හරිම බඩු...

 ඡායාරූපය:

හරිම බඩු...

'බැංකු ටික ඉවරයි...ගන්න දෙයක් නෑ'

'ආර්ථිකේ විනාශයි, ඔළුව උස්සන්න බෑ'

ඔය වගේ කතා මේ දවස්වල වැහි වැහැලාය. මේ කතා කියන අයට අනුව නම් රට දැන් විසාලාවකි. එහෙමත් නැත්නම් සෝමාලියාවකි .

'බැංකු ණය නොගෙවුවොත් දේපළ විකුණලා ණය අයකර ගන්නවා' මේ නියෝගය අධිකරණයෙනි. නියෝග කරන්නේ බන්දුල ගුණවර්ධනටය.

බැලුවම මේ දෙක අතර පුංචි පහේ කතාවක් තිබෙනවා වගේය.

එකම බොරුව සියවරක් කී විට සත්‍යයක් වෙන බව ලෝක උදාහරණය වුවත් එකම බොරුව දහවතාවක් කීවොත් එය පරම සත්‍යය ලෙස මේ රටේ බොහෝ දෙනා සලකති. හමන සුළඟ පවා විජාතික කුමන්ත්‍රණයක් ලෙස දකින 'දේශප්‍රේමියකු' සිටී. ඔහු විමල් වීරවංශය. හීනෙන් වාතයක් ගියත් කුණාටුවක් ලෙස දකින 'ප්‍රාඥයකු සිටී. ඔහු 'ගම්මන්පිලය'. රුපියලක් පාරේ වැටී තිබුණත් එය මහා ව්‍යසනයක් ලෙස දකින ආර්ථික ඔස්තාර් කෙනෙක් සිටී. ඔහු බන්දුල ගුණවර්ධනය. මේ තිදෙනාගෙන් බන්දුල ගුණවර්ධන මේ දිනවල නින්දක් නැතිව ආර්ථික විශ්ලේෂණ ඉදිරිපත් කරයි. ඔහු මේ වැඩේ පටන් ගත්තේ අදක ඊයෙක නොවේ, ආර්ථික පර්යේෂණ ඒකකය නමින් බැනර් එකක් ගසා ඒ ඉදිරියේ වාඩිවී ලංකාවේ ආර්ථික තත්ත්වය මාසයකට දෙපාරක් තුන්පාරක් විග්‍රහ කරන එක ඔහු පටන් ගත්තේ මීට වසරකට පමණ පෙර සිටය. දැන් එය උග්‍ර වෙලාය. ඔහුට අනුව 'රුපියල ඉවරය. ආයේ නැඟිටිනවා බොරුය. ඉතිහාසයේ පළමු වතාවට රට ඉවර වෙලාය. ඉක්මනින් කළ යුත්තේ මහින්දට රට බාරදීමය.' ඔය බන්දුලගේ විග්‍රහයය. බන්දුල කියන විදිහට කතාව ඇත්තද? ඇත්ත නම් එය සාහසික අපරාධයක්ය. හැබැයි අටේ පන්තියට ගිය කෙනෙක් වුණත් දන්නා දෙයක් තිබේ. ඒ බන්දුලගේ තියරියත්, කතාවත් බේගලයක් කියාය.

රුපියල කඩා වැටීම ගැන කියන කතාව සත්‍යයකි. හැබැයි ඔවුන් සඟවන සත්‍ය ඊට වඩා බිහිසුණුය. කැතය. අගෝස්තු මස විසි දෙවැනිදා වනතෙක් ගතවූ මාස කිහිපයක කාලය තුළ ලෝකයේ බොහෝ රටවල මුදල් ඒකක සමඟ ඇමරිකානු ඩොලරය දක්වන විනිමය අනුපාතිකය අනපේක්ෂිත අයුරින් උච්ඡාවචනය වනු දැකගත හැකිවිය. ඇමරිකානු ඩොලරයද එතරම්ම ස්ථායීව දිගු කලක් නොපැවති අතර, එහි යම් යම් ක්ෂණික වෙනස්කම් දක්නට ලැබිණි.

මෙහිදී ශ්‍රී ලංකාව බඳු පරිධියේ රටවල ආර්ථිකයන්ට, මෙබඳු උච්ඡාවචනයන්ගේ සෘජු මෙන්ම වක්‍ර අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදු වේ. සෘජු බලපෑම වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය ඒකකයක් ලෙස 21 වැනි සියවසේ භාවිතයට ගැනෙන, ජාත්‍යන්තර ගනුදෙනු සඳහා අත්‍යවශ්‍ය ඇමරිකානු ඩොලරයක් මිලදී ගැනීමට ශ්‍රී ලාංකේය විනිමය වැඩි ප්‍රමාණයක් වැ‍යකරන්නට සිදුවීම සහ එය පිටුපස ඇති ප්‍රාග්ධන හානියයි. වක්‍ර ප්‍රතිඵලය වන්නේ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අමුද්‍රව්‍යවල මිල ඉහළ ‍යෑම, ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ හා සේවා මිලට ගැනීමට ඉදිරිපත්වන රටවල ආර්ථික ශක්තිය ක්ෂය වීම මෙන්ම ඩොලරය අතරමැදි මුදල් ඒකකය ලෙස ගෙන කරන ගනුදෙනුවලින් අත්විය හැකි වාසි අවම වීමය.

නමුත් තත්ත්වය මෙසේ තිබියදී, දේශීය මුදල් ඒකකය ඩොලරය හමුවේ අවප්‍රමාණ වීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවල දෝෂයක් ලෙසට ලඝු කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ දරමින් සිටී. මෙසේ නැඟෙන චෝදනාවලට සත්‍යතාවක් ඇත්ද? මේ විග්‍රහයට ප්‍රවිෂ්ට වීමට පෙර, ඇමරිකානු ඩොලරය පසුගිය මාස කිහිපය තුළ ලෝකයේ නමගත් වෙනත් මුදල් ඒකක සමඟ තුලනය වූ ආකාරය පිළිබඳව සලකා බැලීම වටී.

අගෝස්තු මස 22 වැනිදා වනවිට චීන මුදල් ඒකකය වන යුවාන් මුදල් ඒකකය පිට පිටම පස්වන මාසයටත් ඇමරිකානු ඩොලරය හමුවේ පහත වැටෙමින් තිබිණි. මේ පිළිබඳව ඇතැම් ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂකයන් පළකළ අදහස වනුයේ චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනු නියාමනය කරන අරමුණින් යුතුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රෙජීමය විසින් ගන්නා ලද ඇතැම් බදු ක්‍රියාමාර්ගවලින් චීන සමාගම්වලට සහ චීනය සමඟ ගනුදෙනු කරන ඇමරිකානු සමාගම්වලට ගෙවන්නට සිදුව ඇති අතිරික්ත බදු මුදල්වලට හසු නොවීමේ හෝ ගෙවන බදු මුදල් අවම කිරීමේ අරමුණින්, චීනයේ නිෂ්පාදනය කරන දේවල වටිනාකමට ඇමරිකානු ගැනුම්කරුවන් ගෙවන ඩොලර් ප්‍රමාණය අඩු කිරීමට චීනය හිතාමතාම මෙසේ යුවාන් ඒකකය ඇමරිකානු ඩොලරය හමුවේ පහත හෙළමින් සිටින බවය.

එවැනි විශ්ලේෂණවල සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත්, චීන රෙජීමයේ මුදල් ඒකකය ඇමරිකානු ඩොලරය හමුවේ පසුබෑම, චීනයෙන් ලැබෙන ණය, ආයෝජන සහ වෙළෙඳ ආදායම් ආදිය මත මූල්‍ය වටිනාකමේ ස්ථාවරත්වය රඳා පවතින රටවල මූල්‍ය ඒකකයන්ද ඇමරිකානු ඩොලරය හමුවේ පසුබස්වන්නට සෘජුව හෝ වක්‍රව හේතු සාධක වන බව අමුතුවෙන් කිවයුතු නැත.

පසුගිය මාස කිහිපය තුළ ඇමරිකානු ඩොලරය හමුවේ පසුබැස ඇත්තේද අවප්‍රමාණ වී ඇත්තේද චීන යුවාන් ඒකකය පමණක් නොවේ. පසුගිය මාස තුනට බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම ඇමරිකානු ඩොලරය හමුවේ 3.93%කින් අවප්‍රමාණ වූ අතර රුසියානු රූබලය 10.41%කින් අවප්‍රමාණ විය. චීන යුවාන් ඒකකයේ පසුගිය මාස තුනේ සමස්ත පසුබැස්ම 7.45% ලෙස වාර්තා වන අතර,ඉන්දියානු රුපියල 2.56%කින්ද, සිංගප්පූරු ඩොලරය 2.30%කින්ද කැනඩා ඩොලරය 1.47%කින්ද, ජපන් යෙන් ඒකකය 1.98%කින්ද ආදී වශයෙන් අවප්‍රමාණ විය. කොරියානු වොන් ඒකකය 3.19%කින්ද ඔස්ට්‍රේලියානු ඩොලරය 3.93%කින්ද අවප්‍රමාණ විය. යූරෝවද ඇමරිකානු ඩොලරය හමුවේ 1.51%කින් පසුබෑවේය.

ලෝකයේ ප්‍රබලතම සහ ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු සඳහා වැඩි පිළිගැනීමක් ඇති මෙන්ම, ශ්‍රී ලංකාවට විදේශ විනිමය සංචිතය සහ විදේශ ගනුදෙනු පැත්තෙන් වැඩිම බලපෑමක් කරන ලෝක මට්ටමේ මුදල් ඒකක එසේ ඇමරිකානු ඩොලරය හමුවේ පසුබෑම ශ්‍රී ලංකාවේ රුපියලේ වටිනාකම ඩොලරය ඉදිරියේ අවප්‍රමාණය වීමට විශාල වශයෙන් බලපාන බව නොරහසකි. මේ රටවල් ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කරන්නේ බොහෝ සෙයින් ඩොලරය පොදු මූල්‍ය ඒකකය වශයෙන් ගෙන වනඅතර එහිදී ඔවුන් කරන ගනුදෙනුවලට ලබාගත හැකි ඩොලර් ප්‍රමාණය සාපේක්ෂව අඩුවේ. ඊට අමතරව

ශ්‍රී ලංකාවට මුදල් එවන විදේශ රැකියාවල නියුතු වූවන්ටද, තමන් නේවාසිකව සිටින රටවල මූල්‍ය ඒකක ඩොලරය හමුවේ පසුබැසීමට පාත්‍ර වීම බලපායි. මේ බහුජාතික සමාගම්වලට තුන්වෙනි ලෝකයේ රටවල ගනුදෙනුවලදී වැඩි වාසි සලසන පරිදි, ඩොලරයකට ඒ රටවල මුදල් ඒකකවලින් ගෙවිය යුතු ප්‍රමාණය හෙවත් ඩොලරය සමඟ විනිමය අනුපාතිකය පහළ මට්ටමක රඳවා ගැනීමේ ක්‍රමය ඇමරිකාව අහෝසි කරමින් සිටින්නේ, ඔවුන් විදේශ රටවල එසේ තම වාසියට ක්‍රියාත්මක වීම නිසා ඒ රටවලට ගිය, ඇමරිකාවේ තිබිය යුතු රැකියා සියල්ල යළි ඇමරිකාවට ගෙන්වා ගන්නා අටියෙනි.

තත්ත්වය මෙසේ වනවිට ඩොලරයේ නැඟීම ගෝලීය බලපෑමක් සහිත බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ බලපෑම ශ්‍රී ලංකාවේ මූල්‍ය ඒකකය වන රුපියලට පමණක් නොදැනී තිබෙන්නට හේතුවක් නැත. බොහෝ කාලයක් තිස්සේ උවමනාවෙන්ම පාලනය කරමින් පැවති ඩොලරය එසේ ශක්තිමත් කළේ වසර 23කට පමණ පසුවය. අවසන් වරට ඩොලරයේ එබඳු නැඟීමක් ඇති කළේද එය මෙතරම් කලක් පැවතුණේද 1995 වසරේදීය. ඒ නිසා ඩොලරය බොහෝ කලකට පසුව ශක්තිමත් වනවිට සහ එය හමුවේ ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑම් සහිත අනෙකුත් මූල්‍ය ඒකක පසුබසින විට, රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණ වීම දේශීය ආර්ථික ප්‍රතිපත්තිවල වරදක් නොවන බව වටහා ගතයුතුය.

රුපියලේ කතාව එසේ තිබියදී ඔවුන් සාමූහිකව ගොතන අනෙක් මිථ්‍යා ගැනද කිවයුතුය. අනුරාධපුර ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ වියපත් මාපිය යුවළක් වේල් ගණනක් ආහාරයට යමක් නොමැතිව මුරුංගා කොළ ආහාරයට ගෙන ඇති බවට කළ ප්‍රචාරය ‘ටොන් පචයකි’. අනෙක් අතට ඔවුන් කියන ජීවන වියදම ඉහළ යෑම ගැන කතාව තනිකරම 'ගොබෙල්ස්' කතාවකි. මිථ්‍යාවකි. අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක් ඇතුළත් ඉහත සටහනේ පසුගිය 2014 සැප්තැම්බර් - 2018 සැප්තැම්බර් මිල ඉහළ යෑමක් වාර්තා වන්නේ ඩීසල් සහ සීනිවල පමණක්ය. ඒද මහින්ද යුගයේ තරමට තවමත් කිට්ටු වෙලාවත් නැත. ලෝකයම ආර්ථික අර්බුදයක තිබියදීත් ආණ්ඩුව තවමත් මහින්ද බලයෙන් පහවනවිට තිබූ භාණ්ඩ හා ආහාර මිලට කිට්ටුවී නැත. ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යෑම, රුපියල අවප්‍රමාණය වීම තිබුණත් තවමත් රාජපක්ෂ යුගයේ ආර්ථික අහේනිය මෙරට නැත.

ලෝකයේ තීරණාත්මක රටවල් කිහිපයකම ග්‍රහණයෙන් සියතට ගත් චීන ආර්ථික සර්පයා අන් කවරදාටත් වඩා අඬුපඬු දිගහැරිය වකවානුවකි ඒ. අවිධිමත් ආර්ථික ක්‍රමෝපායන්ගෙන් ඒකාන්තව රට වළ පල්ලට යන බව ඔවුහු දැන සිටියහ. එහෙත් රට වෙනුවට බලය පමණක් ස්වකීය ඒකායන පරමාර්ථය කරගත් 'කණ්ඩායමකින්' බලාපොරොත්තු වියහැකි අන් යමක් නැත. 2004 වර්ෂයේ පත්කළ තිස්ස දේවේන්ද්‍ර වැටුප් කොමිසමෙන් යෝජනා කළේ එවකට රාජ්‍ය සේවයේ වැටුප් ලබන සේවක සංඛ්‍යාව වූ ලක්ෂ 07ක ප්‍රමාණයෙන් 33%ක් අඩු කළ යුතු බවයි. ඒ, ඒ තරමටම භාණ්ඩාගාරය හිස්ව තිබූ නිසාය.

2004දී ලක්ෂ 07ක් වූ රාජ්‍ය සේවක පිරිස පසුගිය ආණ්ඩුව 2014 වන විට ලක්ෂ 14 දක්වා වැඩි කළේය. ඒ සමඟම රාජ්‍ය සේවක වැටුප් බිල රාජ්‍ය ආදායමෙන් 35% දක්වා වැඩි කළේය. වැඩිකළ රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට සිදුවූයේ රුපියල් 10,000ට වඩා අඩු වැටුප් ලබන අයගෙන් ලබාගන්නා බදු මුදලිනි. රාජ්‍ය ණය ප්‍රමාණය ගත් කල 2014 දළදේශීය නිෂ්පාදිතය 76% දක්වා වැඩි වී තිබූ අතර එය රාජ්‍ය ආදායමට සාපේක්ෂව බැලූවිට හය ගුණයක ප්‍රමාණයකි. ණය ගෙවීම සඳහා පමණක් රාජ්‍ය ආදායමෙන් 33%කට වඩා ගෙවීමට සිදුවිය. 2014 වනවිට විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් පාඩුව රුපියල් බිලියන 11.7ක් වූ අතර එයාර් ලංකා සමාගමේ මෙහෙයුම් පාඩුව රුපියල් බිලියන 29ක් විය. මේවායේ ඉහළ පුටුවල සිටියේ රාජපක්ෂවරුන් හෝ ඔවුන්ගේ ඥාතීන්ය.

2010දී මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්ගේ ප්‍රධානත්වයෙන් බදු කොමිසමක් පත් කළ අතර වැටෙන රටට මුක්කුවක් සොයා ගැනීම එහි අරමුණ විය. බන්දුල ගුණවර්ධන මහතා එවක ප්‍රකටව සිටියේ 'ජනප්‍රිය විහිළු' සපයන කවටයකු ලෙසටය. ඔහු එවක ඉදිරිපත් කළ විහිළු කතා අදටත් ජනප්‍රියය. වයිමගේ පුතාටවත් කරන්න බැරි වැඩ ගැන කී හෙතෙම, වරක් රුපියල් 2,500කින් පවුලකට මාසයක් ජීවත් වියහැකි යැයි 'අන්දරේ' වර්ගයේ විහිළුවක් කළේය. ගණන් ගිය එළවළු වෙනුවට ඒ කාලෙට ලාභ එළවළු ගන්න කීවේත් ඔහුය. මෙහෙම විහිළු සැපයූ බන්දුල ගුණවර්ධන මේ ආණ්ඩුවට ආර්ථිකය හදන හැටි ගැන කියාදෙන්නට පැමිණීම අරුම පුදුම විහිළුවකි.

වසර නවයක් ආණ්ඩු කළ රාජපක්ෂ ආණ්ඩුවේ බන්දුල ගුණවර්ධන මහතාට ආර්ථික පැත්තක් බාරවූයේ නැත. එහෙත් ඔහු එය නොලැබුණත් 'අනුන්ගේ පව්' සෝදන එක කළේය. කොටස් වෙළෙඳපොළේ ආයෝජන ආපසු රැගෙන යන්නට නීතියෙන් ඉඩදී තිබීම වරදක් බව කියන බන්දුල නමැති ආර්ථික ඔස්තාර් වැඩිදුරටත් කියන්නේ, ඩොලර් ආපසු ගෙනයන්නට බැරිවන ලෙස නීති තදින් තියාගත යුතු බවයි. ඒ කතාව සමාන වන්නේ රුපියල් දෙදාස් පන්සීයෙන් පවුලකට ජීවත් වෙන්න පුළුවන් යැයි ඔහුම කී කතාවටය.

තමන් කැමති විටෙක මුදල් ගන්නට නොහැකි තැනක විදේශිකයකු මුදල් ආයෝජනය කරනවාද? අද කෙසේ වෙතත් එදා නම් කරවිල කා ජීවත් වූ පවුල් හමුවිය. 'පවුලක් කරවිල කාලා නේද සතියක්ම?' කියා එදා සමහර අමාත්‍යවරුන්ගෙන් අහන විට උන් උත්තර දුන්නේ 'කරවිල පිළිකාවලට හොඳ බෙහෙතක්' කියාය. අද පූචානම් කතා කියන්නේ එහෙව් ඉතිහාසයක අයය. 'මාධ්‍යවේදීන්ට ගහනවා නේද, මාධ්‍ය බාර ඇමැති හැටියට ඔබ කොහොමද මැදිහත් වෙන්නේ?' කියා එවක මාධ්‍ය ඇමැතිගෙන් අහනකොට ඔහු කීවේ 'මොනවා කරන්නද, මට තියෙන්නේ තැඹිලි ගෙඩියක් අරන් බලන්න යන එක විතරයි' කියාය. අද එයාලා බුදු වුණු ගාණය. ආර්ථිකය ගැන පම්පෝරි ගහන බන්දුලට තරම් න්‍යායික ආර්ථික දැනුමක් විමල්ට නැත. හැබැයි එදා ආර්ථික අහේනිය වෙලාවේ 'මහින්දෝදය' හදමින් සිටි බන්දුල, රාජපක්ෂගේ අර්ථික අවපාතය ගැන 'හුම්' කීවේ නැත. කොහොමත් එදා බන්දුලට ආර්ථිකය ගැන මෙලෝ 'අලබෝලයක්' දුන්නේත් නැත. හැබැයි බලයෙන් පහ වුණාම බන්දුල 'ආර්ථික ඔස්තාර්'ය.

මාතෘකා