අලුත් කණ්ඩායම්

 ඡායාරූපය:

අලුත් කණ්ඩායම්

රටේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය තුළ බැලූ බැල්මට නව දේශපාලන කණ්ඩායම් සඳහා අවස්ථාවක් නිර්මාණයවී ඇත. පරණ මජර දේශපාලනය නිමා කිරීමට නව ක්‍රමයක් පිළිබඳව බුද්ධිමත් සමාජය තුළ යම් කතාබහක් ගොඩනැඟෙමින් තිබේ. මේ තත්ත්වය නව දේශපාලන කණ්ඩායම් බිහිවීම සහ වර්ධනය වීම සඳහා යම් පරිසරයක් සකස්කර ඇත. මා මෙම කණ්ඩායම් සහ ගොඩනැඟෙන නව පක්ෂ කීපයක් සමඟ සාකාච්ඡා කළ අතර දිගින් දිගටම සංවාදය ඉදිරියට ගෙනයන්නට උත්සහ කළෙමි.

නමුත් කනගාටුදායක කරුණ නම් රටේ ඇතිවී තිබෙන අර්බුදය සම්බන්ධව විකල්ප කියවීමක් බොහෝ කණ්ඩායම් සතුව නොමැති වීමයි. අර්බුදය හඳුනා ගැනීමේදී ක්‍රමය පිළිබඳව, ගැටලුව පිළිබඳව ඔවුන් සඳහන් කළත් ක්‍රමය නිර්මාණය වීමට හේතුව ඉදිරිපත් කිරිමට ඔවුන් මඟ හරිමින් සිටී.

ප්‍රධාන ගැටලු කිහිපයක්

මෙම කණ්ඩායම් පිළිබඳව සහ ඔවුන්ගේ හැසිරීම පිළිබඳව කියවීමේදී ප්‍රධාන ලක්ෂණ කීපයක් දකින්නට ලැබෙයි. සමහර කණ්ඩායම් මින් එකකින් හෝ දෙකකින් මිදී ඇති අතර බහුතර කාරණා සෑම කණ්ඩායමක් තුළම දක්නට ලැබේ.

01. සමස්ත ක්‍රමය වෙනස් කරනවා වෙනුවට ඒ ක්‍රමයේ අඩුපාඩු, වැරදි නිවැරදි කර පවතින ක්‍රමයම පවත්වාගෙන යාම වෙනුවෙන් පෙනී සිටීම.

02. නායකයාගේ පෞද්ගලික විෂය පථයට හසුවෙන කරුණු තුළින් රටේ අර්බුදය විග්‍රහ කිරීම (නායකයා ව්‍යාපාරිකයකු නම් රටේ ගැටලුව ආර්ථිකය, නිතීඥයෙක් නම් රටේ ගැටලුව නීතිය)

03. ශක්තිමත් දෙවන පෙළක් නිර්මාණය නොකිරීම.

04. තමන් ප්‍රධාන කණ්ඩායම යැයි සිතා අනෙක් කණ්ඩායම් තමන්ගේ යටතට පැමිණ තමන්ගේ නායකත්වය යටතේ දේශපාලනය කළයුතු යැයි විශ්වාස කිරීම.

05. රටේ මිනිසුන් මුහුණදෙන එදිනෙදා ගැටලු සහ අර්බුදවලට විසඳුම් ලබා ගැනීමට පවතින පාලනය සමඟ සටන් නොකිරීම සහ ජනතා සටන්වලට සහභාගි නොවීම සහ මඟහැරීම.

06. පවතින දේශපාලන පක්ෂ, පුද්ගලයින් සහ ඒවායේ අර්බුද කෙළින්ම විවේචනය නොකර සිටීමට උත්සාහ කිරීම.

07. දශක 7ක් පුරා ප්‍රධාන ප්‍රවාහයන් කීපය උපයාගත් මිලියන හතරපහේ ඡන්ද පදනම වසර දෙකක් තුනක් තුළ තමන්ගේ දේශපාලන ව්‍යාපාරයට හරවා ගතහැකි යැයි විශ්වාස කිරීම.

08. මුළු සමාජ අරගලයම සමාජ ජාලා මතින් කරගන්නට උත්සාහ කිරීම.

09. ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය දුර්වල මට්ටමක පැවතීම. නව නිර්මාණාත්මක ප්‍රවර්ධන වැඩසටහන් කිසිවක් නොමැතිවීම. (සමාජ ජාලා හරහා සිදුකරන කටයුතු යම් සාර්ථක මට්ටමක පවතී. නමුත් එයද ක්‍රමානුකූල බවක් නැත.)

10. ශක්තිමත් සංවිධාන ජාලයක් ගොඩනැඟීමට නොහැකිවීම.

ප්‍රධාන ප්‍රවාහයන්ගෙන් එපිට නව දේශපාලන බලවේගයක් ගොඩනඟන්නට බලාපොරොත්තු වන්නේ නම් මෙම ගැටලු අවම කරගත යුතුය. මෙම කරුණු මම ගනුදෙනු කළ කණ්ඩායම් කීපයක් පිළිබඳව මගේ කියවීමය.

ප්‍රධාන ප්‍රවාහයන්ගේ බළල් අත්

නව දේශාපල රික්තය පිරවීම සදහා ගොඩනැඟෙන ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් තමන්ගේ අනාගත දේශපාලන පැවැත්මට තර්ජනයක් බව ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් තේරුම් ගෙන ඇතුවාට සැක නැත.

ප්‍රධාන එක් ප්‍රවාහයක් බිහිවීම වැළැක්වීම, දේශපාලනයට අලුතෙන් එක්වෙන ක්‍රියාකාරීන් අධෛර්ය කර ආපසු හැරවීම, වෙනස් දේශපාලනයක් පිළිබඳව සොයමින් සිටින පුරවැසියන්ට එය පිළිබඳවද අවිශ්වාසයක් ගොඩනැඟීම, එක පාර්ශ්වයකගේ ඡන්ද පදනම බිඳදමා අනෙක් පාර්ශ්වයට ජයග්‍රහණයට පාර කැපීම ඇතුළු කරුණු ගණනාවක් මුල්කරගෙන මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමේ යම් ප්‍රවණතාවක් පවතී.

නව දේශපාලන කණ්ඩායම් කීපයක ආරම්භයත් සමඟ එක්වූ ක්‍රියාකාරීන් ගණනාවක් දැනටමත් දේශපාලනයෙන් ඉවත්වී ඇතිබව පෞද්ගලිකවම දන්නා කරුණකි. එමෙන්ම ඉතා වේගයෙන් වැඩකරන්නට පැමිණ තම කණ්ඩායමේ මන්දගාමී බව නිසා අකර්මණ්‍ය වූ තවත් ක්‍රියාකාරීන් ගණනාවක් මෙම කණ්ඩායම් තුළ දක්නට ලැබේ. කලකිරීම් මැද ඔවුන් සමහරෙක් තවමත් වැඩකරමින් සිටිති.

වැඩ කරන කණ්ඩායම් කීපයක්

යම් පමණකට මේ සියල්ල පිළිබඳව කියවීමක් තිබෙන කුඩා කණ්ඩායම් කීපයක් දැනට ප්‍රසිද්ධව තිබෙන නව දේශපාලන කණ්ඩායම් තුළද ඉන් පිටතද වැඩකරමින් සිටී. ඒ ඒ නව දේශපාලන කණ්ඩායම් නිසි මඟට ගැනීමත් එසේ නොවුණහොත් ඊට ප්‍රතික්‍රියා දැක්වීමත් අවසානයේ නව දේශපාලන ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීමටත් එම කණ්ඩායම තීරණය කර තිබීම යහපත් ප්‍රවණතාවකි.

වඩා නිර්මාණාත්මකම වැඩසටහන ඇත්තේ ඔවුන් සතුව බව පෙනෙන්නට තිබේ. යුගයේ කාර්යභාරය ඔවුන් නිසි වෙලාවේදී ඉටුකරනු ඇත.

මාතෘකා