අපි රටට මුකුත් කළේ නෑලු - සිංහල බෞද්ධකම පාවා දෙනවාලු

 ඡායාරූපය:

අපි රටට මුකුත් කළේ නෑලු - සිංහල බෞද්ධකම පාවා දෙනවාලු

එක්වර පාසල් ගොඩනැඟිලි 200ක් හදා හැමදාම බණින අයට උත්තරය දුන්නා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

මෙරට ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසය තුළත් පාසල් 200ක ගොඩනැඟිලි එකවර විවෘත කිරීමක් සිදුවී නොමැති බවත් වත්මන් ආණ්ඩුව එවැනි විප්ලවයක් සිදුකළ බවත් "ළඟම පාසල හොඳම පාසල" වැඩසටහන මඟින් අවශ්‍ය වූයේ ගතවූ කාලය තුළ අප රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදුකළ කාර්යභාරය රටට පෙන්වීම බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ "ළඟම පාසල හොඳම පාසල" වැඩසටහන යටතේ පාසල් 200ක ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් සිකුරාදා (01) කුලියාපිටිය නගර සභා පිටියේ පැවති ජනහමුවක් අමතමිනි. අග්‍රාමාත්‍යවරයා එහිදී මෙසේද කීය.

"සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය ආරම්භ කළ අවස්ථාවේ මධ්‍ය මහා විද්‍යාලවලට ගොඩනැඟිලි 50ක් ලබා දුන්නා. ඒ සඳහා වසර 02ක පමණ කාලයක් ගතවුණා. අද අපේ රජයේ "ළඟම පාසල හොඳම පාසල" වැඩසටහන යටතේ එකම දවසක පාසල් ගොඩනැඟිලි 200ක් බාරදෙන බව මම සතුටින් ප්‍රකාශ කරනවා.

ඇතමුන් අපට දෝෂාරෝපණය කළා. මොනවද රටට කළේ යැයි විමසුවා. දැන් අපට ප්‍රතිඵල පෙන්වන්නට පුළුවන්. අපේ ආණ්ඩුව බොරුවට බෙර ගහන්නේ නැහැ. නිහඬව වැඩ කරමින් ජනතාවට ප්‍රතිඵල ලබා දෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් යොදවන මුදල් වැඩි කිරීමට අධ්‍යාපනය සංවර්ධනය කිරීමට අපි මැතිවරණයේදී පොරොන්දු වුණා. එය ලෙහෙසි පහසු තීරණයක් නොවෙයි. ඒ වගේම විශාල ණය බරක් අපට භාර ගැනීමට සිදුවුණා. එය කෙතරම් විශාලදැයි කියනවා නම් අප දෙවැනි වුණේ ග්‍රීසියේ ණය බරට පමණයි.

අපි සේවකයින්ගේ පඩි කැපුවේ නෑ. අනෙක් රාජ්‍ය වියදම් අඩු කළේ නැහැ. සේවක වැටුප් වැඩි කරමින් අනෙක් දීමනා සහ වියදම්ද වැඩි කරන අතරම රටේ අධ්‍යාපන ක්‍රමය නවීකරණය කිරීමට අවශ්‍ය මුදල් යෙදවීමට මම තීරණය කළා. සෞඛ්‍යයට, නිවාස සංවර්ධනයට මහා මාර්ග ඉදිකිරීමට අපට මුදල් වෙන් කිරීමට සිදු වුණා. ඒ වගේම සෑම වසරකම විශාල ණයක් ගෙවීමට සිදුව තිබුණා. අපට වැඩිම ණය ප්‍රමාණයක් ගෙවීමට තිබෙන්නේ මේ වසරේයි. ඒ ඩොලර් මිලියන 6,200ක්. මීට පෙර සිටි පාලකයින්ට ණයත් ගෙවමින් තවදුරටත් රට කිරීමට නොහැකිවූ නිසා මැතිවණවලට යෑමට සිදු වුණා. අප මේ ණය ගෙවීමට තවත් ණය ලබා ගත්තා. ඒවා ගෙවීමටත් අප දැන් සැලසුම් සකස් කර තිබෙනවා.

අපනයන ආර්ථිකයක් ඇති කිරීමට, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට, ඉන්දියානු කලාපයේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අප කටයුතු කරනවා. එහි වැඩකටයුතු අප දැන් ආරම්භකර තිබෙනවා. එම වැඩසටහන් සාර්ථක වීමට නම් නවීන අධ්‍යාපනික දැනුම් ඇති පිරිස් අවශ්‍ය වෙනවා.

රට දියුණු වීමට හොඳ සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස, මංමාවත් අවශ්‍යයි. එමනිසා ණය අර්බුදයේ සිරවී සිටියත් එම අංශවලට දාළ මුදල් වෙන්කිරීමට අප තීරණය කළා. ජනතාවගේ ජීවන වියදම වැඩි වුණා. අනුන්ගේ පව් ගෙවමින් විදේශ රටවලට ණය ගෙවීමටත් සිදු වුණා. කෙසේ නමුත් අපට මෙවැනි විශාල විවෘත කිරීම්වලට මුදල් ලබා දීමටත් හැකිවී තිබෙනවා.

ලංකා ඉතිහාසයේ පමණක් නොව, ලෝක ඉතිහාසය තුළත් පාසල් 200ක ගොඩනැඟිලි එකවර විවෘත කිරීමක් සිදුවී නැහැ. එවැනි විප්ලවයක් කළේ අපේ ආණ්ඩුවයි. මෙම වැඩසටහන මින් අවසන් වන්නේ නැහැ. තවත් විශාල වැඩ කොටසක් සිදුකිරීමට තිබෙනවා. අද මෙම විවෘත කිරීමෙන් මට අවශ්‍ය වුණේ ගතවූ කාලය තුළ අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදුකළ කාර්යභාර්ය රටට පෙන්වීමටයි. හිස් ගොඩනැඟිලි පමණක් අපි ලබා දෙන්නේ නැහැ. ඒවාට අවශ්‍ය උපකරණ ආදියත් ලබා දෙනවා. සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන, ජංගම විද්‍යාගාර, වැසිකිළි පහසුකම් ආදී සියලු දේ අපි පාසැල්වලට ලබා දුන්නා. අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදුකළේ කුමක්ද යන්න මේවායින් පැහැදිලි වෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කුලියාපිටියටත් විශ්වවිද්‍යාලයක් ලබා දෙනවා.

මාතෘකා