ධ විය නොහැකිවුවද හර්තාල්කරුවන්ගේ හැඟීම් සමඟ රොනී ද එකඟ විය. ජනතාව පීඩනයට පත් කරන මෙම පාලනය වෙනස් කිරීමට තමන්ට කළ හැකි දෙයක් කරන්නැයි රොනීගේ යටි සිත ඔහුට බල කරන්නට විය.

සරසවියේදී විප්ලවීය වාමාංශික අදහස් දැරූවද ඩී.එස්. ගේ හා ඩඩ්ලිගේ ආකර්ෂණීය නායකත්වය යටතේ දකුණට බරව සිටි රොනී තුළ නැවතත් වාමාංශික අදහස් මෝදු වෙමින් පැවතිණි.

රොනී, දිවියේ පළමු වරට දේශපාලන රහස් මෙහෙයුමක... ඒ පිළිබඳ වැඩිදුරට තොරතුරු මීළඟ සතියේදී බලාපොරොත්තු වන්න.

[උපුල් ගලප්පත්ති]

 

මාතෘකා